ජාතියක් නැඟෙන්නට නම් ඒ ජාතිය වහරවන බස නොවහල් ව, ඉතා දියුණු ව තිබෙන්නට ඕනෑ
- හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගණේවත්ත
කුමරතුඟු චින්තනය එදාටත් වඩා අදට වලංගුයි
- මහාචාර්ය ලතා ගුරුසිංහ
එදාටත් වඩා බහු වියරණ වාදයක් අද තියෙනවා
- හෙළ බස් මිණි අ. ආ. ගුණතිලක
අද ලෝකෙ හැම භාෂා ව්‍යවහාරයක් දිහාම බලන්නෙ වාග් විද්‍යානුකූලව. ඒ වුණත් ඒ සියල්ලෙහි පදනම වහරනු සෙරෙන් සපයා යන්නයි
- මහාචාර්ය ජේ. බී. දිසානායක
දේශීයත්වය, ජාතිකත්වය වගේම අලුත් දෑ නිපදවන්න පදනම් වුණේ විමැසීම හා කරුණු මත පදනම් ව වීම වැදගත්
- කථිකාචාර්ය ගනුෂ්ක රන්දුල
සිංහල භාෂා දිනය අදට යෙදී තිබේ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට එරෙහිව වාරියපොළ සුමංගල ස්වාමින් වහන්සේ ඉංග්‍රීසි ධජය බිම දමා පාගා ලංකා කොඩිය එසවූයේ මාර්තු දෙවැනිදා ය. මෑත යුගයේ මෙරට බිහිවූ විශිෂ්ටතම හා විරල ගණයේ පඩිවරයකු වූ කුමාරතුංග මුනිදාස සූරීන් සිය ජීවිතය ම භාෂා, ශාස්ත්‍ර නිර්මාණ ක්‍රියාකාරකම් සඳහා කැප කර 1944 මාර්තු 02 වැනිදා දැයෙන් සමුගත්තේය. අපට දෙස බස රැස යනුවෙන් තවත් තෙරුවනක් ඇති බව කීවෝ ද කුමාරතුංගයෝය. එනිසාම එවන් දුර්ලභ ගණයේ චින්තකයකු වූ කුමරතුඟුවන් නමින් සිංහල භාෂා දිනය නම් කිරීම ද අර්ථවත්ය.
මෙම සිදුවීම් දෙක පාදක කර ගනිමින් 1989 දී රජය සෑම වසරක ම මාර්තු 02 වැනිදා සිංහල භාෂා දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ ය.
කුමරතුඟුවන් ජීවත් වූ යුගය යටත්විජිතවාදය විසින් සිය තෙද බල බෙහෙවින් පෙන්නුම් කළ අවදියකි. සුදු ජාතිකයන්ගේ සෙවණැල්ල වැටී හෙළ ජනයා එකී සෙවණැල්ලෙන් වැසී ගිය යුගයෙක අධිරාජ්‍යවාදයට ආවැඩූ පරගැති හෙළයන්ට සිය ආගම ජාතිය සිහිපත් කරන්නට හේ ගත් මඟ අදීන ය. සිංහලයන්ගේ නිවට නියාලු බව නසන්නට පෙරමුණ ගත් ධර්මපාලතුමන්, පියදාස සිරිසේනයන් ගත් මඟ එතුමා ගත් බව අපට පෙනේ. බස රැකුණොත් දෙස රැකෙන බවත් මුලින් ම අත තිබිය යුත්තේ බස රැක ගැන්ම වෙනුවෙන් බවත් හේ ඇදහුවේ ය. පුරාණ ඉන්දියාවේ පඬිවරුන් විසින් පුරුෂ ශ්‍රේෂ්ඨයා නිර්වචනය කරන ලද්දේ ඔහු සතු භාෂා අලංකාර යෝග්‍යතාව ද සැලකිල්ලට ගනිමින්ය.
