ගුණසේන විතානලා තමයි ජනතාවාදී සාහිත්‍යය කියලා එකක් ප්‍රචාරය කළේ
- ආචාර්ය ගුණදාස අමරසේකර
ගුණදාස අමරසේකරගේ යළි උපන්නෙමි නවකතාව මනස් විකාරයක්
- ගුණසේන විතාන
සාහිත්‍ය මතවාද කලින් කලට පැනවෙයි; ඛණ්ඩනය වෙයි; බිඳෙයි. මේ සියල්ල සාහිත්‍යයේ ප්‍රගමනයට දායක වෙයි. මේ පැනවෙන ඛණ්ඩනය වෙන මතවාද ගැන බොහෝ දෑ කලින් කලට මතුවෙනු පෙනේ. පේරාදෙණි ගුරුකුලය ගැන මතවාදය සමාජගත වන කාලයේ ම ඊට ප්‍රතිපක්ෂ ව තවත් මතවාදයක් කරලියට එයි. ඒ ජනතාවාදී සාහිත්‍යය ප්‍රවර්ගයයි. එහෙත් බොහෝ විද්වත්හු ජනතාවාදී සාහිත්‍යය ගැන වන මතවාදීමය මතුවීම ප්‍රතික්ෂේප කරති. කලාව කලාව උදෙසා පමණී කියන්නන් සේ ම කලාව ජනතාව උදෙසා ය කියන්නන් ද මේ පිරිසේ වෙති.
මහාචාර්ය සිරි ගුනසිංහ වරක් මේ සම්බන්ධ ව ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නකි.
‘අපේ රටේ මහා විශාල ජනතාවාදී සාහිත්‍යයක් ගොඩනැගුණේ නැහැ. ඒ කාලේ ජනතාවාදී රැල්ලක් නම් තිබුණා. අනෙක ජනතාවාදී සාහිත්‍යක් තිබුණත් අනෙකුත් සාහිත්‍ය මතවාදවලට එයින් බාධාවක් වුණා යැයි මා විශ්වාස කරන්නේ නැහැ. ජනතාවාදය, නූතනවාදය, සාංදෘෂ්ටිකවාදය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය වැනි විවිධාකාර නම්වලින් ඇතැමුන් සාහිත්‍ය කෘති අර්ථකථනය කරනවා. එහෙත් මේ විවිධ ලේබල්වලින් කියන්නේ එකම දේ. සමාජයේ ජීවත්වන පුද්ගලයකුගේ හෝ කිහිපදෙනකුගේ ජීවන රටාව විග්‍රහ කිරීමයි මෙයින් සිදුවන්නේ.
පේරාදෙණි සාහිත්‍යය ගුරුකුලය ගැන මතවාදී ම ය එකඟතාවකින් මුල් යුගයේ සිටියද ආචාර්ය ගුණදාස අමරසේකර පසුකාලීන ව මේ මතවාදයට විපක්ෂ ව සිය මතය ඉදිරිපත් කරන අයුරු අපි දුටුවෙමු. මනස් පුතුන්ගේ සාහිත්‍ය කලාව පොදු සමාජයට දැක්මක් හෝ වැදගත්කමක් එක් නොකරන බව ඔහුගේ මතවාදය වන අයුරු පසුකාලීන ව අත්වින්දෙමු. මේවනටිට ජනතාවාදී සාහිත්‍යකලාව සම්බන්ධයෙන් තමන් දරන මතවාදීමය ආස්ථානය ගැන ආචාර්ය ගුණදාස අමරසේකර පවසන්නේ මෙවැන්නකි.
ජනතාවාදී කලාව කියන එක ඇත්තටම තේරුමක් ඇති දෙයක් නොවෙයි. කලාව සාහිත්‍ය කියන එක 1970න් පස්සෙ බිහිවුණේ විශේෂයෙන් ම මාක්ස්වාදී පක්ෂ ආශ්‍රයෙන්. මේ රටේ ගුණදාස විතාන වගේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ අය තමයි ජනතාවාදි සාහිත්‍යය කියන සංකල්පය, නම ප්‍රචාරය කළේ. ඒක ඇත්ත වශයෙන් ම ඔවුන් ගත්තේ සෝවියට් දේශයෙන්. ඒකාලේ සෝවියට් දේශයේ තිබුණු මතවාදයක් තමයි සමාජවාදී යථාර්ථය කියන එක. රුසියාවේ ලෙනින්ගෙ කාලෙ තමයි පළමුවෙන් ම මේක බිහි වුණේ. මොකද රුසියාව ඒකාලෙ තිබුණෙ තෝල්ස්තෝයි, දොස්තයෙවුස්කි, චෙකොෆ් වගේ ලේඛකයන් විසින් බිහි කළ යථාර්ථවාදී සංකල්පය. ඒ කියන්නේ විවේචනාත්මක යථාර්ථය කියන මතවාදය මත තමයි අර ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යය ගොඩනැඟුණේ. ඊළඟට ස්ටැලින්ගේ කාලෙ තමයි ජනතාවාදී කියන මතවාදයට ආවෙ.
