පරිවර්තකයා හා මුල් කෘතිය | සිළුමිණ

පරිවර්තකයා හා මුල් කෘතිය

  • සමහර පරිවර්තන ගැසට් වගේ ඒවා ගැසට් සාහිත්‍යය

ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා

  • අප්‍රවීණයො රාශියක් මේ කාර්යයේ නිරතව ඉන්නවා

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ

නොවියත් හුදී ජනන් සඳහා සිය බසින් එගත කරන බව අමාවතුර ආරම්භ කරමින් ගුරුළුගෝමීහු ලියති. අලගියවන්න මුකවෙටිතුමන් සුභාෂිතය කරන ලද්දේ දෙමළ සකු මගද නොහසළ අවියත් දනන් වෙනුවෙනි. මේ සියල්ලෙන් පැහැදිලි වන කරුණ වනුයේ පරිවර්තන සාහිත්‍යය සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට අපූර්ව දෙයක් නොවන බවෙකි. ඒ අනුව සිංහල සාහිත්‍යය පෝෂණයේ ලා පරිවර්තන සාහිත්‍යය මුල් යුගයේ සිටම උපස්තම්භක විණි. එය මිහිඳු ආගමනය දක්වා ඈත අතීතයකට හිමිකම් කියයි. හෙළටුවා මාගධී බසට පරිවර්තනය කරන ලද්දේ බුද්ධඝෝෂ හිමි විසිනි. එය යළිත් සිංහලයට ද නැ‍ෙඟ්. එසේ හෙයින් අපගේ සම්භාව්‍ය සාහිත්‍යය පරිවර්තන හෝ අනුවර්තන සාහිත්‍යයක් සේ හැඳින්වීමෙහි වරදක් නැත.

වර්තමානය වන විට සාහිත්‍ය ක්ෂේත්‍රයේ අක්මුල් දිවූ ප්‍රබල සාහිත්‍ය ප්‍රවර්ගයක් බවට පත්ව ඇත්තේ පරිවර්තන සාහිත්‍යය ය. ඉංග්‍රීසි ප්‍රබන්ධ කෘතිවලින් ඇරඹෙන මෙකී පරිවර්තන සාහිත්‍යය ව්‍යායාමයේදී අවධානය යොමු වූ එක ම ආසියාතික සාහිත්‍යධරයා වූයේ රබීන්ද්‍රනාත් තාගෝර්තුමන් යැයි කීම යුක්ති යුක්ත ය. ඊට පසු අවදියකදී ලාංකේය පරිවර්තන සාහිත්‍යය කලාවට අත තැබූ බොහොමයක් ලේඛකයන් රුසියානු සාහිත්‍යය පරිවර්තනයට යොමු විණි. තෝල්ස්තෝයි, දොස්තයෙව්ස්කි, චෙකොෆ්, ගෝර්කි අපට අපේ ලේඛකයන් තරමටම සමීප වූයේ ඒ අයුරෙනි.

වර්තමාන අවදිය වන විට ලෝකයේ සියලුම භාෂාවලින් සහ විවිධ සංස්කෘතිවලින් පරිවර්තන සාහිත්‍යය ලාංකේය පාඨක ප්‍රජාවට අ‍ෙතාරක් නැතිව ලැබෙමින් පවතී. ඒ කෘති ඔස්සේ තත්කාලීන සමාජ, දේශපාලන, සංස්කෘතික හා මානුෂීය ගැටලු සාකච්ඡා වන බවක් ද පෙනේ. එමඟින් දේශීය සාහිත්‍යයේ නිම්වළලු, ලෝක දෘෂ්ටිය, ලෝක ජනතාව හා සංස්කෘතික විචල්‍යතා පිළිබඳ අවබෝධය ආදිය පුළුල් කර ගැනීමට ලැබෙන පිටිවහල වැදගත් ය.

මේ සියල්ල අතරේ පරිවර්තිත බස පිළිබඳවත් එහි වගකීම පිළිබඳවත් යම් යම් කතාබහ ඇතිවනු පෙනේ. සමහරු පදානුගත පරිවර්තන කරන අතර, සමහරු පරිවර්තනයේදී ඡේද පිටින් අතහරිති. සමහරු එය දේශීයකරණය කර ගැනීමේ යම් පෙලඹවීමක සිටිති. තවත් සමහර පරිවර්තකයන් කියන්නේ මුල් ලේඛකයාගේ කිසිදු දෙයක් මඟ හැරීමේ හෝ අතහැරීමේ අයිතියක් පරිවර්තකයා සතු නැති බවෙකි.

