තමන්ගෙ හැකියාව, කුසලතාව ගැන විශ්වාස නම් රිස්ක් එක ගන්න දෙපාරක් හිතන්න එපා | Page 3 | සිළුමිණ

තමන්ගෙ හැකියාව, කුසලතාව ගැන විශ්වාස නම් රිස්ක් එක ගන්න දෙපාරක් හිතන්න එපා

 

අසිත සමරවීර, ඇට්ලස් Axillia ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂවරයාය. නීති විද්‍යාලයට ඇතුළු වීමේ කඩඉම් විභාගය ඉහළින් සමත් වුවත් එකල රටේ තිබූ භීෂණකාරී වාතාවරණය නිසා සිය කාලය අපතේ යවන්නට බලාපොරොත්තු නොවූ ඔහු ඇමෙරිකාව බලා යයි. ඇමෙරිකාවේ වොෂින්ටන් යුනිවර්සිටියට බැඳෙන ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය සම්පූර්ණ කරයි. අනතුරුව ප්‍රකට ආයතන කිහිපයක ආහාර සම්බන්ධව වැඩ කරන ඔහු, ඒ අතර වෙනස් ම විෂයය ක්ෂේත්‍රයක් වූ ඇට්ලස් සමාගමට එකතු වෙයි. මේ ඔහුගේ අත්දැකීම් සම්භාරයයි.

 

සම්පූර්ණ නම - අසිත රුවන් ෆ්‍රැන්ක් සමරවීර

භාවිත නාමය - අසිත සමරවීර

කවදාද උපදින්නේ - 1967 පෙබරවාරි 01

අම්මා, තාත්තා, පවුලේ අයගේ විස්තර

තාත්තා ෆෑන්ක් සමරවීර. අම්මා කමලා සමරවීර. දැන්නම් දෙන්නම ජීවතුන් අතර නැහැ. තාත්තා කළමනාකාර අධ්‍යක්ෂ කෙනෙක් විදියට වැඩ කළේ. අම්මා ඉංග්‍රීසි විෂයය පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක්.

කොහේද ඔබ පාසල් යන්නේ

මම ශාන්ත තෝමස් විද්‍යාලයට ගියේ. ඉස්කෝලෙ කාලෙ මං රගර් ටීම් එකට සෙල්ලම් කරපු ක්‍රීඩකයෙක්. උස පැනීම් ඇතුළු ක්‍රීඩා කිහිපයක් කළ මලල ක්‍රීඩකයෙක්. ඔරු පැදීමේ සහ පිහිනුම් ශූරයෙක්.

මම ඇමෙරිකාවෙ වොෂින්ටන් යුනිවර්සිටියට බැඳිලා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් කළා.

ඔබ ඇමෙරිකාවට යන්නෙ ලංකාවේ උපාධියක් ලබන්න සුදුසුකම් මදි වුණා නිසාවත්ද?

නෑ. මම සියලු බාහිර වැඩත් එක්ක පාසල් විෂයයනුත් හරියටම කළ කෙනෙක්. මාව තේරුණා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට. හැබැයි මම ගියේ නෑ.

මොකද්ද හේතුව ඒකට

ඒ කාලෙ රටේ ජේවීපී කලබල තිබුණු කාලයක්. විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලත් මම ඒක අතහැරියා. මට විශ්වවිද්‍යාලයට යන්න අවුරුදු දෙකක් බලා ඉන්න වුණා. ඉතින් ඒක අපරාධයක්. මම ඇමෙරිකාවට ගියා.

ඇමෙරිකාවේ ඉගෙන ගනිද්දි මවුපියෝද ඔබේ සම්පූර්ණයෙන් වියදම දැරුවෙ?

මගේ මවුපියන්ට පුළුවන් තරම එයාලා එව්වා. මං පාට් ටයිම් ජොබ් කරලා මදිපාඩුව හොයා ගත්තා. රෙස්ටෝරන්ට් එකක මං සැන්ඩ්විචස් හැදුවා. අවුරුදු හතරක උපාධිය මම මහන්සි වෙලා වැඩ කරලා තුනහමාරකින් කරගත්තා.

