අද අදම නිවනට මඟ කියන කටුවකැලේ පරම නිබ්බාන ධර්මායතනය | Page 3 | සිළුමිණ

අද අදම නිවනට මඟ කියන කටුවකැලේ පරම නිබ්බාන ධර්මායතනය

උවසි උවැසියන්ට දානය පිලිගන්වමින්

ජීවිත කාලය පුරාවටම අප විඳින අනන්ත දුක්ඛ දෝමනස්සයන් තව තවත් ශේෂ කර නොගන්නට මඟ සොයමින් සිටින මා හට බුදු සමයේ පරම විමුක්තිය වන නිවනට මඟ පෙන්වන පින්බිමක් පිළිබඳ දැනගන්නට ලැබිණ. ඒ අනුව මීරිගම කටුවකැලේ පරම නිබ්බාන ධර්මායතනයේ සත්දින නේවාසික ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් මාලාවක අසිරිය විඳගන්නට වරම් ලැබුවෙමි.

අඹේපුස්ස දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 3 පමණ ගිය තැන මීරිගම බජ්ජන්ගොඩ කටුවකැලේ වන රක්ෂිතය මායිමේ අඹේපුස්ස හමුදා කඳවුර සමීපයේ කීනදෙණිය සහ සපත්තු කඳු යාය පාමුල හරිත වර්ණ නෙක විසිතුරු තුරු ලතා මල් පලතුරුවලින් සපිරි අක්කර 20 පමණ සරුසාර පොල් ඉඩම මධ්‍යයේ මේ පින් බිම පිහිටා ඇත.

සම්ප්‍රදායික බෞද්ධ විහාරස්ථාන, අසපු, ආරාම, බෞද්ධ මධ්‍යස්ථානවලට වඩා හාත්පසින්ම වෙනස් මඟක් ගන්නා මෙම ධර්මායතනය පිවිසුමේ අඩුම තරමින් නාමපුවරුවක්වත් නොමැත. සති දම් දෙසුම් භාවනාවට පැමිණෙන දෙස්, විදෙස්, බෞද්ධ, මුස්ලිම් සහ කතෝලික බැතිමතුන් පැමිණෙන පිළිවෙළට ලියාපදිංචි කරගනිමින් අවශ්‍ය දානමාන, නවාතැන්, බේත් හේත්, ඇතුළු සියලුම පුණ්‍ය පහසුකම් සපයමින් වරකට 300 සිට 5,000 දක්වා පිරිසකගේ ධර්මඥානය ප්‍රගුණ කිරීමට ඉමහත් කැපවීමක් පරම නිබ්බාන ධර්මායතනයෙන් සිදු කරයි.

සෑම දිනකම උදේ 4.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලසටහනකට අනුව දවසේ කටයුතු සිදු කෙරෙන අතර, ගිහි පින්වතුන්ට අමතරව මෙම අරණේ බුද්ධ භාවනා වැඩසටහනට 15 ක් පමණ වන නේවාසික ස්වාමින් වහන්සේලා මෙන්ම 20 ක් පමණ වන මෙහෙණින් වහන්සේලා ද සහභාගි වෙති. දැඩි විනය නීති රීති නොපවනමුත් අවබෝධය සහ ස්වයං සංවරයක් හද සන්තානයේ ජනිත කර ගනිමින් විමුක්තිය ළඟා කර ගැනීමට මඟ හසර කියාදෙති.

