බෞද්ධ විචාර කලාවක් අවශ්‍ය ද නැද්ද ? | Page 3 | සිළුමිණ

බෞද්ධ විචාර කලාවක් අවශ්‍ය ද නැද්ද ?

කවීන් වර්ග කළ පලියට විචාරවාදයක් හැදෙනවද
- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ

ඒකට කියන්නෙ නොදන්නාකම. ගොඩක් අයගෙ දැනුම පටුයි
- මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

වෙනම එකක් විදියට නම් ගන්න බෑ. ඒකෙ ලොකු ප්‍රතිගාමීත්වයක් තියෙනවා
- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ

පුළුවන්. ඒකට හොඳම උදාහරණය මගේ නිර්මාණ 
- මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

විචාර මූලධර්ම ගැන අවධානය යොමු කරද්දී ඒ පිළිබඳ විචාරාත්මක කියැවීමක අවැසිතාව තිබේ. බෞද්ධ සාහිත්‍යය යන්න ගොඩනැඟී ඇත්තේ ත්‍රිපිටකය හා තදනුබද්ධ අට්ඨකථා, ටීකා හා ප්‍රකරණ සාහිත්‍යය ඇසුරෙන් හඳුනාගත හැකි සාහිත්‍ය විචාර මූලධර්ම පදනම් කරගනිමිනි. මේ වන විට බොහෝ විචාරකයන් අතර ප්‍රචලිත බටහිර හා පෙරදිග සාහිත්‍යය විචාර ධාරා අතරෙන් බෞද්ධ විචාර කලාවක් යන්නට වඩාත් සමීප භරත මුනිගෙන් ඇරඹුණා යැයි සැලකෙන සංස්කෘත සාහිත්‍යය විචාරයට ය. එහෙත් මෙහි ඉතිහාසය අධ්‍යයනයේදී පැහැදිලි වෙන කරුණක් වන්නේ සංස්කෘත විචාර න්‍යාය ඉතිහාසයට වඩා මේ විචාරාත්මක එළැඹුම පුරාතන බවෙකි. එහෙත් විධිමත් අයුරකින් සම්පාදනය නොවූවකි. මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ පවසන්නේ සංස්කෘත සාහිත්‍යය විචාරයටත් වඩා ස්වාධීන, අඛණ්ඩ, ස්වායත්ත හා ස්වාධීන විචාර කලාවක් බුදු දහම ඇසුරෙන් බිහි වී ඇති බවකි.

කාලයක් තිස්සේ බෞද්ධ විචාර කලාවක් අවැසිද, එසේත් නැතිනම් එවැන්නක් තිබේද යන ගැටලුවට හා ප්‍රශ්නකාරීත්වයට විද්වතුන්ගේ අවධානය කාලයක් තිස්සේ යොමු වී තිබිණි. මේ ලියුම්කරු සමඟ දිවංගත වීමට ප්‍රථම මහාචාර්ය සුචරිත ගම්ලත් සාකච්ඡාවකදී පැවසුවේ සියල්ල අත්හරින්නට යොමු කරන ආගමකට විචාර කලාවක් තිබේද කියා ය. මහාචාර්ය ඒ. වී. සුරවීර පවසා සිටියේ ඒ වැනි විචාර ක්‍රමයක් සාදා අපි ලෝකය ඉදිරියේ පටු හා සීමා සහිතව විචාරයේ යෙදෙන්නේ කුමට ද කියා ය. කෙසේ නමුත් කාලයක් තිස්සේ මේ ගැන වාද ප්‍රතිවාද තිබෙන බැවින් අප මෙවර වාදාභිමුඛ කරන්නේ මේ සම්බන්ධයෙන් මතවාදී ම ය පරස්පරතා දක්වන විද්වතුන් දෙපළකි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර දශක හයක් පමණ තිස්සේ සිය නිර්මාණ හා ශාස්ත්‍රීය ප්‍රවේශ ඔස්සේ උත්සාහ කරන්නේ සාගරයක් බඳු ව තිබුණේ වුව ද අපෙන් මඟ හැරී, නොතකා හැරී යන ඉතිහාසයික සාහ­ිත්යික මිණි මතු කර පෙන්වා දීමට ය. හේ ඒ වෙනුවෙන් බොහෝ විට හඬ නඟන්නේ ය. එතැනින් නොනැවතෙන ඔහු සුත කවි නමින් කාව්‍ය ග්‍රන්ථයක් ද පළ කරන්නේ මෙකී ධාරාවේ ගැඹුර පසක් කරනු අටියෙනි. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ආචාර්යවරයෙකි. හේ නිරන්තර නව විචාර ක්‍රමවේද ගැන සවිඥානික ය. මාක්ස්වාදී විචාර සම්ප්‍රදාය ගැන ඔහු සිය මතවාදය ඉදිරිපත් කරන්නේ මනා අධ්‍යයනයකින් ද යුතු ව ය. එබැවින් බෞද්ධ විචාර කලාවක් අවැසි ද යන මේ සංවාද මණ්ඩපයට අපි ආස්ථාන දෙකක සිටින මේ දෙපළට එක් වෙන ලෙස ඇරයුම් කළෙමු.