මේ සියලු කාරණා පිළිබඳ සැලකීමේදී පරිවර්තකයා සතු කාර්ය භාරයත් පරිවර්තනයේ වගකීම ගැනත් මෙවර සිළුමිණ වාදයට ගොනු කරන්නට අපි සිතුවෙමු. මෙවර වාදයට සම්මුඛ වෙන්නේ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ සහ ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා ය.

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කළ රාජ්‍ය සාහිත්‍යය සම්මානය ඇතුළු බොහෝ සම්මානවලින් සම්මානිත හා ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍ය රත්න සම්මානයෙන් ද පිදුම් ලැබූවෙකි. දෙස් විදෙස් පතළ විචාරකයකු හා සාහිත්‍යවේදියකු වන ඔහු විසින් ඇලෙක්සැන්ඩර් සොල්සෙනෙත්සින්ගේ The First Curcle කෘතිය මුල් කවය ලෙසින් කළ පරිවර්තනය 2021 හොඳම පරිවර්තිත කෘතියට හිමි රාජ්‍ය සම්මානය ද දිනා ගත්තේ ය.

තිත්ත කෝපි, කඳුකර මාවත, දඹතැන්න, කටු කුරුලු හඬ, දෙවියන්ගේ අඩවිය වැනි පරිවර්තන සිංහල පාඨකයාට තිළිණ කළ අනුල ද සිල්වා කීර්තිමත් ලේඛිකාවක මෙන්ම පුවත්පත් කලාවේදිනියක් ද වෙයි. ඇය ලියූ උන්මත්තකයෝ, පාදඩයකුට පෙම් බැඳ, ගල් වරුසා, මංජේෂ්වරි ආදී නවකතා පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විණි. ඇගේ නිර්මාණ අතර ළමා කතා මෙන් ම යොවුන් නවකතා ද වේ. ඇගේ නන්ද හා සරණ කෘතිය යොවුන් නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මාන‍යෙන් පිදුම් ලැබීය. වර්තමානයේ ස්වතන්ත්‍ර හා පරිවර්තන නවකතා නිර්මාණකාරිනියක ලෙස පාඨකයන් අතර ජනප්‍රිය ඇය මිහිර හා තරුණි, සිරිකත, වනිතා විත්ති ආදී කාන්තා පුවත්පත්, සඟරා මෙන් ම ළමා පුවත්පත් කිහිපයක ද ප්‍රධාන කතු පදවිය දැරුවා ය.

කිසියම් රටකට පරිවර්තන සාහිත්‍යයක් අවශ්‍ය වන්නේ ඇයි යන්නට ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ සිය අදහස දැක්වූයේ මෙලෙසිනි.

“කාරණා කිහිපයක් නිසා මේක ඉතා වැදගත්. ලෝකයේ නිම්වළලු පුළුල් කරන්නේ පරිවර්තන විසින්. අපේ ලෝක දැක්ම පුළුල් වෙනවා. අපි වගේ පුංචි රටකට, කොදෙව් මානසිකත්වයෙන් දරුණුවට පෙළෙන රටකට විශේෂයෙන් පරිවර්තන සාහිත්‍යය අවශ්‍යයයි. අපේ ඇස් අරින්න, කන් ඇහෙන්න එක් හේතුවක් එය.

අනික ඓතිහාසික වශයෙන් ගත්තත් හැම රටකම සාහිත්‍ය පෝෂණයට කිසියම් යුගයකදී පරිවර්තන සාහිත්‍යය ඉවහල් වෙලා තියෙනවා. තුන්වැන්න අපට නුහුරු සංස්කෘතියක්, ජීවිතයක්, ජන කොට්ඨාසයක් පිළිබඳ ව අපේ දැනුම පුළුල් වෙන අතරම ඔවුන් සමඟ අපි කිසියම් ආකාරයක සුහද ආශ්‍රයකට වැටෙනවා. අපිට අනික් රටවලත් නෑයො ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා. මේ විදියට බැලුවහම අපේ සාහිත්‍ය ප්‍රවර්ධනයට, සමාජ ඇහැරීමට, අවදියට හේතුවක්. අපේ හදවතේ විවෘත බවක් ඇති කිරීමටත් හේතුවක්”.

