නිරූ පරමාදර්ශී චරිතයක් වුණත් ඇගේත් ආවේණික අඩුපාඩුකම් තියෙනවා | Page 3 | සිළුමිණ

නිරූ පරමාදර්ශී චරිතයක් වුණත් ඇගේත් ආවේණික අඩුපාඩුකම් තියෙනවා

2022 ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූයේ චන්ද්‍රරත්න බණ්ඩාර ලියූ ‘ප්‍රේමානිශංස’ නවකතාවට යි.

තරගකාරි ලෙසින් ‘ප්‍රේමානිශංස’ නවකතාව ජයග්‍රහණය කිරීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ඒ ගැන සතුටක් තියෙනවා. මම නවකතාවක් ලියන කොට සෙසු නවකතා අදාළ කරගන්නේ නැහැ. එහෙම වුවමනාවකුත් මට නැහැ. අනිත් අතට විදේශගතවී සිටීම යන සීමාව තුළ මෙවර මට කියවන්න ලැබුණේ නිල් කට්රොල් සහ ෂාමෙල් ජයකොඩිගේ නවකතාව පමණයි. කොහොම වුණත් මගේ නවකතාව ගැන ලොකු විශ්වාසයක් මට තිබුණා. මම උසස් දෙයක් කරනවාය කියන හැඟීම මට තිබුණා. ඒ නිසා මෙවර සම්මාන දෙකකින්ම පිදුම් ලැබීම ගැන මම අවංකවම සතුටු වෙනවා.

80 දශකයේ සිට පැමිණි මේ ගමන අද ඔබ දකින්නේ කොහොමද? 

එදා ලේඛන කටයුතුවලදී මේ තරම් පහසුවක් අපට තිබුණේ නැහැ. පොතක් ප්‍රකාශයට පත් කර ගැනීමේදී බොහෝ අපහසුකම් අපට තිබුණා. ඒ නිසාම පුවත් පතක ඉඩක්, කවි කොළයක් වගේ තැනක කවියක් ලියා පළ කරන තැනකයි අපි හිටියේ. හැබැයි ඒක ලොකු වාසනාවකුත් වුණා. කවියෙක් කියන්නේ අන් කාටත් වඩා භාෂාවත් සමඟ සංයුක්ත ගනුදෙනුවක් කරන කෙනෙකුටයි. භාෂාව භාවිත කිරීමේදී තමන්ගේ අදහස් සංකල්ප පවසන්න සුදුසුම වචන සොයා ගැනීමේ නිසඟ හැකියාව කවියකුට තියෙනවා. ඒ විදිහට ප්‍රතිනිර්මාණය කිරීම ඉහළම තැනකින් සිදු කරන්නට කවියකුට පුළුවන්කම තියෙනවා. මගේ මුල්ම කෘතියත් කාව්‍ය සංග්‍රහයක්. කවිය හැරුණාම අපේ ඊළඟ මාධ්‍ය වුණේ කෙටිකතාවයි. නවකතාවට සාපේක්ෂව කෙටිකතාව කියන්නේත් පිටු කිහිපයක අවස්ථාවක් පමණයි. එසේ බැලුවම එතැන තිබුණේත් සීමාසහිත ඉඩක්.

කාලයක් ගතවෙලා තමයි මම නවකතා ලියන්න කටයුතු කරන්නේ. මෙතැනදී විශේෂයෙන්ම කියන්න ඕනෙ නවකතාකරණයට පිවිසෙන්න මට පසුබිම හැදුණු ස්ථිර නිශ්චිත තැනක් තියෙනවා කියන එක. ඒ තමයි ගුණදාස අමරසේකරගේ ‘ගන්ධබ්බ ආපදානය’ කියවන්නට අවස්ථාවක් ලැබීම. ඒ කාලයේ මගේ පෞද්ගලික ජීවිතයේ තත්ත්වයන් හා ගන්ධබ්බ ආපදානයේ ආඛ්‍යානය අතර මොකක්දො කිට්ටු සම්බන්ධයක් තිබුණා. ඒක මට දැනුණා. මං හිතනවා ඒ තෙරපුම නිසා තමයි මගේ මුල්ම නවකතාව වන ‘මෙරූ’ ලියවුණේ කියලා. කවුරුහරි කිව්වොත් ‘මෙරූ’ නවකතාව හා ‘ගන්ධබ්බ ආපදානය’ අතර නෑකමක් තියෙනවා කියලා. කවුරුහරි එහෙම පෙන්නලා දුන්නොත් මං කියන්නේ ඒක නිවැරැදියි කියලයි. අදටත් නවකතාකරුවකු හැටියට කොයි තැනක හිටියත් ‘ගන්ධබ්බ ආපදානය’කළ ඒ බලපෑම සහ අමරසේකරගේ භාෂාමය විලාසය මට අමතක කරන්න බැහැ. එතනින් මිදෙන්න බැහැ.

ඒ භාෂාව කාව්‍යාත්මකයි; එහෙමද?

