ප්‍රතිනිර්මාණිත කෘති හානියක් ප්‍රබෝධයක් ද? | සිළුමිණ

ප්‍රතිනිර්මාණිත කෘති හානියක් ප්‍රබෝධයක් ද?

  • ලේඛකයාට වුවමනා පරිද්දෙන් විස්තාරණය කළ නොහැකි නිසා යම් සීමා වීම්වලට ලක් විය හැකියි ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක
  • ප්‍රතිනිර්මාණිත නවකතා සාර්ථක වීම හෝ අසාර්ථක වීම ලේඛකයාගේ ප්‍රතිභාව විසින් තීරණය කරනු ලබන්නක් ප්‍රවීණ නිර්මාණවේදී චූලාභය ශාන්ත කුමාර හේරත්
  • තේමාව හා අන්තර්ගතය කෙරෙහි අණපනත් පනවන්න අධිකාරි බලයක් තියෙන්නෙ කාටද? ශාන්ති දිසානායක
  • ඉතිහාසය පාදක කරගත් නවකතා රැල්ලක් දැන් නැඟෙමින් තිබෙනවා හැබැයි මේ රැලි තාවකාලිකයි චූලාභය ශාන්ත කුමාර හේරත්

සාහිත්‍යකරුවා සිය පන්තියේ ඇස්, කන් හා කට හඬ බඳු යැයි ද එනිසාම ඔහු එකී පන්තියේ ප්‍රකාශනයක් වන්නේ යැයි ද කියන්නේ රුසියානු මහ ගත්කරු මැක්සිම් ගෝර්කි ය. කලාවේ ප්‍රභවය පිළිබඳ විවිධ මත විවිධ වකවානුවල කතාබහට ලක්වෙන අතරේ විඥානවාදී මතවාදවලට එරෙහි භෞතිකවාදී තැනක පිහිටා කලාවේ ඓතිහාසික විකාශනයත් එහි නූතන ස්වභාවය හා කාර්යාභාරයත් පිළිබඳ තර්කානුකූල විග්‍රහයක් ගෙන එන ලද්දේ මාක්ස්වාදී ප්‍රවේශය විසිනි. මිනිසා බිහි වීමට මොහොතකට පෙර කලාව බිහි විය යන ජනප්‍රිය විඥානවාදී මතය අනුව බලන්නේ නම් කලාව මානවවාදී ක්‍රියාවලියක් නොවිය යුතුය. එසේ නම් එයට ආරෝපිත විවිධ මතවාද හා දර්ශන එහි පූර්වාරම්භයට බලපෑම් කරන්නට ඇත. වාසනා ගුණය, සසර පුරුද්ද ඈ විවිධ මතවාද එහි ආලේපිත වන්නේ මෙකී කරුණ නිසා ය.

මේ සියල්ල අතරේ කලාවේ විශේෂයෙන් නවකතා කලාවේ විවිධ ඉසව් පිළිබඳ සමාජ මතවාදය ගොඩනැඟෙන අයුරක් විද්‍යමාන වේ. යථාර්ථවාදී, මායා යථාර්ථවාදී, මානවවාදී, පශ්චාත් නූතනවාදී, සමාජවාදී ඈ විවිධ ප්‍රවේශ සේම ඉතිහාසයේ යම් විශේෂිත සිද්ධි සම්බන්ධයෙන් ද කලාවේ විවිධ පැතිරීම් මේ වන විට ජනප්‍රිය ය. එය ඓතිහාසික ප්‍රවේශයෙන් සේම ඉතිහාසයික සිද්ධි අනුසාරයෙන් ද ගොඩ නැඟෙනු පෙනේ. මේ නිර්මාණ ප්‍රවේශය පිළිබඳ නිර්මාණකරුවන් අතර මෙන්ම ඉතිහාසවේදීන් හා විචාරකයන් අතර ද ජනප්‍රිය මාතෘකාවක් ව කරලියේ කතා වෙනු අසන්නට ලැබේ. මෙකී නිර්මාණ ප්‍රවේශය පිළිබඳ සාධනීය ව සේම නිශේධනාර්ථයෙන් ද මතවාද පැන නැඟී ඇත.