බෞද්ධ විචාර කලාවක් පිළිබඳ කතිකාවට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් අවතීර්ණ වන්නේ පුරාවිදු මහැදුරු සෙනරත් පරණවිතාන මතු කළ කරුණක් සිහිපත් කරමිනි.

‘මහාචාර්ය සෙනරත් පරණවිතාන සීගිරි ගීත අගය කරනකොට අංගුත්තර නිකායේ එන කවි සූත්‍රය ගැන සඳහන් කළා.

අත්ථ කවි, සුත කවි, චින්තා කවි, පටිභාන කවි ගැන කතා කළා. බුදුන් වහන්සේ තරම් කවිය පිළිබඳ ව විචාරයට ලක් කළ කෙනෙක් තව නැහැ කියලා සීගිරි පළමුවැනි වෙළුමෙ තියෙනවා. දැන් පන්සල් චිත්‍ර, බුදු පිළිම යනාදිය කලා ශිල්ප. ඒවා පාරම්පරිකව ආ ප්‍රාචීන වාදී නිර්මාණ. මේ නිර්මාණ සම්ප්‍රදාය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා. ඒනිසා සංස්කෘතික කලා ශිල්ප කියලා එකක් තියෙන්න ඕන. ඒක විචාරවාදී චින්තනයට හසු වෙන්න අවශ්‍යයයි කියන මතය ආවා‘

කාව්‍ය හා කවීන් ගැන සඳහන් කිරීම පමණක් විචාර කලාවක් ගැන කතා කිරීමට ප්‍රමාණවත් නොවන බව ‍ෙජ්‍යෂ්ඨ කථිකාචාර්ය චින්තකගේ අදහසයි.

‘මේක සීමිත මතු කිරීමක් කියලයි මට හිතෙන්නෙ. බුදු හාමුදුරුවො එක සූත්‍රයක කියනවා කවියෝ හතර වර්ගයක් ගැන. එතනින් එහාට මේ ගැන නූතනයේ කතා කළ කෙනෙක් විදියට අපිට මතක් කරන්න වෙන්නෙ ඔලිවර් ගුණතිලක. හැබැයි මේක සංවර්ධනය කරලා ගන්න පුළුවන් තරම් වපසරියක් තියෙන එකක් ද යන්න ගැන ගැටලුවක් තියෙනවා‘

බෞද්ධ විචාර කලාවක් ගැන කතා කරන සෑම විටම ගුරු කර ගන්නා හා ස්මරණය වෙන විද්වතකු වන්නේ මාර්ටින් වික්‍රමසිංහය. වික්‍රමසිංහ ස්වකීය සිංහල සාහිත්‍යයේ නැඟීම, තේරී ගී, රසවාදය හා බෞද්ධ කාව්‍යය, ජාතක කතා විමසුම වැනි ග්‍රන්ථ ඔස්සේ බෞද්ධ විචාරාත්මක එළැඹුමක් ගැන අදහස් දක්වා තිබේ. ඔහුගේ සිංහල විචාර මඟ කෘතියේ දැක්වෙන 36 වැනි පිටුවේ උපුටනයක් ඔබට ඉදිරිපත් කරන්නේ ඔහුගේ ආස්ථානය පැහැදිලි කරගනු වස් ය.

