වැඩ කල් දැමීමේ වාසි - අවාසි | සිළුමිණ

වැඩ කල් දැමීමේ වාසි - අවාසි

“මං ඒක හෙට කරන්නම් " ඔහු කීය.

"ඇයි දැන් ? මොකටද කල් දාන්නෙ? දැන් වෙලාව තියෙනවානෙ ?"

" ඒ වුණාට දැන් බෑ වගේ"

" උඹ මහා කම්මැළියෙක් ! " මම කෑගැසීමි.

" ඔයාට තේරෙන්නේ නැහැ තාත්තෙ. මං දැන් වැඩකරන්න පුළුවන් මූඩ් එකක නෙවෙයි ඉන්නෙ. වැඩක් කල් දාන්නෙ කම්මැළිකමටම නෙවෙයි කියලා ඔයා දන්නෙ නැතුව නෙවෙයිනෙ. "

" ඒ වුණත් ඒ වැඩේ හෙට කරගන්න බැරි වුණොත් ඔයාට දැනෙන්නෙ පීඩනයක්, කේන්තියක් ඒ වාගෙම මහ මූසල හැඟීමක්"

මේ වාදය ඔහේ දිග්ගැසෙන්නට ඉඩ නොදී මට ඇවැසි වූයේ ඇත්තෙන්ම වැඩක් කල් දැමීමේ අවාසි මෙන්ම වාසිත් තිබෙනවා දැයි සොයා බලන්නටය. කල් දැමූ වැඩක් නැවත මග නොහැරෙන ලෙස කර ගන්නට යම් යම් මඟපෙන්වීම් හෝ පුරුදු තිබෙනවා දැයි බලන්නටය. වැඩ කල්දැමීම නිසා හිතේ උපදින මූසල හා පීඩාකාරී ස්වභාවය කළමනාකරණය කර ගත හැකි ක්‍රම ගැන ටිකක් හොයා බලන්නටය.

තරාතිරමකින් තොරවම අප බොහෝදෙනෙකුම පාහේ වැඩ කල් දමන්නට හුරු වී සිටින බැව් කීම මුසාවක් නො වේ. එය බොහෝ තැන්වල ඉංගිරිසියෙන් හැඳින් වෙන්නේ procrastination යන පදයකිනි. ඒ වචනය බොහෝවිට අතපසු කිරීම යන අරුත සමඟ ද කිට්ටුවෙන් යන්නකි. සාමාන්‍ය ජීවිතයේදී "වැඩ කල් දැමීම " (Putting off tasks ) ඇතැම් විට අපේ ජීවිතවලට බද්ධ වී තිබෙන්නාක් මෙනි. බොහෝදෙනා මෙකී වැඩ කල් දැමීම නරක පුරුද්දක් ලෙස දකින්නට පුරුදු වී සිටිය ද ඊට ව්‍යතිරේකයක් දෙකක් තිබෙන බව කීම එකී සාම්ප්‍රදායික අදහස දරන්නන්ගේ කෝපයට හේතු නොවිය යුතුය. එහෙත් ඒ කාරණය තීන්දු කරන්නේ අප වැඩ කල් දමන්නට පුරුදු වී ඉන්නා හේතු අනුවය.

අප වැඩ කල් දමන්න්නේ ඇයි ? ඊට හේතු මොනවාද? ඒ හැටි මහන්සි නොවී ඊට හේතු කීපයක් ලැයිස්තුගත කර ගන්නට අපට පුළුවන. විවේචනයට ඇති බිය, පරාජය වීමට ඇති බිය, උනන්දුවක් නැතිකම, ආශාවක් නැතිකම හා සර්ව සාර්ථකත්වය අපේක්ෂා කිරීම ඒ අතරින් කීපයකි.

