කවි සිළුමිණ | Page 3 | සිළුමිණ

කවි සිළුමිණ

ලෝ පර­සිදු දස­මහා ගංගා

දිගින් වැඩිම ගඟ වන්නේ නයිල් කියා නම දුන්නේ
අප්‍රි­කාවේ පිහි­ටන්නේ ආර­ම්භය විල කින්නේ
වික්ටෝ­රිය විල මත්තේ නයිල් නදිය බැබ ලෙන්නේ
ඊජි­ප්තුව හරහා ගොස් මුහුද කරා යොමු වන්නේ

දිගින් දෙවැනි තැන ගන්නේ ඇම­සන් ගැන කියැවෙන්නේ
අතු ගංඟා රාසි­යක්ම ගංගා­වට එක් වන්නේ
ලතින් ඇම­රි­කාවෙ තමයි ගංගා­වත් පිහි ටන්නේ
ඇම­සන් මහ වනය මැදින් ගඟ දිය පහ­ළට යන්නේ

දිගින් තෙවැනි තැන ගන්නේ යැංසි­කි­යැන් නම් වන්නේ
ආසි­යාවෙ පිහි­ටිය මුත් චීන­ය­ටයි අත් වන්නේ
මිසුරි - මිසි­සිපි වන්නේ සිවු­වැනි තැන අර ගන්නේ
උතුරු ඇම­රි­කාව තමයි පෝෂ­ණ­යට මුල් වන්නේ

රුසි­යා­වට අත්වන්නේ යෙනිසි ගඟ පිහි ටන්නේ
යුරෝ­ප­යට නොම වන්නේ ආසි­යාවෙ බව දන්නේ
කහ ගඟ යනු වෙන් වන්නේ හොවැංහො ගඟ බව දන්නේ
ආසි­යාවේ පිහි­ටන මුත් චීන­ය­ටයි අත් වන්නේ

ඕබී යනු­වෙන් එන්නේ උතු­රට ගල­මිනි යන්නේ
ආසි­යාවෙ උතුරු කරේ හිම මත ගඟ බැස යන්නේ
කොංගෝ ගඟ නම් වන්නේ රටත් එනම මයි ගන්නේ
අප්‍රි­කාවෙ පිහි­ටන්නේ ශයර් රටයි මෙප වසන්නේ

මීකොං ගඟ නම වැන්නේ ආසි­යාවේ වැජ ඹෙන්නේ
අමුර් ගඟ බැස යන්නේ ආසි­යාව ඔප වන්නේ
මේ අයු­රින් දැන ගන්නේ ගංඟා දහ­යක් වන්නේ
අනු­පි­ළි­වෙල දිග අනු­වයි කට පාඩම් කර ගන්නේ

කිත්සිරි ඒ. මද්දෙ­වි­තාන

 

එදා පිපුණු සුවඳ මල්

දසක හත­ර­කට පෙර කොළො­ම්පුර පය­ගසා
රාජ­කා­රිය සමඟ අත­ක­සට කර ගසා
එදා සිටි කවින් සහ කළණ ඇසු­රක් නිසා
මත­ක­යක් ඉකි බිඳී මිලින නෙත් පෙති වසා

පිට­කො­ටුවේ බොදු මැදුරෙ සහ ඕඩෙ පන්සලේ
සුර­තලේ බැලුව හැටි අසි­රි­මත් කවි කුලේ
කිවිඳු චිත්‍රා­නන්ද රැගෙන අත­කස බලේ
"බිංගි­රිය" ගෙන පසුව මහඟු වෙහෙ­යක් කළේ

"විල්බාවෙ" "අලව්වෙ" "හාක­ගොඩ" ""බෝපගේ
"අහං­ගම" "බල­ගල්ලේ" "හපු­ගොඩ"ද එක වගේ
"කොත්මලේ""එඩ්මන්ඩ් " ද "පාත­කඩ" "ලිය­නගේ"
එදා පිහිනා ගියහ රැලි නගා කවි ගඟේ

"සිරි­අ­යිය" ලෙඩ ගානේ ඉඳ­හි­ටය පැමි­ණුනේ
"ටියු­ඩ­රය" කවි හටන් බිම නිතර පැට­ලුනේ
"කිරළ ගහ­වෙල" "යාලෙ" කිවිහු ඉහ­ළම ගනේ
හෙළ­ක­විය රැකී­මට නිර­තු­රුව වෙහෙ­සුනේ