විෂයක් හැටියට පාසලේදී දක්ෂ වුණේ?

ගණිතය සහ ඉංග්‍රීසිවලට. අපිට හිටියේ, නිතර වේදිකා නාට්‍ය බලන්න යන, පොත් කියවන, උත්සවවලට සහභාගි වන අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. උගත්කම නිසා ඒ දෙන්නට සමාජයේ හොඳ තැනක් තිබුණා. මටයි අක්කටයි ඕන වුණෙත් ඒක. අක්කා හරිම නිදහසේ වැඩුණු කෙනෙක්. අපි දෙන්නටම ගෙදරින් ඒ නිදහස දීලා තිබුණා. ඒ නිසා පාසල් වැඩ වගේම අපි බාහිර වැඩත් කළා.

නැවත ලංකාවට ඇවිත් වෘත්තීය ජීවිතේ පටන් ගන්නෙ කොතනින්ද?

මම ලංකාවට එන්න කැමැත්තෙන් හිටියෙ. 92 දී උපාධිය එහෙම සම්පූර්ණ කරලා ඇවිත් නෙස්ලේ සමාගමට කළමනාකාර පුහුණු වන්නෙක් ලෙස බැඳුණා. හැබැයි මම මුල් මාස 6 සේල්ස් රෙප් කෙනෙක්. ලංකාවෙ බොහෝ පළාත්වල මම වැඩ කළා. ඒ සේල්ස් රෙප් කෙනෙක් විදියට ගත කළ කාලේ තමයි මම විඳපු දුෂ්කරම කාලෙ.හැබැයි ඒක හොඳ අත්දැකීමක්. ටික කාලෙකින් මට උසස්වීමක් ලැබුණා. නෙස්ලේ සමාගමේ මම අවුරුදු 12ක් විතර අලෙවි අංශයේ වැඩ කළා.

එතැනින් පස්සෙ?

මම නැවත අවුරුදු තුනකට විතර ඇමෙරිකාවට ගියා. මගේ බිරිය ඒ කාලේ විලාසිතා සම්බන්ධ උපාධියක් කළා.

ඇමෙරිකාවේදි ඔබ මොනවද කරන්නෙ?

මම ඒ අවුරුදු තුනේදි කොනිකා මිනොල්ටා සමාගමට සම්බන්ධ වුණා. එතනදි මම කැමරා ආම්පන්න වගේ තාක්ෂණික පැත්තකටයි සම්බන්ධ වුණේ.

එතැනින් පස්සෙ ඔබ ලංකාවට ඇවිත් ජෝන් කීල්ස් සමාගමට තමයි සම්බන්ධ වෙන්නෙ?

ඔව්. මම ලංකාවට ඇවිත් ජෝන් කීල්ස් සමාගමේ කීල්ස් ෆුඩ්ස් අංශයේ ප්‍රධාන විධායක නිලධාරියා වුණා.

එතකොට ඔබේ වයස කීයද?

මට අවුරුදු 39 යි. විශාල සමාගමක ප්‍රධානියකු වන්න මට ඒ වයසෙදි හැකිවුණා. මම ආයතනයේ හුඟක් වෙනස්කම් කළා. දියුණු කළා. ඒනිසාම මට වෙනත් ආයතනයකින් ආරාධනා කළා ඔවුන් එක්ක වැඩ කරන්න. ඒක ඩුබායි සමාගමක්.

ජෝන් කීල්ස් අතහැරලා ඔබ යනවද?

ඔව්. ඒක මට අවස්ථාවක්. ඒ සමාගමට අයිති සමාගම් 18න් එකක සකස් කළ මස්, බේකරි නිෂ්පාදන සහ මුහුදු ආහාර කියන කොටස් තුන අයිති ආයතනයේ මම ප්‍රධාන අලෙවි විධායක විදියට අවුරුදු හයක් වැඩ කළා.

