ඔබේ සාහිත්‍ය ජීවිතයේ ඇරඹුම සිදු වුයේ කෙසේද?
මගේ අම්මා තමයි මට රසවින්දනය ගැන මුල්ම හැඟීම ඇති කළේ. ඇය කියූ කතාන්දරවලින් කුඩා වියේ සිට සාහිත්‍ය කතා ගැන හැඟීමක් මට ලබා දුන්නා. එයින් ලද ආස්වාදය අදත් මට දැනෙනවා. එලෙස කතාන්දරවලට මා තුළ ඇල්මක් ඇති වුණා. පාසැල් යෑමටත් පෙර ජී.බී. සේනානායකගේ ‘නිල මැස්සා’ ළමා කතා පොත කියවූ මම එයින් මහත් ආස්වාදයක් ලැබුවා. කුඩා දවස්වල මා නිදිකරවන්නට මේ කතන්දර කියූ අම්මා මා නින්දට ගිය විට නවකථා හා ශාස්ත්‍රීය පොත පත කියවූ බව මා පසුව දැනගත්තා. මේ විදිහට ගෙදර ඇසුරේදීම පොත් පත් සමඟ ගැවසීම නිසා සාහිත්‍ය පොතපත පිළිබඳ මහත් ආසාවක් මට ඇති වුණා. ගම්පෙරළිය, විරාගය, අම්මා, දුප්පතුන් නැති ලෝකය වැනි පොත් ද රසවාහිනි, නවයුගය වැනි සඟරා ද අපේ අම්මා කියවූ පොත් අතර තිබුණු බව මට මතකයි. මා ‘විරාගය’ කියවූයේ ඉතා අඩු වයසකදී වුණත් ඉන්පසුව අමුතු ලොවකට පිවිසුණා වගේ හැඟීමක් මට දැනුණා. ජී.බී. සේනානායකගේ පොත්වලට මහත් ඇල්මක් දැක්වූ මගේ ජීවිතයට ඔහුගේ ආභාසය දැඩි ලෙසින් බලපෑවා. ඔහුගේ කතාවලට මම වශී වුණා කීම නිවැරැදියි. කතාවක් ලියන්න මට මුලින්ම අදහසක් ඇති වුණේත් ඔහු නිසායි. පසුව ‘බිම්ගෙයි සිරකරුවා’ පොත කියවූ මම රුසියානු සාහිත්‍යයට දැඩි ඇල්මක් දක්වන්න පටන් ගත්තා. ඒ අතරම බල්සැක්, ඇල්බර්ටෝ මොරේවියා, ඕ. හෙන්රි, අර්නස්ට් හෙමිං වේ වැනි ලේඛකයන්ද මට මහත් සේ බලපෑමක් ඇති කළා.
රුසියානු සාහිත්‍යයත් මා මහත් ආසාවෙන් කියවූ කතා සාහිත්‍යයක්. ඊට කලකට පසුව අප්‍රිකානු, ලතින් අමෙරිකානු, තුර්කි, ඉන්දියානු කතාකරුවන් ද මා තුළ ආස්වාදයක් මෙන්ම විමතියක් ද ඇති කළා. මේ උත්තේජනය නිසා ඇතිවූ උනන්දුවෙන්ම මමත් කෙටිකතා ලිවීම ආරම්භ කළා. එහෙම ලියපු ඒ කතා මමම නැවත නැවත කියවමින් රස වින්දා මිසක ඒවා ප්‍රසිද්ධ කිරීමට කිසිදු අදහසක් මට තිබුණේ නැහැ. පසු කාලයක මගේ සමීපතමයන් කීප දෙනකුගේ බලපෑම් නිසා පුවත්පත්, සඟරා ආදියේ මේ කතා පළ කරන්න මම යොමු වුණා. ඊටත් බොහෝ කාලයකට පසු කෙටිකතා සංග්‍රහයක් මුද්‍රණය කළ යුතු යැයි මා තුළ අදහසක් ඇති කළේ ප්‍රවීණ නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන්ගේ දැඩි බලපෑමයි. ඒ විදිහට ‘කළු සෝමා’ නමැති කෙටිකතා සංග්‍රහය 2016 අවුරුද්දේ එළි දක්වන්න කටයුතු කළා. එය කියවු පිරිස් දිගටම ලේඛනයේ යෙදෙන ලෙස ඉල්ලා සිටි නිසා මා තුළ කෙටිකතා ලිවීම පිළිබඳ අලුත් උනන්දුවක් ඇති වුණා. ඒත් මම ටිකක් කම්මැළි කෙනෙක්. ඒ නිසා වැඩ කටයුතු සිදු වූයේ සෙමින්. කොහොම වුණත් 2021 වසරේ ‘නුගිනුරා’ නමැති මගේ ප්‍රථම නවකතාව එළි දක්වන්න මට පුළුවන් වුණා. එම වසරේදීම මට කෙටිකතා සඳහා සම්මාන දෙකක් ලැබීමත් විශේෂත්වයක්.