කිවිඳු "විද්‍යා­රත්න කිරු­ළ­පන" අග පුරේ
රසම රස ගුලා­වක් විය කොළඹ පර­පුරේ
එදා පිපි සුව­ඳ­මල් කොළඹ කවි පෙර­හැරේ
එකින් එක මිලි­නවී අස­ර­ණයි සනු­හරේ

සාදු නාදය දිදී සිටිය "මීමන කළු"
"කටු­වාල මුල්ල " "රක්වාන" උක්දඬු තැලු
"සේසි­රිගෙ" ගිගි­රි­හඬ ගොළුය සව­නට ගැලු
නිවී ගොස් දිගු කලෙකි රටම දිනු කවි සිළු

ධර්ම ශ්‍රී මුද්දු­වගේ
 

 

අන­ව­රත අර­ග­ලය

හිමි නිජ­බිම
අහි­මිව
තැන තැන යන්නෝ
තම වර­ප්‍ර­සාද
අයි­ති­වා­සි­කම් වෙනු­වෙන්
හඬ නග­මින්
උරු­ම­ක්කා­ර­යන්ගේ
වාස භූමි
සුනු­වි­සුනු කරයි

තව­මත්
අනු­නගේ නිජ­බිම
උදුරා හිමි කොට ගෙන
අත්පත් කර ගත්තෝ
තම වර­ප්‍ර­සාද
අයි­ති­වා­සි­කම් වෙනු­වෙන්
හඬ නග­මින්
උරු­ම­ක්කා­ර­යන්ගේ
වන භූමි
සුනු­වි­සුනු කරයි
තව­මත්

චාන්දනී දේවිකා පුංචි­හේවා

තෙල් සුසුම්

දෙයියෝ සාක්කියෑ
මේ .... අනේ....!
කන්දේ මහ­තුන්ය නොවැ,
දින ගාණක් යැ
මහා කළු­වරේ,
සීතලේ ගුලි­වෙලා
ගැහෙ­නවා නොවැ
හන්දියේ

තවම නැතුවා යැ
ඩොලර් කොළ ගෙවලා නැවට
මහා සයු­රෙන්
මෙගොඩ වන්නට පෙළට
ටැංකි පිරිලා නැති යැ
දිගට හර­හට යැ
හැඩ වැඩ යැ

දිවා රැයේ නිවේ­දන යැ
පාට පාටින් දිලි­සෙන
ලොකු ඇත්තන්නෙ රූප යැ,
විග­සින
තෙල් දෙන­වාය පැව­සෙන
ගෙන අත ටෝක­නය
පෝලිමේ ගන්නට යැ
තෙල් බිඳ යැ ටැංකි­යට
එන­දාක රතු බවු­ස­රෙන් යැ....

ටැංකිය යැ පෝලිමේ යැ
නිහඬ කළ ටෝක­නය
පිපිරි ගිනි ගත් දින යැ
නිමා වේවි ද යැ
හඬන, ඇවි­ළෙන,
පෝලිමේ අර්බුද යැ
තෙල් සුසුම්

කීර්ති කපු­වත්ත
 

 

පසක් වීම

මිරි­ඟුව පසු පසම ලුහු බැඳ
උකහා ගත් මුළු දිවිය
දැනි නොදැනී යන අසුරු සැනි
උපා­දාන කොට හිඳී ජීවි­තය

හුදෙ­ක­ලාව හා සහ වාසය
පමණ නිව­නක් තවත් කොහි­වෙද
දිදු­ලන දැලි අංශු­වක් තර­මට
ඉහිල් වී නිවී සැනැහේ දිවිය

රාත්‍රිය තුළ පෙනේ සුන්දර දහ­ව­ලක්
නර­ක­යෙන් මතුවී ඒ
දැකු­ම්කලු දෙව්ලො­වක්
දනිමි හැඳි­නිමි නිමේ­ෂ­ය­කට
මගේ දිවියේ කලා­ක­රුවා මමම බැව්

ස්වර්ණා කාන්ති පෙරේරා
 

සිරස සහ කිරී­ටය

අභි­ශේ­ක­යේදී
කුමර සිර­සට
වැටුණි මිණි ඔටු­න්නක්
කුම­ර­හිස එතැන් සිට
පත්විය රාජ­ශී­ර්ෂ­ය­කට
බල­මින් එහි සිරි
සිටින අතර අත වැස්සෝ
නියෝග...