සමහරු කියන්නේ අලුත් වස්තු බීජ හෝ සමාජ ආර්ථික දේශපාලනික සවිඥානිකත්වය නැති වීම නිසා ඉතිහාසය කැලඹූ යම් සිද්ධියක් ගැන නිර්මාණකරුවන් ස්වකීය නිර්මාණකරණයේදී උනන්දු වෙන බවෙකි. තවත් සමහරු කියන්නේ එකී ඉතිහාසයික කරුණු ඇසුරෙන් කෙරෙන නිර්මාණ විසින් නිර්මාණකරුවා යම් සීමාවකට, කාල පරාසයකට යටත් කරන බැවින් පරිකල්පනයේ යම් ගැටලු ඇති විය හැකි බවකි. තවත් මතවාදයක් වන්නේ එදා ගැන ලියූව ද ඒ කාලය අදට ගැළපෙන බැවින් ලියන බවකි.

බොහෝ සිද්ධි එකකි. සිදුවන කාල පරාසය වෙනස් වුව ද සිදුවන සිද්ධිය කවදත් එකකි. එබැවින් එදා වන සිදුවීමේ වර්තමාන ස්වරූපය හා එය විඳින අයුරෙන් පමණක් නිර්මාණකරණය වෙනස් වෙන බැව් සත්‍යයකි. කෙසේ වෙතත් මෙකී කාලවකවානුවේ බොහෝ ලේඛකයන් ඓතිහාසික සිද්ධි අනුසාරයෙන් ප්‍රතිනිර්මාණිත නිර්මාණ කෘති බිහි කරන බැව් පෙනේ. එනිසා මෙවර සිළුමිණ වාදය ප්‍රතිනිර්මාණිත කෘති හානියක් ද ප්‍රබෝධයක් ද යන්නට වෙන් වේ.

වාදයට සම්මුඛ වෙන්නේ ප්‍රවීණ නිර්මාණවේදී චූලාභය ශාන්ත කුමාර හේරත් සහ ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකයි.

ශාන්ති දිසානායක ලේඛිකාව ගොවි ජනපද ඇසුරේ වෘත්තීයම ය කාර්යබහුලත්වයෙන් නොව ගෘහස්ථ කාර්යබහුලත්වයෙන් යුතු නිර්මාණවේදිනියකි. ස්වකීය දරුවන්ගේ ලෝකයේ සුන්දරත්වයෙන් තම සරතැස නිවා ගන්නා ඇය දහසකුත් කාර්ය මැද්දේ තම සිතේ පිළිසිඳින නව කල්පනා ධාරාව අකුරු කරන්නී ය. ඒ වෙනුවෙන් පාඨක, විචාරක උභය පාර්ශ්වයේම ආදරයට පාත්‍ර වන්නී ය.

චූලාභය ශාන්ත කුමාර හේරත් නිර්මාණකරුවා ප්‍රථමයෙන් අපට හමු වෙන්නේ හඬ සන්නිවේදනයේ වෙසෙස් මෙහෙයක් කළ සන්නිවේදකයකු වශයෙනි. නිර්මාණකරණයේ ලා විවිධ ඉසව් ස්පර්ශ කරන ඔහු කිහිපවිටක් ම සම්මානිත වූ ලේඛකයෙකි. පාඨක ජනාදරය දිනූ නිර්මාණවේදියෙකි.

ඉතිහාස සිදුවීම් අලළා නිර්මාණය වෙන ප්‍රතිනිර්මාණිත නිර්මාණ ගැන ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත් නිර්මාණවේදියාගේ අදහස මෙපරිදි ය.

‘ආරම්භයේ සිට ම ඉතිහාසයේ සිදුවීම් අලළා ප්‍රතිනිර්මාණය වන නවකතා අපට දක්නට ලැබෙනවා. අප දන්නා සහ පිළිගත් ඓතිහාසික සිදුවීම් වඩාත් සවිස්තරව විවරණය කරමින් ලියැවෙන නවකතා මෙන්ම එම ඓතිහාසික සිදුවීම් සහ චරිතවලට නව අර්ථකථන දෙන නවකතාද මේ අතර වෙනවා. මේ නවකතා වලට පාඨකයන්ගේ ඇල්මක් තිබෙනවා.

