මේවනාහි ප්‍රකට අමෙරිකානු නාට්‍යකරු ටෙනසි විලියම්ස්ගේ (1911 - 1983) The Glass Menagerie (1944) නම් නාට්‍යයේ සිංහල පර්වර්තනයයි. මෙය නාට්‍යයක් වන්නට Portrait of a Girl in Glass (1943) නම් ඔහුගේම කෙටිකතාවකි. එය ටොම් විංෆීල්ඩ්ගේ අතීතානුස්මරණයකි. දීර්ඝ කෙටිකතාවක් වූ එහි ටොම්ගේ එකලාභාෂණ බොහොමයක් නාට්‍යයේ එහෙම පිටින්ම ඇතුළත් බව සඳහන්ය.
එය කර්තෘගේ පුද්ගලික ජීවිත අත්දැකීම් ඇසුරින් නිර්මිත බැව් සඳහන්ය. මෙහි එන ටොම් ඔහුය. හිස්ටිරියාවෙන් පෙළෙන අමන්දා නිරූපණය කරන්නේ ඔහුගේම මවය. මානසික අවපාතයක සිටින ලෝරා යනු ඔහුගේ සොහොයුරියයි.
ටෙනසි විලියම්ස් මෙරට වේදිකාවට අමුත්තකු නොවේ. 1966 වසරේදී ඔහුගේ නාට්‍ය අතරින් තුනක්ම අනුවර්තනය කරනු ලැබ රඟ දක්වන ලදි. සුගතපාල ද සිල්වානන්ගේ ‘හෙලේ නැග්ග ඩෝං පුතා’, හෙන්රි ජයසේනයන්ගේ ‘අහස් මාලිගා’ සහ ධම්ම ජාගොඩයන්ගේ ‘වෙස් මුහුණු’ඒවාය. ඒවා පිළිවෙළින් විලියම්ස්ගේ Cat on a Hot Tin Roof, The Glass Menagerie සහA Street Car Named
Desire ය. මෙහි පසුව සඳහන් නාට්‍ය දෙක පසු කලෙක පිළිවෙලින් 1995දී බුද්ධික දමයන්ත විසින් ‘පළිඟු රෑන’ සහ 2019දී චම්ප බුද්ධිපාල විසින් ‘ආශාවේ වීදි රිය’ යන නම්වලින් නිෂ්පාදනය කරන ලදී.
1936 සිට 1983 දක්වා කාලය තුළ විලියම්ස් විසින් ලියා ඇති නාට්‍ය සංඛ්‍යාව 39කි. 1944 වසරේ රචිත මෙය ඒ අතරින් අට වැන්නයි. ඔහු නාට්‍යකරුවකු ලෙස ඉහළට එසැවුණේ ඒ නාට්‍යයෙන් බව ප්‍රකටය. ටෙනසි විලියම්ස්ගේ නාට්‍යවල නම් සිංහලට නැඟීම තරමක් අපහසු බව මේ පොතේ පෙරවදනේ සඳහන්ය. Menagerie යන්න ශබ්දකෝෂවලට අනුව මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇති හෝ පුද්ගලිකව පවත්වා ගෙන යන වන සතුන් එකතුවකි. මෙහි චරිතයක් වන ලෝරා සතුව පළිඟුයෙන් නිර්මිත එබඳු එකතුවක් වෙයි. ඒ එකතුවේ සිටින ඇය වඩාත්ම ආශා කරන සතා හිස් මුඳුනේ තනි අඟක් ඇති කඟවේනෙකි. අමන්දා නම් කාන්තාවක්, ලෝරා නම් ඇගේ දියණිය සහ ටොම් නම් ඇගේ පුතා මේ නාට්‍යයේ ප්‍රධාන චරිත වෙති. ලෝරා සහ ටොම් තවමත් අවිවාහකය. අම්මා, දියණිය ගැන කනස්සල්ලෙන් පසුවේ. සුදුසු සැමියකු නොලැබුණහොත් ඇගේ අනාගතය අඳුරු විය හැකි බව ඕනෑම මවක් මෙන්ම අමන්දා ද දනී. අනෙක් අතට ලෝරා ශාරීරිකව ආබාධිත වන අතර මානසිකව පසුගාමීය. ඇය කිසිවක් හරිහැටි ඉගෙන ගන්නේ නැත. මේ නිසාම වගේ සාංකාව වඩාත් දැඩිය.