‘නුගිනුරා’ නම් අලුත්ම නවකතාව ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?
‘නුගිනුරා’ නවකතාවේ විශේෂත්වය වන්නේ ප්‍රධාන චරිතය ලෙස කිසිදු චරිතයක් ඉස්මතු නොවීමයි. මෙහි එන කතා රටාවත්, චරිතත් අනෙකුත් ගුණාංගත් දක්වා තිබෙන්නේ ඉතා රළු විදිහකටයි. ඒ අනුව කිසි විටෙකත් පාඨකයා හා සුහදව ගනුදෙනු කිරීමක් මෙහි දකින්න ලැබෙන්නේ නැහැ. මගේ වුවමනාව වුණෙත් එය රළු වියමනක් ලෙස ඉදිරිපත් කිරීමයි. ඒ තත්ත්වය මේ කෘතියේ ආකෘතියට ගැළපේ යයි මම හිතනවා. නවකතාව කියවු බොහෝ දෙනකු මේ පිළිබඳ මා සමඟ කතා කළ අවස්ථා තිබුණා. සමහරකු මෙය ඉතා අගය කළත් ඇතමකුට මෙය තේරුම් ගැනීම අපහසු වුණ බව මට වැටහුණා. මෙම රළු ගතිය නිසාදෝ බොහෝ පාඨකයන් මෙහි එන වයෝවෘද්ධ පෙම්වතුන්ට බැණ වැදුණා. මේ කතාවට පසුබිම් වන්නේ ඉංග්‍රිසීන් මෙරට පාලන බලය ස්ථාපිත කිරීමෙන් පසු, සමාජයේ සිදු වන විපර්යාස ඔස්සේ බිහි වන, සමාජ ස්තරයන් තුළ ඇති වන අසහනකාරී සමාජීය ක්‍රියාවලියක් බව කියන්න ඕන.
ඒ අනුව එතෙක් පැවති සරල ජීවන රටාව වෙනස්ව ධනපති හා ඊට පහළින් මධ්‍යම පන්තියක් බිහි වීම, ඒ වගේම වේතන සහිත රැකියා, වෙළෙඳාම, බැංකු ව්‍යාපාර, රථ වාහන, නගර ආදිය ඇති වීම වැනි එක්වර දරාගත නොහැකි සමාජ, ආර්ථික වෙනස් වීම් හේතු කොට ගෙන සිදු වන අතරමං වීම ගැන මෙහිදී සාකච්ඡා කෙරෙනවා. සැවොම අතෘප්තිමත් ජීවිත ගත කරති. තමන් කුමකින් කෙලෙස අසරණ වී දැයි වටහා ගැනීමට නොහැකිව මහත් දුකක් විඳිති. ධනය මෙන්ම ප්‍රේමය නිසා ද සදාචාරය හා දුරාචාරය නිසා ද එක සේ දුක් විඳ බිහි වූ ප්‍රභූ සමාජය මෙන්ම සමස්ත ජනතාව ද මෙම දේශපාලනික හා සමාජීය විපර්යාස තුළ එක සේ දුක් විඳිති. ප්‍රථම වතාවට අත්විඳි නව ධනේෂ්වර සමාජය විසින් ඇති කළ අවුල වටහා ගැනීමට නොහැකිව ඔවුහු අතරමං වී සිටිති. නුගිනුරා කියන්නේ මෙම කතාන්දරයයි.
