
වමත් ආරම්භක පිතිකරු සහ කඩුලු රකින්නකු වන කමිල් මිෂාර බංග්ලාදේශයේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙක අතරතුර විනය කඩ කිරීම හේතුවෙන් වහාම මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. දැනට බංග්ලාදේශයේ සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයට මිෂාර ඇතුළත් වූ නමුත් ටෙස්ට් තරග දෙකකදීම ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණි.ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ඩකා හි ෂියර් බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ 27වැනි දා නිමා විය.
මිෂාර හෝටල් කාමරය තුළට කාන්තාවක ගෙන්වා ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර එමඟින් ක්‍රීඩකයන්ගේ ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කර ඇති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ඔහුගේ සංචාර කොන්ත්‍රාත්තුවේ දැක්වෙන පරිදි ක්‍රීඩකයාගේ හැසිරීම/හැසිරීම පාලනය කරන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කමිල් මිෂාර බංග්ලාදේශයේ සිට ආපසු කැඳවීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් උල්ලංඝනය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වනු ඇති අතර පරීක්ෂණයේ ප්‍රතිඵලය මත ක්‍රීඩකයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කරනු ඇත. අප විසින් සමාලෝචනය කරන ලද හෝටල් සීසීටීවී දර්ශන ඇති අතර අප දුටු දේ පිළිබඳ පරික්ෂණ පැවැත්වීමට නියමිත බව ද වාර්තා වෙයි.
මේ වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි20 තරග තුනකට සහභාගී වී සිය මංගල ටෙස්ට් සහ එක්දින තරගාවලි සඳහා මහත් ඕනෑකමින් බලා සිටි 21 හැවිරිදි ක්‍රීඩකයාට එරෙහිව කුමන ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගනු ඇත්දැයි බලා සිටිය යුතුය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ සොයා ගැනීම් මත පදනම්ව අතිරේක ක්‍රියාමාර්ග තීරණය කරමින් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.
කමිල් මිෂාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේ 2022 පෙබරවාරි මාසයේදීය.පෙබරවාරි මාසයේදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල ජාත්‍යන්තර තරගයට පිවිසියේය. එම මාසයේ අගභාගයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඔහුව තෝරා ගන්නා ලදී. ජනවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලිය සඳහා කමිල් මිෂාර ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට තෝරා ගන්නා ලදී. 2022 පෙබරවාරි 20 වන දින, ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහුගේ මංගල තරගයට ක්‍රීඩා කළේය.
මීට පෙර ආසන්න ම සිද්ධිය වූ එංගලන්තය සංචාරයේ දී රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත රැඳී සිටි බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයන් තිදෙනා වහාම ඉවත් කර ගත් අතර ඔවුන්ට දැඩි දඬුවම් සහ තරග තහනමක් පැනවූ නමුත් පසුව එම තරග තහනම අඩු කෙරුණි. සමහර ක්‍රීඩකයන් තවමත් පාඩම් ඉගෙන ගෙන නැති බව කමිල් මිෂාර ගේ මෙකී සිද්ධියෙන් නැවත නැවතත් කියාපායි. හාස්‍යයට කරුණක් නම්, නිරෝෂන් දික්වැල්ල නිත්‍ය කඩුලු රකින ක්‍රීඩකයා ලෙස සහ අතිරේක කඩුලු රකින්නා ලෙස කමිල් මිෂාර සංචිතයට ඇතුළත් කර තිබීමයි. දික්වැල්ල ද පසුගිය මාස කිහිපය තුළ විනය ගැටලුවලට මුහුණ දුන්නේය.
2019 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් සගයන් කිහිප දෙනෙකු සමඟ බීමත්ව සිටීම හේතුවෙන් මිෂාරට වසරක අත්හිටවූ දඬුවමක් සහ තරග තහනමකට ද ලක්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් ද ක්‍රීඩකයන් ඉදිරියේ නිවට ආකාරයෙන් කටයුතු කිරීම මෙකී විනය විරෝධී හැසිරීම්වලට මුලික හේතුව වී තිබෙන බව පැහැදිලිය. අඩුම තරමේ මෙකී බංග්ලාදේශ සිද්ධියට පෙර එංගලන්ත සිද්ධියේදීවත් බලධාරින් නිසි පරිදි ක්‍රියා කළේ නැත. රාත්‍රී කාලයේ දරම් නගරයේ සැරිසරන ආකාරයත්, කුසල් මෙන්ඩිස් දුම්වැටියක් දැල්වීමට සූදානම් වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලය හරහා හුවමාරු වෙද්දිත් එකී ක්‍රීඩකයන් තිදෙනාගේ ක්‍රියා කලාපයට එරෙහිව කටයුතු නොකිරීම නිසා අද කමිල් මිෂාර කාන්තාවක් සිය කාමරයට ගන්වා ගැනීමට තරම් ම එඩිතර වී තිබේ.