ඕනෑම අයෙක් කට අරින තෙක් පණ්ඩිතයෙකි කියා පැරණි වහරේ කතාවක් ඇත. ඕනෑ ම මෝඩයකුට වුව ද වස්ත්‍රයෙන් බැබළීමට හැකි වුව ද ඒ බැබළීම ඔහු කතා කරන තෙක් පමණි යන්න එහි සුභාෂිත වදනයි. සංවර්ධිත රටක් යනු සාර සුභාවිත සුගම්‍ය බසක් භාවිත වන සමාජයකි. එය වෙන ම අධ්‍යයනය කළ යුත්තකි; කතා කළ යුත්තකි. හැත්තෑව දශකය තෙක් පමණ මෙරටේ විශ්වවිද්‍යාලය දක්වා ජනප්‍රිය ම විෂය වූයේ භාෂා සාහිත්‍යය යි. එහෙත් වර්තමානයේ භාෂා සාහිත්‍යය විෂය පථවලට අත්වූ ඉරණම ගැන ඔබ දැනුම්වත් ය.
ඕනෑම ජන සමූහයක් ජාතියක් බවට පත් වීමට නම් පොදු සංස්කෘතියක් ඇති විය යුතුය. සංස්කෘතිය ඉදිරියට ගෙන යෑමේ ගාමක බලය වන්නේ භාෂාව ය. එනයින් බලන කල සිංහල සංස්කෘතියේ ප්‍රධාන ම අංගය වන්නේ සිංහල භාෂාවය. සිංහලය මවු බස කොටගත් පිරිස සිංහල ජාතිය යි. ඒ නිසා අපේ අනන්‍යතාව ඇත්තේ අපේ මවු බස වන සිංහලයේ යි. අනෙක් ජාතීන් පිළිබඳවත් තත්ත්වය එසේ ම ය. අප කොතරම් භාෂා දැන ගත්තත් සිතන්නේ මවු බසිනි. අපට හැඟීම් දනවන්නේ මවු බස යි. එනම් අපේ අනන්‍යතාව ඇත්තේ මවු බසේ ය.
හෙළ හවුලේ වත්මන් නයු ශ්‍රීනාත් ගණේවත්තයෝ සිංහල භාෂා දිනය ගැන මෙසේ අදහස් දැක්වූහ.
‘ජාතියක දියුණුව ඇතිවන්නේ නැඟීම ඇතිවන්නේ ඒ ජාතියේ චින්තනය මුල් කොටගෙනයි. ඒ ජාතික චින්තනය බිහිවන්නේ භාෂාව මාධ්‍යය කොටගෙන. ඒ නිසා ජාතියක් නැඟෙන්නට නම් ඒ ජාතිය වහරන බස නොවහල් ව, ඉතා දියුණු ව තිබෙන්නට ඕනෑ. බස ඒ වගේ තත්ත්වයක තිබෙන විටයි එය භාවිත කරන ජනතාවට භාෂාභිමානයක් ඇති වෙන්නේ. සිංහලයේ ඉතිහාසය විමසා බලන විට භාෂාව නිදහස් ව, නොවහල් ව, දියුණු වී පැවැති කාල වකවානුවල ජාතියත් ඒ වගේ ම ස්වාධීන ව, බලවත් ව සිටි බව පෙනේ. ඒත් කෝට්ටේ යුගයෙන් පසු භාෂාව පිරිහීමත් සමඟ ජාතියත් පිරිහී පරාධීන වුණා. මේ තත්ත්වය මනා ව අවබෝධ කොටගත් නිසයි කුමාරතුංග මුනිදාසයන් බස නැංවීම මඟින් රැස හෙවත් ජාතියත් රැස මඟින් දෙසත් නැංවිය හැකි බව පැවැසුවේ.
