කලාකරුවකුගේ පරිකල්පනයට සීමාවක් නැහැ | Page 3 | සිළුමිණ

කලාකරුවකුගේ පරිකල්පනයට සීමාවක් නැහැ

 

l ඔබේ සාහිත්‍ය ප්‍රවේශය ගැන විස්තරයක් කරනවා නම්?

පාසල් කාලයේදී මම ජනප්‍රියව හිටියේ චිත්‍ර ශිල්පියෙකු ලෙසටයි. මම අධ්‍යාපනය ලැබුවේ රාජකීය විද්‍යාලයේ. මගේ පළමු පෙම ඇතිවුණේ පාසල් සමයෙන් පසුවයි. වේදනාකාරී අවසානයක් වූ ඒ ආදරය නිසාම මා අතින් විරහය නිමිති කොට ගෙන බොහෝ කවි ලියවුණා. එහෙම ලියවුණු කවි, නිසඳැස් ‘යොවුන් ජනතා’, ‘නවයුගය’ වැනි පුවත්පත්වලට යොමු කරන්නත් මම කටයුතු කළා. නවයුගය පත්තරේ එහෙම ලියපු මගේ නිසදැස් කවි පළ වුණා. ඒ 1988, 89 වකවානුවේ. කවිය පුංචියි. ඒත් මගේ නම පොල් ගෙඩි අකුරින් පළවී තිබුණා. ඉතින් මම තව තවත් කවි ලියන්න යොමු වුණා. ඒ මගේ නම එහෙම දකින්නට තියෙන ආසාව නිසායි. ඒ හැම කවියක්මත් පළවුණා. එක්තරා දවසක නවයුගය පුවත්පතේ කර්තෘ, ආචාර්ය අජන්තා රණසිංහයන් මට තැපැල් පතක් එවා තිබුණා ඔහුගේ කාර්යාලයට පැමිණ හමුවන්නය කියලා. මම මුලින්ම පත්තර මහගෙදර වූ ලේක්හවුසියට පය තිව්වේ ඒ කාරණාව වෙනුවෙනුයි. ආචාර්ය රණසිංහයන් මගේ විස්තර වගේම පාසල ගැනත් අහලා, පරිවර්තන ලිපි ලියා එවන ලෙසට මට යෝජනාවක් කළා. ඒ අනුව යමින් ‘රීඩර්ස් ඩයිජස්ට්’ සගරාවේ ලිපි සිංහලට පරිවර්තනය කරන්න මම කටයුතු කළා. එතුමා ඒවා නවයුගයේ පළ කළා. මට සාහිත්‍යකරණයේ මූලික සිද්ධාන්තයන් කියා දුන්නේ ආචාර්ය අජන්තා රණසිංහයන් විසිනුයි.

බන්දුල පද්මකුමාර කියන අපූරු සන්නිවේදකයා මට හමු වන්නේ ඊට පසු කාලයකදීයි. එතුමා ගේ ආරාධනාව පරිදි ‘සමුදුර’ පුවත්පතට පරිවර්තන ලිපි ලියන්න මට අවස්ථාවක් ලැබුණා. කාටත් වැටහෙන ආකාරයට ඕනෑම ගැඹුරු දෙයක් සරලව ලියා ඉදිරිපත් කරන්නට මා හුරු කළේ බන්දුල පද්මකුමාරයන්. ඒ දෙපළට මා ණය ගැති බව කියන අතරම ඔවුන් මගේ ගුරු දෙවිවරුන් හා සමාන බවත් කියන්න ඕන.

පාසලෙන් සමුගත්තට පස්සේ දී මම අලෙවි කරණය විෂය හදාරා ඊට සම්බන්ධව රැකියාවල යෙදුණා. මේ අතරතුර මට පොතක් පරිවර්තනය කරන්නටත් ආසා හිතුණා. ඒකට මට උදව් කළේ සුමිතුරු ජනක ඉනිමංකඩ. ඒ අනුව තමයි ‘බ්‍රෑම් ස්ට්‍රෝකර්ස් ඩ්‍රැකිවුලා’ පොත ‘සිටුවර ඩ්‍රැකිවුලා’ නමින් පරිවර්තනය කරලා 2005 දී ප්‍රකාශනයට පත්කළේ. පොත උණු කැවුම් වගේ විකුණුනා.

 

l ඔබගේ පරිවර්තන කෘති ගැන කෙටියෙන් සඳහන් කරනවා නම්?

