දේව භක්තිය සිනමා භක්තියක් කළ කදිර දිව්‍යරාජ | සිළුමිණ

දේව භක්තිය සිනමා භක්තියක් කළ කදිර දිව්‍යරාජ

දුකේදී පිහිටවෙමින් බලාපොරොත්තු ඉටුකර දෙන දිව්‍යමය බලය ඇති කතරගම පූජා භූමියට අවසානයේ සිනමාකරුවකු ද ඇතුළු වී තිබේ. ‘කදිර දිව්‍යරාජ’ චිත්‍රපටය කතරගම දෙවිඳුන් වෙනුවෙන් සිදු කරන්නාවූ දිව්‍යමය පූජාවක් ලෙස ඇතැම්හු අදහති. එසේ අදහන බහුතරය නොකඩවා කතරගම වන්දනාවේ යනෙන බැතිමත්හු විය හැක. 

දේව භක්තිය සහ සිනමාස්වාදය යනු දෙකකි. එයින් සිනමා විචාරාවබෝධය තැබිය යුතු අන්තය සිනමාව මිස දේවත්වය නොවේ. මෙම චිත්‍රපටය දෙවියන් සහ භාවාතිෂ්‍ය බැතිමතුන් ඉදිරියෙහි කෙතරම් පූජනීය පූජා වස්තුවක් වුව ද සිනමා ප්‍රේක්ෂණය ඉදිරියෙහි අනෙකකි. එය රසික කෝපයටත්, ඒ හේතුවෙන් දේව සාපයටත් හසු වන්නට ඉඩ තිබෙන නොදැනුවත් මිථ්‍යාචාරයකි. කතරගම වන්දනාවෙහි යෙදෙන අතරතුර සිනමාහලකට ගොඩවැදුණු භාවාත්මක බැතිමතුන් එකී මතයට එකඟ නොවීමට ඉඩ තිබේ.

‘කදිර දිව්‍යරාජ’ චිත්‍රපටය තුළ සිනමාව සෙවීමට සිතීම වුව ද අවසානයේ දෙවියන්ගේ සහ දෙවියන් වෙනුවෙන් පේ වී කටයුතු කරන මෙම සිනමාකරුවාගේ ද උදහසට ලක්වන්නක් වනු ඇත. මන්ද යත් මේ මොහොතේ ස්කන්ධ දෙවියන් අදහන ජනතාවත්, චිත්‍රපට බැතිමතුනුත් ඒකමතිකව අදහන බලගතු සිනමාකරුවා වී සිටිනුයේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න වන නිසාය.

‘කදිර දිව්‍යරාජ‘ යනු අතිසාර්ථක චිත්‍රපට වෙළෙඳ කටයුත්තකැයි දෙවියන්ට නොපෙනීම සුනිලුන්ගේ වාසනාවකි. ‘කදිර දිව්‍යරාජ’ වෙළෙඳ කටයුත්තකැයි අප සිතන්නේ කතරගම පුදබිමට නොමිලේ ඇතුළුවන බැතිමතුන් සිනමා ශාලාවට ඇතුළු වීම වෙනුවෙන් යම් මුදලක් ගෙවිය යුතු නිසාය. මෙතෙක් කල් හදවතින් දුටු කදිර දිව්‍යරාජයා හැබැහින් දකින්නට පොඩි මුදලක් ගෙවීමට බැතිමතුන් සැදී පැහැදී සිටී නම් අප එය ප්‍රශ්න කළ යුතු නැත. හදවතින් දැකීම සඳහා ශ්‍රද්ධාවත්, ශික්ෂණයත්, පෙර සූදානම් සහිත ආයාසයත් තිබිය යුතුය. හැබැහින් දැකීමට අවශ්‍ය වන්නේ සිනමාශාලාවකට ඇතූළු විය හැකි ටිකට් පතකි. මෙම චිත්‍රපටයෙහි අප දකින යහපත් ලක්ෂණය සිනමා ප්‍රේක්ෂකයා හෝ උසස් රසවින්දනයක් ඉල්ලා සිටින බුද්ධිමත් රසිකයා ගැන නොව අති බහුතරයක් වන සංවේදී පොදු ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා සිනමාව යොදා ගැනීමයි.

කතරගම යනු කවර ජාතියක වුවද, කවර ආගමක වුවද සමස්ත ජනතාව ඒකමතිකව පිළිගන්නා භූමියකි. සෑම ප්‍රදේශයකම විවිධ ජීවන රටවල වැසියෝ එකමුතුව යන තැනකි. සමස්ත ලාංකික ජනතාවට අතිසමීප පුද බිමකි. කිසිදු භේදයකින් තොරව උස් මිටි, ඇති නැති, හැකි නොහැකි, උගත් නූගත්, ගැහැනු පිරිමි කවුරුත් එක පෙළකට වී යන සහජීවනයේ ශුද්ධ භූමියකි. සෑම දේශපාලන පක්ෂයකම සාමාජිකයෝ ඒකමතිකව අදහන පොදු සිතිවිල්ලකි. අවස්ථානුකූලව සිය පරිකල්පනය මෙහෙයවන සිනමාකරුවා මේ බව මැනවින් දනී.

