උඩරට සමාජ පෙරළිය සිදු වුණේ මෙහෙමයි | සිළුමිණ

උඩරට සමාජ පෙරළිය සිදු වුණේ මෙහෙමයි

ඔබ විසූ සමාජ පරිසරය ඔබේ ජීවිතයට සහ සාහිත්‍යයට බලපෑවේ කොහොමද?

හඟුරන්කෙත ප්‍රදේශයේ අද මා ජීවත් වුණත් අපේ මුල් පරම්පරාවන් අයිති වන්නේ පහත රටටයි. මගේ පියාගේ පියා තමයි මුලින්ම මේ ප්‍රදේශයට පැමිණ පදිංචි වුණේ. ඉංග්‍රීසින්ගේ පාලනය යටතේ උඩරට ව්‍යාප්තව තිබුණු වතු වගාව ඇසුරේ ඇති වුණු රැකියා සහ කොන්ත්‍රාත් අවස්ථා විසින් තමයි අපේ සීයාට උඩරටට එන්න මාර්ගය හදල දීලා තියෙන්නේ. ඒ කාලයේ මෙහේ බහුලව කෝපි වතු වගාව ව්‍යාප්තව තිබිලා තියෙනවා. කෝපි අස්වැන්න කරත්තවල පටවා ගෙන ඒවා මහනුවර දුම්රිය ස්ථානයට ගෙන ගොස් එතැන ඉඳලා දුම්රියෙන් කොළඹට ප්‍රවාහනය කෙරෙනවා. මෙන්න මේ කරත්ත ප්‍රවාහන ව්‍යාපාරය තුළින් මතු වුණ ව්‍යාපාරික චරිතයක් තමයි සොයිසා මහත්තයා කියන්නේ.

ඉංග්‍රීසි පාලනයට අනුව වගා නොකළ ඉඩම් වගා කරුවන්ට බෙදා දීමට නීතියක් තිබුණා. ඒ තමයි මුඩු බිම් පනත. ඒ යටතේ අක්කර 700 ක තරම් ඉඩම් ප්‍රමාණයක් මිලදී ගන්නට සොයිසා මහත්තයා කටයුතු කරනවා. ඒ කාලයේ කතාවක් තිබුණා සොයිසා මහත්තයා අහල පහල තිබුණ කෝපි ගස්වල කෝපි ඇට එකතු කරලා විකුණලා තමයි ඔය ඉඩම් අරගෙන තියෙන්නේ කියලා. කොහොම නමුත් ඒ කතාවෙන් කියවෙන්නේ ඒ තරම් සාරවත් විදිහට කෝපි වගාව මේ ප්‍රදේශයේ පැතිරිලා තිබුණාය කියන එකයි. කෝපි වතු ආර්ථිකය නිසා අලුත් ධනය හිමි පන්තියක් බිහි වෙමින් සිටියාය කියන එකයි.

මගේ පියා ද මේ වතු වගාව තුළ කොන්ත්‍රාත් කටයුතු කරමින් මුදල් ඉපයූ කෙනෙක්. නමුත් මම අධ්‍යාපනය පැත්තට යොමු වුණා. මුලින්ම හඟුරන්කෙත කනිෂ්ඨ විද්‍යාලයටත් උසස් අධ්‍යාපනය වෙනුවෙන් පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයටත් ගියා. ඒ කාලයේ අධ්‍යාපනය තුළ මුල් තැන ලැබුණේ කලා විෂයන් හැදෑරීමටයි. මගේ සාහිත්‍ය කලා නැඹුරුවට මේ විද්‍යාලය අත්වැලක් වුණා.

සාහිත්‍ය තරගවලින් මම ත්‍යාග සහ සහතික ලබා තිබෙනවා. වරක් මම එවැනි ත්‍යාගයක් ලබා ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතින්. පාසල් ජීවිතයේදී විදුමිණ නමින් සඟරාවක් එළි දක්වන්නත් කටයුතු කළා. පොරමඬුල්ල විද්‍යාලයේ කැපී පෙනෙන යුගයක් හැටියට සෙනරත් යුගය හඳුන්වන්න පුළුවන්. එකල විදුහල්පතිවරයාව සිටි පියසිරි සෙනරත් මහතා නිසයි ඒ නම ඇති වුණේ.