‘සිටුවර ඩ්‍රැකිවුලා’ ලිවීමෙන් පසුවයි ‘උඩුබුරුලෑම’ පරිවර්තන කෘතිය නිකුත් වුණේ. ඇගතා ක්‍රිස්ටි රචනා කළ කෘති දෙකක් පරිවර්තනය කළේ ඉන්පසුවයි. නුගේගොඩ සරසවි ප්‍රකාශන ආයතනය මඟින් තමයි ඒ පොත් එළිදක්වන්න කටයුතු කළේ. ඒවායින් ‘සොල්දාදුවාගේ දූපත’ පරිවර්තන කෘතිය හුඟක් ජනප්‍රිය වුණා. ඒ වගේම අසහාය බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලී චරිතාපදානය අළලා මා ලියූ ‘අපරාජිත අලී’ කෘතිය ගැනත් මෙහිදී කියන්න ඕන. මේවා හුඟක් පාඨකයන් අතරට ගිය පොත්. ‘ෂීෂී භීම රාජ්‍යය’ මා කළ තවත් පරිවර්තනයක්. මේ සේරම සරසවි ප්‍රකාශන. තවත් කිහිපයක් තිබුණා. මේ අතරෙදි සදීපා ආයතනය ‘සසල සිරකරු’ නමින් මගේ පරිවර්තන කෘතියක් 2015 දී ප්‍රකාශයට පත් කළා. 2016 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේදී එය හොඳම පරිවර්තන කෘතියට නිර්දේශ වුණා.

 

l ‘සම්මුකී’ යනු ඔබේ පළමු ස්වතන්ත්‍ර කෘතියයි. ඒ ගැනත් විස්තරයක් කරන්න?

‘සම්මුකී’මගේ නවතම කෘතිය වගේම කුලුඳුල් ස්වතන්ත්‍ර නවකතාව ද වෙනවා. එය සරසවි ප්‍රකාශනයක්. කාලයක් තිස්සේ මම හිතින් නවකතා ලියූ කෙනෙක්. සම්මුකී බිහිවුණේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. මෙහි ප්‍රස්තුතය බිහි වුණේ පසුගිය වසරේදී අනුරාධපුර ගමනකින් පසුවයි. අනුරාධපුරයේ රන්මසු උයනේ තාරකා දොරටුව, එහෙමත් නැතිනම් විශ්ව දොරටුව කියන තැනට ගියාම මහා අමුත්තක් එදා මගේ හිතට දැනුණා. මා ඒ ගැන හුඟක් හිතුවා. පසුව මා කොළඹට ආවේ ඒ අමුත්ත හිතේ ගුලි කරගෙනයි. සම්මුකී බිහි වුණේ ඒ අත්දැකීම මුල්කරගෙනයි. ඒ අනුව ආදරය සහ කාල තරණය අළලා ආදර කතා ශානරය තුළයි මේ පොත ලියවුණේ. ඒ තුළ විද්‍යා ප්‍රබන්ධයක ලක්‍ෂණත් තියෙනවා. ආදරය කියන හැඟීමට කාලය, වයස කියන දේවල් ප්‍රශ්න නොවේ. ඒ වගේම අපි දකින සිහින තුළ බොහෝ දේ සැඟවී තියෙන්නත් පුළුවන්. කලාකරුවකුට මේ දේවල් ගැන සීමාවකින් තොරව පරිකල්පනය කළ හැකියි.

සම්මුකී ලියන්නට මා උපයෝගී කරගත් සරල බස් වහර ස්වයං අභ්‍යාසයන් තුළිනුයි සකසා ගත්තේ. මෙතනදී මට ප්‍රයෝජනවත් වුණේ කාලයකට ඉහතදී බන්දුල පද්මකුමාරයන් විසින් ලබාදුන් ගුරුහරුකම්. ඒ වගේම මේ නවකතාව තුළ මා සිටිනවාය කියාත් මට සිතෙනවා. නවකතාවේ චරිත අපව හසුරවන ආකාරය හරිම අපූරුයි. ඒක හරියට ආවේශයන්ගේ බලපෑමක් වගේ.

 

l සාහිත්‍යකරණය තුළ ඔබගේ ඉදිරි වැඩ කටයුතු කෙරෙන්නේ කොහොමද?

ඉංග්‍රීසි, සිංහල භාෂා දෙකින්ම මා ලේඛනයේ යෙදෙනවා. විශේෂයෙන්ම ඩේලි නිවුස් පුවත්පතට කලා සහ ව්‍යාපාර ලිපි ලියනවා. මේ අතර සම්මුකී කියවන බොහෝ දෙනා මට ඇරයුම් කළා. ඒ පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න කියලා. මටත් හිතුනා එහෙම කළොත් කතාවට තවත් වෙනස් අගයක් එකතු කරගන්නට වගේම වෙනස් වෙළෙඳපොළක් ද සොයා ගන්නටත් හැකි වේවි. ඒ කටයුත්තේ දැන් මා යෙදී සිටිනවා. ඒ වගේම තවත් අලුත් නවකතාවක හෙවනැලි දැන් මගේ හිතේ මතුවෙමින් තිබෙනවා. ඒකත් සම්මුකී වගේම වෙනස්ම ආරක කතාවක් වනු ඇතැයි මට සිතෙනවා.

Comments