සාහිත්‍ය කෘතියකින් සමාජවාදය ප්‍රචාරය කිරීමේ අදහසක් තමයි ඒ. මේකෙන් තමයි අපේ අයත් ජනතාවාදී කියන සංකල්පය ගත්තෙ.
ජනතාවාදී සාහිත්‍ය සංකල්පය ගැන බෙහෙවින් අවධානය යොමු කළ ලේඛකයකු මෙන් ම ග්‍රන්ථ ප්‍රකාශකයකු ලෙසද විචාරාත්මක මැදිහත් විමක් කළ අයකු ලෙස ද ප්‍රකට ගුණසේන විතාන ජනතාවාදී සාහිත්‍ය කලාව ගැන සිය අදහස අප හා පැවසුවේ වෙනස් ප්‍රවේශයකිනි. ආචාර්ය අමරසේකර සිය මතවාදීමය වශයෙන් ඇගිල්ල දිගුකරනුයේ ජනතාවාදී සාහිත්‍ය සංකල්පය ව්‍යාප්ත කිරීමේ ලා මූලික ප්‍රචාරණයක් සිදු වූයේ ගුණසේන විතාන ලේඛකයා අතින් බවකි. ඒ පිළිබඳ ගුණසේන විතාන පවසන්නේ මෙවැන්නකි.
කලා කෘතියක් නිර්ව්‍යාජ නම් එහි පවතින තත්ත්වයෙන් වෙනස් වෙන්නෙ නෑ. ජනතාවාදී කියන වචනය වැරදියි. ජනතාවාදි කියන එකෙන් මම හිතන්නෙ බොහෝ දෙනෙක් අදහස් කරන්නෙ ජනතාවට හිතවාදී කියලයි. ජනතාවාදි කියන එක නොවෙයි; ජනතාවට හිතකර, ජනතාව සඳහා වන සාහිත්‍යකුයි ඕන. ජනතාවාදි සාහිත්‍යය කියලා අපි නම් කළේ නෑ. පේරාදෙණි සාහිත්‍යයට විකල්ප ව ජනතාවට පක්ෂපාතී සාහිත්‍යයක් ඕන කියන එකයි ඒකෙ අදහස. ඒ සඳහා ජනතාවගේ සමාජීය ප්‍රවේශයක් ඔස්සේ සාහිත්‍යකරණය සකස් කිරීමට අපි කටයුතු කළා. එහෙම නැතිව ප්‍රචාරකවාදී වැඩක් කළේ නෑ‘
ඒ කරුණ මතු කරන අතරේ ම ගුණසේන විතාන චෝදනාත්මක ව ආචාර්ය අමරසේකරගේ යළි උපන්නෙමි කෘතිය ගැන සිය අවධානය යොමු කළේ ය.
අමරසේකර ආරම්භයේදී ඉවක් බවක් නැතිව සාහිත්‍යකරණයේ නිරත වුණා. එයින් පස්සෙ තේරුම් ගත්තා තමන් කළේ වරදක් බව. යළි උපන්නෙමි කෘතිය ගැනත් පේරාදෙණි සාහිත්‍යය ගැනත් ඒකයි ඔහු පාපොච්ඡාරණය කළේ. කොහොමත් යළි උපන්නෙමි නවකතාව මනස් විකාරයක්. ඉන්පසු එක්තරා ප්‍රමාණයක් ඔහු තැන්පත් බවක් පෙන්නුම් කරනවා. දැන් නම් ඉතාම පරිණතව හා තැන්පත් බවකින් යුතුව තමයි අමරසේකර නිර්මාණකරණයේ නිරත වෙන්නෙ.