ඇයි ඔබ ඒ ආයතනයෙන් එන්නෙ?

මම ලංකාවට ආවා 2015දී. ඒ ඇවිත් CBL එකට එකතු වුණා. එතැනින් තමයි මම ඇට්ලස් සමාගමට එන්නෙ. මම කැමැතියි විවිධ ආයතනවල වැඩ කරන්න. ඒක හැකියාවක්. ඒ වගේම වෙනස් වෙන්න තියෙන මාර්ගයක්. මට ඕන වුණේ ඉක්මනට උඩට යන්න. එක තැනක හිර වෙලා ඉන්න කොට ඒක අමාරුයි. අලුත් අභියෝග ජීවිතේට පන්නරයක්. තමන්ගෙ හැකියාව, කුසලතාව ගැන විශ්වාස නම් ඒ රිස්ක් එක ගන්න ඕන.

බාහිර ක්‍රියාකාරකම් ජීවිතේට කොච්චර පන්නරයක් වුණාද,?

ලංකාවේ තමයි ළමයි බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කරන්නෙ නැත්තෙ. නමුත් ඒ දේවල් ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා. කණ්ඩායමක් එක්ක කොහොමද වැඩ කරන්නේ, ජය පැරදුම දෙකෙම සමබරව දරාගන්න විදිය, සමාජය ඉදිරියේ පෙනී සිටින ආකාරය මේ හැමදේටම ඒ දේවල් බලපෑම් කරනවා. ඒ කාලේ තමයි ජීවිතේ වැදගත්ම කාලය.

කොහොමද ඇට්ලස් එකට එන්නෙ?

මම හේමාස් කියන ආයතනයට ලොකු ගෞරවයක් තියෙන කෙනෙක්. ඇට්ලස් ගැන මම ඒ වෙනකොට දැනගෙන හිටියෙ නෑ. හැබැයි හේමාස් එක ඇට්ලස් ගත්තට පස්සෙ මම හිතුවා මේකට සම්බන්ධ වෙන්න ඕන කියලා. අධ්‍යාපනය සම්බන්ධ දේවල් තමයි මෙහි කෙරෙන්නෙ.

ආහාර සම්බන්ධයෙන් වැඩ කරන ඔබ එකපාරට කොළ, පෑන් සම්බන්ධ දේවල් ගැන ඉගෙන ගන්නෙ කොහොමද?

මම තාක්ෂණික පැත්ත ඉගෙන ගත්තා. කොහොමත් මට තාක්ෂණික දේවල් ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්. කොළ, පෑන් විතරක් නෙවෙයි මේ ආයතනයේ බොහෝ දේවල් තව තියෙනවා. දැන් අවුරුදු 4ක් වෙනවා මම මේ ආයතනයට සම්බන්ධ වෙලා. දැන් මේ ආයතනයේ භාවිත වන නම තමයි Atlas Axillia.

මොනවද ආයතනයෙන් ඔබට ආව ගැටලු සහ අභියෝග?

අභියෝග එකක් දෙකක් නොවෙයි, මම මේකට සම්බන්ධ වුණාට පස්සෙ මට අභියෝග සෑහෙන ප්‍රමාණයක් ආවා. සාමාන්‍ය පුද්ගලයෙක් මෙතන හිටියා නම් එක්කො ඒ මනුස්සයට පිස්සු හැදෙනවා; නැත්නම් ආයතනය දාලා යනවා. මගේ අත්දැකිම් නිසාත්, මගේ වටිනාකම් හා පෞරුෂය නිසාත් හේමාස් එකෙන් තිබුණු සහයෝගය නිසාත් මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණා. නිකම් නොවෙයි මට මේක සාර්ථක කරගන්නත් පුළුවන් වුණා.

මොනවද ඒ තරම් අභියෝග?

