තේරි ගී | Page 3 | සිළුමිණ

තේරි ගී

හෙළයේ මහ ගත්කරු ලෙස පිදුම් ලබන මාර්ටින් වික්‍රමසිංහ මහතා කවි ලියා ඇති බව ප්‍රකට නැත. ප්‍රබන්ධකරණයේ දී ඔහු ප්‍රකට වැ සිටින්නේ නවකතා සහ කෙටිකතා සඳහා පමණි. එහෙත් ඔහු එක් කාව්‍ය සංග්‍රහයක් ඉදිරිපත් කැර තිබේ ඒ, මේ ය.

ථෙරි ගී යනු රහත් බව ලැබූ තෙරණියන්ගේ උදාන වාක්‍ය ය.

මේවා අන්තර්ගත වන්නේ සූත්‍ර පිටකයේ, ඛුද්දක නිපාතයේ ථෙරි ගාථා පාළියේ ය. රහත් තෙරණියන් හැත්තැ තුන් දෙනකුන්ගේ උදාන එහි ඇතුළත් වෙයි. ගාථා සංඛ්‍යාව අනුව නිපාත 16කට බෙදා ඇති අතර සමස්ත ගාථා එකතුව පන්සිය හතකි. ඒ අතරින් මේ කෘතියේ ඇතුළත්ව ඇත්තේ තෙරණියන් 21 දෙනෙකුගේ ගී පමණි.

මෙහි දී කර්තෘ සඳහන් කරන කරුණු දෙකක් කෙරේ අපගේ අවධානය යොමු විය. සංඥාපනයේ ඇතුළත් වැ ඇති පරිද්දෙන් ම ඒවා මෙසේ ය.

1.‘මෙහි එන ථෙරි ගාථා සිංහලයට නැගීමේදී මම පෙළ ද, ඇතැම් විටෙක පණ්ඩිත ශ්‍රී ධර්‍මානන්ද නායක හිමියන්ගේ ථෙරි ගාථා පරිවර්තනයෙහි එන අටුවා පුවත ද අනුගමනය කළෙමි. එහෙත් සමහර විටෙක මම ඒ දෙක ම නොසලකා සිංහල රීතියම ගුරු කොට ගෙන පාලියේ නැති අදහසක් හා අලංකරණයක් ඇතුළු කිරීමෙන් ගාථාවක අරුත සිංහලට නැඟීමි.’

2. ‘එළිවැටත් විරිතත් නොතකා ථෙරි ගාථා මේ අලුත් ස්වරූපයෙන් සිංහලට නැඟීමට තුඩු දුන් අදහස මා තුළ පහළ වූයේ ජී. බී. සේනානායකගේ පළිගැනීම පොතෙහි එන අලුත් රචනා විලාසයයි’

මේ ගී කියන තෙරණියන් අතර අතර නව යොවුන් කන්‍යා ස්ත්‍රීන් නොසිටි බවක් ඉඳුරා ම කිව නොහැකි නමුත්, ථෙරි ගී යනු මේරූ ස්ත්‍රීන් විසින් පවසන ලද දෑ බව පිළිගත යුතු ය. ඒවායේ ඇතුළත් වන්නේ ඔවුන්ගේ ජීවන අත්දැකීම් ය. සැම තෙරණියක් ම සිය අත්දැකීම් හෙළි කොට නැති අතර ඒවා අනාවරණය කළ අයගේ නම් ප්‍රචලිත ය.

සුභා, උත්පලවන්නා, චාපා, ඉසිදාසී, ඛෙමා, අම්බපාලි, පටාචාරා, කිසා ගෝතමී ඒ අතරින් කිහිපයකි.

ථෙරි ගාථා කවි සමයට සීමා වූ ඒවා නොවන බව ප්‍රස්තාවනාවෙහි සඳහන් ය. ‘එහෙත් තේරි ගාථාවෙන් ආස්වාදය ලබන්නේ පොදුවේ කවියෙන් ආස්වාදය ලබන සැටියෙන් මයි. අමුතු ඉන්ද්‍රියකින් නොවේ.

රඝු වංශයෙන් හෝ ගුත්තිලයෙන් හෝ ආස්වාදයක් ලබන භාවකත්වයක් හෙවත් රස විඳින ශක්තියක් වේ ද, එයින් මයි.

ථෙරි ගාථා සංස්කෘත කවි සමයෙන් සීමා කරනු ලැබුවක් නොවේ. කවි සමය ඉක්මැවූ සියුම් කියුම් එහි ඇත. ඒ කියුම්වලින් හැඳින්වෙන “ඇත්ත” ද බුද්ධියෙන් මෙන් හැඟීමෙන් ද දැන ආස්වාදයක් ලැබිය යුත්තකි. එහෙත් ඒ ඇත්ත සමහරුන් තුළ දනවන්නේ විචිකිත්සාවකි’

මේ කෘතියේ දීර්ඝ ප්‍රස්තාවනාවේ එන ඇතැම් පුවත් අනුවේදනීය ය.