දෙස්, විදෙස්, පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් කිසිදු මස් මාංශයකින් තොරව පිරිසුදු එළවළු සහිත දාන වේල්, ඔසු පැන් ගිලන්පස ලබාදෙන අතර දානය සඳහා අරණෙහි වගා කරන ලද එළවළු, පලතුරුද යොදා ගනී. ධර්මායතනයේ කඳු හෙලිතැනිතලා භූමිය පුරා දුරින් දුරට වන්නට මෙහෙණ, මෙහෙණින් උදෙසා ආවාස කුටි, කුඩා සහ විශාල, තනි මහල්, දෙමහල්, නිවාස ලෙස දානපතීන්ගේ නොමසුරු ආධාරයෙන් සකසා ඇති අතර, පොල්වලට අමතරව, බෝංචි, මෑ කරල්, කරවිල, කැකිරි, රාබු, බණ්ඩක්කා, මිරිස්, බඩ ඉරිඟු, මුරුංගා, දෙල්, ඇඹරැල්ලා, කොස්, ගොටුකොළ, මුකුණුවැන්න, නිවිති, සාරණ, තෙඹු, රණවරා ආදී පලාවර්ග, ගම්මිරිස්, රම්පේ, කරපිංචා, සේර, කුරුඳු, කුසතණ, අඹ, අලිගැටපේර, වෙරළු, ජම්බු, කෙසෙල්, නාරං, දෙළුම්, ගස්ලබු, රඹුටන්, ආදී පලතුරු වර්ග ඕලු, නෙළුම්, මානෙල්, ඉද්ද, උඩවැඩියා, අරලිය, රෝස, යකාමල් වැනි නෙක වර්ණයන් හා සුවඳවලින් සපිරි මෙකී නොකී මල් පලතුරු, ඖෂධ පැළෑටිවලින් පිරී ඇත. දානය සඳහා යොදාගන්නේද මෙම පිරිසුදු එළවළු හා පලතුරුය.

සද්දින විහරණ පටිපදා දම් දෙසුම් සහ භාවනා වැඩසටහන් මාලාව මහා ප්‍රාඥ අති පුජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ ප්‍රධාන ගිහි - පැවිදි පින්වතුන් රැසක් විසින් සිදු කරනු ලබති. පූජනීය බෝපිටියේ සුමංගල, පොළොන්නරුවේ අරියවිමුක්ති ස්වාමින්වහන්සේ ප්‍රධාන ගිහි පැවිදි උතුමන් වහන්සේ ඒ අතර වෙති.

කොතරම් ප්‍රත්‍ය පහසුකම් ලබාදුන්නද මෙහි පැමිණෙන කිසිවකුගෙන් කිසිම දෙයකට ආධාර ඉල්ලා නොසිටීම මෙහි විශේෂත්වයයි. එහෙත් දෙස්, විදෙස් බොහෝ බැතිමතුන්ගෙන් මෙතනට ලැබෙන දානමාන හා ප්‍රත්‍ය පහසුකම්වලින් නම් අඩුවක් නොමැත. මෙම ධර්මායතනයේ කිසිවකුටත් තනතුරු තාන්න මාන්න නොමැත. ඔවුහු ස්වේච්ඡාවෙන් තම කාලය, ශ්‍රමය, ධනය කැප කරමින් දිවා රෑ වෙහෙස මහන්සියෙන් යුතුව මෙහි රැඳී සිටිමින් භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන්වලට සහභාගි වන පිරිසට පුන්‍ය පහසුකම් සැපයීම විශේෂත්වයකි.

පරම නිබ්බාන ධර්මායතනයේ සියලුම කටයුතු සිදු වන්නේ බුදු දහමේ පරම සත්‍ය පෙන්වා වදාළ පුජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේගේ අනුදැනුම මත වුවත් උන්වහන්සේ කිසිවකුටත් දැඩි නීති රීති පනවා නැත. බුද්ධාගමේ සහ බුදු දහමේ වෙනසක්, විමුක්තිය ලබා ගැනීමට උත්සුක වන නියම බෞද්ධයන් ගමන් කළ යුතු නිවැරදි ගමන් මාර්ගය පිළිබඳවත් නිරන්තරයෙන්ම සියල්ලන්ටම කියාදෙති. සමාජයේ වැරදි තැන්වලට සෘජුවම පහර එල්ල කරමින් වරද නිවැරදි කර ගත යුතු ආකාරය කියාදෙන සිරි ධම්මාලංකාර හිමියන්ගේ දේශන ඇතැමෙකුට නොදිරවනවා විය හැකිය. සරල පැවිදි දිවියක් ගෙවමින් දිවා රෑ නොතකා බුදු සමයේ චිරස්ථිතිය සහ චිරජීවනය උදෙසා දම් දෙසමින් ලෝ වැස්සන්ට දහම් දැනුම ලබාදෙන 81 හැවිරිදි වියේ පසුවන සිරි ධම්මාලංකාර හිමියන්ගේ ධර්මඥානය පෘථුලය ත්‍රිපිටකයේ කොතනින් ප්‍රශ්න කළද උන්වහන්සේ ඒවාට ලබාදෙන පිළිතුරු සහ මතක ශක්තිය විස්මයජනකය.

බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ආරක්ෂා වී ඇති බෞද්ධයාගේ මුඳුන් මල්කඩ බඳු ත්‍රිපිටක පුස්කොළ පොත්වල පිටපත් හෙළබිමට ගෙන ඒමට බොහෝ දෙනෙකුගේ සහයෝගය ඇතිව මුලිකව කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික ඇලන් ඩීන් මහතාගේ හා එම මැතිනියගේ ආරාධනයෙන් මීවනපලානේ සිරි ධම්මාලංකාර මහතෙරුන් වහන්සේ 2022 මාර්තු 20 දින මහනුවරට වැඩම කළහ. එම ත්‍රිපිටක පොත්වල පිටපත් සිව්වනක් පිරිසට ප්‍රදර්ශනය කරන ලදී.

සත් දිනක් පුරාවට කාලසටහනකට අනුව උදෑසන අවදි වී මුවකට දොවා, ගිලන්පස ගැනීම බුද්ධ පූජාව, හීල් දානය, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, පිරිසිදුවීම්, බුද්ධ පූජාව දහවල් දානය, ධර්ම දේශනා, ගිලන්පස‍, ත්‍රිපිඨක භාවනා, සවස ගිලන් පස, රාත්‍රී දම් දෙසුම් හුදෙකලාව කමටහන් වැඩීම ආදී ලෙස වැඩසටහන් පෙළගස්වා තිබුණි. බෝපිටියේ සුමංගල හිමියන්ගේ අභිධර්ම පන්තිය, පොළොන්නරුවේ අරිය විමුක්ති හිමියන්ගේ දම් දෙසුම් මෙන්ම තවත් ගිහි - පැවිදි දේශන ගණනාවකින් වැඩසටහන පෝෂිත විය. සත් දින අවසානයේ දම් දෙසුම් හා භාවනා වැඩසටහන ඇසුරින් තමා ලත් ඇත්දැකීම් මෙන්ම තමතමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නටද ඉඩ ලැබුණි. මෙම බුද්ධ භාවනා වැඩසටහන පිළිබඳව කිහිපදෙනකු සිළුමිණට ද අදහස් දැක්වූහ.

ඇය මහබාගේ ධම්මසතිමා මෑණියෝය. පනස් හය හැවිරිදි වියේ සිටින ඇගේ ගිහිනම නීටා සමරනායක ය. වෘත්තීය නිළියක් ලෙස චිත්‍රපට ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය සිය ගණනක රඟපෑ ඇය කෙනෙකුගේ රාග, ද්වේශ, මෝහ ප්‍රහීනය කරන රංගනයකට පිවිසි බව පැවසුවාය. මියගිය මාධ්‍යවේදී බන්දුල ජයසේකරට පින් පිණිස ඉදිකරන ලද කුටියේ දිවිගෙවන සතීමා මෑණියෝ සිළුමිණට මෙසේ පැවසුහ.