කුමාරතුංගයන් නුමුසු හෙළ බස පිළිබඳ අදහස පවා ඉදිරිපත් කළේ එමඟින් ජාතියේ අභිමානය ඇති කිරීමට යි. අපගේ ස්වායත්තභාවය ස්වාධීනත්වය පෙන්වීමටයි. අප රටේ ජනයාට එය වටහා ගන්නට බැරි වුණා. එහි විපාක අප අදත් විඳිනවා. භාෂාව කියන්නෙ චින්තනය පහළ කිරීමක්. චින්තනයෙන් තමයි රටක ජනයාගේ මානසික තත්ත්වය ඉහළ නංවන්නෙ. චින්තනය දියුණු කරන්න නම් චින්තන මාධ්‍ය දියුණු කරන්න ඕන. ඒකෙන් තමයි රටක ජනතාවගේ සහ ඒ රටේ දියුණුව ඇති කළ හැක්කේ’
ජාතිකත්වයෙහි ලා බසේ අගය මුලින් ම මතු කළේ කුමාරතුංගයන් විසිනි. එතුමන් එදා එය පැවසුවේ මෙසේය.
උගන්නැ සිය බස-මත් වන්නැ එහි රසයෙන්
දකින්නෙහි මහඟු බව-කියා දෙන්න අනුනටත්
කා කුමක් කීවත්-සියබස කෙලසා අපට
නිදහසෙක් නො මැ ලැබේ-පටන් ගන්නැ සිය බසින්
අනුන් පර බසෙකැ-අගය වනන පුන පුනා
සිය අගය පානු බැරි-හෙළයා මහ නිවටයෙකි... එතුමා පවසන්නේ බස නොවඩා, බස නොඔසවා කෙදිනකවත් ජාතිය නැංවිය නොහැකි බවෙකි. කුමරතුඟු දර්ශනය පිළිබඳවත් භාෂා දිනයේ වන වැදගත්කමත් මහාචාර්ය ජේ. බී. දිසානායකයන් මතු කළේ මෙපරිදි ය.
“නව චින්තනයක් ඇති ව්‍යාකරණඥයෙක් වුණු කුමාරතුංගයන් දැයෙන් සමුගත් දා සිංහල භාෂා දිනය ලෙස නම් කිරීම වැදගත් වෙන්නේ එතුමාගේ නව චින්තනය නිසයි. “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී” කියලයි එතුමා කිව්වෙ. සිංහල භාෂාව දෙස එතුමා අලුත් විදියට බැලුවා. එ් කාලයේ සිංහල ව්‍යාකරණය උගන්වන්න යොදා ගත් එකම ව්‍යාකරණ පොත සිදත් සඟරාව. ඒක ලියලා අවුරුදු 800ක් විතර වෙනවා. දඹදෙණි යුගයේ ආධුනික කවීන්ට කව් ලැකිය පෙන්වා දීමේ අරමුණින් තමයි ඒක ලිව්වෙ. සමහරු අද ඒ පොත පාවිච්චි කරනවා සිංහල භාෂාවේ ව්‍යාකරණය උගන්වන්න. එතුමා එ් වෙනුවට අලුත් ව්‍යාකරණ පොතක් ලිව්වා ව්‍යාකරණ විවරණය කියලා. මේ සියල්ල නිසා එතුමාගේ මැදිහත් වීම හරිම වැදගත්. සිංහලය ගැන බලන්න ඕන සිංහල ව්‍යවහාරයෙන් බව එතුමා එහි පෙරවදනේ සඳහන් කරනවා. විද්‍යාත්මක ඥානය වුණත් එක ම විදියට හැමදාම පවතින්නෙ නෑ. අලුත්වැඩියා වෙනවා. අද ලෝකෙ හැම භාෂා ව්‍යවහාරයක් දිහාම බලන්නෙ වාග් විද්‍යානුකූලව. ඒ වුණත් ඒ සියල්ලෙහි පදනම වහරනු සෙරෙන් සපයා යන්නයි. ව්‍යවහාරය බලාගෙන අදාළ තීරණ ගැනීමයි වාග් විද්‍යානුකූලව කෙරෙන්නෙත්. එතුමා තෙරුවන කිව්වෙ දෙස බස රැසට. නූතන වාග් විද්‍යාවේ අරුණලු එතුමා දුටු කෙනෙක්”
බස නසන බොහෝ අයට වහකදුරු සේ පෙනුණ ද බස රකින්නට පෙරමඟ බලන අය ඉදිරියේ කුමරතුඟුවෝ දැවැන්ත සන්නාමයක් බවත්, භාෂා දිනය එතුමා නාමශේෂභාවෝපගත වූ මාර්තු 2 දාට යෙදීම ජාතික කර්තව්‍යයක් බවත් පවසන්නේ හෙළ බස් මිණි අ. ආ. ගුණතිලකයන් ය.