යුක්තිය පසි­ඳ­ලීම්
දඬු­වම්
රාජ්‍ය පරි­පා­ල­න­යෙහි
බර දැනුණි ඔවු­නට
පෙනුනි කල­කදී ඔවු­න­ටම
නැමී තිබෙන යුරු රාජ­හිස
අන්තේ­වා­සි­ක­යෝද
රට වැස්සෝද

බැලුහ කුකු­සින් ඒ දෙස
බර වැඩි වීද ඔටුන්න සිර­සට
පෙනු­ණිද නිහ­ත­මා­නී­කම රජුගෙ
විස­ඳුම් නොමැ­තිව
දිවි ගෙවති තව­මත්
ජනී ජන

සරත් කුමාර වික්‍ර­මගේ
 

 

විදෙස් කවිය

විය­පත් මව­කගේ ගීතය

අරුණ උදයේ පිබිද සැමදා
දිලෙන ගිනි­දැල් අතර මැදිවී
දල්ව­මින් ගිනි උදුන මත්තේ
නිවෙස අතු ගා අහර උයලා
නිවෙන, දිලි­සෙන අඹරෙ තරු පෙළ
කරයි එබි­කම් නබෝ­ගැබ සිට
එහෙත් තව­මත් යොවුන් දරුවෝ
ලබති නිදි­සුව සිහින මව මව
හිසේ බැඳි ඒ සේද පට­වල්
විසිරි යද්දී ළය මතේ
හමා ගිය මඳ­න­ලින් කෙස් රොද
නමුදු ජීවන සැඳෑවේ මම සිටිමි
තව­මත් වැඩෙහි යෙදෙ­මින්
සීත සුළ­ඟට දුබල වී යන
ලිපේ ගිනි දැල් අතර මැදිවී

අයි­රිෂ් ජාතික නාට්‍ය­ක­රු­වකු හා කවි­යකු වන විලි­යම් බට්ලර් යේට්ස් 1865දී ඩබ්ලින් හිදී උපත ලද්දේය. 90 දශ­කයේ මුල් භාගයේ ඔහු ලන්ඩ­නයේ සිටි අතර කවි­යකු ලෙස සිය රාජ­කා­රිය ඇර­ඹු­වේය. අය­ර්ලන්ත සාහි­ත්‍යයේ පෙර­ලි­කා­ර­යකු ද වූ මොහු 1922 සිට 1928 දක්වා කාලය තුළ අය­ර්ලන්ත සෙනෙට් සභි­ක­යකු ලෙස කට­යුතු කළේය. 1923 දී යේට්ස් සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගත්තේය. 1935 දී 70 වැනි වියේදී මිය ගිය විලි­යම් බට්ලර් යේට්ස් ගේ Song of old mother යන පැදි පෙළේ පරි­ව­ර්ත­න­යකි මේ.

පිය­දස් කල්පගේ

 

ඇසළ අසි­රිය

රජ ගෙය බිසව පුතු අත­හැර ගිය­දාය
ලද සුව බෙදු ඉසි­ප­ත­නය මිග­දාය
දිය ඇස සවස ආ ගිය මඟ පහ­දාය
සිහි­වන දවස ඇසළේ පුණු පොහො­දාය
අඹු දරු බැඳුම් සක්විති සුව බාදාය
කය සිත මිදුම් නොනැ­සෙන සෙත සාදාය

ගත් මඟ දිනා සිහ නද නැඟූ ලෝදාය
සිහි­වන දවස ඇසළේ පුණු පෝදාය
මම යන මඟේ යන දහ­සක් මමා­යන
බර හිස මතට පට­වා­ගෙන තමා ගැන
විඳිනා වෙහෙස පිස නිව­නින් නිමා­වන
මඟ අපි සොයමු අද ලොව හැර දමා­යන

පරා­ක්‍රම ගුණ­සේ­කර

වස්සා­න­යට නුඹ බාරයි

ඉඳ­හි­ටකැ මඳ වැහි
වහින බව දනිමී
එවන් වැස්සට රතුව
නුඹෙ දෑස්
බරව ඇතිදෝ සිතමි......

අකුණු මැද අනෝරා
වැස්ස­ටත් නොතෙ­මවා
නුඹව යළි සෙව­ණ­කට
හැර­ලන්න සිතමී......