සිත තුළ උපදින අලස බව, කාංසාව, අනාරක්ෂිත යැයි හැඟීම, නොසතුට, කනස්සල්ල හා තමා පිළිබඳ සැක සංකා ඉපදීම ආදී සෘණාත්මක සිතිවිලි හේතුවෙන් මිනිසුන් වැඩ කල් දමන්නට හුරු වී සිටින බව කිව හැකිය. බොහෝවිට මෙසේ සිදු වන්නේ එකී අදාළ කාර්යය සිත් ඇද නොගන්නා සුළු හෝ අතිශය සංකීර්ණ හෝ වූ කලය. එනම් , යම් කාර්යයක් ඉතා ඉක්මනින් , යම් නිශ්චිත කාල වේලාවක් ඇතුළත අවසන් කර දෙන්නට අවශ්‍ය යැයි දිගින් දිගටම අපේ සිත අපට පණිවුඩයක් දෙන්නට පටන් ගත් පසු ඒ පීඩනය හේතුවෙන්ම අප කරන්නේ එය තවත් මොහොතකින් හෝ ප්‍රමාද කිරීමට එසේත් නැත්නම් එය නොකර සිටීමට හේතු සෙවීමය. එබඳු අවස්ථාවකදී මොළය ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි සොයා බැලීම කදිමය. තාර්කික බුද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන මොළයේ ඇති පුරෝලලාට බාහිකය මෙබඳු පීඩනයක් හමුවේදී කරන්නේ ඇමිග්ඩලාව වසා දැමීමය. ඇමිග්ඩලාව යනු බිය ආදී ප්‍රතිචාරවල තීව්‍රතාව අඩු කරන්නට, සැර බාල කරන්නට උපකාරී වන කොටසයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එතැනදී සිදු වන්නේ එකී නිම කළ යුතු කාර්ය හෝ වගකීම තර්ජනයක් වශයෙන් අපේ මොළය තේරුම් ගැනීමය. Amygdala Hijack වශයෙන් හැඳින් වෙන මේ තත්ත්වය ද වැඩ කල් දැමීම සඳහා බලපාන්නා වූ මූලික හේතුවකි.

තාවකාලික හෝ ක්ෂණික තෘප්තිය වෙනුවෙන් කළ යුතු කාරිය පසුවට කල් දැමිමේ සහජ පුරුද්දක් මිනිසුන් වශයෙන් අපට තිබේ. තේ කෝප්පයක් සාදා ගෙන අවුත් මේසය උඩ තබා තිබියදීත් එය අතට නොගෙන " තව ටිකකින් " යැයි කියා ගන්නා ඉතා සරල තත්ත්වයේ සිට විවිධ සංකීර්ණ තත්ත්ව දක්වා මේ පරාසය විහිදී තිබේ. අපටත් නොදැනීම එවැනි තත්ත්වයකට අප පත්වන්නේ කල්දැමීමේ රෝගය අපේ මනසට හොඳ හැටි පත්තියම් වූ පසුවය. සාමාන්‍යයෙන් අපට ඇගයීමක් හෝ තෘප්තියක් ලැබෙන ක්‍රියා නැවත නැවත සිදු කරන්නට කැමති මුත්, පීඩාවක් හෝ අප්‍රසන්න බවක් ඇති කරන කවර දෙයක් හෝ කීප මොහොතකට හෝ වේවා කල් දමන්නට හුරු වීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි.

අපට ඉටු කරන්නට හෝ සම්පූර්ණ කරන්නට නියම වී ඇති යම් අභියෝගාත්මක කාර්යයක් ගැන සිතන්න. එය කෙතරම් සාර්ථක තත්ත්වයකින් අපට නිම කළ හැකිද? එහි සාර්ථකත්වය ගැන හෝ එය නිම කිරීමට ගතවන කාලය හෝ පිළිබඳ අප තුළ සැකයක් හෝ අවිශ්වාසයක් ඇත්තේ නම් අප අතින් ඉබේටම පාහේ එය කල් දැමීමේ, කීප මොහොතකට හෝ කල් දමා ඒ වෙනුවට වෙනත් කටයුත්තක් කිරීමේ මැඩ ගත නුහුණු ආශාවක් අප තුළ ඇති වෙයි.