යළි උපන්නෙමි ලියූ ගුණදාස අමරසේකර තමන්ගේ කෘතිය ගැන තමන් ම ස්ව පාපොච්ඡාරණයක නිරත වෙන්නේ එය පොදු සමාජයෙන් ව්‍යුත්පන්න ව පුද්ගල මනස ඉලක්ක කරගත් ඇතුළු මනසට එබී බලන නවකතාවක් කියා ය. යළි උපන්නෙමි මනස් විකාරයක් බව කියන ගුණසේන විතාන ලේඛකයාට අමරසේකර දෙන්නේ මෙවන් පිළිතුරකි.
‘යළි උපන්නෙමි කෘතියේ සමාජවාදය නම් නෑ. ඒකෙ තියෙන්නෙ පුද්ගලවාදී නැඹුරුවක්. ඒ අතින් බැලුවම මම වුණත් එ්ක ප්‍රතික්ෂේප කළේ ඒ අර්ථය උඩ. මේක සමාජයට කතා කරන කෘතියක් නෙවේය; පුද්ගලයකුගේ අභ්‍යන්තරය පිළිබඳ ව කරන විවරණයක් හැටියට එ්ක සමාජයට වැදගැම්මක් නැතිය කියලයි මමත් ප්‍රතික්ෂේප කළේ‘
යම් කෘතියක පැවැත්ම ඇත්තේ එහි තිබෙන දේ තවත් තැනක පැවතීම දැයි යන ගැටලුව කාලයක් තිස්සේ පැවතුණේ ය. ආභාසය පවත්නේ මේ වෙනුවෙන් දැයි මතවාද පවතින්නේ ඒ නිසා ය. මේ කියන අර්ථය ඒ වචන ඒ ලෙස ම පැවැතීම නොවේ. එහි පවතින ස්වභාවය දැනට පවතින සමාජතලයේ කියැවීමකට ලක් වීම ය. එනම් එකිනෙකා අතර සහ පැවතීම යි. එය එකින්නෙක වචන, වාක්‍ය වශයෙනි. නැතහොත් අර්ථ වශයෙනි. චරිත, ඇඳුම් සහ නන් විධ දේවල් ආභාසය යටතේ පෙන්වා දෙන ආකාරය දැකිය හැකි ය. නමුත් අභාසය ලෙස පෙන්වන දේ එයට වඩා ගැඹුරු තත්ත්වයකි. ආභාසය යන්නෙන් ගැඹුරු ආකාරයේ ප්‍රතිබිම්බගත කිරීමක් අදහස් වෙන බව කියන්නේ ඒ නිසාය. එහි එක් කොටසක් දාර්ශනික ය; අනික් කොටස ගැඹුරු රසාස්වාදනය සහ වින්දනීය පාර්ශ්වයෙන් සමන්විත වී තිබේ. සෝවියට් සාහිත්‍යයේ මේ කරුණු අඩුවැඩි වශයෙන් පැවතිණි. එනිසාම ලාංකේය සමාජයට වඩාත් බලපෑම්කාරී සාහිත්‍යමය ප්‍රවේශය වූයේ සෝවියට් රුසියානු සමාජවාදී ක්‍රමය හා සාහිත්‍යයයි. මෙය අප ලේඛකයන්ට ද දරුණුවට බලපෑ බව ආචාර්ය අමරසේකරගේ මතවාදයයි. ජනතාවාදී නමින් හඳුන්වන මේ සංකල්පය නිසරු මතවාදයක් බැව් ඔහු පවසන්නේ ඒ නිසා ය.