මගේ පිළිගැනීම නම් ඉතිහාසය යනු අර්ධ ප්‍රබන්ධයක් බවයි. එය කිසියම් සත්‍යමය ඓතිහාසික පසුබිමක සිට ලියන්නා සහ ලියවන්නාගේ අවශ්‍යතා මත ලියැවුණු ප්‍රබන්ධයක් ලෙසයි මා දකින්නේ.

එය එසේ වුවත් කල්පිතයක් නොවන ඓතිහාසික කාල පරිච්ඡේදයක් පසුබිම් කර ගනිමින් නිර්මාණය වන ප්‍රබන්ධයකදී පාඨකයා එය කියවන්නේ තමන් දන්නා, කිසියම් ආකාරයක සමාජ සම්මතයක්ව පවතින ඉතිහාස කතාන්දරයක් සමඟ සිටයි. ඒ සම්මත ඉතිහාසයේ සිටි චරිත, සිදුවීම් සහ සමාජ වටපිටාව පිළිබඳ දළ අදහසක් ඔවුන් සිතේ තිබෙනවා. ඒ නිසා ඔවුන් ප්‍රබන්ධයේ සත්‍ය අසත්‍ය බව විමසීමට පෙලඹෙනවා. හේතු සාධක, සාක්ෂි සොයනවා. මේ නිසා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරමින් නවකතා රචනා කිරීම ලේඛකයකුට මහත් අභියෝගයක්. පිළිගත හැකි හේතු සාධක, සාක්ෂි, හෝ තාර්කික බවක් නොමැතිව ඓතිහාසික සිදුවීම්වලට, සමාජ සම්මතයන්ට සහ පිළිගත් චරිතවලට නව අර්ථකථන දෙන්න ලේඛකයකුට අයිතියක් නැහැ.

ඉතිහාසය ප්‍රබන්ධයකින් ප්‍රතිනිර්මාණය විය යුත්තේ එය වර්තමානය සමඟ කිසියම් ආකාරයක පූර්වාපර ගැළපීමක්, සම්බන්ධයක් ගොඩ නැඟිය හැකිනම් පමණයි යන්න මගේ පිළිගැනීමයි. වර්තමානයට ආලෝක ධාරාවක් එල්ල නොවනවා නම් ඒ ඉතිහාසය හාරා ඇවිස්සීමේ තේරුමක් නැහැ‘

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකගේ අදහස වන්නේ තවමත් අපේ ලේඛකයන්ට ප්‍රබන්ධ සඳහා පාදක කරගත හැකි මූලාශ්‍රය සමහරක් මග හැරී ඇති බවකි.

‘ එයත් සාහිත්‍යයේ එක් ශානරයක්. එවන් නිර්මාණ බිහි වීම හොඳයි. ඇත්තටම අපේ ඉතිහාසයේ සොයා පාදා ප්‍රතිනිර්මාණය කර ගන්නට සුදුසු වස්තු බීජ හා සිදුවීම් අපමණයි. විජය හා කුවේණිය පිළිබඳව වුණත් කෙතෙක් නිර්මාණ කළ හැකිද.? ඔවුන්ගේ දරුවන් වන ජීවහත්ත හා දිසාලාගේ ඇසින් එ් ඛේදවාචකය ප්‍රති නිර්මාණය කළ හැකියි. මම දකින්නෙ ඉතිහාසයේ වුණත් අප සොයා පාදා නොගත් ඉසව් හා කතා පුවත් අපමණයි. අනික අපි එවන් සිදුවීම් අලළා කරන නිර්මාණ එ්කාකාරියි වගේ. නවමු ඇසින් එ් දිහා බලන්න අපි උත්සුක වන්නේ නෑ. අපේ වංශ කතාව නැත්නම් අපේ රාජාවලියේ කෙතරම් සිදුවීම් තිබෙනවාද? උදෑසන කිරුළු පළන් රජකු එදින රැයෙහිම ඝාතනය කර සිහසුන පැහැර ගැනීමක් කියන්නේ ම බල ලෝබය පිළිබඳ සංකේතයක් වගේම කදිම කියැවීමක් නොවේද? මම දකින්නෙ ප්‍රබන්ධයට පාදක කරගත හැකි ඉතිහාස පුවත් පිළිබඳ අපේ අවධානය නිසියාකාරයෙන් සිදු වී නැති බවයි. ජනප්‍රිය රජුන් හා ජනප්‍රවාදයේ ඇතැම් සංසිද්ධි අතරේ අපේ ලේඛකයා අතරමං වී සිටින බවයි මට හැඟෙන්නේ. නමුත් එ් අතරේම ඇතැම් නිර්මාණ අපූරුයි‘