ඒ වැස්සෙ කෙළ­ව­රක
තබා යළි යළි නුඹව
මා හැරී එන්න­ටම පතමි....

ඔමේෂ් ශෙහාන් දහ­නා­යක
නපුරු රෝස මල
රෝස කැලෙන් කැටුව ආව
රෝස කුමරි අතේ ඇනුණ
රෝස කටුව ඉව­තට ගෙන
සුව­පත් කළ ජීවක මම

සුව­පත් වූ අයුරු සැණෙන්
නටුවේ කටුව ගෙන දෝතට
අනි­මින් මා සිත වටේට
මා රිදවා වෙන­තක ගිය
නපුරු රෝස කුම­රිය ඇය

මාලතී රූපිකා පුංචි­හේවා

තනි­කම

සීතල පිනි බිංදු වැටී
පොළොව තෙමන රෑ යාමේ
එක වර­කට දහස් වරක්
ඔබ මට සිහි වෙනවා
පාළුව තනි­කම දැවටී
හිතට කාන්සිය දැනිලා
තනි යහනේ ඉන්නා විට
ඔබ මට සිහි වෙනවා

ගාමිණි චන්ද්‍ර­සේන
 

වැල­පෙන කවි හිත

කෙළෙ­සෙන සුන්ද­ර­ත්වය මැද මවිත වෙලා
වළ­කන මං නොදැක අස­රණ බැළුම් හෙලා
පළ දෙන පවක කැල­තෙන මනු සතුන් බලා
කැළඹී හඬ හඬා බෙම්ගඟ යාය ගලා

කාසිය පසු පසම දිව­යන අපෙ අයම
වාසිය තකා මේ සුන්දර බව පරම
කෙරු­වත් අහිමි මර­මින් දිය­දම උරුම
පාපය සාප­යක් නොවු­ණොත් වෙමි පුදුම

දිය කඳ මැදින් ඔරු කඳ ඇදි අදී ඔහේ
සිය වෙර හබල වෙත දී කවි කියනු ඇහේ
ඒ පෙර දිනයි දැන්නම් මෙහි දැකිය නොහේ
මිය­ගිය සිහින පෑරී සිතේ සතුට නැඟේ

යු.කේ. සෝම­රත්න

පෝලිම් කවි

ඉන්නේ පෝලිමේ මං පළමු දා සිට
කන්නත් දෙයක් නෑ බඩ­ගින්න දැනු­නම
බොනවා වතුර ඒක­ටත් එක්ක තිබ­හට
මේවද අපිට දෙන්නේ ඡන්දේ දුන්නට

හිත හොඳ එකා පෝලිම මැද්දෙ ඉන්න­කොට
"ක්‍රම­දත්" එකා පැන්නයි පොම්පෙ ගාවට
මොනවා කර­න්නද රාළ­හා­මිත් අහක බැලු­කොට
යන්නේ කව­දාද මං තෙල් පෝලිමෙ මුලට

බුද්ධ­ප්‍රිය වික්‍ර­ම­රත්න

මීවිත

මඟු­ල­ටත්
අව­ම­ඟු­ල­ටත්
අද නැතු­වම බැරි
මීවිත

ඇම්.ඩබ්.
අනුර ශාන්ත

උතුම් මත­ක­යක්

මිනි­ස­ත්ක­මට වැඩි මිනි­සත් කමක් වුණේ
ඒ උත්තම ගතිය තම වාසි­යට නෙමේ
මළ­ගම සිද්ධ වුණ එතු­මගෙ අඳුරු දිනේ
අප හැර ගියේ අපෙ හිත­වත් සුනඛ තෙමේ

නැති ආද­රය මිනි­ස­කුගේ සිනා­වක
නුඹගේ දෑසෙ රැඳුනා හැම වෙලා­වක
'රෝවර්' සිටිය අප ළඟ හැම දිසා­වක
ගේ දොර පාලු වී ගිය හැටි නිමේ­ෂක

හුර­තල් වුවේ දරු­වකු ලෙස අප සම­ඟින්
ආද­ර­යට රැඳී සිටියා අප අස­ලින්
සිදු වුන වියෝ­ගය සට­හන් වී කවි­යෙන්
ස්මාර­කය සිත තුළ තැනිලා කඳු­ළින්