ජනතාවාදී සාහිත්‍යය කියන්නෙ ම නිසරු කතාවක්. සමාජවාදී යථාර්ථය කියන එක සෝවියට් දේශයෙන් ආව එකක්. එ් වෙලාවෙදි ඕක මෙහෙයවුණේ පේරාදෙණි සාහිත්‍යය නිසා. පේරාදෙණි සාහිත්‍යය මුළුමනින් ම ලියවුණේ පුද්ගලවාදී සාහිත්‍යයක් හැටියට මිසක් පොදු සමාජයට අදාළ සාහිත්‍යයක් විදියට නොවෙයි. පේරාදෙණි සාහිත්‍යය ආභාසය ලබා ගත්තේ බටහිර 19 වැනි 20 වැනි ශතවර්ෂවලදී ඇති වුණු ලෝක යුද දෙක අතරදි බිහිවුණ බටහිර මනස් පුතුන්ගේ සාහිත්‍යයෙන්. ලෝරන්ස්, එලියට්, ආන්ද්‍රෙ ජිද් වගේ නවකතාවරුන්ගේ ආභාසය නිසා තමයි පේරාදෙණි සාහිත්‍යය බිහිවුණේ. ඒක ඇත්ත වශයෙන් ම නිසරු මතවාදයක්. ඒකට විරුද්ධ ව තමයි ජනතාවාදී අදහස් ආවෙ. එහෙම කියලා ඒකට සාහිත්‍යයක් කියන්න බෑ‘
මේ පිළිබඳ ව ගුණසේන විතාන ද යම් එකඟත්වයකින් යුතු එහෙත් වෙනස්කම්වලින් ද සන්නද්ධ පිළිතුරක් සම්පාදනය කරනු ලබයි. දීර්ඝ කාලයක් තිස්සේ සෝවියට් ප්‍රකාශන ලාංකේය පාඨකයාට හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් කළ හේ, ඒවායෙන් පවතින තත්ත්වය යථාවාදී ව නිරීක්ෂණයෙන් යුතුව ලේඛකයන් විසින් සම්පාදිත බව පවසයි.
සෝවියට් රුසියානු සාහිත්‍යයේදී කියන්නෙ යථාර්ථවාදී සාහිත්‍යයක්. ඒකෙන් නිරූපණය වුණේ රුසියානු ගොවි සමාජය. ඒවා සදා සත්‍යයයි.
ජනතාවාදී සාහිත්‍යෙය්දී ජනතාවාදී කියන එකෙන් අදහස් කරන්නෙ ජනතාව වෙනුවෙන් වන සාහිත්‍යයක් බවයි ආචාර්ය අමරසේකර පවසන්නේ. ලියෝ තෝල්ස්තෝයි යුද්ධය හා සාමය යන මහා ග්‍රන්ථය නිර්මාණය කළේ සමස්ත යුරෝපීය ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් අරන්. සමාජයට හිතකර සාහිත්‍යයකුයි අපට අවශ්‍ය.
කලාව පවතින්නේ කලාව උදෙසා ය යන මතවාදය මුල් කාලීන ව බොහෝ දෙනා ගුරුකර ගත්ත ද පසුකාලීන ව මේ මතවාදයට යම් විරෝධතා මතු වූ බැවින් කලාව පවතින්නේ ජනතාව උදෙසා ය යන මතවාදය කරලියට පැමිණියේ ය. බොහෝවිට ජනතාවාදී සාහිත්‍යය යන මතවාදය එන්නට ඇත්තේ එතැනින් බව විචාරක අදහසයි. මේ සඳහා මුල් කාලීන ව යම් පක්ෂපාතීත්වයක් දැක් වූ ආචාර්ය අමරසේකර ඊට පසුකාලීන ව ඒ අදහස ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රබල සාමාජිකයකු බවට පත් විය.
ඒක නිකම් යල්පැනපු අදහසක්. කලාව කලාව සඳහා නොවෙයි, කෙරෙන්නේ. කලාව කෙරෙන්න ඕන පුද්ගලයාත් සමාජයත් දෙක සම්බන්ධ කරන ආකාරයටයි. පුද්ගලයාට විතරක් නොවෙයි, සමාජයටත් අදාළ වෙන විදියට සාකච්ඡා සාහිත්‍ය මතවාද සාකච්ඡා කෙරෙන්න ඕන. වැදගත් කලාවක් බිහි වෙන්නෙ එහෙම‘
ගුණසේන විතාන කලාව කලාව සඳහාය කියන මතවාදය තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔහු දැඩිව ඒ සඳහා විරුද්ධ වෙමින් පේරාදෙණියේ මනස්ගාත නිසා මේවැනි තත්ත්ව මතුවුණු බව ට චෝදනා කරයි.
කලාව පවතින්නේ කලාව සඳහා ය කියන එක මුග්ධ අදහසක්. කලාව විතරක් නොවෙයි හැමදේම මිනිසුන් සඳහා. විශ්ව සාහිත්‍යයේ හැම කලා කෘතියකින් ම සමාජය යම් අයුරකින් ඥානනය වෙනවා.