මම ඇවිත් අවුරුද්දයි; පාස්කු ඉරිදා ගැටලුව වෙනකොට. අපි නොසැලී මේවට මුහුණ දුන්නා. මම මහත්මා ගාන්ධි ගැන ගොඩක් විශ්වාසය තියෙන කෙනෙක්. වරෙක මහත්මා ගාන්ධිතුමා ළඟට ආව කෙනෙක් කියනවා, මගේ ගේ ගිනි තිව්වා යම්කිසි පිරිසක්; මම මේ හදන්නෙ ඔහුගේ ජාතියේ කෙනකුගෙත් ගේ ගිනි තියන්න කියලා. එතුමා කියනවා, ඔබ එසේ කරන්න එපා, ඔබ තව කෙනකුගේ ගෙයක් හදා දෙන්න කියලා. අපි සිප්සවි කියන ශිෂ්‍යත්ව වැඩසටහනක් හැදුවා. ළමයි දෙසියකට අපි මේ ශිෂ්‍යත්වය දෙනවා. අපේ වටිනාකම පටන් ගත්තෙ එතැනින්. එතැනින් පස්සෙ අපි ගොඩක් ඉස්සරහට ගියා. ජනතාවට ඇත්ත තේරෙන්න කල් යනවා.

ඊට පස්සෙ කොවිඩ් ආවා. එතැනත් අපිට ප්‍රශ්න ආවා. අපි අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ඔන්ලයින් ක්‍රමයට ළමයින්ට අවශ්‍ය දේවල් හදා දෙන්න පටන් ගත්තා. වර්තමානයේ අපිට වෙනම අභියෝගයක් තියෙනවා. එතනදිත් අපි පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පටන් ගත්තා. විවිධ දේ අපි අත්හදා බලන්න පටන් ගත්තා. අපි මේ හැමදෙයකින්ම උත්සාහ කරන්නෙ මේ එන අභියෝග වඩාත් හොඳින් ජයගන්නයි. මේ මම ආවට පස්සෙ මුහුණ දෙන හතරවැනි දරුණු අභියෝගය.

කොහොමද තමන්ගෙ කණ්ඩායමත් එක්ක ගනුදෙනු කරන්නෙ?

මම මගේ කණ්ඩායමට ගොඩක් නිදහස දෙන කෙනෙක්. තමන්ගෙ දක්ෂතා පෙන්වන්න පුළුවන් නම්, තමන් ගැන විශ්වාස නම් මම ඒ නිදහස දෙනවා. කෙනෙක් ඇසුරු කරද්දි වැඩ කරද්දි මට තේරෙනවා ඔහුගේ පරිමාව. එක එක අය දක්ෂ එක එක විෂයයන්වලට. ඒක හඳුනා ගන්න ඕන.

කොහොමද ඔබ ඔවුන්ට ආදර්ශ දෙන්නෙ?

මම කියලා තියෙන්නෙ, හැම තිස්සෙම බොස්ගෙන් අහන්න එපා කියලා. තමන්ගෙ පාරිභෝගිකයා, තමන් වැඩ කරන්නෙ කවුරු වෙනුවෙන්ද ඒක තමයි ගොඩක්ම වැදගත්. උදාහරණයක් විදියට, අලුත් පොතක ඩිසයින් එකක් කියලා හිතන්න. මගෙන් අහුවාම මම කියන්නෙ මම දැන් වයසයි, මගේ දුවගෙන් අහලා මම කියන්නම් කියලයි. මම ආව කාලෙ මගේ සේවකයන්ට මම මේ කියන දේ වෙනස්. ඔවුන් පුදුම වුණා. බොස්, ලොක්කා වගේ ඉඳන් ඔක්කොම තීරණ අරන් කරන්න ඕන කියන තැන මම නැහැ. මම ඔවුන්ට විවිධ රටවල්වල උදාහරණ දෙන්නෙ. බොස් කියන්නෙ අවශ්‍ය කෙනා අවශ්‍ය දේ වෙනුවෙන් යොදවන කෙනා මිසක් ඒ වැඩේ කරන කෙනා නොවෙයි.

ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය කුමක්ද?

උසස් අධ්‍යාපනය සඳහා කාලය නාස්ති නොකර ඇමෙරිකාවට ගිය එක මගේ එක හැරවුම් ලක්ෂ්‍යයක්.

අනික කීල්ස් ෆුඩ්ස් සමාගමේ CEO හැටියට සම්බන්ධ වීම. එතැනින් තමයි, මං ඉහළ කළමනාකාරිත්වයට පිවිසෙන්නේ. මේ දෙකම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියන්න පුළුවන්.

ජීවිතේ වීරයෝ කියලා හඳුන්වන්න කැමැති කවුද?

ලී ක්වාන් යූ. රටක නායකත්වය සකස් වෙන්න ඕන කොහොමද කියන එකට උදාහරණයක් ඔහු. ඉලෝන් මොස්ක් තවත් මම කැමැති සහ ගෞරව කරන කෙනෙක්. තාක්ෂණික පැත්තේ අයට මම කැමතියි.

කොහොමද ඔබේ පවුලේ විස්තර. බිරිය සහ දරුවන් ගැන?

මම දැන් දික්කසාද වෙලා අවුරුදු 4ක් විතර වෙනවා. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මගේ දුවට අවුරුදු 14 යි. ඇය අනායා. මගේ පුතා සෙෂාන්, ඔහුට අවුරුදු 12යි.

සාමාන්‍යයෙන් පොත් කියවන්න කැමැතිද?

ඔව්, මම ගොඩක් කියවන කෙනෙක්. ගොඩක් කියවන්නෙ ව්‍යාපාරික පැත්තට අදාළ පොත්. ඒ වගේ චරිත කතා කියවන්නත් මම කැමැතියි. රොබින් ෂර්මා, ටෝනි රොබින්සන්, වොරන් බෆට් වගේ අයගෙ පොත් කියවන්න කැමැතියි.

චිත්‍රපට බලන්න කැමැතිද?

මම ගොඩක් කැමැතියි අද්භූත, රහස් පරීක්ෂක වගේ කතා බලන්න.

විවේක වෙලාවට ඇවිදින්න යන්න කැමැති කොහේද?

ලංකාව හරිම ලස්සන රටක්නෙ. මම කැමතියි හැමතැනටම. විශේෂයෙන් මුහුද ආශ්‍රිත පැතිවලට යන්න කැමැතියි. ඓතිහාසික පැති බලන්නත් ආසයි.

දැන් ඉස්සර වගේ බයිසිකල් පදින්නේ නැද්ද?

තාම බයිසිකල් පදිනවා. රට පුරා ගිහින් තියෙනවා මම බයිසිකලෙන්. කොහොමත් මම ව්‍යායාම කරන්න කැමැතියි. ජිම් යනවා, බයිසිකල් පදිනවා, මේ හැමදේම කරනවා.

බ්‍රෑන්ඩඩ් දේවල්ද පාවිච්චි කරන්නෙ?

එහෙම එකක් නෑ. ඒවා පස්සෙ යන්නෙ නැහැ. ඉස්සර නම් ටිකක් කළා. දැන්නම් නැහැ.

ජීවිතේ හැබෑ කරගන්න බැරි වුණ හීන තියෙනවාද ?

මම ආසාවෙන් ඉන්නවා, තාක්ෂණය පැත්තෙන් මොනවා හරි ආයතනයක් පටන් ගන්න. වයස බැරියර් එකක් කියලා මම විශ්වාස කරන්නෙ නැහැ.

ව්‍යාපාරිකයෙක් වෙන්න එහෙනම් ලෑස්තියක් තියෙනවා?

මට ඇත්තටම ඉස්සර හිතුණෙ නැහැ එහෙම එකක්. හැබැයි මම දැන් ඒකට ලෑස්තියි. මට ආසාවක් තියෙනවා දැන් මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න තාක්ෂණික පැත්තෙන්.

 

ඡායාරූප - මාලන් කරුණාරත්න

Comments