අර­ලිය ගසක් සිටවා ඇත සොහොන ළඟ
එහි මල් පිපෙයි එක දව­සක කිණිති අග
පැති­රෙන විට සුවඳ ගේ වට හතර දිග
සුසු­මෙන් මතක් වනු ඇත නුඹ සිටිය වග

ගාමිණි ලිවේරා

 

කුස­ගින්න

පොත්තට
රැලි ගැසුණු
කුස පුරා­වට
පිනට දුන් පිඬක් මිස
නොමැත රස­ම­ස­වු­ලක්

බුදුන් බණ­වර දෙස­න්නට පෙර
දිබ්බ චක්කු වෙත යොමා
කුස නොපිරි කල
කුසට පම­ණක් නොව
නිවී­මට අහර ‍දේ

සිවු දෙසද සය දෙසද
නෙත් යෙමා බැලු­වද
නොමැත අහ­රක් කුස­ගිනි නිව­න්නට
යදි­න්නට පෙර අහස ගුගු­රන්ට

මිහි­මත වැඩ සිටින දෙවි­ඳුනේ
අපට අහ­රක් දෙනු
යදි­න්නට පෙර සක්ව­ලින් එපිට
යකුනි තොපි
අපට අහ­රක් දියව්

ජය­ති­ලක රත්නා­යක

 

කඳ සුරි­දුනි

ඇසළ මහේ දෙව් සිරි­සෙත ගෙන දුන්න
මැණික් ගඟේ සිහි­ලස දිය නා ගන්න
වස­ර­කට වරක් පෙර­හර නර­ඹන්න
කඳ සුරි­ඳුනේ බැහැ දේවා­ලෙට එන්න

පානම් පත්තුවේ සිට පා ගමන් එන
බැති­මත් දනට ඔබගේ රැක­ව­රණ දෙන
එන්නට නොහැක අපෙ දෙප­තුල් රිදුම් දෙන
තෙල් පෝලි­මට යනවා හෙට උදෑ­සන

මල් දෝතක් අර­ගෙන කිරි වෙහෙර වැඳ
පූජා වට්ටි­යක් පඬු­රක් අතෙහි බැඳ
බුදු ගුණ කියා බෝ සෙවනේ පහස විඳ
දෙවො­ලට ආපු හැටි මත­කයි සුරිඳු කඳ

කත­ර­ගම දෙවිඳු වඳි­නට පුරුදු ලෙසින්
අත­ර­මඟ නව­තිමි තෙල් ටික නොමැති කමින්
නිතර ඇසෙන කාවඩි නද දෙවොල තුළින්
නතර නොවී පව­තින ලෙස පතමු ඉතින්

මුතුලී අබේ­වි­ක්‍රම

දුවට මවක මිස

රක්තා­කළි රාස්සයො
බමන රජ­යන රැයේ
ගාමන්ට් බසෙන් දුව
කැටුවා එන මඟ දිගේ
මොර ගෑව මගේ සිත
දුවේ නුඹ ගැන බියේ

හීන අත ගගා එම
නුඹ සිතෙන් හැම­දාම
කළු කපා එළිය දුන්
සඳ එළිය නොවෙද මම?
දැන් ටික දොහක සිට
නුඹේ සිතු මනා­පෙට

රූං ගා නුඹ සමඟ
ආව ගිය දොර­ක­ඩට
රාං කුරුලු රාජයා
මුමු­ණලා මිහිරි පද
දව­ට­ගෙන නුඹෙ සුරත
සරා උඩු ගුවන මත
මඟ දමා මගේ දුව

හිටි ගමන් ගිය පුවත
හෝස් ගා ගිනි තිබ්බ
මගේ පපු කුහ­ර­යට
කලේ වැදු­ණත් ගලේ
ගලේ වැදු­ණත් ගලේ
බිඳෙ­න්නෙම ඒ කලේ
එයයි නිය­මය දුවේ

ලාල් කළු­ත­රගේ

 

වයි­ර­සය

උප නුපන් හැම ලෝදන හද දවා
අවා­රයේ ගවු­සිය ගවු සිසාර ආව්‍ය­ස­න­යක්
ඇවිළී සිත්හි වියෝ ගිනි
තැනු කූඩු පැටවු එක්ක කඩා වැටී

සිහින මන්දිර බිඳී ලෝකය උඩු යටි කුරු වී
බුමු­තු­රුනේ දෙපා රැඳි මැති පවා
කුල­ගොත බල නිල තල නොතැකු නියා
ස්ථිර යයි සිතූ සිල්ල බොරු වී