‘කුමරතුඟු චින්තනය අදට තමයි වඩාත් ම ගැළපෙන්නේ. අවුල් වෙමින් පැවැති භාෂාවක් නිරවුල් කරගෙන සම්මතයට අනුව ඉදිරියට පවත්වා ගෙන යෑම තමයි එහි පැවැති වැදගත්ම කර්තව්‍යය. දිගට ම අපට පැවැති එක ම සාම්ප්‍රදායික ව්‍යාකරණය කුමාරතුංගයන් ව්‍යාකරණ විවරණය වැනි කෘතියක් ලියා සම්මතයකට සකස් කළා. අද ව්‍යාකරණ පොත් ඇත්තෙත් නෑ; තියෙන ඒවත් එකකට එකක් වෙනස්. සමහරු හිතුමතේට ව්‍යාකරණ පොත් ලියනවා. වාග් විද්‍යාඥයනුත් එහෙමයි. එදාටත් වඩා බහු වියරණ වාදයක් අද තියෙනවා. ඒ නිසා විධිමත් සම්මත වියරණයක් පවත්වා ගෙන යෑමට තමයි කුමාරතුංගයන් මුල් වුණේ. ඒ නිසා එතුමන් නමින් සිංහල භාෂා දිනය නම් කිරීමත්, ඒ චින්තනය පවත්වා ගෙන යෑමට මඟ සැකසීමත් අප කළ යුතු වූවක්”
බසක් පවතින්නේ ඒ බස අයත් ජාතිය එකී බස හැකි තරම් භාවිත කරන විටය. සිංහලයේ ඉතිහාසය විමසා බලන විට අපට පෙනෙන්නේ භාෂාව නිදහස්ව, නොවහල්ව, දියුණු වී පැවැති කාලවකවානුවල ජාතියත් ඒ වගේම ස්වාධීන ව, බලවත්ව සිටි බවෙකි.
එහෙත් කෝට්ටේ යුගයෙන් පසු භාෂාව පිරිහීමත් සමඟ ජාතියත් පිරිහී පරාධීන විණි භාෂාව මඟින් නිරූපිත ජාතික චින්තනයක් නැති වූ කල ජාතික අනන්‍යතාවක් ගොඩනැඟෙන්නේ කෙලෙස ද යන්න මේ මත විමසන බොහෝ විද්වතුන්ගේ අදහසයි. සිංහල භාෂා දිනයේ වැදගත්කමත් කුමරතුඟු චින්තනය පිළිබඳවත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලතා ගුරුසිංහයන්ගේ අදහස මෙපරිදි ය. ‘කුමාරතුංග මුනිදාසයෝ විසිවැනි සියවසේ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ ගවේෂණ මෙන් ම නිර්මාණ කටයුතුවල ද යෙදුණු විද්වතෙක්.
