ලංකා කාන්තා ක්‍රිකට් කෙත මෙතෙක් පෝෂණය වූ සීමිත ප්‍රදේශ කිහිපය අතරට බදුල්ල ද එක් වන්නේ බදුල්ල දිස්ත්‍රික්ක ක්‍රිකට් සංගමය හා ඌව පළාත් ක්‍රිකට් සංගමය හරහා ය. ක්‍රිකට් හොයාගෙන යා යුතු ගමනක් වෙන ඔවුන්ගේ ගමනේ දී හමුවූ දක්ෂත ම ක්‍රීඩිකාවන් දෙපළක ලෙස සඳලි වීරසිංහ සහ අයේෂා දිලක්ෂනී අවිවාදයෙන් ම හැඳින්විය හැකියි.
• සඳලි වීරසිංහ
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හරහා ක්‍රිකට් පිටියට පැමිණි සඳලි මේ වන විට ශ්‍රී ලංකා කාන්තා නැගී එන ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවකි.
“ගොඩාක් සතුටුයි මේ ආ ගමන ගැන. තවත් ගොඩාක් දුර යන්න තියෙනවා. ඒ ගමනත් උනන්දුවෙන් සහ කැපවීමෙන් යන්න තමයි කැමැත්ත.” මේ සඳලි “ක්‍රීඩා” හා එක්වෙමින් තම කතාව ආරම්භ කළ අයුරු ය.
සඳලිගේ ගම බණ්ඩාරවෙල, හීල්ඔය කියන ප්‍රදේශය. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලැබූ සඳලිලාට පාසලේ දී ක්‍රිකට් කියන්නේ සිහිනයක්.
“පොඩි කාලේ ඉඳලා ම ක්‍රිකට්වලට ආසයි. ගමේ අයත් එක්ක ලැබෙන විවේකයේ දී සැහැල්ලු පන්දු සෙල්ලම් කළා. මම සෙල්ලම් කරනව දැකපු චතුරිකා මිස් තමයි මාව මේ තැනට ගේන්න මුලික වෙන්නේ.”
ඇය සඳලි ව බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා නිලධාරිනියක් වූ කෞෂල්‍යා රත්නායක වෙත බාර දෙනවා. ඇය හරහා බදුල්ල දිස්ත්‍රික්ක කාන්තා ක්‍රිකට් සංචිතය දක්වා මෙ ගමන යනවා.
“එතකොට මට අවුරුදු 14ක් විතර ඇති. මම තමයි හිටපු වයසින් අඩුම කෙනා. ඒත් මම 23න් පහළ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායමට තේරුණා. එතැනදි තමයි බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු නිශාද් ලියනගේ සර් සහ ඌව පළාත් ක්‍රිකට් පුහුණුකරු චමින්ද කොඩිකාර සර් හමුවෙන්නේ. ඔවුන් දෙදෙනා යටතේ මම අවුරුදු 3ක් විතර බදුල්ල කණ්ඩායමට සහ ඌව පළාත් කණ්ඩායම්වලට සෙල්ලම් කළා.”සඳලි අවුරුදු 17දි බදුල්ල දිස්ත්‍රික් වයස අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායමේ නායකත්වයට පත් වෙනවා.
එතැනින් පසු සඳලිගේ දක්ෂතා ගොනු වෙන්නේ ගම්පහට සහ කොළඹ ට. මේ වෙනුවෙන් පවුලේ සියලු දෙනා විශාල කැප කිරීමක් කරනවා. සඳලිගේ පියා විජේපාල වීරසිංහ, විදුහල්පතිවරයෙක්. අම්මා ප්‍රියානි ධම්මිකා, ගුරුවරියක්.
“මම ක්‍රිකට් ගහන්නත් උසස් අධ්‍යාපනය සඳහාත් ගම්පහ රත්නාවලී බාලිකාව තෝරා ගන්නවා. ඒත් එක්ක ම අම්මත් ඒ කිට්ටුවට මාරුවක් ලබා ගන්නවා. අද වෙද්දි අම්මාත් මමත් ගම්පහ බෝඩ් වෙලා ඉන්නේ. තාත්තා, අක්කත් එක්ක ගමේ.”
“අම්මා තමයි මගේ හැම දේකට ම ළඟින් ඉන්නේ. තාත්තත් අක්කත් නැති එක ලොකු පාළුවක්. සඳලි පවසනවා.
නිමා වූ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නේ රත්නාවලී බාලිකාවන්. එම තරගාවලියේ දී සඳලි මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයට එරෙහිව ලකුණු 125ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළාය. අන්තර් ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ කලක් කොළඹ කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කළ සඳලි මේ වෙද්දී හලාවත මේරියන්ස් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවකි.
“මම ක්‍රිකට් ගහන්න ආවේ මගේ ම කැමැත්තෙන්. ක්‍රිකට් ගමනේ දී බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලයත් ,බදුල්ලේ දී ක්‍රිකට් පුහුණුවීම් කළ නිශාද් ලියනගේ සර්, චමින්ද කොඩිකාර සර්, මිය ගිය අසේල ගුණරත්න සර්, කෞෂල්‍යා රත්නායක මිස් ආදරෙන් සිහිපත් කරනවා.”
සඳලිගේ ක්‍රිකට් ගමනේ ආරම්භකයන් වන්නේ ඔවුන්. ඊට පසුව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි හේමා ජයවර්ධන, කණ්ඩායම් බාර නිලධාරීනි අනුෂා ගුණසේකර, පුහුණුකරුවන් වන ගයාන් මුණසිංහ සහ ඉෂාන් මුණසිංහ යන අය ද සහ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු සියලුම දෙනාට ද සහ ඔවුන්ගේ දෙමාපියන්ට ද ස්තූති කරන්නට ඇය අමතක කළේ නැහැ. එමෙන් ම කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම්වල නිලධාරීන් සහ ක්‍රීඩිකාවන් සේ ම බදුල්ල දිස්ත්‍රික් සහ ඌව පළාත් ක්‍රිකට් සංගම්වල සියලුම නිලධාරීන්ට ද ඒ ස්තූතිය බෙදී යනවා.