වයි­ර­සය නම් මහා යද­මින් බැඳ සිරවී..
පොළොව සේ දුක් ඉහි­ලු­වත්
අග­හි­ඟ­කම් මැද මනස් පැට­ළිලා
සලඹේ මුතු රකිනා අයු­රින්

පරා­ජ­යෙන් උදම් වෙන්න
වියෝ­ග­යෙන් නොසෙල් වෙන්න
මද තෙද ඇති පත්තිනි මෑණි­යනේ
රැක දෙන්න සිත්හි සුව සහ­නය සදා

ඊ.එම්.ඩී.එදි­රි­සිංහ

 

මුහුණු පොත

ඔළු ගොඩක්
මදු ටිකක්
පිරි ඉති­රෙයි
වියරු හඬ....!

ගාමිණී දළු­වත්ත

 

-----------------------

සතියේ කවිපොත

 

කෘතිය- පිපාසයි ආනන්ද

කුසිනාරාව තව දුරද?

කර්තෘ- ඉරාණි නිල්මිණී අබේසිංහ

ප්‍රකාශනය- ෆාස්ට් පබ්ලිෂින් පුද්ගලික සමාගම

මිල- රුපියල් 325/= පිටු ගණන- 84

 

සුවිශේෂී භාව ප්‍රකාශන මාධ්‍යයක් වන කවිය අවියක් කරගනිමින් ජීවිතයේ විවිධ මනෝභාවයන් පාඨකයාගේ හදවතට දැනෙන අයරින් රචනා කිරීමට සමත් කිවිඳියක ලෙස ඉරාණි නිල්මිණී අබේකෝන් හැඳින්විය හැකිය.

මුද්‍රිත මාධ්‍යයෙන් එළිදුටු ඇයගේ මුල්ම කාව්‍ය සංග්‍රහය මෙය වුවත් ඇය තුළ පවතින ප්‍රතිභාව ආගන්තුක නොවන බව මේ කෘතියෙන් පැහැදිලි වේ.

කෘතියට පසුවදනක් සපයමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ආචාර්ය කුමුදු කරුණාරත්න පවසන පරිදි සිංහල කවියෙහි කිවිඳියන්ගේ සම්ප්‍රදානය දුර්ලභ නොවූ මොහොතක අර්ථ පූර්ණ කවියක් සොයා ඉරාණි නිල්මිණී කිවිඳිය දිගු ගමනක් යෑමට මුලපුරා ඇති බවක් ද හැඟේ.

කිවිඳිය සතු අපූර්ව පරිකල්පනීය නිර්මාණ කුසලතාවයට නිදසුන් දක්වන පද්‍ය නිර්මාණ රැසක් මෙහි ඇතුළත්ය. අප බොහෝ දෙනකුට හුරුපුරුදු හෝඩි පොතේ එන සාමා සහ අමරගේ කතාව කිවිඳිය දකින්නේ නවතාවයෙනි.

 

 

මල් පිපීදැයි බලන්න

සල් ගහේ පාමුලට‍

ගෙන ගිහින් මා

කළ හදිය අමර....උඹ...

සල් මලේ මල් පියලි

පොඩි වෙලා තියෙන හැටි

පිපුණ මල් පෙන්නුවා නොව

පිපුණ මල් විසිරුවා දැම්මා නොවැ

සල් ගසම බිම දමා

බොහෝ දියණිවරුන්ගේ ලෝකයේ වීරයා සිය පියා ය. ඒ නිසාම ඔහුගේ වියෝව දියණියන්ගේ ජීවිතයේ සදාතනික හිඩැසක් ඇතිකරන්නට සමත්ය. කිවිඳිය ‘තාත්තාට’ නම් පද්‍ය නිර්මාණය තුළ පියාගේ වියෝගයෙන් තැවෙන දියණියකගේ හදවත ජීවමාන කරන්නී;මෙලෙසිනි.

ගතවෙනා මොහොතකම

මං නුඹ ම හොයනවා

නොමැතිවිට එ හැම තැන

නොරිස්සුම් සිතින් මං පෙළෙනවා

ඒ නොහොඳ නොක්කාඩු

තියෙන ඒ ඉසුඹුවෙදි

බිත්තියේ රැඳි රුවේ

සෙනෙහෙ තරවටු බැල්ම

මගේ මුළු දිවිය ම නිවනවා...