ඔව්; කවීත්වය සහ හෘද සාක්ෂිය මුසු භාෂාවක් හැටියටයි මම එය දකින්නේ. කොහොම වුණත් මම එකම තැනක රැඳුණු නවකතාකරුවකු නෙවෙයි. මගේ නවකතා එකිනෙකට වෙනස් ස්වරූප මතින් ලියවුණු ඒවා බව කියන්න ඕනෙ. පිටිසර ගැමි ප්‍රදේශයක ඉපිද හැදී වැඩී පසුව මම උප නගරයකට පැමිණෙනවා. ඒ තමයි මහනුවර. එහිදී පාසල් ජීවිතයත් ඉන් පසුවත් නගරයක් විදිහට අත් විඳි ජීවිතයත් ගොඩනැඟෙනවා. එතනදී අපි ඒ නගරය අත්පත් කරගන්න තැනකටම යනවා. එක්තරා කාලයකදී මහනුවර නගරය අපි අපේ අණසකට යටත් කර ගන්නවා. පසුව අපි කොළඹට එනවා. අග නගරයක් විදිහට එහි සාරාර්ථයන් වගේම එහි විරුද්ධාර්ථයන් සමඟ හැඩ ගැසෙනවා. ඒවා ඇසුරු කරනවා; විමසනවා. ඒ අග නගරය මුල් කරගත් හැසිරීම් සහ සිතුම් පැතුම් විලාසයන් සමඟ තමයි අපි හැඩ ගැසෙන්නේ. පසුව මම එතනින් එහාටත් යනවා. අවුරුදු විස්සක තරම් කාලයක් විදේශගතව සිටින මම මහා නගරයක ජීවිතයක් ද අත් විඳිනවා. ඔය විදිහට ගම, උප නගරය, අග නගරය සහ මහා නගරය වශයෙන් හැඩ ගැසීම් මගේ ජීවිතය තුළ තිබෙනවා. මෙන්න මේ රේඛීය ගමන් මඟ ඔස්සේ තමයි මම ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඇවිල්ලා තමයි අද මම මෙතැන ඉන්නේ. ඒ නිසාම දැන් මට පුළුවන් “හෙලිකොප්ටර් විව්” එකෙන් ආපසු හැරිලා බලන්න. මම හිතනවා ඒ හෙලිකොප්ටර් විව් එක මේ පොතට අදාළයි කියලා. මම ලෝකය දැකලා තියෙනවා. මගේ ඒ දැක්ම ගැන මට විශ්වාසයක් තියෙනවා. මම හිතනවා ඒ වගේම කිසිවෙක් මට තාම කියලා නැහැ එය හරිම කෘත්‍රිමයි කියලා.

මම මේ ගමන ආවේ වාහන දෙකකින්. එකක් තමයි අපි කවුරුත් ලබපු සම්මත අධ්‍යාපනය. ඒ විෂය දැනුම. අනිත් වාහනය තමයි වාමාංශික දේශපාලනය. ඒ වාමාංශික දේශපාලනය ගමෙන්ම පටන් ගත්ත එකක්. අදත් මම දේශපාලනිකයි. ඒත් අද මේ දේශපාලනය නෙවෙයි එදා එතන තිබුණේ. අද මම දකින විදිහට ලිබරල්වාදි අංග ලක්ෂණ බොහෝ දුරට.... ඒ වගේම දැන් මම හිතනවා ශිෂ්ට සම්පන්න මිනිස් සමාජයක් බිහි කිරීමට වඩාත්ම ගැළපෙන්නේ අර කියපු ලිබරල් ක්‍රමයයි කියලා. අපි මුලදී හිටියේ සාමුහික චින්තනය කියන තැනනෙ. සාමුහික චින්තනය ගොඩනැඟෙන්නේ ක්‍රමවේදයක් විදිහටයි. ඒත් ශිෂ්ට සම්පන්න මිනිසා ගොඩනැඟෙන්නේ තනි තනිවමයි. හැබැයි එය වියුක්ත තත්ත්වයක්ම නෙවෙයි. එතනත් සමාජ බලවේග තියෙනවා. නමුත් හඳුනා ගැනීම තියෙන්නේ තනි මිනිසා කියන තැනයි. ලිබරල් ක්‍රමය ශිෂ්ට සම්පන්න මිනිසෙක් ගොඩනගනවා. ඒක පැහැදිලියි. අද අපේ රට එවැනි තත්ත්වයක් ගොඩනඟා නොගැනීමේ වන්දිය තමයි මේ ගෙවන්නේ. දේශපාලන නායකත්වය වුණත් ආගමික ආස්ථානය වුණත් අර ශිෂ්ටත්වය ආසන්නයටවත් ඇවිල්ල නැහැ කියලා හිතෙනවා. මෙන්න මේ පුළුල් දැක්ම තමයි මගේ නවකතාවට පදනම් වුණේ.

නවකතාවේ පසුබිමට සාපේක්ෂව මෙහි එන නිරූගේ චරිතය වැඩි අවදානයක් දිනා ගන්නවා. කතුවරයා හැටියට ඔබ මෙය දකින්නේ කොහොමද?