‘බෞද්ධ සාහිත්‍යවාදයක් ඇත්තේ කොහේද? මෙය නිතැතින් ම අපේ සිතට නැඟෙන ප්‍රශ්නයකි. බුදුන් වහන්සේ සාහිත්‍යවාදයක් නොදෙසූහ. උන් වහන්සේ පෑදු මඟට පිවිස මමත්වය මැඬගත් යතිවරයෝ සාහිත්‍යවාද හෝ අලංකාරවාද හෝ නොනිපද දූහ. එහෙත් බෞද්ධ සාහිත්‍ය කලා වාදයක් ඇත. ඒ පිළිබඳ කරුණු උන් වහන්සේගේ ඇතැම් සූත්‍රවලත්, ධම්ම පදය, ථෙර-ථේරී ගාථා, ජාතක පෙළ, ජාතක කථා, විහාර සිත්තම්, සමාධි පිළිම ආදියෙහිත් විසිරී පැතිරී ඇත. බෞද්ධ සාහිත්‍යය කලා කෘති විමසීමෙන් ඒ තොරතුරු එකතු කොට සසඳා ගළපා බෞද්ධ සාහිත්‍යය කලා වාදය ආත්ම වාදය ඇසුරෙන් උපන් රසවාදයටත්, කිතුසමය ඇසුරෙන් උපන් බටහිර සෞන්දර්ය වාදයටත් පටහැණි එකක් බව වටහා ගැන්මට එයින් අපට අවස්ථාව ලැබේ‘

වික්‍රමසිංහගේ මේ යොමුව පිළිබඳ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ එළැඹුම මෙවැන්නකි.

‘මාර්ටින් වික්‍රමසිංහ කියන්නෙ බෞද්ධ විචාර කියල ම නොවෙයි. කිව්වෙ ප්‍රාචීනවාදී විචාර කලාවක් කියලා. හැබැයි සංස්කෘත රසවාදය නොවෙයි. සංස්කෘත රසවාදය තව එකක්. සාහිත්‍ය දර්පණය, කාව්‍යාලංකාර, භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රය වගේ ඒවයෙන් ආව දේවල්. දැන් භරත මුනිගේ නාට්‍ය හින්දු දර්ශනයට එකඟයි. හින්දු දර්ශනයේ විචාරවාදී දර්ශනයක් උපනිශද්වල තියෙනවා. උපනිශද්වල තියෙන එක දැනගන්න පුළුවන් ගීත ගෝවින්දයෙන්. ගීත ගෝවින්දය බෞද්ධවාදී නොවෙයි. නමුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඒක හැදෑරුවා. දැන් මහා විහාරයේ හාමුදුරුවරු ග්‍රීක නාට්‍ය කලාව හැදෑරුවා කියලා පරණවිතාන කියනවා. ඒ ආදී වශයෙන් බලන කොට බෞද්ධ කලා ශිල්ප කියලා එකක් තියෙනවා. බෞද්ධ කලා ශිල්ප හික්මවනු ලැබුවේ කිසියම් භාරතීය කලාවකට අනුව. ඒක ඕන නම් අපිට නිගමනය කර ගන්න පුළුවන්.‘

චින්තක රණසිංහ වික්‍රමසිංහ හා සරච්චන්ද්‍ර එළැඹුම පිළිගැනීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත.

