ඔවුහු සුපුරුදු ලෙස ඒ ගං ඉවුරේ වන බූටෑව මැද පිහිටි මනරම් ගල්තලවේදී යළිත් හමුවූහ. සත් වසරක් පුරාවට ඔවුන් මේ ස්ථානයෙහි සම්මුඛව එකිනෙකාට තුරුලු වෙමින් පෙම්බස් දොඩා තිබිණි. ගඟ හා වන බූටෑව ද, ගල්තලාව ද ඔවුන්ගේ සියලු රහස් දන්නවා විය යුතුය. අද පෙම් යුවළ සේම පරිසරය ද අමුතු විලාසයක් ගෙන තිබිණි. දෙදෙනාම තීරණාත්මක අවස්ථාව ගැන සිතන්නට වූහ. ඔවුහු ගල්තලාව මත එකිනෙකාට තරමක් දුරින් වාඩි ගත්හ. පෙම්වතියගේ මුහුණෙහි රැඳුණේ දැඩි කනස්සල්ලකි.
"මොනවද ඔයාට කියන්ඩ තියෙන්නෙ! ?"
"මං හිතුවෙ නෑ මේක මේ විදිහට ඉවර වෙයි කියල!"
"වටේ යන්නෙ නැතුව කෙළින් කියන්ඩ!"
"ඇත්තම කීවොත් අපි දෙන්න කිසිසේත්ම ගැළපෙන්නෙ නැහැ! "
"ඒත් තේරුම් ගන්ඩ මෙච්චර කල් ගත්තෙ ඇයි?"
තරුණයා ළඟ කිසිදු පිළිතුරක් තිබුණේ නැත. ඔහු හ්ම්... ඈ.. ආදී ලෙසින් කෙඳිරි ගාන්නට වූ අතර දකුණු කකුලේ මහපටැඟිල්ලෙන් ගල්තලාව සූරන්නට විය. තරුණිය නැවත නැවත එම ප්‍රශ්නයම විමසා සිටියේ සිය පෙම්වතා පීඩාවට පත් කරමින්ය. එහෙත් ඔහු කෝපයට පත් වූයේ නැත. මේ අවසන් මොහොතේ යහපත් ලෙස වෙන් වී යා යුතු යැයි ඔහු සිතන්නට ඇත.
"අපි හිටපු විදිහ තමුන්ට අමතක ද?"
තරුණියගේ එම කතාවෙන් තරුණයා නොසන්සුන් විය. ඔහුගේ හිතට තදින්ම වැදුණු වචනය තමුන් යන්න ය. තරුණයා ඊට කැමැති නැත. ස්ත්‍රීන් පුරුෂයාට ගරු කළ යුතු බවට ද, පුරුෂයාට පළමු තැන ලබා දිය යුතු බවට ද, ඇය පුරුෂයා අබිමුව අනුකම්පාව අයැද සිටිය යුතු බවට ද මතයක් තරුණයා තුළ තිබිණි. තමුන් යන වචනයෙන් තරුණිය තමන්ට දමා ගැසූ බවක් ඔහුට හැඟිණි.
"මට පැහැදිලි අනාගතයක් නැති බව තමුසෙ දන්නවා!"
තමුසෙ යන වචනයත් සමඟ තරුණයා හොඳටම කෝපයට පත් විය. ඇය තමන්ට අපහාස කරන්නේ යැයි තරුණයාගේ හිත කියන්නට විය. කොටින්ම තරුණියගේ කම්මුලට පහරක් දිය යුතු යැයි ඔහුට සිතිණි. එහෙත් කිසිවකට ඉඩක් නැත. මෙය සාමකාමී ලෙස කෙළවර විය යුතුය.
"ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි. එහෙම වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා!"
තරුණයා එවර කට ඇරියේ ය. ඔහු ඉවසීමෙන් කතා කරන්නට ඉටා ගත්තේය. එය ව්‍යාජ රඟපෑමක් බව දුටු තරුණිය වඩාත් කෝපයට පත් විය.
"හොඳ කෙනකුට දෙන්ඩ දෙයක් මං ළඟ තියෙනවද?"
තරුණියගේ ඒ කතාවත් සමඟ සංකීර්ණ සිතිවිලි ජාලයක පැටලෙන්නට ඔහුට සිදුවිය. තරුණයා එම කතාව විශ්ලේෂණය කරන්නට පටන් ගත්තේය. මේ හැතිරිය වෙන මිනිසුන් ගැන හිතන්නට ඇතැ යි සැකයක් ඔහුගේ සිත තුළ මෝරන්නට විය. තමන්ට වඩා හොඳ පුරුෂයකු ඇතැ යි කීම ද ඔහුගේ ඔළුව නරක් කර තිබිණි. කොහොමටත් දැන් සියල්ල තීන්දු කර අවසන්ය. සැලැසුම් කළ පරිදිම කතාව ඉදිරියට ගලා යා යුතුය.