නවකතාව යථාර්ථවාදී විය යුතුම ද යන ගැටලුව පැන නඟින හැම මොහොතක ම ලේඛක විචාරක පාර්ශ්වවලට ඇත්තේ විවිධ මතවාද ය. චූලාභය ශාන්ත ලේඛකයා එය තරයේ ම ප්‍රතික්ෂේප කරමින් කියන්නේ නවකතාව කිසිසේත්ම යථාර්ථවාදී විය යුතු ම ය යන්නක් පිළිගත නොහැකි බවකි.

මේ පිළිබඳ දීර්ඝ පිළිතුරක් සම්පාදනය කරන ශාන්ති දිසානායක ලේඛිකාව පවසන්නේ එවැනි සීමා කුමටද කියා ය.

‘ කුමක් හෝ සීමා සාහිත්‍යයේ ජීව ගුණයට හානියක්. සාහිත්‍ය කියන්නෙත් වැඩෙන හා විපර්යාසයන්ට ලක් වන ප්‍රපංචයක්. පුළුල් අවකාශයක් නැති වීම ඇතුළත මොන යම් දෙයක් වුණත් හැකිළෙනවා. යථාර්ථවාදි ද, මායා යථාර්ථවාදී ද නැතහොත් පශ්චාත් නූතනවාදී ද යනුවෙන් වාද විවාද කරනවාට වඩා වැදගත් සාහිත්‍යයෙන් පාඨකයා නිර්මාණය කර ගැනීම. මොකද මේ වත්මන් කලබැගෑනිය ඇතුළෙ පාඨකයා තබා මිනිසා පවා සොයා ගැනීමට අසීරුයි. අපි හැකිළෙමින් සිටිනවා. අපි අපි තුළම දිය වෙමින් යනවා. සමාජ දේශපාලන හා ආර්ථික පිඩාව මධ්‍යයේ අසරණ වන මිනිසාට සාහිත්‍ය කලාව දුරස් වීමෙන් අහිමි වන්නේ ජීවිතයයි.. ජීවිතයේ වින්දනීය පක්ෂයයි. එය බරපතළ ඛේදාන්තයක්. කුමන රීතියක් යටතේ හෝ රචනා කරන කෘති මඟින් අපි මේ මිලින වන ජීවන කුසුම යළි විකසිත කළ යුතු බවයි මම විශ්වාස කරන්නේ. ජීවිතය වියවුල් වන වපසරියක වුව සාහිත්‍ය අත් නොහැර ඉන්නට තරම් එය පාඨකයා සමඟ බද්ධ විය යුතුව තිබෙනවා‘

වර්තමානය වන විට බොහෝ ලේඛකයන් ඉතිහාස සිද්ධි අලළා නවකතා ලිවීමට පෙලඹීම නිසා නවකතාවේ යම් අවගමනයක් සිදුවී ඇත් ද යන්නට චූලාභය ශාන්ත ලේඛකයා පවසන්නේ එය ලේඛකයාගේ නිර්මාණ පරිමාව අනුව තීරණය වන්නක් බවයි.