‘වික්‍රමසිංහ කෙසේ වෙතත් සරච්චන්ද්‍ර කැමැති වුණා කියලා නම් මම පිළිගන්නෙ නෑ. මහාචාර්ය පියසීලි විජේගුණසිංහ ඕක විචාරයට ලක් කළා. වික්‍රමසිංහ ආපහු මේකට ජාතියත් ගාව ගන්නවනෙ. ජාතික බෞද්ධ විචාර කලාව කියලානෙ අන්තිමට කියන්නෙ. මේවා විවිධ තර්ක මතුවෙන ඒවා. පුළුල් විෂයය පථයක්‘

බෞද්ධ විචාර කලාවක් මුළුමනින් ම ඇති කරගත හැකි බවට ඔබට විශ්වාසයක් පවතින්නේද යන්නට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර පවසන්නේ මෙවැන්නකි.

‘ඔව්. හොඳම උදාහරණය මම. මගේ කෘති, විශේෂයෙන් කවි එහෙම බෞද්ධවාදීයි. මම උපන්නෙ කතෝලික පවුලක. නමුත් අපේ තාත්තා බෞද්ධාගම්කාරයෙක් වුණා. මම මගේ ආචාර්ය උපාධිය කළෙත් බෞද්ධවාදී පර්යේෂණයක්. මට උගැන්වූ ගුරුවරු බොහොමයක් බෞද්ධවාදියි. බෞද්ධවාදී කියන්නෙ පටු කට්ටියක් ය කියන මතය වැරදියි‘

චින්තක රණසිංහ පවසන්නේ වෙනම විචාර කලාවක් පිළිබඳ ගැඹුරු කතිකාවකට බෞද්ධ දර්ශනයෙන් ම ඉඩ සලසා නැති බවෙකි.

‘මේක විවාදාපන්න මාතෘකාවක්. බුදු දහමේ හරය, ථේරවාදී පදනම ගත්තොත් ඒකෙ ලෞකික පදනමේදී කාව්‍ය ගැන ලෞකික රසාස්වාදන ගැන ගැඹුරට යන්න අවකාශයක් දර්ශනයෙන් ම දෙන්නෙ නෑ. ඒක මහායාන පැත්තෙන් ඊට වෙනස් තත්ත්වයක් තියෙනවා. ඒනිසා තමයි මහායානිකයන්ගෙ භාෂාව බවට සංස්කෘත පත්වෙන්නෙ. බුදුන් කලාවට විරුද්ධ වුණේ නෑ, නමුත් ඒක සංවර්ධනය කරන්න අවශ්‍ය පදනම දුන්නෙ නෑ. මොකද එහි අරමුණ වෙන්නෙ වෙන එකක්.

අපි ගත්තොත් ස්ත්‍රිය ගැන හෝ ස්වභාව ධර්මය ගැන බෞද්ධ විචාරානුකූලව. මොනවද ලියන්න වෙන්නෙ. ඒවයෙ තියෙන අනිත්‍යතාවනෙ. තද බෞද්ධවාදීව නම් මේක කරන්න බෑ. සංස්කෘත, මහායාන හා පැරණි දේවල් ගැන මේ සඳහා අවබෝධයක් තියෙන්න ඕන‘

බෞද්ධ විචාර කලාවක් ගැන අවධානය යොමු කරද්දී කවිය, සිතුවම ගැන එහි සඳහන් වුවත් නූතන කෙටිකතාව හා නවකතාව වැනි එළැඹුම්වලදී ඒවා විචාරය කරන ක්‍රමවේදවල ගැටලුවක් තිබිය හැකි බව මේ ලියුම්කාරිය සමඟ කරන ලද සාකච්ඡාවකදී මහාචාර්ය ඒ. වී. සුරවීර කලෙකට ඉහතදී පැවසුවේ ය.

මේ ගැටලුවට මහාචාර්ය සුනන්ද දක්වන්නේ මෙවැනි අදහසකි.