"ගෑනු හැමදාම රැවටෙනවා! ඒක ඓතිහාසික වැරැද්දක්!"
තරුණියගේ කතා දැන් විවිධ දිශානති කරා ගමන් කරයි. ඇයට කියන්නට බොහෝ දේ ඇති බව සැබෑවකි. ඔහු වෙනුවෙන් ඇය සිදුකර ඇති කැපවීම සුවිශාලය. සිය පෙම්වතා කෙරෙහි අචල විශ්වාසයක් ඇය තුළ තිබිණි. ඔහු විශ්වාසවන්ත අවංක පෙම්වතකු යැයි ඇගේ යටි සිත කියා තිබිණි. ඔහු වෙනස් වූයේ මීට දින දෙක තුනකට කලින්ය. ඇතැම් විට වඩාත් හොඳ යෝජනාවක් ඔහුට ලැබෙන්නට ඇත.
පෙම්වතියන් අතහැර දමන වංක පෙම්වතුන්ගේ වාක්‍ය රටා කිහිපයක් ඇයගේ මතකයට නැඟිණි. අම්මල කැමති නෑ!, එබඳු එක වාක්‍යයකි. නෑදෑ පරපුරම විරුද්ධයි! තව වාක්‍යයකි. නැකැත් ගැළපෙන්නෙ නෑ! තවත් වාක්‍යයකි. මේ සියල්ල පිරිමි පක්ෂයට චපල වීමට ලබා දී ඇති අවස්ථා හැටියට ඇයට පෙනිණි. කුමක් වුව ස්ත්‍රී මායම් ඉදිරියේ සියල්ල පරාජය වනු ඇතැ යි විශ්වාසයක් ද ඇය තුළ තිබිණි.
තරුණිය ඉතා සෝබරව බිම බලාගෙන නිහඬ වන්නට වූවාය. ඔහු දිගටම කතා කළ ද ඇයගේ කතාව නැවතී තිබිණි. ස්වල්ප මොහොතකින් ඇයගේ සුදු කම්මුල් දිගේ කඳුළු වැල් ගලා යන්නට විය. ඇයගේ දිගු නාසයේ රැඳුණු කඳුළු බිඳු කිහිපයක් ගල්තලාවට වැටී අතුරුදන් වන ආකාරය ඔහු දුටුවේය. තරුණයා තුළ පැවැති කෝපය වෙනුවට බලවත් ශෝකයක් උත්සන්න වෙමින් පැවැතිණි. ඔහු සෙමෙන් ඈ වෙත නැඹුරු විය.
"මං මෙහෙම තීරණයක් ගත්තෙ දෙන්නගෙම යහපතට!"
තරුණයා දිගටම කතා කරයි. තරුණිය වෙතින් ප්‍රතිචාරයක් නැත. තරුණියගේ කඳුළු ඔහුගේ සිත වෙනස් කර ඇති සෙයකි.
"හොඳයි ඔයාම කියන්න!. මං දැන් මොකද කරන්නෙ!?"
තරුණයා සිය පෙම්වතියගේ සිත සනසනු වස් විවිධ කතා කියන්නට පටන් ගත්තේය. ඔහු ඇයගේ අතකින් අල්ලාගෙන එය තමන්ගේ පපුව මත තබා ගත්තේය. එහෙත් තරුණියගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. ඇයගේ අතෙහි පැවැති මුදු මොළොක් බව ද, ශීතල ද ඔහුට දැනෙන්නට විය. එවර තරුණයාගේ දෑසින් ද කඳුළු වැටෙන්නට විය.
මුළු පරිසරයම සන්සුන්ය. කෝටුවක් බිඳෙන හඬ පවා ඔවුනට ඇසෙන්නට විය. ගංගාවේ දිය පහර පහළට ඇදෙන බොක බොක ශබ්දය ඇයට ඇසිණි. තරුණියගේ හදවතෙහි ලප් ඩප් හඬ ඔහුට ඇසිණි.
"මට මෙහෙම තනියම ඉන්ඩ දීල ඔයා යන්ඩ! මං තරහ නෑ!"
අවසන් ලෙස තරුණිය ඉතා පහත් හඬින් කියා සිටියාය. තරුණයා ඉවත්ව යනු වෙනුවට ඇගේ දෑතම තරයේ අල්ලා ගත්තේය. ඔහුට තවත් ඉවසා සිටිය නොහැකි විය. තරුණයා සිය පෙම්වතියගේ නළල් තලය සිප ගත්තේය. ඇය කරබාගෙන සිටියේය.
තවත් අඩ හෝරාවකට පසුව ඔවුහු දෑත් පටලවාගෙන ගල්තලාවෙන් නික්ම යන්නට පටන් ගත්හ. ඒ අලුත් පෙම් යුවළක් සේ ය.