ඔබේ වෘත්තීය ජීවිතය හැඩ ගැසෙන්නේ කොහොමද?

මගේ වෘත්තීය ජීවිතය ආරම්භ වන්නේ ශිෂ්‍ය ගුරු පත්වීමක් සමඟයි. ඒ පත්වීම එදා නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයටයි අයත් වුණේ. මා අයත් වන 60 දශකය තුළ මගේ ජීවිතයේ තවත් වෙනස්කමක් ඇති වෙනවා. දවසක් මට පුවත්පත් දැන්වීමකින් කියවන්න ලැබුණා අලුතින් පටන් ගන්නා “දවස” නම් පුවත්පතකට ප්‍රවෘත්ති ලේඛකයන් අවශ්‍යයි කියලා. මම ඊට අයදුම් කළා. කල්පසු වී කැඳවීමකුත් ලැබුණා. එහිදී ඩී. බී. ධනපාල මහත්තයා සම්මුඛ පරීක්ෂණයේදී මගෙන් ඇහුවා මොනවද දැන් කරන්නේ කියලා. මම කිවුවා අධ්‍යාපනය අවසන් කොට ගෙදරට වෙලා ඉන්නවා කියලා. ඒ පිළිතුරෙන් පසු මම ප්‍රවෘත්ති ලේඛකයෙක් බවට පත් වුණා. ඉන් පසු එම ආයතනයෙන් සවස, රිවිරැස නමින් පුවත්පත් දෙකක් ද එළි දැක්වුණු අතර මම ඒවාටත් මගේ ලිපි යොමු කළා. එහිදී මට විවිධ සමාජ අත්දැකීම්වලටත් මුහුණපාන්න සිදු වුණා. ඒ අතරින් කැපී පෙනෙන සිද්ධියක් තමයි පළාතේ දේශපාලනඥයා සමඟ ඇති වුණ ආරවුල. ඔහු දවසක් මාව කැඳවලා කිවුවා ගමේ අඩුපාඩු තියෙනවා නම් ඒවා මට ඇවිල්ලා කියන්න, පත්තරවලට ලියන්න ඕන නැහැ කියලා. මම කිවුවා පත්තරකාරයෙක් හැටියට ඒක මගේ වගකීමක්, ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පත්තරෙත් එක්ක බලාගන්න කියලා.

ඔය අතරේ මම සියනෑ ගුරු අභ්‍යාස විද්‍යාලයට තේරුණා. මගේ සිංහල ගුරුවරයා වුණේ මහගමසේකරයන්. මම පුවත්පත්වලට ලියන බව මහගමසේකර මහත්මයා දැනගෙන සිටියා. දවස පත්තර කන්තෝරුවට යාමට අවශ්‍ය වූ විට මම ඒ බව ඔහුට කියනවා. එහෙම සමහර අවස්ථාවලදී මගේ අතට ලිපියක් දෙන එතුමා මේක ධනපාලට දෙන්න යැයි කී අවස්ථා ද තිබුණා. මහගමසේකර මගේ සිංහල ගුරුවරයා බව දැන ගත් විට ධනපාල මහත්තයා මට කිවුවා “කොල්ලො මහන්සි වෙලා ලියපන්” ය කියලා.

“කිරි කොල්ලා” නමින් ඔබ මේ ලියන්නේ ස්වයං චරිතාපදානයක්ද?

මේ පොත ඒ විදිහට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. කුඩා කාලයේ සිටම මා හැදී වැඩුණු ආකාරය මා කළ කී දේවල් කතාවක් විදිහට ගලාගෙන යන විදිහටයි මම මේ ලියන්නේ. ඒ අතරට මේ උඩරට සමාජයේ විස්තර, ඉතිහාස පුවත්, දේශපාලන සිද්ධි එහෙමත් ඇතුළත්ව තිබෙනවා. උඩරට සමාජයේ වතුකරය ඇසුරේ බොහෝ අත්දැකීම් මම විඳලා තියෙනවා. නිලධාරීන්ගේ අධිපතිවාදී බව මම අත්දැකලා තියෙනවා. ඒවා අතරින් ගලා ගිය මගේ ජීවිත කතාවයි මේ කෘතියට ඇතුළත් වෙන්නේ.