මේ කරුණ සම්බන්ධයෙන් ම සිය අදහස ගොනු කරන ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා පවසන්නේ ඒක භාෂික පාඨකයාට සිය දැනුම ප්‍රවර්ධනයේ ලා පරිවර්තන මඟින් ඉටු වෙන්නේ විසල් මෙහෙයක් බව ය.

“ඕනෑම රටකට පරිවර්තන සාහිත්‍යයක් අත්‍යවශ්‍යයයි”. ඉංග්‍රීසි භාෂාව නැති ඒක භාෂික පාඨකයන්ට රට රටවල තොරතුරු, සමාජ ව්‍යසන, දේශපාලන හැල හැප්පිලි ආදිය ඉගෙන ගන්න ලැබෙන්නේ පරිවර්තන හරහා. මමත් ඉගෙන ගත්තා. මම පරිවර්තනයක් කරන්න කලින් ගොඩක් අධ්‍යයනය කරනවා. පරිවර්තනයක් කියවලා ඉවර වෙලා ඒකෙ සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම මමත් අධ්‍යයනය කරනවා. ඒක අපේ සාහිත්‍යයට ගොඩක් වැදගත්”.

ලෝකයේ ඉමක් මායිමක් නැති සාහිත්යික කරුණු සම්බන්ධයෙන් පමණක් නොව සමාජ, දේශපාලන, ආර්ථික විචල්‍යතා සම්බන්ධ කරුණු සම්පාදනයේදී ද පරිවර්තන ඉටු කරන්නේ මහඟු මෙහෙයකි. සිය කර්තව්‍ය පිළිබඳ දැඩි අවබෝධයකින් පරිවර්තන කාර්යයේ නිරතවන්නන් සේම හුදු භාෂාව පමණක් දන්නා පමණින් පරිවර්තනය කරන්නන් ද මෙරට සිටින බව ආචාර්ය අබේසිංහගේ අදහසයි.

“මම කියපු නිර්ණායක තියෙනවා කියලා හිතන්න බෑ. එහෙම හොඳ අරමුණකින් හැමෝම පරිවර්තන කරනවා කියලා හිතන්නත් බෑ. එහෙම හිතනවා නම් ඒක මිථ්‍යාවක්. සවිඥානිකව හෝ අවිඥානික ව පරිවර්තකයන් විසින් කරන පරිවර්තනවලින් ඔය කියන කටයුත්ත ඉෂ්ට වෙනවා. හැම පරිවර්තකයෙක්ම ප්‍රතිපත්තියක පිහිටලා, බද්ධ වෙලා පරිවර්තන කරනවා කියලා හිතන්න බෑ. හැබැයි නොකර ඉන්නවට වඩා එහෙම හරි කරන එක හොඳයි”.

තමාගේ මෙන්ම තම දරුවන්ගේ පරපුරු ද ඥානය කළ රුසියානු ළමා සාහිත්‍යය පරිවර්තන ගැන සිය මතකය අවදි කරමින් ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා පවසන්නේ අද ඇත්තේ පරිවර්තන නොව ගැසට් පරිවර්තන යුගයක් බව ය.

“මට මතක් වෙන්නෙ රුසියන් සාහිත්‍යය. ගුණසේන විතාන මහත්තයා තමයි රුසියානු සාහිත්‍යය මෙරට ප්‍රචලිත කිරීමේ ලා මූලික වුණේ. ලස්සන ළමා සාහිත්‍යයක් අපට ලැබුණෙ රුසියානු සාහිත්‍යය නිසා.

හොඳ පරිවර්තන නැතිව නොවෙයි. නමුත් ගොඩක් පරිවර්තන කියවන්න අපහසුයි. පරිවර්තකයා ඉංග්‍රීසි දැන ගත්ත පමණින් පරිවර්තන කරන්න බැහැ. ඔහුට හොඳ දැනුමක් තියෙන්න ඕන. ලංකාවෙ හොඳ පරිවර්තන අඩුයි. බොහෝ අය පරිවර්තනය කරනවා; ඒත් ඒ පොත් වැඩක් නෑ. ඒවා ගැසට් සාහිත්‍යය. සමහර පරිවර්තන ගැසට් වගේ. මමත් ගොඩක් පරිවර්තන අරන් කියවලා තියෙනවා. හැබැයි ඒවා කියවන්න බෑ. දැන් අරුන්දතී රෝයිගෙ The God Off Small Things පොතේ පර්වර්තනය මම ගත්තා කියවන්න, මට ඒක කියවන්නම බැරි වුණා. ඒ වගේ සමහර ඒවා තියෙනවා, හරියට පරිවර්තනය නොවුණු. ඒවගේ පරිවර්තන එමටයි. ඒ නිසා ලංකාවෙ පෝෂිත පරිවර්තන සාහිත්‍යයක් දැනට නම් නෑ කියලයි හිතෙන්නෙ”.