නිරූගේ චරිතය.... නිරූගේ හැසිරීම නිර්මාණය වෙන්නේ තනි කෙනෙක්ගෙන් නෙවෙයි. නිරූලා අපට හමුවෙනවා. මට හමුවෙලා තියෙනවා. නිරූ වැනි මේ චරිත ගොඩනැඟෙන්නේ හිස් අවකාශයක නෙවෙයි. පන්ති පදනම් සහිතවයි ඒ චරිත නිර්මාණය වෙන්නේ. ඒ වගේම එකම විෂය ධාරාව ඉගෙන ගත් පමණින්ම දෙන්නෙක් එක් කෙනෙක් වෙන්නෙත් නැහැ. ඒ අනුව මෙතැනදී අපට නිරීක්ෂණයක් තියෙනවා. ඒ තමයි නිරූ කොහොමද ශිෂ්ටත්වය නිර්මාණය කරගන්නේ කියන කාරණය.

නිරූ පරමාදර්ශි චරිතයක් කියන හැඟීමක් ඔබේ කතාවෙන් මතුවෙන බව පිළිගන්නවාද?

නිරූට පරමාදර්ශී වන සමාජයක බලපෑම් කණ්ඩායම් අනුව තමයි ඇය පන්නරය ලබන්නේ. එහෙම තමයි ඇය ශිෂ්ට සම්පන්න වෙන්නේ. සයුරු සම්බන්ධයෙනුත් තත්ත්වය ඒකම තමයි. වර්තමාන මැද පාන්තික තරුණ ප්‍රජාවට නිරූලා නියෝජනය කරන ඒ සමාජ ධාරාව පිළිබඳ ඇගයීම් තියෙනවා.

ප්‍රේමය කියන්නේ හුදු හැඟීමක්ම නෙවෙයි. ඊට වර්ණ තියෙනවා. අනුභාව සම්පන්න ප්‍රේමයක් කියන්නේ මේ මගේය කියලා බදා වැලඳ ගැනීමක් නෙවෙයි කියන එකයි මගේ හැඟීම. නිදහස.... ඒකම තමයි ශිෂ්ටත්වය කියන්නේ. සයුරු නිරූට ආකර්ෂණය වෙන්නේත් ඇය නිසා ඔහු ලබන ඒ නිදහස නිසයි. එහෙම මිසක් ඇගේ ශරීර අංග ලක්ෂණ නිසා නෙවෙයි. ඒ නිසා තමයි නිරූ මෙහිදී ආකර්ෂණීය වගේම නැතුවම බැරි සාධකයක් බවට පත් වන්නේ. 

නිරූ පරමාදර්ශි චරිතයක් යැයි මමත් හිතනවා. නමුත් ඇය කිසිදු වරදක් නැති චරිතයක්ම නෙවෙයි. ඇයටත් ආවේණික දුර්වලතා තියෙනවා. කොහොමටත් අපි අපේ අදහස් අනුව චරිත නිර්මාණය කරගන්නවානෙ. ඒ අනුව අපට හමුවන අනිකා මෙසේ විය යුතු යැයි අප සිතනවා. නමුත් එහෙම අංග සම්පූර්ණ ප්‍රතිරූපයක් අපට ලැබෙන්නේ නෑ. හැම වෙලාවකම අප බලාපොරොත්තු වූ කෙනායි අපට ලැබුණ කෙනායි අතර හිස්තැනක් තියෙනවා. අන්න ඒ හිස්තැන තමයි මේ චරිතවලින් පුරවලා තියෙන්නේ. නිරූ පරමාදර්ශි චරිතයක් වන්නේත් ඒ නිසාමයි. ඒත් මේ නවකතාව ශානරගත කරන්න බැහැ. එවැනි නිර්වචනයකට මෙය අයිති නැහැ.

මේ නවකතාවේ විෂය පරාසය අභියෝගයක් බව පෙනෙනවා. ඒත් එතැන තර්කයක් ද තියෙනවා. ඔබ මෙය පිළිගන්නව ද?

ඔව්, පිළිගන්න වෙනවා. මගේ මුල් නවකතාව මෙරූ. දැන් මම දකින විදිහට කිසි මහන්සියක් නැතිව මගේම සිතුම් පැතුම් අනුව යමින් ලියවුණු එකක්. ඒත් අද වනවිට මුහුකුරා වූ වයසක සිටින මට වෙනත් වෙනත් හැදෑරීම් මතින් ලබාගත් විෂය අවබෝධය වගේම ආභාසයන් තියෙනවා. අත්විඳීම් තියෙනවා. කලා කෘතියක් කියන්නේ කිසියම් ආකාරයකට සමතික්‍රමණයක්. එහෙම නැත්නම් අතික්‍රමණයක්.

එහි තේරුම අහම්බයක් නොවේය කියන එක ද?

ඔව්, අහම්බයක් නෙවෙයි. සෙසු විඳීම්වලින් යැපෙමින් ඒවා ස්වීයකරණය කරගැනීම... අන්න එවැනි තත්වයක් නිර්මාණකරණයට අදාළ වෙනවා. මේ නවකතාව ගැන අපට කතා කරන්න සිදුවන්නෙ එවැනි පසුබිමක ඉඳගෙනයි.

Comments