"මම සැබෑ බුදුදහම සොයමින් සිටියේ උන්වහන්සේ විසින් රචිත ධර්ම ග්‍රන්ථයේ අනිච්ච දුක්ඛ අනාත්ම වදන් නෙත ගැටෙද්දිම සැබෑ සත්‍යය මෙතන බව මට වැටහුණා. 2016 සිට උන්වහන්සේගේ දම් දෙසුම් අහනවා. මම මහණ වෙන්න කැමැත්තෙන් වසර තුනක්ම අයැද සිටියත් දුව විවාහ වී නැති නිසා උන්වහන්සේ එය අනුමත කළේ නැහැ. දුව විවාහකර දුන්නේ 2021 අප්‍රේල් 29 මම මැයි 22 මහණ වුණා. දුව ඕස්ට්‍රේලියාවේ සිට මම ගැන බලනවා. මහත්තයා පුතා ළඟ. උන්වහන්සේ කියාදෙන ආණාපාන සති සමාධි භාවනාව නිතරම නිවැරදිව වඩනවනම් මේ අත්භවයේම මඟඵල ලබා සසරින් මිදිය හැකියි. එය වඩන කෙනෙකුගේ සිරුරින් නිකුත්වන සුදු කිරණ වළල්ල මුළු විශ්වයටම සුවදායී වෙනවා. කෙනෙක් රාගයෙන් සිටිද්දි ඔහු වටා රැඳෙන ඕරා එක කුණු කොළ පාටයි. ද්වේශයෙන් ඉද්දි ඕරා එක කුණු රතු පාටයි. මෝහයෙන් ඉද්දි කුණු කහ පාටයි. මේ කළු කිරණ ලෝකෙටම අයහපත් ලෙස බලපාන්නේ".

දිගු කාලයක සිට සිරිධම්මාලංකාර හිමියන්ගේ දම් දෙසුම් ශ්‍රවණය කරමින් ඒ මඟ යන හසලක, මහඇස්සැද්දුම ව්‍යාපාරික ඒ මග යන ජනක එරන්ද අබේසිංහ (44) මේ ධර්ම දේශනා වැඩසටහන තුළින් නිරාමිස සුවයක් ලැබූ බව පවසයි. "ව්‍යාපාරික කටයුතු කරන අතරේ වරක් මම දේශපාලනයටත් සම්බන්ධ වුණා. ඒත් ඒ සියල්ල නිරර්ථක දේවල්, මගේ බිරිය හා දරුවන්ද බුදු දහමට ලැදියි උන්වහන්සේ මඟ පෙන්වන මාර්ගයේ ගියොත් අපිට නිවන වැහෙන්නෙ නැහැ. මේ සසර හරිම භයංකරයි. මනුෂ්‍ය ආත්මභාවයක් ලැබෙන්නෙ කොච්චර කලාතුරකින්ද? ඒ නිසා දෙවරක් නොසිතා සසර කෙටිකරගෙන අද අදම නිවන් අවබෝධකරගන්න උත්සාහ දැරීම නුවණට හුරුයි"

ගෘහණියක් වන බී.ඩී. ඉන්ද්‍රා ජයන්ති, අහංගම සිට බුද්ධ භාවනාව සඳහා පැමිණ සිටි අතර මෙසේ කීවාය.

“ මෙපමණ කලක් දහම කියලා අදහම අල්ලාගෙන සිටියා. එනකම්ම හිතේ තිබුණේ කැලඹීමක්. නිවැරදි මාර්ගය අවබෝධකර ගත්තා. ආත්මාර්ථය නැති වී පරාර්ථයට යොමු වෙන්න, ඉවසීම ප්‍රගුණ කරන්න, රාඝ ද්වේශ මෝහ කෙළෙස් තවන්න හුරුවුණා.”

වසර 10 පමණ සිට වැඩසටහනට සහභාගි වන මහනුවර නුගවෙල ව්‍යාපාරික සේනාරත්න සහබන්ධු (63) පැවසුවේ ද බහුභාණ්ඩිකත්වය අතහැර මෙයට සම්බන්ධ වීමෙන් නිවී සැනසුණු බවයි.

මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු 34 හැවිරිදි හීනටියන පදිංචි චන්දිම දිනේෂ් කුමාර පැවසුවේ බුද්ධ භාවනා වැඩසටහන තුළින් මෙලොව පරලොව සෙත උදෙසා නිරාමිස සුවයක් ලැබු බවයි. දිගු කාලයක සිට බුද්ධ භාවනාවට සහභාගි වීමෙන් මෙලොවදීම අරහත් ඵලය සාක්ෂාත් කරගත හැකි බව කුරුණෑගල ක්‍රිෂාන්ති අල්ගම (47) කීවාය.

පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ දම් දෙසුම් www.Sirisaddharmaya.net වෙබ් අඩවියෙන් ද නැරඹිය හැකිය.

Comments