‘ඉතිහාසය වුණත් අලුත් ආකෘති ඔස්සේ නව නිර්මාණාත්මක ව ප්‍රතිනිර්මාණය කරන අපූර්ව නවකතා බිහි වෙනවා. ඒවා විශිෂ්ට නිර්මාණ. ඒවා නවකතාවේ ප්‍රගමනයට බලපානවා. ඉතිහාසය වර්තමානය සමඟ අපූරුවට ගළපන්න පුළුවන්. හැබැයි ඇතැම් ලේඛකයන් ඉතිහාස සිදුවීම්වලට පමණක් ම සීමාවී සිටීම ඔවුන්ගේ ප්‍රතිභාවේ යම් අවගමනයක් කෙරෙහි බලපා ඇතැයි මට හිතෙනවා. ඉතිහාසය පාදක කරගත් නවකතා රැල්ලක් දැන් නැඟෙමින් තිබෙනවා. ප්‍රවීණයන් මෙන්ම නවකයන්ද ඒ පසුපස යෑමේ ප්‍රවණතාවක් පෙනෙන්නට තිබෙනවා. හැබැයි මේ රැලි තාවකාලිකයි‘

ශාන්ති දිසානායක ලේඛිකාව පවසන්නේ වස්තු විෂයය තෝරා ගැනීමේ පූර්ණ අයිතිය නිර්මාණකරුවා සතු බවෙකි.

‘ එහෙම කියන්නේ කොහොමද? එය තවත් එක් ශානරයක් පමණයි. එහෙම කියනවා නම් එයට තුඩු දෙන හේතු කාරණා පිළිබඳව හැදෑරීමක් කළ යුතුයි. නවකතාව කියන්නේ අද වන විට ඉතාමත් පුළුල් අවකාශයක පැතිර යන්නක්. එයට සීමා හෝ නිර්ණායක පැනවීම පහසු නෑ. එවන් උත්සාහ නිසා තමා නවකතාවට හානියක් සිදු වන්නේ. වස්තු විෂය තෝරා ගැනීමේ පූර්ණ නිදහස ලේඛකයාට තිබිය යුතුයි. තේමාව හා අන්තර්ගතය කෙරෙහි අණ පනත් පනවන්න අධිකාරි බලයක් තියෙන්නෙ කාටද? කොහොමද?‘

සිද්ධියේ ඇති සීමාත්මක බව නිසා ප්‍රතිනිර්මාණිත නවකතා සාර්ථක වීමේ ප්‍රවණතාව අවම ද යන්නට ලේඛක චූලාභය ශාන්ත පවසන්නේ මෙවැනි අදහසකි.

‘ප්‍රතිනිර්මාණිත නවකතා සාර්ථක වීම හෝ අසාර්ථක වීම ලේඛකයාගේ ප්‍රතිභාව විසින් තීරණය කරනු ලබන්නක් කියලයි මා හිතන්නේ. නවකතාකරුවා තෝරා ගන්නා ඓතිහාසික මුලාශ්‍රය පිළිබඳ කරන හැදෑරීම් සහ පර්යේෂණ මෙහිදී වැදගත්. ඒවා ඇසුරෙන් සිද්ධියේ ඇති සීමාව අතික්‍රමණය කරමින් ප්‍රතිනිර්මාණය විශාල වපසරියක් පුරා විහිද වීම ලේඛකයාගේ ප්‍රතිභාව අනුව සිදු වන්නක්. මෑතක දී ලොව පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ ඩෑන් බ්‍රවුන් ගේ ‘ඩ වින්චි කෝඩ්’ නවකතාව එයට එක් උදාහරණයක්‘

මේ පිළිබඳ සිය අදහස දක්වන ලේඛිකා ශාන්ති දිසානායක පවසන්නේ මොන සීමා වීම් තිබුණත් සාර්ථක නිර්මාණකරුවා ඒවා අතික්‍රමණය කරන බවකි.

‘ඓතිහාසික සිදුවීම් අලළා කරන නිර්මාණවලදි සීමා විය යුතු නෑ. සීමා වීම හෝ නොවීම සිදු වන්නේ ඉතිහාසය පාදක කරගන්නා නිසා නොවේ. ඓතිහාසික නවකතාවටත් පරිකල්පනය මුසු වෙනවා. නැත්නම් එය තවත් එක් ඓතිහාසික වාර්තාවක් පමණයිනෙ. එ් නිසා සිදුවීමේ වපසරිය හේතු කොටගෙන සීමා පැනවෙන බවක් අපට එක හෙළා පවසන්න බෑ. චරිත ගොඩ නැඟීමේදී ලේඛකයාට යම් සීමා වීම් සිදු විය හැකියි. නමුත් එය ජය ගන්නට ඔහුට හෝ ඇයට හැකියාවක් තිබිය යුතුයි. එක්තරා සත්‍යයක් තිබෙනවා එ් සීමා සම්බන්ධයෙන්. මොකද සිදු වී හමාර දෙයක් ලේඛකයාට වුවමනා පරිද්දෙන් විස්තාරණය කළ නොහැකි නිසා. නමුත් එවන් සීමාවන් අතරේ පවා සිය නිර්මාණයට සාධාරණය ඉටු කරන්නට ශූර ලේඛකයා සමත් වෙනවා‘