• අයේෂා දිලක්ෂනී
අයේෂා දිලක්ෂනී ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ ඌව පරණගම, වැලිමඩ, මස්තන්න මහා විද්‍යාලයෙන්. ඒ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කරමින්, සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගවලදි දක්වන දක්ෂතා බදුල්ල දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීනී කෞෂල්‍යා රත්නායක ගේ අවධානයට ලක් වෙන්නේ ඒ අතර ය.
“කෞෂි මිස් තමයි කිව්වේ ලෙදර් බෝල ගහන්න පුළුවන් ගෙදරින් අහල කියන්න කියලා. එතකොට මම ලෙදර් බෝලයක් අල්ලලාවත් තිබුණෙ නැහැ. ඊට පස්සේ කෞෂි මිස් මාව නිශාද් ලියනගේ සර් ළඟට එක්ක ගෙන ගියා.” අයේෂා තමන්ගේ ක්‍රිකට් ගමනේ ආරම්භය ගැන පවසන්නීය.
“මුලින් මුලින් බෝලෙට හුරු වෙන්න ගොඩාක් අමාරු වුණා. බෝලේ වැදිලා අත්, කකුල්වල ගෙඩි ආවා. කකියන්න ගත්තා. ගෙදර ගියහම අම්මා උණු අළු පොට්ටනි හදාගෙන ඒ තැන් තැව්වා. ඒ වගේ වෙලාවල්වලට ක්‍රිකට් ගැහිල්ල නතර කරල ගෙදර ඉන්න කියලත් කිව්වා. ඒත් ඒ, ඒ වෙලාවට විතරයි. නැවතත් අම්මා තමයි, ඊට පහුවෙනිදාට පුහුණුවීම්වලට යන්නේ නැද්ද කියල මතක් කරන්නේ.”
දුෂ්කර ක්‍රියා කළ අයේෂා ටික කාලයකට පස්සේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායමේ සාමාජිකාවක් බවට පත් වෙනවා. ඔවුන් මුහුණ දුන් පළමු තරගාවලියේ දී ම 2019 අවුරුද්දේ දිස්ත්‍රික් ශූරයන් බවට පත් වෙනවා. එම තරගාවලියේ දී අයේෂා රත්නපුර කණ්ඩායමට එරෙහිව ලකුණු 17කට කඩුලු 5ක් සහ මොණරාගල කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් ලබා ගන්නවා.
එතැන දී දැක් වූ දක්ෂතා හේතුවෙන් අයේෂාට දකුණු පළාත් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබෙනවා. නමුත් පැවැති උසස් පෙළ විභාගය හේතුවෙන් ඇයට එම තරගාවලිය සඳහා සහභාගි වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
“ඊට පස්සේ සංවර්ධන කණ්ඩායමට තෝරා ගන්න සංචිතයක් තිබුණා. අපි බදුල්ලෙන් ඒකට දෙන්නෙක් තේරුණා. ඒකෙදි මටත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංවර්ධන සංචිතයට එක් වෙන්න අවස්ථාවක් ලැබුණා.”
ඒ තුන් ඉරියව්වෙන් පෑ දක්ෂතා හේතුවෙන්. දකුණත් පිතිකාරිනියක් වන ඇය දකුණත් වේග පන්දු යවන්නියක්.
අයේෂාගේ පියා රංජිත් ධර්මසිරි. පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙක් ලෙසින් කටයුතු කරනවා. මව ඒ. ඩී. අනුලාවතී, පියා හරි හම්බ කරන දේ අර-පරිස්සමෙන් වියදම් කරමින් හදිස්සියකට ගන්න කීයක් හරි ඉතිරි කර ගන්නවා.
“සංචිතයට තේරිලා මාස දෙකක් විතර කොළඹ පුහුණුවීම් තිබුණා. දැන් නම් පුහුණුවීම් තියෙන්නේ බදුල්ලේ. ගෙදර ඉඳන් බස් දෙකක යන්න ඕන. කිලෝ මීටර් 60ක් විතර තියෙනවා. ගෙදරින් උදේ 6ට කලින් පිටත් වෙනවා. ගමන ටිකක් දුෂ්කර වුණත් ආසාවෙන් ඊට සහභාගි වෙනවා.” අයේෂා පවසනවා.
අයේෂාගේ ක්‍රිකට් ගමන බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයත්, ඌව පළාත් ක්‍රිකට් සංගමයත් නොවුවේ නම් අද වෙන විට ලත් තැන ම ලොප් වෙලා කියලයි ඇය පවසන්නේ. ඔවුන්ගෙන් ලැබෙන උදව්, ඇය ස්තූති පූර්වකව සිහිපත් කළා. කෘතවේදීත්වය දැක්වුවා. එමෙන් ම ආදරණීය කෞෂි මිස්, නිශාද් සර්, චමින්ද සර්, විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන්, ක්‍රිකට් ක්‍රීඩා කළ කණ්ඩායම්වල සෑම කෙනෙක් ම සහ සියලුම පුහුණුකරුවන් ද ඇයගේ මේ සාර්ථකත්වයේ කොටස්කරුවන් ලෙසයි ඇය හඳුන්වන්නේ.
ක්‍රිකට් ලොවේ දිගු ගමනක් යන්න පෙරුම් පුරන ඔවුන් දෙදෙනාට “ක්‍රීඩා” වෙතින් උණුසුම් සුබ පැතුම්.