අනෙක් අතට එකී කාර්යය නිතිපතාම පාහේ සිරුරට හෝ මනසට විඩාවක් ගෙන දෙන්නේ නම් එය කල් දමන්නට අපට සිත් වෙයි. අනෙක් අතට එකී කාර්යය නිසා, තමන්ගේ වෙන යම් ප්‍රමුඛ කාර්යයක් හෝ විවේක කාලය හෝ යටපත් වන බවට අපේ යටි හිත ඉඟි දෙන්නට පටන් ගත හොත් අප අපට නොදැනී පෙලඹෙන්නේ ඒ කාරිය කල් දමන්නට ය. ඊට අමතරව විෂාදය, කාංසාව වැනි බරපතළ තත්ත්ව ද වැඩ කල් දැමීමට මුල් වෙයි. සියල්ල සියයට සීයක් පරිපූර්ණ ලෙස හැමවිටම ඉටු විය යුතු යැයි එසේත් නැත්නම් හැම හැම විටම සිදු කළ යුතු යැයි කල්පනා කරන්නෝ ද අප අතර වෙති. ඔවුන් බලාපොරොත්තු වන්නේ සර්ව සාර්ථකත්වයයි. මෙන්න මේ කාරණය ද වැඩ කල් දැමීම සඳහා දායක වන්නා වූ තවත් එක් ප්‍රබල හේතුවකි. ඩාවින්චි ද එක්තරා ආකාරයක පරිපූර්ණවාදියෙකි. බොහෝ දෙනා පවසන්නේ අනෙකුත් සියලු වැඩ අතරමග නවතා වසර 16ක කාලයක් ඔහු තමාගේ ලෝක ප්‍රසිද්ධ මොනාලිසා සිත්තම නිම කිරීම සඳහා කැප කළ බවයි. මෝසාර්ට් සිටියේ එහි අනෙක් පැත්තේය. කල් දැමීම බරපතළ ලෙසම පුරුද්දක් කරගෙන සිටි ඔහු පීඩාකාරී තත්ත්ව යටතේ, එනම් පීඩනය යටතේ වැඩ කිරීමේ අති දක්ෂයකු විය. ඔහු තමාගේ එක්තරා ලෝක ප්‍රසිද්ධ ඔපරාවක ප්‍රාරම්භ වාදන සටහන් සියල්ල ලියා හමාර කළේ එහි ප්‍රදර්ශන දිනයට පෙර රාත්‍රියේදීය.

වැඩ කල් දැමීම යමකුගේ ඵලදායීතාව කෙරේ බලපාන්නට පුළුවන් බව සිතිය හැකි අතර, බොහෝ දෙනා විශ්වාස කරන්නේ එය නරක පුරුද්දක් බවය. විශේෂයෙන්ම මේ කාරණාව අපට වැදගත් වන්නේ අධ්‍යාපන හා අධ්‍යයන ක්ෂේත්‍රවලදීය. ඇතැම් විට බොහෝ සිසුන් මහත් වෙහෙසක් දරන්නා වූ එක් දීර්ඝ පැවරුමක් බාගවිට යම් සිසුවෙක් විටින් විට නවත්වමින් ඒ අතර වාරයේ වෙනත් වැඩක යෙදෙමින්, කීප සැරයකට බොහෝ පහසුවෙන් සම්පූර්ණ කරන්නට ඉඩ තිබේ. එබඳු තැනකදී එක පිම්මට එය ඉවර නොකිරීම කම්මැළිකම හෝ වැඩ කල් දැමීම ලෙස සැලකිය නොහැකිය.

වැඩ කල් දැමීම පිළිබඳව දුර්මත කිහිපයක් ද පවතී. බොහෝ දෙනා පවසන්නේ වැඩ කල් දැමීම දුර්වල කාල කළමනාකරණයක් ඇති පුද්ගලයන්ගේ ලක්ෂණයක් බවය. එහෙත් එය එසේ නොවේ. ඉතා අනර්ඝ කාල කළමනාකරණයකින් යුතුව කටයුතු කරන පුද්ගලයන්ට පවා ඇතැම් විට වැඩ කල් දමන්නට හෝ මොහොතකට අතපසු කරන්නට සිත් වෙයි. ඊට හේතුව වන්නේ යමකු පසුවන මානසික තත්ත්වයයි. සිතේ ස්වභාවය (mood) යි. එය බොහෝසෙයින් දැකිය හැකි තත්ත්වයකි. ඇතමකු කල්පනා කරන්නේ වැඩ කල්දමන්නන් අලි කම්මැළියන් බවය. කම්මැළිකම වැඩ කල් දැමීමට එක් හේතුවක් වන්නේ වී නමුදු එය හුදෙක් කම්මැළිකම නිසාම ඇතිවන්නක් නොවේ. එහෙයින් සියල්ල කම්මැළිකමේ ගිණුමට බැර කළහොත් අර කී අනෙක් හේතු මගහරවා ගන්නට අපට තිබෙන ඉඩකඩ ඇහිරී යනු ඇත.