වර්තමානයේ සාහිත්‍ය ක්ෂේත්‍රය වසා ගනිමින් සිටින පරිවර්තන සාහිත්‍යය ගැනත් ඔවුන් භාවිත බස ගැන සේම මුල් ලේඛකයාට කරන සාධාරණත්වයේ පරිමාව ගැන ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහට ඇත්තේ යම් කලකිරීම් සහගත බවකි.

“මට නම් සෑහීමකට පත්වෙන්න අමාරුයි. දැන් දැන් තිබුණාට වඩා හොඳ මට්ටමක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. වැඩිය සාර්ථක නොවුණු අය තියෙන තරගකාරී වාතාවරණය නිසා ද කොහෙද හොඳට තමන්ගෙ වැඩේ කරන්න මහන්සි වෙනවා. ඒ වුණාට මට තවමත් ඒ ප්‍රශ්නෙ තියෙනවා. භාෂා ශික්ෂණය නම් අඩුයි. අප්‍රවීණයො රාශියක් මේ කාර්යයේ නිරත වෙලා ඉන්නවා. අප්‍රවීණයෝ ප්‍රවීණත්වයට පත්වීම තමයි මගේ බලාපොරොත්තුව. පරිවර්තනය කියන දේ කොහොම හරි කරන දෙයක් කියලා හිතන්නෙ නැතිව පරෙස්සමෙන්, සුපරික්ෂාකාරීව භාෂාව ගැනත් හිතලා, මුල් ලේඛකයාගේ ආධ්‍යාශය ගැනත්, ලංකාවේ පාඨකයන්ගේ සවිඥානිකත්වය ගැනත්, අපේ සදාචාරය ගැනත් හිතලා කරනවා නම් තමයි හොඳ කියලයි මම හිතන්නෙ.

“පරිවර්තනය කරද්දි ගොඩක් පරිවර්තකයන් ශබ්ද කෝෂ අර්ථයෙන් විතරක් පරිවර්තනය කරනවා. පරිවර්තනයේ වැදගත්ම දේ තමයි වාග් රීතිය. මුල් කෘතියේ වාග් රීතියත්, අපේ වාග් රීතියත් දෙකම හොඳට අවබෝධ කරගන්න ඕන. වාග් රීතිය ගැන අපේ පරිවර්තකයන්ගෙ පරීක්ෂාව හොඳටම මදි”.

පරිවර්තකයා යම් යම් වෙනස්කම් කරන්නේ නම් එය කළ යුතු ආකාරය ගැන ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා යම් පැහැදිලි කිරීමක් කරන්නේ සනිදර්ශිතව ය.

“පරිවර්තනය කියන්නෙ මුල් පොත නැවත වෙනත් භාෂාවකට දැමීමක්. පරිවර්තකයා සංවේදී වෙන්න ඕන. පරිවර්තකයාට අයිති භාෂාව විතරයි. සමහර වෙනස්කම් කරනවා, හරියට මේ වගේ. Young Girl, Young Boy වගේ වචන ගන්න, මම ඒවා පරිවර්තනය කරන්නෙ කෙල්ල, කොල්ලා ආදී ලෙසින්. ඒක වෙනස් කිරීමක් නොවෙයි. එක් එක් පරිවර්තකයාගේ භාෂාවේ අනන්‍යතාවක් තියෙනවා”.

කුමන හෝ අර්ථයකින් හෝ උවමනාවකින් යුතුව මුල් කෘතියේ කිසිවක් වෙනස් කිරීමට පරිවර්තකයාට කිසිසේත්ම අයිතියක් නැති බැව් ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ අවධාරණය කරනනේ මෙලෙසිනි.

“මොනම විදියකින්වත් මුල් කෘතියේ කිසිම දෙයක් ඉවත් කිරීමේ අයිතියක් පරිවර්තකයාට නෑ. තමන්ට ඒක කරන්න බැරි නම් ඒ පොත පැත්තකින් තියලා නිකම් ඉන්නවා මිසක් වෙනස් කරන්න හොඳ නෑ. පොත මුල් ලේඛකයා ලියලා තියෙන්නෙ. එතකොට පරිවර්තකයා කරන්නෙ ඒක තමන්ගෙ භාෂාවට දාන එක. නිර්මාණාත්මක අයිතිය තියෙන්නෙ මුල් ලේඛකයාට.