සුලබ වස්තු බීජ සිය නිර්මාණය සඳහා පාදක කරගත්තද ඒ තුළින් පාඨකයාගේ මනස නව මානයකට ගෙනයෑමට කිවිඳිය දක්වන සමත්භාවය ප්‍රකට කෙරෙන පද්‍ය නිර්මාණ කිහිපයක්ම මේ කෘතියට ඇතුළත්ය.‘අසන්නට සිදුහත් ඔබට කොයිදෝ වෙලාවක්’පද්‍ය පන්තිය ඊට එක් උදාහරණයකි.

ජීවිතේ හිඩසක්

තියෙන බව දනිතත්

 

 

කියන්නට

පැහැද සිටියත්

අසන්නට සිදුහත්

ඔබට කොයිදෝ වෙලාවක්

රටේත් ලෝකයේත් සිදුවන කාලීන සිදුවීම්වලට කිවිඳිය වඩාත් සංවේදී වන්නී, සහෘදයා තුළ ද ඒ භාවමය ප්‍රකම්පනය ඇතිකරමිනි. මෙහි එන ‘කළුවරයි’ පද්‍ය පන්තියට පාදක කරගෙන ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිඳක් තුළ සිරවීමෙන් මිය ගිය දරුවා ය.

තේරුමක් නෑනේ මට

කොහේ ඉන්නව කියා

නුඹේ හඬ ඇහෙන් නෑ

නුඹෙ සුසුම් දැනෙන් නෑ

නුඹේ උණුසුම නොවෙයි

ගත පුරා දුවන්නේ

කළුවරයි අම්මේ

මට බයයි

පිටත හඬ ඇහෙනවා මේ දැනුත්

ඒව මම අහල නෑ කිසි දිනේ

පිරිමදින පිරිමැදුම් හරි රළුයි

නුඹෙ වාගේ නම් නොවෙයි

එදා ඒ කළුවරේ මේ වගේ

තනිවුණේ නැහැනේ මං

කළුවරයි අම්මේ

මට බයයි

කිවිඳිය තුළ ජීවත් වන ස්ත්‍රීවාදීනිය ඇතැම් නිර්මාණ තුළින් ප්‍රකට වුවද පිරිමියාගේ ගුණ රුව මැදහත් සිතින් දකින්නට ද ඇය සාධාරණ බවක් ද හැඟේ. මෙහි එන ‘ගැහැනියක් අදත් ඇත’ කාව්‍ය නිර්මාණය ඊට නිදසුනකි.

නුඹද ගැහැනියක නොවැ

විසුණු කර නොගෙන කුටුම්බය

ඉවසුවා නම් තව ටිකක්

වරදෙ නොබැඳෙන

පිරිමි ලොව නැත...

විජය දුවගෙන ආවෙ

නුඹ පිටව ගිය සැණින්

හඬා වැලපුණා ඔහු

නුඹ දකින්නට නැතිව ...

මේ, කෘතියක් ලෙස පළවූ කිවිඳියගේ පළමු කාව්‍ය සංග්‍රහය වුවද දිගු කාලයක් පුරා ඇයගේ පද්‍ය නිර්මාණ පුවත්පත්වල කවි පිටු තුළ පළවී ඇත. ඒ තුළින් ඇය සිය ප්‍රතිභාව මනාකොට ඔප් නංවා ගත්තීය. ඒ නිසාම ඇයගේ කවියේ රුව ගුණ පාඨකයාට ආගන්තුක නොවේ. ඒ නිසාම මේ කුලුඳුල් පද්‍ය කාව්‍ය සංග්‍රහය සහෘද හදවතට වඩාත් දැනෙන නිර්මාණ එකතුවක් වනවාට සැක නැත. එකිනෙකට වෙනස් වස්තුබීජ පාදක කරගනිමින් ලියැවුණු පද්‍ය නිර්මාණ 83ක් මේ කෘතියට ඇතුළත්ය.

 

සුරේකා නිල්මිණි ඉලංකෝන්

 

ප්‍රවීණ, ආධුනික ඔබේ කවි නිර්මාණ
පහත ලිපිනයට තැපෑලෙන්
පමණක් යොමු කළ යුතු වේ.
කවි සිළුමිණ,
ලේක්හවුස් - කොළඹ 10.
දුරකථනය 011 2429265

Comments