නිලධාරීන් දෙකොන විලක්කු ගසා ගත් මේස පන්දු හුටපටය | සිළුමිණ

නිලධාරීන් දෙකොන විලක්කු ගසා ගත් මේස පන්දු හුටපටය

 

 

ක්‍රිකට් සල්ලි අපිටත් ලැබෙනවා නම්...

එංගලන්තයේ බර්මින්හැංම් නුවර දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට රුපියල් මිලියන 22.5ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරිපත් ව ඇති බැව් පසුගියදා පුවත් වාර්තා පළ වුණි.

“අපිට තේරීම් තරගවලට එක් වෙන්න කලින් කිව්වේ මේ තරග සංචාරය සඳහා රුපියල් ලක්ෂ 3ක් විතර හොයා ගන්න වෙනවා.ඒකට කැමැති නම් සහ පුළුවන් නම් ඊට සහභාගී වෙන්න කියල අපි ඒ වෙනුවෙන් උත්සාහ කරනවා. සමහර අවස්ථාවල පුහුණුවීම් අතහැර දාල අනුග්‍රහකයන් හොයාගෙන යන්න ඕන. ඔය අතර තම ක්‍රිකට් ආයතනයෙන් මේ වෙනුවෙන් මුදල් ලබා දෙනව කියල දැන ගන්න ලැබුණෙ. අපිටත් එයින් මුදලක් ලැබෙනව නම් මේ බරෙන් නිදහස් වෙලා පුහුණුවීම් කටයුතුවල නිරත වෙන්න පුළුවන්.” මේ සංචාරය සඳහා එක් වෙන ක්‍රීඩකයෙක්ගේ හඬ ය.

එංගලන්තයේ දී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මේසපන්දු ඉසව්වන් සඳහා සහභාගී වන කණ්ඩායම අර්බූදයකට ලක් කිරීමට මෙරට ජාතික ඔලිම්පික් කමිටුව මෙන් ම ශ්‍රී ලංකා මේසපන්දු සංගමය ද කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ දෙපාර්ශ්වය ම පිළිගත් සම්ප්‍රදායන් කඩ කිරීම බවයි, පැවැසෙන්නේ.

 

යම් ක්‍රීඩා තරගාවලියකට කණ්ඩායමක් සහභාගී කර වීමේ දී එම කණ්ඩායම තේරීම් තරග මගින් තෝරා ගැනීමයි සම්ප්‍රදාය වනුයේ.නමුත් තෝරාගත් මේසපන්දු කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙක් පෙර දක්ෂතා මත පමණක් කණ්ඩායමට එක් කර ඇති බවත් ඔහු වෙනුවෙන් සියළු වියදම් දැරීමත් සහ අනෙකුත් ක්‍රීඩකයන්ට තම වියදමින් සංචාරයට එක් වීමට සිදු වීමත් බවයි, චෝදනාව වන්නේ.තේරීම් තරග සඳහා එම ක්‍රීඩකයා නොකැඳවන්නේ ඊට පෙර ජාතික ඔලිම්පික් කමිටුව මගින් ඔහුගේ නම නිර්දේශ කිරීමයි. මේ නිර්දේශ කිරිම අද- ඊයේ නොවේ. එහි සුල- මුල සෙවීමට 2020 වසර දක්වා යා යුතු ය.

22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මේසපන්දු තරගාවලිය සඳහා මීට පෙර ශ්‍රී ලංකා නියෝජනය සඳහා සුදුසුකම් ලබා සිටියේ හිටපු මේසපන්දු ජාතික ශූරයෙක් වූ රොහාන් සිරිසේන ය. ඔහුට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ 2018 වසරේ ගෝල්ඩ්කෝස්ට් හී පැවැති 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් අනතුරුව වූ මේසපන්දු ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දී 33 වැනි ස්ථානය ලැබීමත් සමගිනි.

රොහාන් සිරිසේන පසුගිය වසරේ දී මේසපන්දු ක්‍රීඩකයාගේ චරිතයට සමුදෙමින් පුහුණුකරුවෙක් ලෙසින් නව ඉසව්වක් ආරම්භ කළේය. ඉන් නොනැවතුන ඔහු, ඊට පසුව මෙරට සේවය හැර දමා විදෙස් ගත වන්නේ ය. ඒ සමග ම ඔහු වෙත ලැබුණ මෙම අවස්ථාව ද ප්‍රතික්ෂේප කෙරුණ අතර ඒ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් අතර රොහාන් සිරිසේනට පසුව සිටි සුපුන වරුෂවිතානට එම අවස්ථාව හිමි වුණි.