මේ පොත අමාරුයි, භාෂාව අසීරුයි කියලා ඉවත් කරන්න කාටවත් අයිතියක් නෑ. මුල් කෘතියේ තියෙන නම් ගම් වෙනස් කරන්න අයිතියක් නෑ. මුල් කෘතියේ තියෙනවා නම් ඇන්තනී කියලා පරිවර්තකයාට බෑ ඒක අන්තෝනි කියලා වෙනස් කරන්න. මුල් කෘතියට පුළුවන් තරම් හිතෛශීවන්ත වෙන්නයි ඕන.

අපිට පරිවර්තන කියවන්නෙ ඒ රටේ භාෂා සාහිත්‍යය, සංස්කෘතිය, නම් ගම් ගැන අවබෝධයක් ලබා ගන්නනෙ. මම වෙනස් කරනවාට සම්පූර්ණයෙන් විරුද්ධයි. පුළුවන් තරම් මුල් කෘතිය ඒ අනන්‍යතාවේ තියා අපේ පාඨකයාට ළං කිරීමයි කළ යුතු. ඒක තමයි අපේ වගකීම”.

සමහර මුල් කෘතිවල ඇති දීර්ඝ පැහැදිලි කිරීම් හා විවරණ හෝ පාරිභාෂිත වචන හෝ යම් වෙනස්කමකට ලක් කරන්නේ නම් එය කළ යුතු වෙන්නේ මුල් කෘතියට කිසිසේත්ම හානිදායක නොවන අයුරෙන් බව ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා සිය පරිවර්තනයක් වෙන පිළිකා වාට්ටුව කෘතියේ යම් උපුටා දැක්වීම් කරමින් පැහැදිලි කරයි. ඇය ඇලෙක්සැන්ඩර් සොල්සෙනෙත්සින් ගේ Cancer Ward කෘතිය කිරීමට ගත් වෙහෙස ගැන ඒ පිළිතුරේ අන්තර්ගත ය.

“සමහර වෙලාවට පාඨකයාට තේරුම් ගන්න බෑ කියලා හිතෙන දේවල් යම් පමණකින් වෙනස් කිරීමක් කරනවා. මම උදාහරණයක් කියන්නම්. මම පරිවර්තනය කළානෙ ඇලෙක්සැන්ඩර් සොල්සෙනෙත්සින් ගේ Cancer Ward කෘතිය පිළිකා වාට්ටුව කියලා. මම මේ මුල් පොත කියෙව්වා දෙතුන් පාරක්. හරිම බරයි පොත. පොත පුරාම පාරිභාෂිත වචන. මම ගොඩක් අධ්‍යයනය කළා. ගොඩක් දේවල් සොයා ගත්තා. හැබැයි සොයා ගන්න අපහසුම වුණු දේවලුත් තිබුණා. ඒවා සමහරක් මම ඉවත් කළා. ලංකාවෙ දොස්තරලා දන්නෙත් නැති පාරිභාෂික වචන තිබුණා. එහෙම අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට විතරක් යම් යම් වෙනස්කම් කරන්න සිදු වුණා. හැබැයි මම ගොඩක් ආයාසයෙන් මුල් පොතට උපරිම සාධාරණයක් කළා. මගේ පරිවර්තන ගොඩක් අය කියන්නෙ ස්වතන්ත්‍ර නිර්මාණ වගේ කියලා. හැබැයි මම කිසිවිටෙකත් ඒවා දේශීයකරණය කරලා නෑ”.

1953 වසරේ ප්‍රකාශයට පත් වික්ටර් හියුගෝගේ ද ලේ මිසරාබ්ල නම් ප්‍රංස ලේඛකයාගේ කෘතිය සිංහල භාෂාවට සංක්ෂිප්ත ලෙස පරිවර්තනය කළ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල ගේ මනුතාපය අනුවර්තනය සම්බන්ධයෙන් හොඳම නිදසුනකි. 1957 – 1960 වර්ෂවල දී ඉංග්‍රීසි, සිංහල පොදු සාක්ෂ්‍ය පත්‍ර විභාගයට නියමිත වූ මේ කෘතිය ගැන ලේඛක ඊරියගොල්ල මෙසේ සඳහන් කොට තිබුණි.