කල්දැමීම හා වෙනත් ප්‍රමුඛත්වයක් වෙනුවෙන් ඉඩ දීම පැහැදිලිවම වෙනස් කාරණා දෙකකි. කල් දැමීමේදී සිදුවන්නේ සම්පූර්ණ කළ යුතු, නිශ්චිත දින වකවානුවක් කාලයක් ඇති කටයුත්තක් පසු කාලයක පසු මොහොතක කරනු පිණිස කල් තැබීමය. ප්‍රමුඛත්වය දීමේදී සිදු වන්නේ වඩාත් වැදගත් කටයුත්ත ඉදිරියට ගනිමින් යළි කළමනාකරණය කර ගැනීමකි. එය උදාහරණයකින් පැහැදිලි කළහොත් සිකුරාදා බාර දෙන්නට ඇති පැවරුමක් බ්‍රහස්පතින්දා මහ රෑ අවසන් කිරීම වැඩ කල් දැමීමේ ප්‍රතිඵලයකි. එළඹෙන සඳුදා විභාගයකට මුහුණ දෙන්නට තිබෙන නමුත් මේ සිකුරාදා සම්මුඛ පරීක්ෂණයක් තිබෙන බැවින් එය අවසන් වන තෙක් ඊට මුල් තැන දීම ප්‍රමුඛත්වයට ඉඩ දීමකි.

බොහෝදෙනා කතා කරන්නේ වැඩ කල්දැමීමේ ඇති අවාසි පිළිබඳය. සැබැවකි, එහි පැහැදිලි අවාසි තිබේ. එය බොහෝවිට අඩු පාඩු සහිත නිමැවුමකට හේතු වේ. උදාහරණයක් වශයෙන් පවසතොත්, යම් පැවරුමක් අන්තිම මොහොතක දක්වා කල් දමන සිසුවෙක් එය භාර දෙනු ඇත්තේ බොහෝ වැරදි හා අඩුපාඩු සහිතවය. එහි ප්‍රතිපලය අසතුටුදායක විය හැකිය. එහෙත්, එය එතැනින් නවතින්නේ නොවේ. ඉනික්බිති මානසික ආතතියක්, කාංසා තත්ත්වක් දක්වා වුව යමකු ඇදගෙන යන්නට මේ අසතුටුදායක ප්‍රතිඵලය හේතු විය හැකිය.

වැඩ කල්දැමීමේ වාසි ගැන කතා කරමු යැයි කිවහොත් ඇතැමකු මා සමඟ එකඟ නොවනු ඇත. ඔව්, වාසි ද තිබේ. එහෙත් ඊට කලින් තවත් යමක් මතක් කළ යුතුය. ඒ වැඩ කල් දැමීම දෙයාකාරයකින් හඳුනා ගන්නට ලැබෙන බවය. පළමුවැන්න නම් නිෂ්ඵල හෙවත් ප්‍රතිඵල විරහිත වැඩ කල් දැමීමය. අවාසි ඇත්තේ එහිය. දෙවැන්න හඳුන්වනු ලබන්නේ ප්‍රතිඵලදායක කල් දැමීම වශයෙනි. වාසි ඇත්තේ එහිය. අන්තිම මොහොත දක්වාම සූදානම් වීමේ පුරුද්දක් ඇති තැනැත්තන් බොහෝවිට කරන්නේ එයයි. එසේ ඔවුන් යම් කාරියක් කල් දමන්නේ සැලසුමකට හා ඉලක්කයකට අනුවය. එබඳු කල්දැමීමක් කිසි විටෙකත් අපෙතේ නො යයි. නිෂ්ප්‍රයෝජන නොවෙයි.

අනෙක් අතට එය ප්‍රමාද කළමනාකරණය සඳහා හොඳ හුරුවකැයි ද පැවසෙයි. In Wait: The Art and Science of Delay කතුවරයා මහාචාර්ය ෆ්‍රාන්ක් පාර්ත්නොයි මෙසේ පවසයි. " පුද්ගලයන්ට යම් තීරණයක් ගන්නට ඕනෑ වුණාම, තීරණයක් ගන්නට සිදු වුණාම ඔවුන්ට අනුමාන කරන්නට වෙනවා ඒ තීරණය ගන්නට කොපමණ වෙලාවක් තියෙනවාද, කොපමණ වේලාවක් ගත කරනවාද කියා. පුළුවන් අන්තිම තත්පරේටම කල් ගන්නට හුරු වුනොත්, ඒ කලාව හරියට අල්ලා ගත්තොත් ජීවිතේ බොහොම අපූරු තැනක් වේවි. "