මෙසේ එකම ශ්‍රද්ධා සිතකින් කතරගම බලා නොනැවතී යන සමස්ත බැතිමත් ජනතාව අතරමඟදී සිනමා ශාලා වෙත හරවා ගැනීම සැබවින්ම වික්‍රමයකි. එය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි දැවැන්ත සිවිල් බලයක් හිමි බලවන්ත ක්‍රියාකාරිකයකුට පමණක් කළ හැකි විස්මකර්ම වැඩකි. කතරගම යන බැතිමතුන් අතරමඟදී සිනමා ප්‍රේක්ෂකයින් බවට පත් කිරීම යනු මහානුභාව සම්පන්න දෙවි කෙනෙකුටවත් කළ නොහැකි තරම් විස්මිත මැවීමකි. ඉන්දියාවේ සිට මෙහි ආ කතරගම දෙවියන් අදහන ලාංකික බැතිමතුන් මෙම සම්මානිත මහාචාර්යවරයා ගැන විශ්වාසය තබා සිනමාහල් කරා ශ්‍රද්ධාවෙන් එක්රොක්වීම යනු වළ ඉහගෙන කෑමක් ලෙසටම පටු ලෙස නොගත යුතුය. සුපිරි වෙළෙඳසැල් බවට පත් වන්නට නියමිතව ඇති ඉතිරි සිනමා ශාලා ස්වල්පය තව ටික කලක් සිනමාව වෙනුවෙන්ම නිරුපද්‍රිතව තබා ගැනීමට හැකි ඉඩක් ‘කදිර දිව්‍යරාජ’ බල මහිමෙන් උදා වනු ඇත. එදෙස සුබවාදීව බැලිය යුතුය.

‘කදිර දිව්‍යරාජ’ චිත්‍රපටය තුළින් සුනිලුන් පුරාණෝක්ති සිනමාවට වැඩි ඇල්මක් පෙන්වන බව නැවත වරක් පෙන්වයි. පුරාණෝක්ති සිනමාව හෙවත් මිතලොජිකල් සිනමා ප්‍රභේදය තූළ පොදුවේ පිළිගත් සාවද්‍ය අද්භූත කතා සහ ආශ්චර්යවත් චරිත රිසි සේ දෘෂ්‍යමාන රූපයට නඟනු හැකිය. මෙහිදී හිතේ තිබුණූ රූප දෑසට දෙනු ලැබේ. තාර්කිකව විශ්වාස කළ නොහැකි ජනප්‍රවාද සිනමා රූපයට ප්‍රස්තුත කර ගැනීමේදී එහි ප්‍රභවය, කවදා කෙසේ, කොතැන, කවුරුන් නිසා සිදුවිණිදැයි සිතීමක් අපේක්ෂා නොකෙරේ. සිනමාකරුවාට සිය පරිකල්පනයට හා ප්‍රබන්ධයට අසීමිත නිදහසක් ලැබෙනුයේ ඒ නිසාය. සිනමාකරුවා මිථ්‍යාවට යෝජනා කරන රූප අප විශ්වාස කළ යුතුය.

නමුත් එම ප්‍රකාශන නිදහස වගකිව යුතු ලෙස හා සිනමා බස පිළිබඳ දැනුම්වත් ලෙස භාවිතයට ගත යුතු වෙයි.

හදවතින් දුටු කඳසුරිඳු දෑසින්ම දැක ගන්නට ඉඩසැලැස්වීම මෙහි උතුම් අරමුණ බව මෙම සිනමා කෘතියට යොදන පූර්ව ප්‍රචාරක සිරස්තලයකින් කියැවේ. මේ සතියේ ජයමල්ල මෙපමණකැයි පොදු ජනයාට හඬගා කියන ලොතරැයිකාරයකු සේ චිත්‍රපටිකාරයා ද පේමන්ට් එකට ඇද දැමීම මෙම සම්මානිත විද්වතාගේ වරදක් නොවේ. ඔහු සිය කාරිය ඉටු කරයි. මෙතෙක් නිශ්චල රූප සටහක්ව තිබුණු කතරගම දෙවියන්ගේ රූපය චලන රූපාවලියකට ගැනීමේ විස්මකර්මය ඔහු මනාව කර ඇත. දේවාල බිමේ සිට සිනමා රසිකාගාරය වෙත ගොස් විමසන විට අපට පෙනෙනුයේ අනෙකකි. සුනිලුන් සිය නැණ පමණින් මවන තම දෙවියන් සහ කතරගම පුදබිමේ අප සැදැහැ සිතින් දුටු දෙවියන් යනු එකිනෙකට පටහැණි රූප දෙකකි.