‘වෘත්තාන්ත වේදය මේ සඳහා එක මූලාශ්‍රයක්. මෙය ඉතා හොඳට කළ කෙනෙක් තමයි මුනිදාස කුමාරතුංග. එයා ඒ බව එයාගෙ පොත්වල සඳහන් කරනවා. ඔහුගේ පොතක් වෙන ප්‍රබන්ධ සංග්‍රහයෙ කියනවා ඉතිහාස මූල, චරිතාදර්ශ මූල, ස්වභාවධර්ම මූල. කුමාරතුංගගෙ ශ්‍රේෂ්ඨතම නිර්මාණය ප්‍රබන්ධ සංග්‍රහය. එයා හැමවිටම අවධාරණය කරලා කියන දෙයක් තමයි ඓතිහාසික ප්‍රබන්ධ කියලා දෙයක් තියෙන බව. වෘත්තාන්ත කථ්‍ය වස්තු, ඉතිහාස කථ්‍ය වස්තු, විචාර වස්තු, කල්පිත, චරිත වශයෙන්. දැන් කවුරුහරි තව කෙනකුගේ චරිතයක් ගැන ලියනවා නම් එය වෘත්තාන්තයක් විදියට ගන්න පුළුවන්. ඒක සත්‍ය කතාවක්; නමුත් වෘත්තාන්තයක් වෙන්න පුළුවන්.

තව එකක් තියෙනවා චම්පු කාව්‍යය කියලා. ඒ කියන්නේ කවියට ගද්‍ය සහ පද්‍ය දෙක මිශ්‍ර කරලා. මේ වගේ වර්ගීකරණ නැහැ කියලා කියන්න බෑ.

අපි ගන්නවා දුටුගැමුණු රජතුමාගේ කතාව. ඒක ඉතිහාස කථ්‍ය වස්තු ගණයට ගැනෙන්නෙ. ගමරාල දිව්‍ය ලෝකෙ ගිය හැටි කියලා එකක් ගන්නවා. ඒක කල්පිත කථ්‍ය වස්තුවක්. මුනිදාස කුමාරතුංගගේ විවරණය ඒ වගේ.

නවකතාව, කෙටිකතාව වැනි නූතන අත්හදා බැලීම් බහුලව කරන නිර්මාණ මාධ්‍ය සඳහා මේ වැනි පටු විචාර කලාවක් යෙදිය හැකි දැයි චින්තක රණසිංහ ප්‍රශ්න කරයි.

‘නවකතාව කෙටිකතාව වගේ නූතන මාධ්‍ය ආවම නූතන ලෝකය හා එහි මතවාද ගැන ගැටලුව එනවා. ඊළඟ කාරණය කවීන් වර්ග කළ පලියට විචාරවාදයක් හැදෙනවද? එ් එදා සිටි කවීන් අතරෙන් කළ දෙයක්නෙ. අද සිටින විවිධ වෙනස්කම් සහිත කවීන් ගැන මොකද කරන්නෙ. මාක්ස්වාදයේ මාක්ස්වාදී විචාර කලාවට තියෙන නෑකම මොකද්ද කියලා බලලා වෙනම ප්‍රපංචයක් විදියට තමයි ගොඩනැඟෙන්නෙ. බෞද්ධ විචාර කලාවක් කියන එකේදිත් එහෙනම් එහෙම වෙනම අධ්‍යයන ප්‍රවේශයක් තියෙන්න ඕන.

කවියෝ ගැන කිව්ව පලියට අපිට කියන්න බෑනෙ විචාර කලාවක් තියෙනවා කියලා.

බෞද්ධ විචාර කලාවක් පිළිබඳ මතවාදය බෞද්ධාගම දැඩිව ස්ථාපිත රටවලත් අවම මතු වීමක් ඇත්තේ ඇයි යන්නට මහාචාර්ය සුනන්දට ඇත්තේ මෙවන් මතවාදයකි.

