පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

කෘතිය- ආර්ථික ඝාතතයන් මැද කර්තෘ- අජිත් නිවාඩ් කබ්රාල් කර්තෘ ප්‍රකාශනයකි

මිල- රුපියල් 2,500 ⁄ පිටු ගණන- 366

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් රචිත මේ කෘතිය තුළ ආර්ථික ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ රහස් අන්තර්ගත බව කතුවරයා පවසයි. ඒ අනුව 2015 සිට ආර්ථිකයේ පසුබෑම, විදේශ විනිමය සංචිත ක්ෂය වීම, විදේශ ණය තිරසරභාවය පිරිහීම, 2022 අප්‍රේල් 12 වැනිදා සිට සිදු කරන ලද ණය පැහැර හැරීම, ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කරය පියවීම, ශ්‍රී ලංකා රුපියලේ හැසිරීම ආදී වැදගත් මාතෘකා රැසක් අනු මාතෘකා යට‍තේ පැහැදිලි කර ඇත. කතුවරයා වැඩිදුරටත් පවසන්නේ ජාතිය බංකොළොත් නොකිරීමේ වරදට ඇතැම් විජාතික බලවේග සහ ඔවුන්ගේ රූකඩ වූ ආර්ථික ඝාතකයන් තමා දැනටමත් විත්ති කූඩුවට නංවා හමාර බවත් ඒ අනුව මේ කෘතිය 'විත්ති වාචකය'ක් ලෙස හැඳින්විය හැකි බවය.


කෘතිය- භික්ඛුනී සීල සම්පත්තා පරිවර්තනය - සීලවතී මැණිකේ පියසේන ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

(පුද්ගලික) සමාගම මිල - රුපියල් 825/= පිටු - 194

සීලවති මැණිකේ පියසේන වසර කිහිපයකට අධික කාලයක් ලේඛන කලාවේ නියුතු ලේඛිකාවකි. ඇය සිංහල සහ ඉංග්‍රීසි ද්විභාෂා ලේඛිකාවක් ලෙස ග්‍රන්ථ ගණනාවක් රචනා කොට ඇත.

සීලවති මැණිකේගේ මෙම ග්‍රන්ථයට පාදක වී ඇත්තේ කාව්‍යමය වාර්තානුන සංග්‍රහයක් වු ථෙරි ගාථාය. මෙම කෘතිය සකස් කිරීමේදී බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායෙහි ථෙරි ගාථා පාළි පෙළ පොතත්, එහිම උදාන පාළි පෙළ පොතත්, ථෙරි ගාථා පාළි සයිමන් හේවාවිතාරණ පෙළ පොතත්, පරමත්ථදීපනී අටුවාවත්, ජී.එස්.බී. සේනානායක පඬිතුමාණන් විසින් කරන ලද ථෙරි ගාථා සිංහල පරිවර්තනයත් අනගාරික මහේන්ද්‍ර විද්වතාණන් විසින් ප්‍රකාශිත Verses of Elder Bhikkunies යන කෘතීන් ද භාවිත කොට තිබීම පොතේ අන්තර්ගතය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට උපකාරි වී ඇති බව සඳහන් කළ යුතුය.

 


කෘතිය- ගම්මැද්දේ නින්නාදය කර්තෘ- ලොකුබණ්ඩා තිලකරත්න ප්‍රකාශනය-සරසවි ප්‍රකාශකයෝ මිල- රුපියල් 750⁄ පිටු ගණන- 422

විමසීම්- 01122769446

විසි වැනි ශතවර්ෂයේ මැද නුවරකලාවියේ ගමක අසිරිය පිළිබඳ කියැවෙන මේ කෘතිය කතුවරයා විසින් රචිත 5 වැනි කෘතියයි. කෘතිය පිළිබඳ හැඳින්වීමක් කරමින් කතුවරයා පවසන්නේ, කෘතියට ඇතුළත්ව ඇත්තේ නුවරකලාවියේ ගම ගැන ඔහුගේ දෑසින් පමණක් නොව තවත් නොයෙක් විද්වතුන්ගේ ඇස්වලින් දුටු දේවල් ද සන්සන්දනාත්මකව ලියා තිබෙන බැවින් එය මානව වංශය ගැන අධ්‍යයනය කරන කා හටත් ඉතා වැදගත් කෘතියක් වනු ඇති බවයි.

 


කෘතිය- සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත කර්තෘ- ආචාර්ය කසුන් නාගොඩවිතාන ප්‍රකාශනය- ආධ්‍යාත්ම ප්‍රකාශකයෝ මිල- රුපියල් 1900 ⁄ පිටු ගණන- 415

විමසීම්- 071 522 1273/ 070 244 4187

ආචාර්ය කසුන් නාගොඩවිතානගේ මූලිකත්වයෙන් විශ්වප්‍රාණී පාරමනෝවිද්‍යා අංශය සමඟ සිදු කරන ලද අාධ්‍යාත්මික ස්නායුවේද විද්‍යාව සහ මිනිස් මොළ තරංග ආශ්‍රිත ප්‍රයෝගික අධ්‍යයන ප්‍රතිඵල මත ආචාර්ය කසුන් නාගොඩවිතාන විසින් මේ කෘතිය රචනා කර ඇත. සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුළ පවතින මහපිරිත නම් බෞද්ධ ධර්ම ගායනය පුනරාවර්තනීය ආගමික පාඨයක් ලෙස සලකමින් ඉහත කී පර්යේෂණය සිදු කර තිබෙන අතර, මේ එවැනි කෘතියක් එළි දුටු පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය. ඒ අනුව මෙම පර්යේෂණයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ මහපිරිත් දේශනය කායික මානසික රෝගාබාධ සුවපත් කරගැනීමට ඉතා ප්‍රකට චිකිත්සක ක්‍රමවේදයක් ලෙස අනාදිමත් කාලයක සිට සිංහල බෞද්ධයාගේ භාවිත කිරීම සම්බන්ධයෙනි.


කෘතිය- පුනරුක්ති කර්තෘ- අනෝමා ජනාදරී කර්තෘ ප්‍රකාශනයකි මිල- රුපියල් 1,000⁄ පිටු ගණන- 181

විමසීම්- 077 820 8839

ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරී විසින් රචිත හය වැනි කෘතිය වන මෙය ඇයගේ ජීවිත කතාවයි. කාන්තා හිංසනය, එහි අසමානතා වෙනුවෙන් සිය ශ්‍රමය කොන්දේසි රහිතව ඵල කිරීම, ඊට ඇති සැක,බිය, ලැජ්ජාශීලී නොවූ කැමැත්ත සතුරාට නිහීන වුවමනාවන් සපුරාගත් සුළු ධනපති පන්තියේ වැජඹීම පිළිබඳ ඇය මේ තුළින් විවරණය කරන්නීය. සිය කතාව පාඨකයාට ඉදිරිපත් කිරීමෙන් කතුවරිය අපේක්ෂා කරන්නේ හෙට උපදින ගැහැනු දරුවන් වෙනුවෙන් තමාගේ කොටස ආත්ම පරිත්‍යාගයෙන් ඉටු කළ බවත් ඉතිරි කොටස සකල විධ වෘත්තීන්හි නියැළෙන වනිතාවන් විසින් ඉටු කරනු ඇති බවත්ය.

Comments