අපගේ හිතේ තිබුණු රූපය ඇස පිනවන රූපයක් බවට පෙරළන්නේ ඇයි? සිතින් මවා ගැනීම සහ දෑසින් නැරඹීම යනු එකිනෙකට වෙනස් භාවිත දෙකකි. අප එකිනෙකා තම නැණ පමණින් හා රිසි තරමින් නිරායාසව හදවතින් දකිමින් සිටි ස්කන්ධ දෙවියන් මින් පසු සුනිල් ආරියරත්න සිය නැණ පමණින් මවාගත් රූපය බවට පරිවර්තනය වනු ඇත. සිනමාහලකදී අප දෑසින් දුටු ස්කන්ධ දෙවියන් මෙතෙක් හිතින් මවා ගත් දෙවියන් පලවා හරිනු ලැබ ඇත. කතරගම දෙවියන් සිහිකරන සෑම විටකම මින්මතු අපේ සිතෙහි ඇඳෙනුයේ සමර් විර්මානී නම් ඉන්දීය නළුවාය. මෙය එක්තරා ආකාරයක සිත් මරා දැමීමකි. කෙනෙකුගේ සුපුරුදු සිතිවිලි වෙනස් කොට බ්‍රේන්වොෂ් කිරීමකි.

සිංහල බස නොදැන සිංහල වචන උච්ඡාරණය මැනවින් නිරූපණය වන සේ මෙම භාරත නළුවා මෙකී කල්පිත ප්‍රබන්ධය තුළ තාත්වික ලෙස රඟපායි. සොනාක්ෂි රාවන් සහ නදීපා රණසිංහද මෙම අද්භූත මැවීම තුළ යථාර්ථවාදී ලෙස රඟපානු පෙනෙයි. මිනිසුන් දෙවියන් වෙත ආවේශවීමේ නිරූපණය හා ඔවුන්ගේ වේශ නිරූපණ විලාසය මෙම පොදු ජන වින්දන සිනමා ස්වභාවය තුළ ප්‍රමාණවත්ය.

‘කදිර දිව්‍යරාජ’ යනු චිත්‍රපටයක් නම්, එම චිත්‍රපටය පෙන්වීමට දෙවියන්ගෙන් අවසර ඉල්ලන්නේ ඇයි? සිනමා කෘති විශාල සංඛ්‍යාවක් තනා ඇති සම්මානිත මහාචාර්යවරයකුගේ මෙම භ්‍රාන්ත උභතෝකෝටිකය අප වටවා ගත යුත්තේ කෙසේ ද?

අනුපමා, සරුංගලේ, පොඩිමල්ලී, සිරිබෝ අයියා වැනි සිය ආරම්භක තෙවසරෙහි ඔහු පෙන්වූයේ කිසියම් සුභාවිත හැසිරීමකි. යථාර්ථවාදී විලාසයකි. එතැන් සිට ‘පත්තිනි’ හා ‘කදිර දිව්‍යරාජ’ වැනි අද්භූත පටු මාර්ගයකට පසුබැස්මේ හේතු අප විමසිය යුතුය. එම පශ්චාත් පරීක්ෂණය සැබැවින්ම මෙම විද්වතා නොදැන යන කතරගම අතරමගදී යම් දේව කෝපයකට, හෝ රසික උදහසකට ලක්විය හැකි බව කල් තියා ඔහුටම හෘදයාංගමව ඉඟි කිරිමකි.

මෙම සිනමාකරුවාගේ විපලායන හෙවත් තථ්‍යයෙන් පලා යෑමේ නැඹූරුව (එස්කැපිසම්) වටහා ගැනීම සඳහා මාර්ටින් වික්‍රමසිංහ ‘සිළුමිණ’ පුවත්පතට (1948.08.29) ‘කතරගම වන්දනාකාරයෝ’ යන සිරස්තලයෙන් යුතුව ලියූ ලිපියක යෙදූ වචන දෙකක් යළි උපුටමි. එනම් ‘විජ්ජාව’ සහ ‘ගැලවිජ්ජාවයි’. 

‘විජ්ජාව’ යනු ඇස්බැන්දුම හෙවත් මායාවයි. සිනමා රූපයේ ඉන්ද්‍රජාල බලගතුකමට ද උචිත පරිදි අපගේ මෙම විග්‍රහයට ද එම වචනය ඈඳා ගත හැකිය. ‘ගැලවිජ්ජාව‘ යනු යමකු යම් වරදකින් ගැලවීම සඳහා දරන උපක්‍රමයයි. සුනිල් ආරියරත්නගේ මුල්කාලීන සිනමාව සිනමා රූපයේ මායාවී බලගතුකම දැන ගිය කතරගමකි. පසුකාලීනව පල්ලි, පන්සල්, දේවාල කරා යන බැතිමතුන් අතරමඟදී සිනමා ශාලා වෙත පොළඹවාලන චිත්‍රපට විලාසය ඔහුගේ ‘ගැලවිජ්ජාවට’ නිදර්ශන වෙයි.