හඟුරන්කෙත සමාජය මූලික වශයෙන්ම විහාරස්ථාන ඇසුරේ හැදී වැඩුණ සංස්කෘතික පරිසරයක් ඇති ප්‍රදේශයක්. පසුව තේ වතු ආර්ථිකය නිසා දමිළ ජාතිකයන් මේ ප්‍රදේශයේ පදිංචි වෙනවා. ඒ කාලයේ සිටම සිංහල සහ දමිළ ජාතිකයන් මනා සංහිඳියාවක් ඇතිව ජීවත් වුණා. දමිළ වැඩිහිටියන්ට අපි කතා කළේ මාමා කියලයි. ඒ අය අපිට අයියා නැත්නම් මහත්තයා කියලා කතා කළා.

ඒත් පස්සෙ කාලෙක දුම්කොළ වගාව නිසා මේ උඩරට ප්‍රදේශය ලොකු විනාශයකට මුහුණ පෑවා. දුම්කොළ කොම්පැනිකාරයොත් එක්ක ආව රදළ පන්තියේ අය ගොවීන්ට මුදල්, පෝර බෙදා දීලා සාම්ප්‍රදායික ගොවිතැන් කළ ඉඩම්වල දුම් කොළ වවන තත්ත්වයක් ඇති කළා. මේ විදිහට වලපනේ, පාතහේවාහැට ඒ වගේ කන්තලේ දක්වාමත් දුම්කොළ වගාව ව්‍යාප්ත වුණා. දුම් උදුන් හිමියන්ගේ සංගමයක් ද ආරම්භ වුණා. මුළු පළාතෙම තිබුණු ගස් කපලා දරට ගත්තා. ඒවාත් මදි වෙලා පිට පළාත්වලිනුත් දර ගෙන්නුවා. මිරිස් පැළයක්වත් පැළ නොවෙන තැනට පස නිසරු වුණා. මේ තත්ත්වය වෙනස් වුණේ 1977න් පස්සෙයි.

ඔබගේ ඉදිරි සාහිත්‍ය කටයුතු කොහොමද?

60 දශකයේ සිට ලබාගත් අත්දැකීම් මත මේ ප්‍රදේශයේ සිදු වුණු සමාජ පෙරළිය ඇතුළත් කරලා කතාවක් ලියමින් සිටිනවා. මහනුවර ධර්මරාජ විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙක් එහි අධ්‍යාපනය ලබා පවුලේ ආර්ථික දුෂ්කරතා නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලබා රැකියාවකට යනවා. පසුව උඩරට දුම් කොළ වගාවට එරෙහිව ඇතිවන දේශපාලන ව්‍යාපාරයත් සමඟ එකතු වන ඔහු මහවැලි ජනපදිකයන්ගේ ඡන්දයෙන් පළමු වැනි ප්‍රාදේශීය සභාවට පත් වෙනවා.

මහවැලිය හේතු කොට ගෙන ඇතිවූ වික්ටෝරියා ජලාශය නිසා සිදු වන සමාජ පෙරළිය මම නම් කරන්නේ වික්ටෝරියා සංස්කෘතිය නමිනුයි. මෙහිදී නව රැකියා අවස්ථා හේතු කොට ගෙන අතමිට මුදල් ගැවසීම නිසා ඒ පළාතේ සාම්ප්‍රදායික ජීවිතය උඩු යටිකුරු වෙනවා. ඒ වගේම පිටින් පැමිණි තරුණයන් හා ඇති වුණු සම්බන්ධකම් හේතු කොට ගෙන සමාජ අපචාර වගේම වෙනත් ආකාරයක සමාජ ස්වරූප ඇති වෙනවා. මේ විදිහට ගිරාඳුරුකෝට්ටේ හරහා මහවැලි සී කලාපය දක්වාම සිදු වුණු සමාජ පෙරළිය මීට ඇතුළත් වෙනවා. උඩරට සමාජ දේශපාලන පෙරළිය මගේ අත්දැකීම් මතින් ලියා තබන්නයි මම උත්සාහ කළේ.

Comments