“මනුතාපයේ එන ඇතැම් පුද්ගල නම් පිළිබඳව සිංහල දිවට හුරු පුරුදු විය හැකි පරිද්දෙන් වෙනසක් කෙළේ බොහෝ විට ඒ ඒ චරිතයේ ගති පැවතුම් අනුව ය. මේ කථාවේ වීරයා වශයෙන් සැලැකෙන්නාගේ නම ප්‍රංසයේ දී නම් කියැවෙන්නේ ‘ෂාවාල්ෂා’ යනුවෙනි. Jean valjeen යන අකුරින් එන මේ නම ඉංග්‍රීසි අනුවාද කියවන බොහෝ දෙන, උච්චාරණය කරන්නේ ‘ජීන් වැල්ජින්’ කියා ය. මේ පුද්ගලයා මුල දී ජනයා විසින් වර්ජනය කරන ලද්දෙකි. එහෙයින් ඉංගිරිසි නමෙහි උච්චාරණය ද ආශ්‍රිත ‘ජන වර්ජන’ යන නම ‘මනුතාපයෙහි’ ඔහු‍ට යෙදේ. සෙසු බොහෝ ‍නම් පිළිබඳව ද කිව යුත්තේ ඒම ය.”

කෙසේ වෙතත් අනුවර්තනයේදී ඊරියගොල්ල පවසන පරිදි ම යම් යම් වෙනස්කම් කළ හැකි බව ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහගේ ද අදහසයි.

“යම් වෙනස්කම් කරන්න පුළුවන් අනුවර්තනයේදී. මනුතාපය ඒකට හොඳ උදාහරණයක්. ලේ මිසරාබ්ල කෘතියේ අනුවර්තනය තමයි ඊරියගොල්ල මහත්මයා කරන්නෙ”.

ඒ පිළිබඳව එකඟත්වය මුසු කරුණු එක් කිරීමක් කරන ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා පවසන්නේ නිර්මාණකරුවා ඇතුළත පෙනී හෝ නොපෙනී සිටින නිර්මාණකරුවා පරිවර්තනයේදී එළියට එන බවෙකි.

“මම ඉස්සෙල්ලම පොත කියවනවා. මගේ හදවතට පොත හොඳයි කියලා දැනුණොත් තමයි මම පරිවර්තනය කරන්නෙ. ඊට පස්සෙ මම පොත ඇතුළට රිංගනවා. පොතේ තියෙන ඇතුළාන්තය වටහා ගැනීමයි වැදගත් ම. පරිවර්තකයා නිර්මාණකරුවෙක් නොවුණොත් පරිවර්තනය සාර්ථක නෑ. සිරිල් සී. පෙරේරා, කේ. ජී. කරුණාතිලක වගේ අය ස්වතන්ත්‍ර නිර්මාණ නොකළත් ඒ අය ඇතුළෙ බොහොම නිර්මාණශීලි පුද්ගලයෙක් සැඟවී සිටියා. නැත්නම් මේ පරිවර්තන කියන්නෙ ගැසට් විතරයි.

අනුවර්තනයේදී නම් දේශීයකරණය කරනවා. යම් නිර්මාණාත්මක එකතු වීම් කෙරෙනවා.

බොහෝ: කියවන්නෝ, නරඹන්නෝ මතු නොව සවන් දෙන්නෝ ද කිසියම් කලා නිර්මාණයකින් බලාපොරොත්තු වන්නේ තමන් ජීවත් වෙන ලෝකයේ අසන්නට, දකින්නට නොලැබෙන සිද්ධි ඇසීමට හෝ දැකීමට ය. මෙය එක්තරා ආකාරයක වින්දනීය පරාසයකි. නමුදු එකී වින්දනීය පරාසය පුරවා ලූ පමණින් සැබෑ සාහිත්‍ය පාඨක ප්‍රජාවක් බිහිවේ ද යන්න ගැන බොහෝ මතවාද මණ්ඩපවල සාකච්ඡා වෙනු ඇසේ.

කෙසේ වෙතත් ලෝකය පුරා සාහිත්‍ය ක්ෂේත්‍රයේ අහුමුලු ස්පර්ශ කරන්නට අපට ලැබෙන්නේ පරිවර්තන සාහිත්‍යය ඔස්සේ ය. ඒ සාහිත්‍යයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අප මෙවැනි සංවාද ගොඩනඟන්නේ ඒ නිසා ය.

සුමුදු චතුරාණී ජයවර්ධන

 

Comments