රසවාදය මිනිසාගේ දුක සැප කිරා බලන තුලාවක් මෙන්ම සැබෑ මුහුණුවරින් ඉදිරිපත් විය යුතුයි. පිකාසෝ ගුවර්නිකා නිර්මාණය කළේ සැබෑ ලෙසින්. මොනවා වුණත් කලා කෘති නිර්මාණය විය යුතු වෙන්නේ ජනතාව සඳහායි. කලාවේදී ශ්‍රමදායි නිර්මාණය කලා කෘතියක්. ශ්‍රමය තමයි වටින්නෙ.
කලා කෘතියක් කියන්නෙ සුන්දර ශ්‍රමයක ප්‍රතිඵලයක්. හැබැයි ඒක ප්‍රචාරකවාදීත්වයෙන් තොර වෙන්න ඕන. ප්‍රචාරයේදී සෞන්දර්ය පළා යනවා.
මේ සියල්ල ගැන අවධානය යොමු කිරීමේදී කලාව පවතින්නේ පීඩිත පන්තිය වෙනුවෙන් දැයි යන ගැටලුව පැන නැඟේ. එහෙත් මේ විචාරකයන් ඒ පිළිබඳ දරන මතවාදය සංදිග්ධතා බහුල වූවකි. පීඩිත පන්තිය පිළිබඳ ව ලිවීම ජනතාවාදී කලාවක ස්වභාවය නොවන බව ආචාර්ය අමරසේකරගේ මතයයි.
පීඩිත පන්තිය ගැන විතරක් ලියනවා කියන්නෙ බොරුවක්නෙ. සාහිත්‍යයෙන් කරන්නෙ පීඩිත පන්තිය හරි, කොයි පන්තිය හරි ඒ සමාජයට එ්ක කොයිතරම් වලංගු ද කියන එක මතයි. ජනතාවාදී කියලා පීඩිත පන්තිය ගැන ලිව්වට ඒකෙන් වැඩක් නෑ. නිකම් ප්‍රචාරයක් විතරයි. කොයි පන්තිය ගැන හරි ගැඹුරෙන් විග්‍රහ කරලා කරන නිර්මාණය තමයි ශ්‍රේෂ්ඨ කලා කෘතියක් ලෙස සලකන්නෙ. ගුණසේන විතාන ලේඛකයා ඒ සම්බන්ධයෙන් දරන මතවාදය මෙවැන්නකි. සාහිත්‍යය පොදු සමාජය ඉලක්ක කරගත යුතු වූවක් බව ඔහුගේ අදහසයි.
‘සමහරු කියනවානෙ පීඩිත පන්තිය ගැන ලිවීම තමයි සාහිත්‍ය කියලා. මම ඒ අදහසට මුළුමනින් ම විරුද්ධයි. දිළිදු, පීඩිත වගේ ඒවා සාහිත්‍ය විචාරයේදී ගැළපෙන මාතෘකා නොවෙයි. අපේ සාහිත්‍ය විචාරය නියමාකාරයෙන් ආරම්භ කළේ මාර්ටින් වික්‍රමසිංහ. 1934 පළ කරපු සත්ත්ව සන්හතිය ඇතුළු බොහෝ පොත් ඒවාට නිදර්ශන. අන්ධකාරයේ අතපත ගාමින් දැක්මක් නැතිව ගමන් කළ විචාර කලාවට මාර්ටින් වික්‍රමසිංහ දැක්මක් එකතු කළා‘
රසවාදය පෙරදිග සාහිත්‍යය මුල් කරගත් විචාරවාදයකි. එහෙත් එය කාලයක් ලෝකය පුරා ජනප්‍රිය ව පැවතුණකි. රසවාදය පමණක් කලාවේදී භාවිතයට ගැනීම ඵලරහිත බව ගුණසේන විතාන පවසයි. ඔහු චෝදනා කරන්නේ මනස් පුතුන් බිහි වූයේ මෙකී සාහිත්‍යය ප්‍රවේශය හේතුවෙන් බවයි.
පේරාදෙණි සාහිත්‍යය කියන දේ රසවාදය විතරක් මූලික කරගත්තක්. රසවින්දනය කියන්නෙ දැක්මක්. ඒක සභ්‍ය දැක්මක්. සමාජයට ගෝචර ගැළපෙන සාහිත්‍යයක් තමයි ඕන කළේ. හදවතට විතරක් කතා කරලා වැඩක් නෑ
මනස් පුතුන් බිහිවෙනවා මේ වැනි සාහිත්‍ය නිසා. එය එක්තරා අන්දමක මානසික විකෘතිතාවක්. කවිය කියනනේ සාහිත්‍ය කියන්නේ එ්ක නොවෙයි. සරච්චන්ද්‍රගේ නිර්මාණ මනඃකල්පිත ඒවනෙ. සැබෑ කලා කෘතිවල චරිත මනඃකල්පිත නෑ.