අද ඇතැම් දෙනාගේ ගැරහුමට ලක් ව ඇත්තේ ඒ අවස්ථාව ලැබූ සුපුන වරුෂවිතානයි. සුපුන යනු ලෙහෙසියෙන් ම අවතක්සේරුවට ලක් කළ හැකි මේසපන්දු චරිතයක් ද නොවේ. ඔහු ජාතික ශූරතාවලියේ අනුශූරතාවත්, ජාතික කනිෂ්ඨ අනුශූරයා ලෙසත් සේ ම අවස්ථා ගණනාවක දී ම ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම නියෝජනය කරමින් සංචාරවලට එක් වෙමින් ඉන් පදක්කම් ද දිනා ගත් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද ඉසිළු ක්‍රීඩකයෙක් සේ ම තරගකාරී ගොන්නේ සිටින ක්‍රීඩකයෙක් ලෙසින් ද හැඳින්විය හැකි ය. නමුත් චෝදනාව වන්නේ ඔහුගේ මෑත කාලීන දක්ෂතා නොමැති වීමයි. අඩු ම තරමින් ඔහු මෑත කාලීනව කිසිඳු ශූරතාවක් දිනා නැති බවත් සහ කිසිඳු තේරීම් තරගාවලියක් හෝ සමඟ එක් නොවූ බවත් ය.කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රය ම පැවැති නිද්‍රාශීලීව ය. තැනක දෙතැනක තරග තිබුණ ද සහභාගීත්වය පැවැතියේ ද අවම මට්ටමේ ය. එසේ වෙද්දී ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම් ඉහළ- පහළ යෑම අරුමයක් නොවේ. එය සුපුනට පමණක් නොවේ, අනෙක් සියලුම ක්‍රීඩකයන්ට අදාළ ය. නමුත් මෙවන් තරගාවලියකට ක්‍රීඩකයන් සහභාගී කරවීමේ දී පෙර ක්‍රීඩකයෝ ම ඒ තැන් හී තැබිය යුතු නොවේ. දක්ෂතා දෝලනය වන්නේ ඇසුරු සැනකිනි. එබැවින් ඔවුන් ද තරගකාරී පිටියට එක් කරගත යුතුය.

එය ක්‍රීඩා සංගම් පාලකයන්ගේ වගකීමක් විය යුතුය.ඒ අනුව සුදුස්සන් තෝරා ගත යුතුය. නමුත් එවැන්නක් මෙතැන දී සිදු වන්නේ නැත.ෂයිලොක් නීතියෙන් එහා දෙයක් නොමැති මේ බලධාරීන් කරන්නේ සුපුන ඒ තැනේ තබා ඊට අමතර ව තවත් තිදෙනක් තෝරා ගැනීම සඳහා තේරීම් තරග පැවැත්වීමට කටයුතු කිරීමයි. එය ජාතික ඔලිම්පික් කමිටුවේ ඉල්ලීම ද වූයේලු. මින් පෙර එක් අයෙක්ට පමණක් සහභාගී වීමට අවස්ථාව ලද මේ තරගාවලියේ කණ්ඩායමකට සහභාගීවීමට අවස්ථාව ලැබෙන්නේ වෙනත් රටක කණ්ඩායමක් ඊට සහභාගී නොවීමෙන් ඇති වු පුරප්පාඩුවක් හේතුවෙනි. එතෙක් තනි ඉසව් සඳහා පමණක් සහභාගී වීමේ අවස්ථාව අභිබවා අප කණ්ඩායමට යුගල ඉසව් සඳහා ද සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ ය. ඒ අනුව සුපුනට තනිව නොව කණ්ඩායමත් සමඟ එක් ව තරගාවලියට එක් වීමට අවස්ථාව ලැබෙන්නේ ය.

එබැවින් කණ්ඩායම තෝරා ගැනීමේ දී මේසපන්දු සංගමය අනුගමනය කළ යුතුව තිබුණේ මේසපන්දු ආචාර ධර්ම අනුව යමින් පෙර අවස්ථාව ලද සුපුන ද ඊට එක් කර ගනිමින් තේරීම් තරග පැවැත් වීමයි. නැවත වතාවක් අපට පවසන්නට සිදු වන්නේ, එවැන්නක් සිදු නොවූ බවයි.

අර්බූදයේ ආරම්භය එයයි. ජාතික ඔලිම්පික් කමිටුව කියූ පමණින් ශ්‍රී ලංකා මේසපන්දු සංගමය, හිස් තැන් පුරවන්නට යෑමෙන් දැන් සිදුව ඇත්තේ මේසපන්දු ක්ෂේත්‍රය ම මේ සම්බන්ධයෙන් කැළඹීමට පත් කිරීමයි. ක්‍රීඩකයන් පවා මතභේදාත්මක තත්ත්වයට ඇඳ දැමීමයි.ඊට තවත් හේතුවක් වී ඇත්තේ පෙර නම් කෙරුණ සුපුන වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව සංචාරය සඳහා සම්පූර්ණ මුදල් ලබා දීමත් සහ තේරීම් තරග මඟින් සුදුසුකම් ලැබූ තිදෙනා වන ක්‍රිෂාන් වික්‍රමරත්න, චමීර ගිනිගේ සහ මිලින්ද ලක්ෂිතට තම වියදමින් තරගාවලියට සහභාගී වීමට සිදු වීමත් ය.