‘ඇයි මතුවෙලා නැත්තේ. බුද්ධඝෝෂ හිමි, ධර්මසේන හාමුදුරුවො, මයුරපාද හාමුදුරුවො, සෙනරත් පරණවිතාන, සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, ආනන්ද කුමාරස්වාමි වගේ අය මේක ගැන ගැඹුරෙන් කතා කරලා තියෙනවානෙ. මනමේ, සිංහබාහු, ගැමි නාටකය, වෙස්සන්තර නාට්‍ය, කඳාවළලු, එළොව ගිහින් මෙලොව ආවා වැනි සියල්ල බෞද්ධ විචාර ක්‍රමයට අනුව විචාරය කරන්න පුළුවන්. ඒක වළක්වන්න බෑ. මාර්ටින් වික්‍රමසිංහ හා ආචාර්ය සරච්චන්ද්‍රත් ඒක අනුමත කරනවා.

චින්තක රණසිංහ ඒ ගැන දක්වන අදහස මේ වැනි ය.

‘අපට මේක විචාර කලාවක් විදියට වර්ධනය කරගන්න පුළුවන් එකම තැන තමයි, මහායාන හා ටිබෙට් සම්ප්‍රදා ඇතුළට යෑම. ඒක කරද්දිම අපේ රටේ ඇතිවේවි අර ජනප්‍රිය බාධකය. සුනන්ද සර් වගේ අය ජීවිතේ පරිණත වෙද්දි අන්තයට ම හොයන්න පටන් ගන්නවා. එයා දැන් හොයන්නෙ දේශීයත්වය. කලාවට මේ අර්ථයෙන් නම් විචාරයක් හදා ගන්න බෑ. එහෙම කවුරුහරි කියනවා නම් ඒකෙ යම් ව්‍යාකූල භාවයක් තියෙනවා. එහෙම එකක් ගොඩනඟා ගන්න ගියොත් නූතන ලෝකයත් එක්ක බෞද්ධ දර්ශනය ගැළපීමේ වැඩපිළිවෙළක් ඇතුළෙ මිසක් එහෙම නැතිව හදන්න බෑ කියන එකයි මගේ මතය. ඇත්තටම ඒකෙ ප්‍රතිගාමී බවක් තියෙනවා. උදාහරණයක් ගන්න.

උදැල්ලක් අරගෙන ගහක් කපන්න හැදුවොත් හිමින් හිමින් කපලා කපා ගන්නත් බැරි නෑනෙ. නමුත් ඒක ගැළපෙන වැඩක් නොවෙයිනෙ. වැඩේ කොහොමහරි කෙරෙනවා කියන එකට වඩා කරන්න ඕන, අදාළ දෙයින් ඊට අදාළ වැඩේ කරගැනීම කියලයි මට හිතෙන්නෙ.

බෞද්ධ කලාවෙන් සාහිත්‍ය පෝෂණය කරන්න පුළුවන් තැන් අපිට ඕනතරම් හමු වෙනවා. ඒක වෙනම දෙයක්.

චින්තකගේ කියැවීම ගැන මහාචාර්ය සුනන්ද දක්වන්නේ මෙවන් අදහසකි.

‘ඒකට කියන්නෙ නොදන්නාකම. ගොඩක් අයගෙ දැනුම පටුයි. ඒක හිතාමතා වෙන දෙයක් නොවෙයි. නොදන්නාකම නිසා වෙන දෙයක්. ගොඩක් අය මේවා ගැන දන්නෙ නෑ. සමහර අය ගැන, සමහර මත ගැන මට දුකයි. දැන් Teory Of Knowledge කියලා විශ්වවිද්‍යාල පර්යේෂණ ක‍ෘතියක් ලියලා තියෙනවා මහාචාර්ය කේ. එන්. ජයතිලක. ඒකෙ තියෙන්නෙ ඇත්තට ම පට්ච්ච සමුප්පාදය. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන බටහිර සන්නිවේදන ශාස්ත්‍රඥයෝ Mind Full Communication කියලා එකක් කියනවා. මම ඒක සිංහලට දාන්නෙ සතිමත් සන්නිවේදනය නමින්. ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේ එකක් ලෝකෙ වෙන කොහේවත් නෑ‘

බෞද්ධ විචාර කලාවක් ගොඩනඟා ගැනීම ගැන කතා කරද්දී බොහෝ විචාරකයන් පවසන්නේ මාක්ස්වාදී විචාර කලාවක් තියෙනවා නම් ඇයි මෙහෙම එකක් හදන්න බැරි කියාය. ඒ පිළිබඳ චින්තක දරන්නේ මෙවන් මතවාදයකි.