බෞද්ධයන්ගේ දේව භක්තිය රණබිමට බසින ආත්මවාදියාගේ භක්තියට සමාන කරන මාර්ටින් වික්‍රමසිංහ මෙසේ කියයි.

‘රණ බිමට බසින ආත්මවාදියා දෙවියන් යැද සතුරන් නැසීමට උන් වහන්සේගේ පිහිට අයදින නමුත් තමාගේ වෙඩි බෙහෙත් තෙත් බසින්නට නොදී ආරක්ෂා කර ගැනීමටත්, තුවක්කුව රැක ගැනීමටත් කිසිවිට අමතක නොකරයි. මෙලොව උවදුරුවලින් ජයගැනීමට කතරගම දෙවියන්ට පඬුරු පුදන බෞද්ධයා ද අර ආත්මවාදී රණශූරයා මෙන් කතරගම දෙවියන්ගේ පිහිටම බලාපොරොත්තු නොවෙයි. රණබිමට බැස දෙවියන් පුදා යැද වෙඩි බේත් ටික පරිස්සම් කරගන්නා ආත්මවාදියා මෙන් බොහෝ බෞද්ධයෝ හැම විජ්ජාවකටම වඩා ගැලවිජ්ජාව හොඳය යන ප්‍රස්ථා පිරුළ සිහි කරති. එහෙත් ඔවුන් කතරගම දෙවියන්ගේ බලයත් අනුහසත් ගැන කෙන්ද කන්ද කරන්නාක් මෙන් අතිශයෝක්ති කියන්නේ එයින් මහත් සන්තෝෂයක් ලබන නිසා මිස දෙවියන් නිසා උපන් දැඩි භක්තියකින් නොවේ.’ (‘කළුනික සෙවීම’, 150 පිට)

‘මයුරපාද’ යන නමින් වික්‍රමසිංහ ‘සිළුමිණ’ පුවත්පතට 1948 දී ලියූ ලිපියට යොදා ඇති ‘කතරගම වන්දනාකාරයෝ’ යන ශීර්ෂ පාඨයත්, ඊට යටින් අමතරව ලියා ඇති ‘භක්තිය නිසා නොව නොසැලකිල්ල නිසා වන්දි ගෙවීම’ යන උප සිරස්තලය ද සුනිල් ආරියරත්නගේ දෙවියන් යදින සිනමාව දෙස උපේක්ෂාවෙන් බැලීමට අනුබල වන අවලෝකනයන්ය. කදිර දිව්‍යරාජ’ හැබැහින් දැකීමට ඉඩ සලසන මෙම විස්මකර්ම සිනමාකරුවා වික්‍රමසිංහ කී ආත්මවාදී රණශූරයකු වැනිය. ඔහු දෙවියන් යැද සිනමා බැතිමතුන්ගේ සිත් මරා දමයි. ඔහු සිනමා විජ්ජාව භාවිතා කරනුයේ තම ගැලවිජ්ජාව උදෙසාය. කතරගම දෙවියන් පිළිබඳ ජනප්‍රවාද රාශියක් ඇසුරු කොට මුල මැද අග කතාවක් තමා විසින් ගොතන ලද බව සිනමාකරුවා පවසා තිබේ. එනම් ප්‍රබන්ධයකින් ප්‍රතිප්‍රබන්ධ කර ඇති බවයි. මිථ්‍යාවෙහිම දිගුවක් වන මෙම ප්‍රතිමිථයා චිත්‍රපටය භක්ත්‍යාදරයෙන් අදහනුයේ සිනමා ප්‍රේක්ෂකයින් නොවන බහුතරයයි. ඔවුහු තම දෙවියන් හදවතින් නොව දෑසින් දකින්නට කැමැත්තෙන් සිටින බව අවස්ථානුකූල සිනමා ව්‍යාපෘතිධාරීන් කල්තියා හඳූනා ගනී.

මිත්‍යාවට එම කල්පිතයෙහිම තිබෙන්නට ඉඩ නොතබා සත්‍ය රූපයට නඟමින් බැතිමත් අනුගාමිකයින්ගේ සිතට ඇතුළු කිරීම ගැන දෙවියන් කෝප නොවේ නම් තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ මෙවන් ස්ත්‍රී සේවනයන් ගැන චිත්‍රපටි මාලාවක්ම නුදුරු දිනක බිහිවනු වැළැක්විය නොහැක.



ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Comments