සුපුන නොවේ මොන ජගතෙක් වූවත් මේ වැනි අවස්ථාවක් ලදොත් බාර ගන්නවා නියත ය. සුපුන ද එය ම කළා, වෙන්නට විය හැක. ක්‍රීඩකයෙක් ලෙසින් එය සාමාන්‍ය දෙයකි. නමුත් ඒ වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව සේ ම ශ්‍රී ලංකා මේසපන්දු සංගමය ද හිතා මතා ම මේ නම් කිරීම කළා ද විය හැකි යන කුකුස කෙනෙක් තුළ ඇතිවීම වැලැක්විය නොහැකි ය. ඒ වසර දෙකක් ම සුපුන ඒ තැනේ තැබීම ය. ඊට පිළිතුරු දිය යුත්තේ අදාළ සංගම් දෙක ය.

නමුත් මේ වෙනුවෙන් ඔවුන්ගේ නිසි පිළිතුරක් නැත. සිදු වන්නේ බෝලය දෙපැත්තට විසි කිරීම ය. ශ්‍රී ලංකා මේසපන්දු සංගමය පවසන්නේ ඔවුන් ක්‍රීඩකයන් තිදෙනෙක් ඉල්ලුවා අපි දුන්නා පන්නයේ කතාවකි. නමුත් එවැන්නක් ප්‍රමාණවත් ද?

බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රීඩකයන් හෝ කණ්ඩායම් සහභාගී කරවීමේ බල අධිකාරිය ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවටයි. එය එදා සිට ම සිදුවන දෙයකි. මේ අර්බුදයක් නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා ද වනුයේ ඒ බලය හේතුවෙන් ගත් තීරණයයි. හරි වැරැද්ද කුමක් වූවත් මේ දක්වා ම ඔවුන් තමන් ගත් තීරණයේ ම එල්බ සිටිති.මෙතැන දී ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට ද ඒ මත ම සිටිමින්, මේ ප්‍රශ්නයෙන් කර ඇරීමේ හැකියාවක් නැත. ජාතික ඔලිම්පික් කමිටුව දැන නොසිටිය ද, ඔවුන් කණ්ඩායමක් සහභාගී කරවීමේ දී පිළිගත් ක්‍රමවේදය දනී. ඔවුන් ඊට අනුගත වී තේරීම් තරග පැවැත් වූයේ නම් මේ අර්බුදයක් නිර්මාණය වන්නේ නැත. නමුත් ජාතික ඔලිම්පික් කමිටුව සතු බල අධිකාරිය ඉදිරියේ ඔවුන් හීලෑ කුක්කන් වීමෙන් සිදු වූ අර්බූදයෙන් බැට කන්නේ ක්‍රීඩකයෝ ය. අද මේ මාතෘකාව කලඑළි බසින්නේ ම ඒ නිසා ය.

රටක් නියෝජනය කිරීමේ දී ක්‍රීඩකයන් යහපත් මානසික තත්ත්වයකින් මෙරටින් පිටත් කර හැරීම පාලකයන්ගේ වගකීමකි.ක්‍රීඩාවේ දියුණුවක් බලාපොරොත්තු වන ක්‍රීඩා පාලකයන් කළ යුත්තේ එවැනි දෑ ය. සුළු හෝ වරදකින් ක්‍රීඩකයන් අතර මතභේදාත්මක තත්ත්වයක් උදා වී නම් එහි අනිටු විපාක විදීමට සිදු වනුයේ රටක් ලෙස අපට ය. එය ක්‍රීඩා බලධාරීන් උගත යුතු පාඩමක් බැව් අපි සිහිපත් කරමු.

මේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නට සූදානම් වන ක්‍රීඩකයන්ගේ අහිංසක බලාපොරොත්තු ය. ඔවුන්ට අද සිදුව ඇත්තේ පුහුණුවීම් පසෙක තබා, රට වෙනුවෙන් සහභාගී වෙන්නට මුදල් පසුපස හඹා යන්නට ය. ඔවුන් ඒ තත්ත්වයට ඇද දැමුවෝ කවුද? රටක් නියෝජනය කරන්නන්ගේ තත්ත්වය මෙලෙස වෙද්දී අපි ඔවුන්ගෙන් කුමක් බලාපොරොත්තු වෙන්න ද?

 

Comments