අලුත් වස්තු බීජ මේ නිසා ලේඛකයන් අතින් ගිලිහී යා හැකිද යන්නට ලේඛක චූලාභය ශාන්ත පවසන අදහස මෙපරිදි ය.

‘එහෙම වෙන එකක් නැහැ. ලේඛකයන් ඉතිහාස කතාවලට සීමා වීම නිසා තරමක් දුරට අලුත් වස්තු බීජ ඔවුන්ට මඟ හැරෙනවා තමයි. හැබැයි ඒ සීමිත ලේඛක පිරිසකට. නැවුම් වස්තු බීජ සොයාගෙන ගොස් ඒවා වපුරණ ප්‍රවීණ සහ තරුණ ලේඛක ලේඛිකාවන් පිරිසක් අපට ඉන්නවා. අනාගතයේදී ඒ වපුරණ දෑ හොඳින් ඵල දරාවි‘

මේ පිළිබඳ ශාන්ති දිසානායක ලේඛිකාව පවසන්නේ ප්‍රතිනිර්මාණය විශාල වගකීමක් ඇති වෙහෙසකර ක්‍රියාවක් බවයි.

මම එවැන්නක් දකින්නෙ නෑ. මොකද ඓතිහාසික නවකතා රචනා කිරීමේ ලොකු ප්‍රවණතාවක් පෙනෙන්නට නෑ. අනික වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක වගේ සාහිත්‍යයේත් කලින් කලට නොයෙක් රැළි පැන නඟිනවා. එ්ත් එ්වා තාවකාලිකයි. මාත් කාලාන්තරයක් මුළුල්ලේ ඒ ඓතිහාසික වගේම රහස් පරීක්ෂක නවකතා නිර්මාණය කරන්නට ආශාවෙන් පසු වෙනවා.

නමුත් එය විශේෂයෙන් ඓතිහාසික නවකතා නිර්මාණය සරල හා පහසු දෙයක් නොවේ. ලොකු හා වෙහෙසකර හැදෑරීමක් අවශ්‍යයි. මොකද දැනටමත් දන්නා කතාවක් ප්‍රති නිර්මාණයේදි විශාල වගකීමක් හා වෙහෙසක් දැරිය යුතුව තිබෙන නිසා. අලුත් වස්තු බීජ කියන්නෙත් එක්තරා ප්‍රබන්ධයක්... මොකද මේ ලෝකයේ නිර්මාණයකට හසු නොවූ තේමාව ක් ඇත්තේ නැති තරම්.

අපූර්වත්වය කියන්නේ පෙර නොවූ විරූ කියන එකම නොවේ. යම්කිසි තේමාව ක් ඉදිරිපත් කරන විලාසයේ නැවුම් බව කියා මා හිතන්නෙ‘

නිර්මාණකරුවාට තහංචි දැමිය නොහැකි බව සත්‍යයකි. ඔහුගේ නිර්මාණාවේශය අවුළුවන යමක් කලක් තිස්සේ හිතේ පැසවමින් තිබී නිර්මාණයක් ලෙස පාඨක සහෘදයනට තිළිණ වෙයි.

එය කුමන ආරෙන් කෙසේ ලියැවුණි ද යන්නට වග උත්තර බඳින්නට ලේඛකයා වුව අවැසි නොවන බව පොදු පිළිගැනීමයි. කෙසේ වෙතත් ඉතිහාසය මඟහැර නිර්මාණවේදීන්ට අනාගතය ස්පර්ශ කළ හැකිද යන්න ලොව පුරා විවාදයට තුඩු දුන් මාතෘකාවකි.

Comments