දෙකෝටිය ඉක්ම වූ ජනතාවක් වෙසෙන මෙරටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරාගනු ලබන්නේ ක්‍රීඩකයන් 15- 20 දෙනකු පමණි. ඒ අතරින් පවා තරගයකට ක්‍රීඩා කිරිමට එකළොස් දෙනා අතරට එක්වීමට සුවිශේෂී හැකියාවක් තිබිය යුතුය. නමුත් මේ ආකාරයේ ක්‍රීඩකයන් සංචිතවලට පමණක් නොව අවසන් 11 දෙනාට පවා එක් වන්නේ නිසි පරිදි නොවේ යැයි සමාජයෙන් චෝදනා එල්ල වේ. එසේ එක්වන මෙවැනි ක්‍රීඩකයන්ට අඩුම තරමේ මොළයක්වත් තිබිය යුතුය. පෙනෙන ආකාරයට මොවුන්ට මොළය කළඳක්වත් නැත. මොළය කළඳක්වත් තිබුණේ නම් මේ ආකාරයට හරක් මෙන් විනය විරෝධී ලෙස නොහැසිරෙනු ඇත. මෙකී තිදෙනාට එරෙහිව අතීතයේ එල්ල වූ චෝදනා ද මෙහිදී සිහිපත් කර ගැනීම වැදගත්ය.
අර්ජුන රණතුංගගේ රෑන 1996 දි ලෝක කුසලාන දිනා ගැනීමත් සමග ලෝක සිතියමේ අබ ඇටක්ව තිබූ රටට මහත් අභිමානවත් පෞරුෂයකින් හෙබි රූපකායක් එක් විය. අර්ජුනගේ රට, සනත්ගේ රට, මුරලිගේ රට යැයි මේ රට හඳුන්වන තරමට ක්‍රිකට් නිසා අප රටට කීර්තිය ගලා ආවේය. අර්ජුනලා, අරවින්දලා, සනත්ලා, මුරලිලා එකී තත්ත්වය රටට උදාකර දුන්නේ ඉමහත් කැපවීමෙන් ක්‍රීඩා කිරීමෙනි. ඊට පසු මහේලලා, සංගලා , ඩිල්ෂාන්ලා, මාවන්ලා, මාලිංගලා, රංගනලා ඒ අඩි පාරෙම යමින් රටේ ගෞරවය ආරක්ෂා කළහ. ඩිල්ස් කූප්’ නමින් අලංකාර පහරක්ද ක්‍රිකට් පොතට එක් විය.
එහෙත් මෙවැනි විනය නොතකා හරින්නන් ජාතික කණ්ඩායමට එකතු වූ විට ඒ අභිමානවත් සියල්ල සුණු විසුණුව යෑම ගැන පුදුම විය යුතු නොවේ. ක්‍රිකට් ගසන්නට ගොස් මහ රෑ යාමේ ක්ලබ් ගානේ ඇවිදිමින් අයාලේ යන්නන්ට ක්‍රිකට් බැරි බව දැන් ඉඳුරා ම පැහැදිලිය.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට අත් වූයේ නින්දා සහගත 3-0ක පරාජයකි. ගමේ ක්‍රිකට් ගහන කොල්ලන්ගෙන් ප්‍රදර්ශනය වන දක්ෂතාවක්, ආක්‍රමණයක් මොවුන් ගෙන් බලාපොරොත්තු විය නොහැකිය. ක්‍රීඩා කරන සෑම තරගයක්ම ජයග්‍රහණය කළ නොහැකිය. එහෙත් අර්ජුනලා, සනත්ලා ඉගැන්වූ ක්‍රිකට්වල තිබුණේ දිනන්නේ නම් එය ප්‍රතිවාදියාට මතක හිටින පහරදිමකි. පරදින්නේ නම් සටනකින් පසුව ගෞරවාන්විත ලෙස පරාජය වීමය. එසේ නැතුව මෙසේ නින්දා සහගත ලෙස පරාජය වීම ශ්‍රී ලංකා ක්‍රිකට් නොවේ.
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේ මෙසේ දිගින් දිගටම පරාජය වූයේ ඇයි ද යන්න පැහැදිලිය.
මහ රෑ ජාමයේ ක්ලබ්වල කරක් ගසා පසුදින ක්‍රීඩා කළ හැකිද? එමෙන්ම එංගලන්තයේ වීදිවල මෙසේ නොහික්මුණු ලෙස කරක් ගසන විට තමන් වීඩියෝ ගත වනු නොදකින ක්‍රීඩකයන්ට පිටියේදී පන්දුව නොපෙනීම අරුමයක් ද?
***********************************
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් පරිත්‍යාග කරයි
අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ආධාර කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් පරිත්‍යාග කර තිබේ.
ඒ අනුව ළමුන් සඳහා ළමා ප්‍රතිකාර සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ‘රිජ්වේ ආර්යා ළමා රෝහලට’ ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර ඇති අතර පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ‘මහරගම පිළිකා රෝහල’ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කර තිබේ.
රටට අවශ්‍ය මේ මොහොතේ මෙම පරිත්‍යාගය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අතිශයෙන් සතුටට පත්වන අතර, මෙම අභියෝගාත්මක අවස්ථාවන් ජය ගැනීම සඳහා අපේ ජාතියට අපගේ උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පැවසීය.
එම ආධාරවල හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන එම අරමුදල් අදාළ ආයතනවල නිලධාරීන් වෙත වහාම පරිත්‍යාග කෙරේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ අපගේ ක්‍රීඩකයන්ට සහාය දක්වන අපගේ ජනතාවට, සෑම විටම කොන්දේසි විරහිතව සහාය වීමට ප්‍රසිද්ධ ක්‍රීඩා සන්නාමයක් ලෙස ඉදිරිපත් වීම අපගේ වගකීමක් බව අපට හැඟෙනවා, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා පැවසීය.