කුමාරතුංගයන්ගේ ලේඛනාවලිය පරීක්ෂා කිරීමෙන් මේ බව මනාව විද්‍යමාන වෙනවා. දි.වි. රිචඩ් ද සිල්වාගේ කුමාරතුංග මුනි දස්න නම් පර්යේෂණ නිබන්ධනයෙහි එතුමාගේ විෂය ප්‍රදේශ 40ක් පමණ පෙළ ගස්වනවා. එමෙන්ම මහාචාර්ය එස්. ජී. එම්. වීරසිංහයන්ගේ "හෙළයේ මහ ඉසි පර්යේෂණාත්මක කෘතියේ ද සුවහස් නය මනැසි ඉසිවරයාණෝ ලිපි සංග්‍රහය ද ඇසුරු කිරීමෙන් මෙම අදහස් හුවමාරු කර ගන්න පුළුවන්. සෑම ප්‍රබන්ධයකින් ම නිශ්චිත සමාජ අර්ථයක් ඉස්මතු කිරීමට විමසිලිමත් වූ ලේඛකයකු ලෙස කුමාරතුංග හැඳින්වීම සාධාරණයි. ප්‍රබන්ධය හා ප්‍රබන්ධකරණය අරබයා එතුමා දක්වන ලද අදහස් සර්වකාලීනයි. එතුමා ප්‍රබන්ධකරණය අරබයා දක්වන කරුණු අතර කිමෙක් බඳාන ලැබේද? කෙසේ බඳනා ලැබේද? කෙසේ උසස් කරනු ලැබේද? යන්න අතිශය වැදගත්. කුමාරතුංග මුනිදාසයන්ගේ ප්‍රබන්ධෝපදේශය නිර්මාණාත්මක ගද්‍ය ලේඛනය පිවිසෙන නවකයාට නිසි මාර්ගය පෙන්වා දෙන මාර්ගෝපදේශක ග්‍රන්ථයක ප්‍රබන්ධ සංග්‍රහය එම මාර්ගෝපදේශ අනුගමනයේ සම්පාදනය කළ හැකි ප්‍රබන්ධ මේ යයි පෙන්වා දෙන කෘතියක්.
පාඨකයාට සියුම් වින්දනයක් කතා රසයක් ලබා දෙමින් පාඨකයාගේ ඥාන මණ්ඩලය පුළුල් කිරීමට චින්තනය පෝෂණය කිරීමට තුඩු දෙන ගද්‍ය රචනා මාලාවක් කුමාරතුංග පඬිවරයා විසින් රචනා කළ බැවින් ඒවා එදාටත් වඩා අදට වලංගු බව අවධාරණය කළ යුතුය. ඒ නිසා සිංහල භාෂා දිනය එතුමාගේ වියෝව යෙදෙන මාර්තු 2 වැනිදා නම් කිරීම අතිශයින් වැදගත් කරුණක්”
සිංහල භාෂා දිනය මාර්තු 2දා ලෙස නම් කරන ලද්දේ එවකට සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාව සිටි වි.ජ.මු. ලොකු බණ්ඩාර ඇමැතිවරයා විසිනි. කුමාරතුංගයන්ගේ නුමුසු හෙළ බස පිළිබඳ අදහස ඔස්සේ ද විග්‍රහ වෙන්නේ ජාතියේ අභිමානය බස ඔස්සේ සම්පාදනය වෙන බවෙකි. එය අපගේ ස්වායත්තභාවය සහ ස්වාධීනත්වය පිළිබඳ සහතිකයකි. සිංහල භාෂාව රැක ගැනීම පිළිබඳ මතවාදී ම ය ආස්ථානයක රැඳී සිටින, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ගනුෂ්ක රන්දුල සිංහල භාෂා දිනයේදී කුමරතුඟු චින්තනයේ අසිරිය පිළිබඳ සිහිපත් කළ යුත්තේ ඇයි යන්නට මෙවන් පිළිතුරක් ගොනු කළේය.
කුමාරතුඟුවන් බොහොම නොවහල් චින්තනයක් තිබුණු කෙනෙක්. අදීන හා ස්වායත්ත දර්ශනයක් තිබූ කෙනෙක්. එතුමා වරක් කිව්වා විමසුවැයි යමෙක් යා නම් නරකා දී මට සුවයි එහිම යනු වෙනතක නෑ දී.... යම් දෙයක් ප්‍රශ්න කිරීම වරදක් නම්, යම් දෙයක් විමසීම වරදක් නම් ඒ වරද කරලා මට නරකාදියට යන එක හොඳයි මේ චිරාගතව පවත්වා ගෙන එන බොරු පිළි අරගෙන දිවිය ලෝකෙ යනවට වඩා කියලා. ඒකෙන්ම තේරෙනවා නිවහල් චින්තනයට එතුමා කොයිතරම් කැමැත්තකින් ගත කළා ද කියන එක. සමාජයේ තිබුණු බොහෝ ආචීර්ණ කල්පිත දේ ඔවුන් ප්‍රශ්න කළා. ඒ වගේම කියන කෙනා තමන් දරන මතය ගැන කරුණු දක්වන්නෙ නැති නම් ඒක පිළිගන්න එපා කියලත් එතුමන් කිව්වා.
