දවසක් ආවා අපිත් අපේ හීනවලට ගිය | සිළුමිණ

දවසක් ආවා අපිත් අපේ හීනවලට ගිය

 

අයි. පී. එල් ඉතිහාසය වෙනස් වී තිබිණි. හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වය සහිත කෝඩුකාර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගත්තේය. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජය කරමිනි. එය ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරයත් ප්‍රහර්ෂයත් එළි දුටු මොහොතකි.

ලෝක විස්සයි 20 තරගාවලි හී දී ලෝක කුසලානයට දෙවැනිවන ක්‍රිකට් සැණකෙළිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියයි. එහි ශූරතාව ඒ මොහොතේ ක්‍රිකට් ලෝකයේ උණුසුම්ම පුවතය. සාරවත්ම පුවතය. එහෙත් පසුගිය මැයි 29 දා ගුජරාට් ටයිටන්ස් විසින් දිනා ගත් අයි. පී. එල් ශූරතාවටත් වැඩි අවධානයක් සහිත එදින පිටියෙන් පිට වූ සිදුවීමක ලෝක ක්‍රිකට් රසවතුන්ගේ සිත් නැවතී තිබිණි. ඒ දෙස මහා මානුෂික හැඟුමින් ලෝකය බලා සිටියේය.

ශූරතාව දිනූ ගුජරාට් ටයිටන්ස් නායකයා ඉන්දීය කණ්ඩායමේ ජවසම්පන්න තරුණයා වූ හර්දික් පාණ්ඩ්‍යා ය. හර්දික්ගේ සුරූපී බිරිය ඉන්දියාවම සිත් බැඳගත් නර්තන ශිල්පිනියක්, මෝස්තර නිරූපිකාවක් මෙන්ම බොලිවුඩ් සිනමා නිළියක් වූ සර්බියානු ජාතික නටාෂා ස්ටැන්කොවිච්ය.

මාර්තු 29 දා ඇරඹුණු අයි. පී. එල් තරගාවලියේ මුල් තරගයේ සිටම නටාෂා උන්නේ ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකයන් අතරය. ඇය සිය සැමියාගේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම දිරිමත් කළ උද්‍යෝගීමත් දිරිගන්වන්නියක් වූවාය. ඇගේ ආකර්ෂණීය දිරිගැන්වීම් ගිනි කෙළි නන්වන අයි. පී. එල් තරගාවලිය සේම උණුසුම් ලෙස සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය විය.

තරගාවලි ඉතිහාසයේ දැවැන්ත පෙරළියක් කරමින් හර්දික්ගේ නායකත්වයෙන් යුතු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලබා ගත් පෙරළිකාර ජයග්‍රහණයෙන් අනතුරුව නටාෂා සතුටින් පිරී ගියාය. ගැහැනු එහෙමය. තම සැමියා ලෝකය අභිමුව මහා වීරයෙක් වනු දැකීම ගැහැනියකගේ අසීමිත ප්‍රාර්ථනාවය.

ත්‍යාග ප්‍රදානයෙන් අනතුරුව හර්දික් පිටිය මැදින් නටාෂා සිටි දෙසට ඇවිදගෙන ආවේය. සැහැල්ලුවෙන් පා වී එන කිරිල්ලියක සේ සිය සැමියා වෙත දිවගෙන පැමිණි නටාෂා දැරියක සේ ඔහුගේ ගෙල වැළඳගත්තාය. දරාගත නොහැකි සතුටත්, සිරකරගෙන සිටි පීඩනයත්, තුන් මසක් තුළ ගොඩනැගූ ප්‍රාර්ථනා ඉටුවීමේ ප්‍රහර්ෂයත් නෙත් සොරොව් බිඳ දමමින් ගලා ගියේය. ඇය හර්දික්ගේ ගෙල වැළඳගෙන ඉකි බිඳිමින් හඬන්නට වූවාය. පොඩි එකියක් සේ හඬන්නට වූවාය. සිනහවකින් මුව සරසාගෙන සිය සුරූපී බිරිය සෙනෙහසින් සනසන හර්දික් ගේත් ඔහුගේ ගෙළ වැළඳගෙන හඬන නටාෂාගේත් ඡායාරූප අයි. පී. එල් කුසලානය තරම්ම උණුසුම්ව ලෝකය පුරා සංසරණය විය.

ඒ අතර හර්දික්ගේ සහ නටෂාගේ ජීවිත අහුමුළුවලටත් අවධානය යොමු වෙමින් තිබිණි. කෙසේ වෙතත් හර්දික් පාණ්ඩ්‍යා විටෙක ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් හඳුනා ගත්තේ මනා සංයමයකින් තොර මදයෙන් පිරී ගිය සල්ලාලයෙක් ලෙසය. ඔහුට එරෙහිව වරෙක ස්ත්‍රී දූෂණ චෝදනාවක් නැගිණි. සිය රැකවරණය වෙනුවෙන් සමාජයේ ඉහළම පුද්ගලයින්ට බලහත්කාරයෙන් සිය බිරිය ලිංගික සේවයේ යෙදවූ කුප්‍රකට පාතාල නායකයෙක් වන රියාස් භාතිගේ බිරිය රෙහ්නුමා භාති පසුගිය වසරේ සැප්තැම්බර් මස හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළාය. ඇය එහිදී පවසා තිබුණේ බීමතින් පැමිණි හර්දික් තවත් පුද්ගලයින් දෙදෙනෙක් එක්ව තමන්ව සමූහ දූෂණයකට ලක් කළ බවය. එමෙන්ම හර්දික් සමග සබඳතා ගොඩ නඟා ගත් පරිනීති චොප්රා, ඊෂා ගුප්තා, යන බොලිවුඩ් නිළියන් ගැන ද කියැවිණි.

