කොවිඩ් සහ ඉන්ධන අර්බුදය නිසා ලොකු ම හානිය මෝටර් රථ ක්‍රීඩාවටයි | සිළුමිණ

කොවිඩ් සහ ඉන්ධන අර්බුදය නිසා ලොකු ම හානිය මෝටර් රථ ක්‍රීඩාවටයි

 

ලංකා ඔටෝමොබයිල් සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස වසර දෙකක නිල කාලයට ඒකඡන්දයෙන් නැවත වාරයක් අශාර් හමීම් පත්ව සිටියි. මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ ප්‍රවිණ මෝටර් රථ රියදුරෙකු ලෙස කීර්තියක් උසුලන අශාර් හමීම් සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු, තරග සංවිධායක, ලෙස හා වසර ගණනාවක් එම සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කෙනෙකි.

 

කොවිඩ් වසංගතය හමුවේ සමස්ත ක්‍රීඩාවම නැවතී තිබූ මොහොතක ක්‍රීඩාවට නව පණක් ලබා දිම උදෙසා 2021 වසරේ අග භාගයේදී ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සම්මේලනයේ ලියාපදිංචි අනු සංගම් සියල්ලම සහභාගි කර ගනිමින් කටුකුරුන්ද ගුවන් හමුදා ගුවන් ධාවන පථයෙදී අති සාර්ථක මෝටර් රථ ක්‍රිඩා තරගාවලියක් සංවිධානය කරමින් නැවත මෝටර් රථ ක්‍රීඩාවට නව පිබිදීමක් ලබාදුන් අශාර් හමීම් 2022 වසර වෙනුවෙන් ජාතික තරගාවලිය එළිදැක් වීමටද කටයුතු කළේය. නමුත් මේ වසර තුළ මෙරට ඇතිව ඇති ආර්ථික අර්බුදය හා ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විට නිමා කිරීමට හැකිව ඇත්තේ තරගාවලි දෙකක් පමණි.

වසර දෙකක් මඟ හැරුණු ජාතික තරගාවලිය, මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ නියැලෙන තරගකරුවන්ගේ අනාගතය කොයිබටද? කියා සොයා බැලිමට මේ මෙහොතේ සුදුසුම පුද්ගලයා නව සභාපතිවරයායි.

 

නව ව්‍යවස්ථාව සම්මත වුණායි පසුව පළමු සභාපතිවරයා ලෙස පත්වන්නේ ඔබ, වසර දෙකක් සඳහා දෙවන වරටත් ඔබට අවස්ථාව ලැබෙනවා සභාපතිවරයා ලෙස වසර දෙකකට පත්වෙන්න මොකක්ද මේ රහස?

 

කිසිම රහසක් නෑ. මම මෙවර විධායක සභාවට තරග කරේ නෑ. නමුත් නිතරගයෙන් අනු සංගම් 10 න්ම මාව නැවත වරක් සභාපතිවරයා ලෙස ඒකමතිකව තෝරාපත් කරගත්තා. ඒ නිසයි මම දෙවන වරටත් 2024 දක්වා සභාපති ලෙස පත් වුණේ. මම කිසිම සංගමයක් සමඟ ගැටුම් ඇති කරගත් පුද්ගලයෙක් නෙමෙයි. හැම සංගමයක් සමඟ ම සුහදව එක පවුලක් ලෙස වැඩ කළ කෙනෙක්. පූර්ණ කාලීනව මෝටර් රථ ක්‍රීඩාවේ අභිවෘද්ධියට වැඩ කළ කෙනෙක්. ඒකයි නැවතත් මාව සභාපති පුටුවේ ඉන්දුවේ.

මීට පෙර ක්‍රියාත්මක වු විධායක සභාව විසුරුවා හැරිය ම සියලු අනු කමිටු ව්‍යවස්ථානුකුලව විසිරි යනවා. අපේ සංගමයේ සිටින කිසිඳු සාමාජිකයෙකු වැටුප් ලබන සාමාජිකයන් නෙමෙයි. ස්වේඡාවෙන් කැපවීමෙන් සේවය කරන පිරිසක්.

 

 කොවිඩ් නිසා පස්සට ගිය මෝටර් රථ ක්‍රීඩාව අද ඉන්ධන නිසා නැවතිලා. මෝටර් රථ දුවන පාටක් පේන්නේ නෑ නේද?