එතුමාගේ දර්ශනයේ පැහැදිලිව පෙනෙන ලක්ෂණ දෙකක් තියෙනවා. පළමුවැන්න විමැසීම, දෙවැන්න කරුණු ඉල්ලා සිටීම. ඒ නිසයි බස ගැන, ලිවිසැරිය ගැන මතවාද ඉදිරිපත් කළේ. ඔවුනගේ වැරැද්දක් කවුරු හරි පෙන්වා දුන්නත් පිළිගත්තා. එයයි චින්තනයක අසිරිය. දේශීයත්වය, ජාතිකත්වය වගේම අලුත් දෑ නිපදවන්න පදනම් වුණේ විමැසීම හා කරුණු මත පදනම් වීමයි.”
මාර්තු දෙවැනිදාට යෙදෙන සිංහල භාෂා දිනය පිළිබඳ කුමරතුඟු දර්ශනය මඟ හැර කතා කළ නොහැකි බව මේ සියලු මතවාද ඔස්සේ සනාථ වෙයි.
බස නසන බොහෝ අයට වහකදුරු සේ පෙනුණ ද බස රකින්නට පෙරමඟ බලන අය ඉදිරියේ කුමරතුඟුවෝ දැවැන්ත සන්නාමයක් වෙති; එය කවර කලෙකවත් යට නොයන්නේ එහි පාදමේ වන ශක්තිමත් බව නිසා ය. අදටත් සියවස් ගණනක් ඉදිරියෙන් සිටින කුමරතුඟු දර්ශනය හා භාෂාත්මක පෙළහර බස නසන්නට පෙළ ගැසෙන බොහෝ අය ඉදිරියේ පලිහක් සේ ක්‍රියා කරන්නේ කිසිවකු ඒ ගැන පෙනී සිටින නිසා නොවේ; එකී ශක්තිමත් පදනමට අභියෝග කරන්නට තරම් දැනුමක් මේ දක්වා සම්පාදනය නොවූ නිසා ය.
සිංහල භාෂා දිනය සම්බන්ධයෙන් අප මෙලෙස මතවාද මණ්ඩපයක් ගෙන ආවේ කරුණු කිහිපයක් පෙරදැරි කරගනිමිනි. එකක් වන්නේ ජාතියක පැවැත්ම තීරණය වන්නේ එකී ජාතියේ බස මත වීම ය. ජාතියක චින්තනය ගොඩනැඟෙන්නේ භාෂාව මාධ්‍ය කර ගනිමිනි. එනිසා ජාතියක් ලෙස අප නැඟී සිටින්නට නම් අප වහරන බස නොවහල්ව හා නිදොස් ව භාවිත කළ යුතු වෙයි.
සිංහල බසට කවර නම් කුඩම්මාගේ සැලකිලි ද යන්න ට බොහෝ දුර යා යුතු නැත. සිංහලයන් දෙදෙනෙක් හමු වූ විට පවා අද බොහෝ දුරට කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. සිංහලය වැරැද්දීම අද විලාසිතාවකි.
බොහෝ මවුපියෝ සිය දරුවන්ට හරියට සිංහල බැරි බව කියන්නේ උජාරුවෙනි. එහෙත් මවු බස නිවැරදි ව නොදැන අන් කවර බසක් දැන ගත්තත් ඵලක් නැත.
ලැජ්ජා විය යුත්තේ සිංහලය බැරි වීම හෝ වැරැද්දීම ගැන මිස ඉංග්‍රීසි වැරැද්දීම ගැන නොවේ. නිවහල් චින්තනයක අසිරිය මෙන්ම අදීන ජාතියක පැවැත්ම තීරණය වන්නේ අප මවුබසට කෙතරම් අභිමානයක් එක් කරන්නට එකතු වෙන්නේ ද යන්න මත ය.