‘පටාචාරා තෙරණිය තමා පා සේදූ දිය උස් බිමින් පාතට බැස යනු බලා තමාගේ ඒ අත්දැකීම් අරමුණු කොට ගෙන භාවනා කරයි. උසස් කවියකු කාව්‍යයක් රචනා කරන්නේ ද එවැනි අල්ප කරුණක් අරමුණු කොට ගෙන භාවනා කිරීමෙනි. ඔහුගේ භාවනාවට ඇතැම්විට අරමුණු වන්නේ දුටු දෙයකි. නොඑසේ නම් හදිසියේ සිහියට නැඟුණු අත්දැකීමකි. කවියාගේ ඒ අරමුණ ඉතා සුළු එකකි. එහෙත් ඔහු නිපදවන කාව්‍යය විවිධ විචිත්‍රවත් උත්පාදනයක් වෙයි.

පා සේදූ දිය බැස පස් අතරින් යට යාමෙන් අතුරුදන් වනු දුටු ථෙරිය ඇත්ත අරමුණු කොට භාවනා කොට කෙලෙස් සිඳීමෙන් සිතෙහි මඟ පල හට ගැන්වී ය. මේ උත්පාදනය කවියාගේ උත්පාදනයට වෙනස් වනුයේ මෙලෙසිනි: කවියාගේ උත්පාදනය එයින් ආස්වාදය ලබන්නන් සඳහා ය. ථෙරියගේ උත්පාදනය තමන්ගේ ම ආස්වාදය උදෙසා ය.

තෙරණින් කෙලෙස් තැවූවන් බව ඔවුන්ගේ ජිවිතයේ සැඟ වු රහස් තැන් සෙළුව පාන අහිංසක දරුවන් මෙන් අකුටිල ව කීමෙන් හෙළිවෙයි.

චන්දා ථෙරිය ගිහිගෙයි වසන කාලයේ ජීවත් වූයේ අනාථ ස්ත්‍රියක ලෙසිනි. සැමියා මළ පසු ඈ බත් පිඬක්, රෙදි කඩක් සොයනු පිණිස ගෙන් ගෙට යමින් සිඟා කෑවා ය.

මෙසේ සත් අවුරුද්දක් සිඟා කමින් අගුවල ලගිමින් ජීවත් වූ ඈ පැවිදි වු සැටි කියන්නේ අකපට සිතිනි. ඒ අකපටකම, කපටිකමින් තොරව ජීවත්විය නොහැකි යුගයක වෙසෙන අපගේ සිත් රිද්දයි, කුප්පයි. 

කෑම බීම ලබන පිනැති 
තෙරණිය දැක පටාචාරා 
ගොස් ඈ වෙත කීවෙමි 
“මා පැවිදි කරන්න”

ඉඳුල් බත් කමින්, ඇතැම් විට නිරාහාරව ද ජීිවත් වූ චන්දා, පටාචාරා ථෙරිය දුටු විගස සිහි කළේ කුමක් ද’යි මේ කියුම අනුව සිතා ගත හැකි ය. චන්දා, පටාචාරාව හඳුන්වන්නේ කෑම බීම ලැබීමේ පින් ඇත්තියක ලෙසිනි. තමාට මහණ වන්නට සිතුණේ පටාචාරාව කැම බීම ලබනු දැකීමෙන් බව කියන චන්දා ථෙරියගේ අකපටකම මෙකල දක්නට ලැබෙන්නේ දණගාන වියෙහි දරුවන් කෙරෙහි පමණකි’යි සිතමි.

පටාචාරා ද චන්දා මෙන් හිඟන ජීවිතයේ දුක් අනුභව කළ කාන්තාවකි. චන්දා දුටු විගස පටාචාරා තුළ හට ගන්නේ මහත් දයානුකම්පාවකි.’

ථෙරි ගී ගැන මනරම් අර්ථ විවරණයක් මෙහි එයි:

‘මල් උයන් හා කටු අකුල් ද මේ ජීව ලෝකයෙහි ඇත. එසේම නරකය තෙක් දිවෙන මහා පල්ලම්, මහා ගිරිකුළු, මරු බිම් සහිත දුර්ගයක් ද එහි වෙයි.

ථෙරි ගාථා ජීව ලෝකයේ ඒ දුර්ග කෙරේ අපගේ සිත් යොමු කරවයි.

ථෙරින් එසේ කරන්නේ මෙලොව අප ලබන සොම්නස හා ප්‍රීතිය වනසා අප දාම්නස් ගොහොරුවේ ගිල්වනු පිණිස නොවේ. ඉඳුරන් පිනවීමෙන් අප ලබන ප්‍රීතියට වැඩි ප්‍රීතියක් අප ලවා සලකවනු පිණිස ය.

‘තේරී ගී’ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතියකි.

Comments