වර්තමානයේ සාහිත්‍යකරණය ගැන ඔබේ දැකීම කෙසේද?
දැනට ලේඛනයේ යෙදෙන බොහෝ අය ඉතා දක්ෂ, පුළුල් දෘෂ්ටියක් හා දැනුමක් ඇති අය යැයි මා සිතනවා. නිර්භයව මෙතෙක් අත නොගැසු ක්ෂේත්‍ර ඔවුන්ගේ නිර්මාණ සඳහා යොදා ගනු දක්නට ලැබීම සතුටක්. ඒ අතරම අද ඉතා දක්ෂ පරිවර්තකයන් පිරිසක් බිහි වෙලා තියෙන බවක් ද පෙනෙනවා. ඒ නිසා ලෝකයේ ඉතා උසස් සාහිත්‍ය කෘති කියැවීමේ අවස්ථාව වගේම. ලෝක ප්‍රසිද්ධ ලේඛනයන්ගේ ආභාසය දැනුම, දෘෂ්ටිමය ප්‍රවණතා හරහා තම ලිවීම වැඩි දියුණු කර ගැනීමේ අවස්ථා ද අපට ලැබී තියෙනවා.
මා හිතන විදිහට මනා සේ ඔප මට්ටම් වූ ලේඛකයන් පිරිසක් බිහි වී සිටීම ඉතා වැදගත්. එලෙසම විශ්ව සාහිත්‍යයයේ කරට කර සිටින මට්ටමේ සාහිත්‍ය කෘති බිහි වී ඇතැයි ද මා සිතනවා. මේ නිසාම පාඨක පිරිස් ද යම් යම් ස්තරවලට බෙදී වෙන්ව ඇති බවක් ද පෙනෙනවා. ඒ අනුව එක පිරිසක් ඉතා උසස් රස වින්දනයක් හා අවබෝධයක් ඇති අය වන අතර, අනෙක් පිරිස ඊට පහළ මට්ටමක පසු වන බවක් දකින්න පුළුවන්. මේ ස්ථර දෙක මැද ඇති ස්ථරය ප්‍රමාණයෙන් ඉතා සුළුයි. කොහොම වුණත් මෙම මැද ස්ථරය වැදගත් වන්නේ සාමාන්‍යයෙන් ක්‍රමයෙන් මොවුන් ඉහළ ස්ථරයට ඇතුළු වන්නන් වන නිසායි. විශේෂයෙන් සිදු විය යුත්තේ මෙම මැද පිරිස ප්‍රමාණයෙන් විශාල වීම වුණත් අප දැන් විඳින තාක්ෂණික පහසුකම් නිසාදෝ ඔවුන් රස වින්දනය, විඳීම, තේරුම් ගැනීම ඉතා සරලව සිදු කරන බවක් පෙනෙනවා.
එනිසාදෝ, “උසස් කෘතියක් පරිශීලනයෙන් පසුව, එය පරිශීලනය කිරීමට පෙර සිටි මිනිසා නොව එය පරිශීලනය කිරීමෙන් පසු සිටිනුයේ” යන කියමන සනාථ නොවන අයුරක් දිස් වෙනවා. සාහිත්‍යය කුමක්ද? කුමකටද? යන්න තේරුම් ගැනීමේ වැදගත්කම තරුණ පිරිස අතර එතරම් ඇගයීමකට ලක්ව නැතැයි ද සිතෙනවා.
ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු සිදු වන්නේ කොහොමද?
මේ දිනවල මා නවකතාවක් හා කෙටිකතා සංග්‍රහයක් ලිවීමේ කටයුතු සඳහා මුල පුරමින් සිටිනවා. කෙටිකතා සංග්‍රහයේ එන සියලුම කතා එකිනෙකට සම්බන්ධ බව විශේෂත්වයක්. එහි තේමාව වන්නේ කර්කෂ දේශපාලන රටාව තුළ නීතිය පත්ව ඇති අසරණ තත්ත්වයයි. නවකතාවට පාදක වන්නේ ද අශීලාචාර දේශපාලන රටාව නිසා මිනිසා විඳින වේදනාවයි. එවැනි පසුබිමක තමයි මගේ අලුත්ම සාහිත්‍ය කටයුතු සිදු වෙමින් පවතින්නේ.