අමන්දාගේ සැමියා වන විංෆීල්ඩ් සිය පවුල හැර ගොස් දස වසරකි. ඇය විඳින දුක් ගැහැට සියල්ලට මුල ඔහුය. දුරකතන රැහැන් අදින සමාගමක සේවය කරන ඔහු සිය බිරිය හා දරුවන් හැර දමා යන්නේ ‘වඩා දුරස්ථ සබඳතාවලට කැමැති නිසා’ බව දන්වමිනි. ලෝරාට දැන හැඳුනුම්කම ඇතිකර ගන්නට තමා සේවය කරන කම්හලේ සිටින වැදගත් කෙනෙකු නිවෙසට කැඳවාගෙන එන ලෙස අමන්දා ටොම්ගෙන් ඉල්ලයි. ඒ අනුව ඔහු තමන්ගේ සේවා සගයකු වන ජිම් නිවෙසට කැන්දා ගෙන එයි. කුළෑටි ලෝරා ඔහු පිළිගැනීමත් ඔවුන් සමඟ එක්ව රාත්‍රි ආහාරය ගැනීමත් මඟ හරින නමුත් පසුව ජිම් හා සංවාදයට එළැඹේ. ටොම්, ලෝරා සහ ජිම් අධ්‍යාපනය ලබා ඇත්තේ එකම පාසලක වන නිසා ඇය ඔහු හඳුනයි. එහෙත් ඔහු ඇය හඳුනා ගන්නේ විස්තර කීමෙන් පසුවය. මේ දෙදෙනා අතර සංවාදය කෙතරම් සුහද විණි දැයි කිවහොත් ජිම් ඇයට හාදුවක් පවා දෙයි.
ඔහු පෙන්වා දෙන්නේ ඇය ඉතා ප්‍රියමනාප නමුත් හීනමානයෙන් පෙළෙන බවයි.
ඇගේ ප්‍රියතම කඟවේනාගේ අඟ ජිම් අතින් වැරදීමකින් බිඳී යයි. ඒ සමඟම ඇගේ එසැණ ප්‍රාර්ථනාවක් ද ඔහු විසින් විනාශ කරනු ලබයි. ඒ තමා විවාහ ගිවිසගත් කතක් සිටින බව ඇයට දැන්වීමෙනි. ප්‍රාර්ථනා බිඳෙන්නේ ඇයගේ පමණක් නොවේ. පාදයේ ආබාධයක් සහිත සිය දියණිය යහපත් පුරුෂයකුට සරණ පාවා දීමට බලාපොරොත්තු වන ඇයගේ මවගේ පැතුම ද සුන් වේ. ඉන් පසු ඔහු සමුගෙන යයි. ලෝරාගේත් මවගේත් අහස් මාලිගා බිඳ වැටේ.
මේ නාට්‍යය ‘ස්මෘතියේ නාට්‍යයක්’(Memory Play)ලෙස විලියම්ස් විසින්ම හඳුන්වා දෙනු ලැබ ඇත. මෙහි ටොම් නමැති චරිතය පූරක ලෙස වරින්වර අතීතානුස්මරණ ඉදිරිපත් කරයි. බ්‍රයන් ෆ්‍රියෙල් සහ හැරල්ඩ් පින්ටර් යන නාට්‍යකරුවන් ද මේ ආකෘතියේ නාට්‍ය ඉදිරිපත් කර ඇත.
මෙය එකල සෑම තරාතිරමකම විචාරකයන්ගේ පැසසුමට ලක් වූ බව සඳහන්ය. එයින් මෙය ජනප්‍රිය වූ අතර විලියම්ස්ට කීර්තිය ගෙන ආයේය.
මේ නාට්‍යය බලාපොරොත්තු ඇති කොට අත්හැර දැමීම ගැන කියා දෙන්නක් බව විචාරකයකු විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. විංෆීල්ඩ් (පියා) සිය පවුල අත්හැර දමයි. ජිම්, ලෝරාගේ අපේක්‍ෂා දල්වා ඇය අත්හැර දමයි. නාට්‍යය අවසන් වන්නේ ටොම් සිය මවත් සොයුරියත් හැර යෑමෙනි.
The Glass Menagerie නාට්‍යය තත්කාලීන අමෙරිකානු සමාජය විවේචනය කරන බව ද එහි පෙළ කියවන විට වැටහෙයි. මේ දෙවැනි ලෝක මහා යුද්ධයේ පූර්වාසන්න කාලයයි. සමස්ත ලෝකයම අරගල කරන අතර අමෙරිකානුවන් පමණක් කෙළිදෙළෙන් ගත කරන බව එහි පැවසේ.
‘පුංචි පළිඟු රෑන’ හෙන්රි ජයසේනයන්ගේ කෘතියකි. මෙය 1966දී ඔහු විසින් වේදිකාව සඳහා ලියන ලද ‘අහස් මාලිගා’ නම් අනුවර්තනය මෙන් නොව අසංක්‍ෂිප්ත පරිවර්තනයක් බව පෙරවදනේ සඳහන්ය.