 

මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය හා ඉන්ධන අර්බුදය නිසා මෝටර් රථ ක්‍රීඩාව පමණක් නෙමෙයි. සියලු ක්‍රීඩා දුවන්නේ මන්ද ගාමිවයි. නමුත් මෝටර් රථ ක්‍රීඩාවට සෘජුවම බලපාන සාධකයක් තමයි ඉන්ධන. ඉන්ධන අර්බුදය නිසා මෝටර් රථ ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම එක තැන නැවතිලා. මේ වසර ආරම්භයේදී සදර්න් එළියකන්ද කඳු තරණය හා අයිස් බ්‍රේකර් තරගාවලිය පමණයි පැවැත් විමට හැකි වුණේ. මේ වසරේ පෙළගස්වා තිබුණු අනෙකුත් සියලු තරග පැවැත් විමට හැකි වෙයිද කියා සැක සහිතයි.

නමුත් අපිට ඉක්මනින් සංවිධානය කළ හැකි වන්නේ ටාමැට් තරගාවලියක් පමණයි. ඒ නිසා තමයි අපි සැලැසුම් කර තිබෙන්නේ ඉන්ධන අර්බුදය යම් තරමින් සමතයකට පත් වු වහාම කටුකුරුන්ද ධාවන පථයේ තරගාවලියක් සංවිධානය කරන්න.

 

මේ වසරේ තරගාවලි සංවිධානයට බාධා පැමිණියත් අපි නිකන් හිටියේ නෑ. තරග කරුවන්ගේ මානසිකත්ව වර්ධන වැඩසටහන් ගණනාවක් පැවැත්වුවා. නීති රීති මෙන්ම ලෝකයේ මේ වන විට රේසිං වෙනුවෙන් භාවිතා වන දියුණු ක්‍රමවේදයන් ගැන ක්‍රීඩකයන් දැනුවත් කරන සම්මන්ත්‍රණ ගණනාවක් සංවිධානය කළා.

 

 පන්නල හෝ වෙන යම් ධාවන පථයක් දිගු කාලිනව බද්ධට හෝ වාර්ෂිකව කුලී පදනම මත හෝ ස්ලාස් යටතට ගැනීමට අදහසක් නැද්ද?

 

පන්නල ධාවන පථය පුද්ගලික ඉඩමක නිර්මාණ වු ධාවන පථයක්. මේ වන විට එම ධාවන පථය තුළත් මෝටර් රථ ක්‍රීඩා තරග පවත්වන්නේ නෑ. අද වන විට වෙනත් කටයුතු වෙනුවෙන් ධාවන පථය පාවිච්චියට අරගෙන තිබෙනවා. අද තරග පැවැත්වීමට නොහැකි මට්ටමකයි ධාවන පථය තියෙන්නේ. මම මීට පෙර ඔවුන් සමග සාකච්ඡා කළා. නමුත් ඔවුන් කැමැත්තක් දැක්වුයේ නෑ. නැවත ධාවන පථය තුළ තරග සංවිධානය වනවාට. මීරිගම කැන්වේ ධාවන පථයත් පුද්ගලික ඉඩමක ඉදිකල ධාවන පථයක්. මුලින් යෝජනා වී තිබුණා පෝර්ට් සිටි නගරය තුළ මෝටර් රථ ධාවන පථයක් නිර්මාණ කිරිමට දෙවනුව නිර්මාණය වු සැලැසුමේ ධාවන පථය ඉවත් වී තියෙනවා. නමුත් පෝර්ට් සිටි නගරය නිර්මාණය වුවායින් පසු අන්තර් ජාතික මෝටර් රථ තරගාවලියක් සංවිධානය කිරිමේ හැකියාව තිබේ කියා මා විශ්වාස කරනවා.

අපි ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා. ධාවන පථයක් නිර්මාණය කිරිමට ඉඩමක් ලාබාගැනීමට. ඔවුන් අපිට පැවැසුවා සුදුසු රජයේ ඉඩමක් තෝරා ඔවුන් දැනුවත් කරන මෙන් ඒ පිළිබද මුලික සාකච්ඡාද පැවැතුණා. අප සංගමයට දැරිය නොහැකි මුල්‍ය අපහසුතා නිසා අපිට එය මඳකට ප්‍රමාද කිරිමට සිදුව තියෙනවා

 

 සදර්න් දකුණේ ක්‍රියාත්මක වෙනවා රට මැද ගජබා ධාවන පථය නිර්මාණය වී තියෙනවා. නමුත් උතුරට මෝටර් රථ ක්‍රීඩාව ව්‍යාප්ත කිරිමට සැලැසුමක් තවම නැද්ද?