කෙසේ වෙතත් හර්දික් මේ වනවිට සර්බියානු නිළි නටාෂා ස්ටැන්කොවිච් සමඟ විවාහ වී සිටින්නේය. වර්ෂ 2020 ජනවාරි 1 වන දින ඔවුහු යුග දිවියට පිළිපන්හ. ඒ කොවිඩ් කාලයේ බොහෝ දෙනෙක් නිරෝධායනය වන වටපිටාවකය. දැන් ඔවුන්ට සිඟිති පුතෙක් සිටින්නේය. තවමත් මාස 10ක් වයසැති ඒ කිරිකැටියා අගස්තිය.

හර්දික්ගේ බිරිය නටාෂා ස්ටැන්කොවිච් උපන්නී සර්බියා ජනරජයේය. ඇය නිරූපණ ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් ලෙස දීර්ඝ ගමනක අභිලාෂයෙන් ඉන්දියාවට එන්නේ වර්ෂ 2012 දී ය. ඒ වනවිට ඇය විසි වයස් වූවාය. නටාෂා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නී ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ නිරූපිකාවක් ලෙසිනි.

ඇය සිනමාවට පිවිසෙන්නී වර්ෂ 2013 දීය. ඒ ප්‍රකාශ් ජා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සත්‍යග්‍රහ‘ හින්දි චිත්‍රපටයෙනි. එහිදී ඇය අජේ දේව්ගන් සමඟ ආකර්ෂණීය නැටුම් අංකයට පෙනී සිටියාය. 2014 දී නටාෂා ‘Bigg Boss 8‘ චිත්‍රපටයේත්, 2016 දී සෞරාබ් වර්මා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘7 Hours to Go‘ චිත්‍රපටයේත්, 2017 දී, ‘Fukrey Returns‘ චිත්‍රපටයේත්, 2018 දී, ඇය ෂාරුක් ඛාන්, අනුෂ්කා ෂර්මා සහ කත්‍රිනා කයිෆ් සමඟින් ආනන්ද් එල්. රායි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Zero‘ චිත්‍රපටයේත් රඟපෑවාය. සිනමාවට සම්බන්ධ වූ මුල් වකවානුවේ ඇය ජනප්‍රිය සිනමා නළු අලි ගෝනි සමග සම්බන්ධතාවක් ඇති කරගෙන සිටියාය. එය බිඳී ගොස් තිබිණි. ඇය දැන් නටාෂා ස්ටැන්කොවිච් පාණ්ඩ්‍යාය. දැන් ඉන්දියාව ආදරය කරන තරුවකි.

තරු දෙකක එකමුතුවෙන් ලෝකයට ආකර්ෂණයක් ඇති වන නමුත් අභ්‍යන්තරික හැසිරීම වෙනස් කරන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය සැබෑ ආදරය ය. ඒ ආදරය ගලාගෙන යනු ලෝකය දුටුවේය.

නටාෂා හමුවේ ඉන්නේ ලෝකය දිනූ වීරයෙකි. ඔහු ගුජරාට් ටයිටන්ස් ජයග්‍රහණය කරා මෙහෙයවූ ආකාරය අනාගත ඉන්දියානු ජාතික කණ්ඩායමේ නායකයකුගේ ලකුණු තබා ඇති ආකාරය ක්‍රිකට් ලෝකය කතා කළේය. නායකත්වයේ පීඩනය දරාගෙන අර්ධ ශතක තුනක් සහිත ලකුණු 487ක්, 131.26ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය වේගයක්, 44ක ලකුණු ලබා සාමාන්‍යයක්, ඉනිම 10ක දී කඩුලු 08ක් සහිතව ඔහු සිය විශිෂ්ටත්වය තහවුරු කළේය. අවසන් තරගය ජයග්‍රහණයට පරිවර්තනය කළේ ලකුණු 17කට ඔහු ලබාගත් කඩුලු 03ය. ප්‍රතිවාදීන් ලකුණු 130කට සීමා වූයේ ඒ වික්‍රමයෙනි. කඩුලු 03ක් පමණක් දැවී පන්දු ඕවර 18ක දී ඉලක්කය හඹා යන්නට ගුජරාටි ටයිටන්ස් කණ්ඩායමට හැකි විය.

ඒ ජයග්‍රහණය පසුපස හර්දික්ට ශක්තියක් වී ඔහුගේ බිරිය නටාෂා ඔහු සමග සිටි බව ඔහුට දැනුණා නම් ඒ ගෞරවය ඔහු ඇයට දෙනවා නම් මේ තරු එකමුතුවේ ලෝකයට පෙනන ලස්සනට වඩා අලංකාරයක් ඒ බැඳීමේ අභ්‍යන්තරයෙන් ඔවුන් විඳිනු ඇත.

Comments