කාලය කාටත් බෙහෙවින් ප්‍රයෝජනවත් වන දෙයක් බැවින් වැඩ කල්දැමීම අවම කරගන්නට උපකාර වන මඟක් දෙකක් සොයා බැලීම බාගවිට කාලය කා දැමීමක් නොවනු ඇත. සමහර විට දැනටමත් අප වැඩ කල්දැමීමේ පුරුද්දට ඇබ්බැහි වී හෝ යොමු වෙමින් හෝ ඉන්නා බව හැඟේ නම් ඊට විරුද්ධව අපට කුමක් කළ හැකිද? බොහෝ සෙයින් මේ කාරණය ඉගෙනුම් කාර්යන්හි යෙදී සිටින්නන්ට වැදගත් විය හැකි බැවින් ඔවුන්ගේ ඇසින් බැලීම වටී.

පළමුව විය යුත්ත නම් එක් එක් කාරියට නිශ්චිත වේලාවක් වෙන් කැර ගැනීමය. එය අවසන් නොකොට ඊළඟ කාර්යට අත නොගසා ඉන්නට කිහිප සතියක් උත්සාහ කළ හොත් මේ ලෙඩේ ඉක්මන් සුව වන බව නිසැකය.

වැඩ කල්දැමීමට බොහෝවිට බාහිර සාධක නිසා ද තටු ලබන්නට පුළුවන. ඔබ ලියන්නේ හෝ අධ්‍යයනයක යෙදෙන්නේ රූප පෙට්ටිය ඉදිරියේ හිඳගෙන යැයි සිතමු. ඔන්න දැන් එහි ඔබ බලන්නට ආශාවෙන් සිටි සිනමා පටයක් ඇරඹෙයි. වැඩ කල් දැමීමක් සිදු වන බව නිසැකය. එබැවින් බාධාවලින් තොර වටපිටාවක වැඩ කිරීම වැඩ කල් දැමීමේ පුරුද්දෙන් අප බේරාගනී. අනෙක, කෙටි විවේක නම් කෙටි විවේක විය යුතුමය. ඇතැම් විට කාරිය මොහොතකට නවතා කෙටි විවේකයකට නැඟිටින අප ආපහු එතැනට එන්නේ හෝරා ගණනාවක් ගෙවා දැමීමෙන් පසුවය.

තමාට පහසු අන්දමේ නියමිත අවසන් කාලසීමා ( Deadlines) පනවා ගැනීම ද හොඳ ඇබෑසියකි. ඇත්තෙන්ම එසේ deadline එකක් අවශ්‍ය නොවන සුළු මට්ටමේ කාරණා සම්බන්ධයෙන් වුවද එය යොදා ගන්නට පුළුවන් නම් වඩා ඉහළ මට්ටමේ කටයුත්තකට ඇ වැසි හුරුව පුහුණුව ඒ හරහා ලබා ගන්නට අපට හැකි වෙයි.

මහ වැඩ කුඩා කොටස්වලට කඩා ගැනීම ද ගෙඩිය පිටින් වැඩේ කල් දැමීමට වඩා හොඳය. ඔබේම දින සැලසුමක් නිර්මාණය කර ගැනීම ද මානසික උත්තේජනයක් සමඟ වැඩ කටයුතු කරන්නට පහසුවකි. ඊට වග කියන්නේ ඔබම බැවින් යම් සැහැල්ලුවකින් වැඩ කරන්නට ද ඔබට පුළුවන.

මේ සියල්ලටත් වඩා වැදගත් තව දෙයක් ඇත්නම් ඒ අපේ වැඩ රාජකාරිවල ප්‍රමුඛත්වය හඳුනා ගැනීමය. එය ද වැඩ කල් දැමීමේ පුරුද්දෙන් ඔබ ගලවා ගන්නට සමත්ය. වැඩ කල්දැමීමේ වාසි හා අවාසි දෙකම තිබෙන නමුත්, ඒ දඩමීමා කරගෙන වැඩ කල්දැමීම කොයි ලෙසකින්වත් නොකළ යුත්තකි. වැඩක් කල් දමන්නටම අවශ්‍ය නම් එය ද සැලසුමක් ඇතිව කරන්නේ නම් පසුතැවෙන්නට සිදු නොවනු ඇත.

Comments