 

නෑ. අපි කොවිඩ් වසංගතයට පෙර උතුරට මෝටර් රථ ක්‍රීඩාව රැගෙන ගියා. උතුරේ තරුණයන්ගේ විශාල උනන්දුවක් තිබුණා. උතුර නියෝජනය කරමින් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම තරග නියෝජනය කලා. බාලචන්ද්‍රන්, පරමේෂ්වරන් වැනි ක්‍රීඩකයන්. නමුත් අපිට අවාසනාවකට වගේ වාර්ෂිකව උතුර කේද්‍ර කොට තරගාවලියක් සංවිධාන කිරිමට නොහැකි වුණා. රැලි ධාවන තරගයක් සංවිධානය කළේ මෝටර් රේසිං සංගමයයි. ආර්ථික අර්බුදය මඳකට නිමා වු පසුව අපේ අදහසක් තියෙනවා මෝටර් රථ ධාවන රැලියක් උතුරේ සංවිධානය කරන්න.

 

කොළඹ රාත්‍රි මෝටර් රථ තරගාවලිය නිසා මෙරට ප්‍රේක්ෂකයන්ට එෆ් වන් වර්ගයේ මෝටර් රථයක් මෙරට ධාවනවනවා දැක ගත හැකි වුණා. ඉදිරියේදී මෙරට ක්‍රීඩකයන්ට සහභාගි විය හැකි ජාත්‍යන්තර තරගයක් සංවිධානය කිරිමට බලාපොරොත්තුවක් නැද්ද?

 

ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් මෙරට තුළ තරග කර තිබෙනවා. නමුත් ජාත්‍යන්තර තරගාවලියක් සංවිධානය වී නෑ. අපිට අද බහුලව තිබෙන්නේ ග්‍රැවල් ධාවන පථයි. අපේ ක්‍රීඩකයන් වැඩි දක්ෂතාවයක් පෙන්නුම් කරන්නේත් ග්‍රැවල් ධාවන පථ තුලයි. ජාත්‍යන්තර මට්ටමේ ග්‍රැවල් ධාවන පථයක් තමයි ෆොක්ස් හිල් ධාවන පථය.

 

 නුදුරු අනාගතයේදී එෆ් වන් මෝටර් රථ ධාවන තරගාවලිය මෙරට ක්‍රීඩා ලෝලීන්ට දැක ගත හැකි වේද?

 

මම මේක අධෙර්යමත් කිරිමට කියන දෙයක් නෙමෙයි. එෆ් වන් රේස් එකක් සංවිධානය කිරිමට අති විශාල මුදලක් වියදම් වෙනවා. එෆ් 1 ආයතනයටම විශාල මුදලක් ගෙවීමට සිදුවෙනවා. ඉන්දියාව එෆ් වන් ධාවන පථයක් නිර්මාණය කර තරගාවලියක් පැවැත් වුවා. මටත් අවස්ථාව ලැබුණා එම තරගාවලියේ නිලධාරියෙක් වශයෙන් ලංකාව නියෝජනය කරමින් එක් වන්න. මම රට නියෝජනය කරමින් රටවල් කිහිපයකම නිලධාරියෙක් ලෙස කටයුතු කරලා තියෙනවා. නමුත් අද වන තෙක් නැවත එෆ් වන් තරගාවලියක් ඉන්දියාව පවත්වා නෑ. ඒ අධික වියදම නිසා තරගාවලියක් සංවිධානය කිරිමට නොහැකි මට්ටමක පවතිනවා. අනාගතයේ දවසක පෝර්ට් සිටි නගරය තුළදීවත් එවැනි දෙයක් සංවිධානය විමේ හැකියාව තියෙනවා.

ඉන්දියාව දරාගන්න බැරි වු වියදම් සිංගප්පුරුව කළමනාකරණය කළා. සිංගප්පුරු රජය එෆ් වන් තරගාවලියක් රටට රැගෙන ඒමට යන වියදම දරණවා. පසුව තරගාවලිය පවත්වන වකවානුව තුළදි සංචාරක ව්‍යාපාරය මගින් එම මුදල පියවා ගන්නවා. මැලේසියාවත් එ‍ෆ් වන් තරග වලින් ඉවත්වෙන්න බැලුවා දරාගන්න බැරි වියදම නිසා පසුව සිංගප්පූරු ආකෘතිය තුළ තවමත් එෆ් වන් තරගාවලියක් සංවිධානය කරනවා. මට මතක හැටියට ඩොලර් මිලියන 600ක් වැනි මුදලක් එෆ් වන් ආයතනයට තරගයක් සංවිධානය කිරිමේ මුලික වියදම ලෙස ලබා දිය යුතුයි.

 

Comments