මගේ නිර්මාණ ජනතාවට හිතකර නිර්මාණ... ජනතාවාදී නිර්මාණ කියලා ලේබල් ගහගෙන විවිධ අරමුණු සඳහා යන එකට මම විරුද්ධයි. පේරාදෙණි සාහිත්‍යයෙන් ප්‍රබල හානියක් වුණා කියලා මම නිර්ලෝභීව කියනවා.
විදග්ධ නවකතාකරුවකු වූ දොස්තයෙව්ස්කි, රැස්කෝල් නිකොව් වැනි නිර්මාණකරුවන් චරිත නිරූපණය කිරීමේදී තම වීරයා මිනිස් චිත්ත සංතානයේ ගැඹුරු ම තලයේ තබා නිරූපණය කරනවා. ඒවා සදාතනික සත්‍යය වෙන්නේ ඒ ආකාරයට.
මනස් පුතුන් බිහිකරන සාහිත්‍යයක් පිළිබඳව ආචාර්ය අමරසේකරගේ ද වැඩි කැමැත්තක් නැත. එහෙත් ඔහුගේ මුල්කාලීන කෘති සියල්ල ම එසේ පුද්ගල මනස ඉලක්ක කරගත් නිර්මාණ බව ගුණසේන විතාන ලේඛකයා චෝදනා මුඛයෙන් යුතුව මතක් කරයි. එමෙන් ම පසුකාලීන ව ඔහු ඒ මතවාදවලින් ව්‍යුත්පන්න වූ බව ද හේ නිර්ලෝභීව පවසයි. ආචාර්ය අමරසේකරගේ විවරණයට අනුව මනස් පුතුන් නිර්මාණය කිරීම ඵල රහිත වුවත් ජනතාවාදී ප්‍රවේශයත් එක්තරා අන්දමක ප්‍රචාරකවාදී එළැඹුමකි.
ජනතාවාදය කියන්නෙ එක්තරා අන්දමකට සමාජවාදය ප්‍රචාරය කරන්න කරන දෙයක්. මනස් පුතුන් කියන එක ආවේ පුද්ගලයා මුල් කරගෙන සමාජය හා සම්බන්ධයක් නැති පුද්ගලයා මුල්කරගෙන බිහිවුණු කලා කෘතියකට තමයි මම මනස් පුතුන්ගේ සාහිත්‍ය කියන්නෙ. ඒකට හොඳම නිදර්ශනය පේරාදෙණිය සාහිත්‍යය. පේරාදෙණි සාහිත්‍යයේ තියෙන ලොකුම දුර්වලකම තමයි, ඔවුන් පුද්ගලයා මිස සමාජය ගැන කතා නොකිරීම. පුද්ගලයා අහස උසට නග්ගලා ඔහුගේ ප්‍රශ්න තමයි ඔවුන් ඉදිරිපත් කළේ. ඒකෙන් ඇත්ත වශයෙන් සමාජයට වැඩක් නැහැ. ඒකයි මම පේරාදෙණිය සාහිත්‍යයට විරුද්ධ වුණේ.
කලින් කලට පැන නැඟෙන මෙවන් මතවාද සාහිත්‍යයේ ප්‍රවර්ධනයට බෙහෙවින් බලපෑම් කරනු ලබයි. ඒවා ගොඩනැඟෙන්නේ ම මතවාද ප්‍රතිවාද වශයෙනි. ලෝකයේ මෙන් ම අන්තර් සංස්කෘතික වශයෙන් ද මෙවැනි මතවාද සාහිත්‍යමය ප්‍රබෝධය සඳහා බලපෑම් කරනු ලැබීම වැළැක්විය නොහැකිය. යථාර්ථවාදය, අධියථාර්ථවාදය, මායා යථාර්ථවාදය ආදී විශ්ව සාහිත්‍ය ප්‍රවර්ග මෙන් ම ලංකාව ඇතුළත ද විවිධ සාහිත්‍ය ගුරුකුල නිර්මාණය වේ. මේ වැනි දෑ වෙනුවෙන් මතුවෙන මෙවැනි වාද ප්‍රතිවාද සාහිත්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් ම ය.