‘බෞද්ධ සාහිත්‍ය පෝෂණය කරන්න පුළුවන්, නමුත් ඒක විචාර කලාවක් විදියට නම් ගන්න බෑ. මොකද එහෙම නම් මේක වෙනම අධ්‍යයනය කරලා හදාගන්න ඕන. ඒ තියෙන්නෙත් මහායාන සම්ප්‍රදාය ඇතුළෙ.

හොඳම කතාව මුවදෙව්දාවත, සසදාවත වගේ ඒවා අරන් බලන්නකො. ඒවායේ අපිව පැටලෙනක පැටලිල්ල තමයි මේ. ඒ ගැන මහාචාර්ය සුචරිත ගම්ලත් සම්භාව්‍ය සිංහල කාව්‍ය විකාශනයෙ කතා කරනවානෙ. මහා කාව්‍ය කියලා තියෙන්නෙ මහායාන පාදමනෙ. මේ අය මේකට දානවා බෞද්ධ කතා පුවත. මොකද වෙන්නෙ. මේ දෙක පැටලෙනවා. අන්තිමට ඒවා අසාර්ථක වෙනවා. දැන් කව්සිළුමිණේදී වුණත් ජාතක කතාව වෙනස් අර්ථකථනයකට ලක් කරනවානෙ. කුසගෙ මුහුණ කැවුමක් වගේ කියනවා මිසක් කුස විරූපියි කියලා කොහේවත් කියන්නෙ නෑනෙ. ඒවා ලොකු සංශෝධන විදියටයි යන්න වෙන්නෙ. ඒ සංශෝධනවලදි කලාව පිළිබඳ ලෞකික කාරණය හා සංස්කෘතිය පිළිබඳ කාරණය හෝ නූතනත්වය පිළිබඳ කාරණය ගන්න වෙනවා. මේකට වඩා උතුම් පවිත්‍ර විචාර කලාවක් නෑ වගේ එකකට ගියොත් එතැන ලොකු අවුලක් හැදෙනවා.

වෙනම එකක් විදියට නම් ගන්න බෑ. එකෙ ලොකු ප්‍රතිගාමීත්වයක් තියෙනවා‘

මහාචාර්ය සුනන්ද පවසන්නේ වැදගත් වෙන්නේ ආගමක් ද; මතවාදයක් ද යන්න නොව මේවා ගැන හෙළන ආකල්ප වෙනස් විය යුතු ව පවතින බවයි.

‘ආගමට නැඹුරු වෙලා ආගම්වාදයකින් අන්ධ වුණොත් හුඟක් දේවල් පේන්නෙ නෑ. එහෙම පටු වෙන්න ඕන නෑ. අපි ජිවත් වෙන සංස්කෘතික රාමුව අපි මානව විද්‍යා පදනමකට දාන්න ඕන. සමහර වෙලාවට විවිධ අය අපිව, අපේ දරුවන් ව සූරා කනවා. ඒ මම මාක්ස්වාදියෙක් කියලද... නෑ,

මම මානව හිතවාදයෙක් නිසා. මානව හිතවාදය දියුණු තියුණු වෙන්නත් පුළුවන් ආගමික චින්තා නිසා. දුප්පත් වෙන්නත් පුළුවන්.

විචාරය පෝෂණය වෙන්නටත් ඒවාට නව මාන එකතු වෙන්නටත් සංවාද මණ්ඩප ඇවැසි ය. මේ පුරාතන නූතන ගැටුම ඔස්සේ මතුවෙන සංවාද හා ප්‍රතිවාද අනාගත විචාර ලෝකය ආලෝකවත් කිරීමට පාදක වීම පමණක් ප්‍රමාණවත් ය.

Comments