දරුවන්ගේ මානසික වර්ධනයට චෙස් ක්‍රීඩාව ප්‍රබල සාධකයක් | සිළුමිණ

දරුවන්ගේ මානසික වර්ධනයට චෙස් ක්‍රීඩාව ප්‍රබල සාධකයක්

 

 

චෙස් ක්‍රීඩාව වෙනුවෙන් කිසියම් බුද්ධි මට්ටම්ක් අවශ්‍ය බවත් කුඩා කළ සිටම දරුවන් මේ සඳහා යොමු කිරීම මඟින් දරුවන්ගේ මානසික වර්ධනය නිරායාසයෙන්ම ඇතිවන බවත් ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය ක්‍රීඩා වෙත පැවසුවේය.

 

වසර 25ක සේවා කාලය තුලින් මේ බව මනාව අවබෝධ කර ගැනීමට තමාට හැකි වූ බව කී හෙතෙම මෙරට ක්‍රීඩා අතරින් බහුතර සිසු දරු දැරියන් යොමු වී සිටින්නේ චෙස් ක්‍රීඩාව වෙත බවද අධ්‍යාපන අමාත්‍යාංශ දත්ත හෙළි කර ඇති බවද කීය.

තමා ද චෙස් ක්‍රීඩාවට යොමු වුණේ සිය වැඩිමහල් සොයුරිය අනුකරණය කිරීමෙන් බව පෙන්වා දුන් ලක්ෂ්මන් විජේසූරිය මොරටුව විශ්ව විද්‍යාලයේ ශාරීරික ක්‍රීඩා උපදේශක ලෙස කටයුතු කරන අතර මීට අමතරව දකුණු ආසියානු චෙස් කවුන්සලයේ ලේකම් පොදු රාජ්‍ය මණ්ඩලයේ චෙස් සංගමයේ ලේකම් ආසියානු චෙස් සම්මේලනයේ උප සභාපති ලෙස මේ වන විටත් කටයුතු කරන බව ද පැවසීය. වසර 1992 දී ඔලිම්පික් රන්පදක්කම් ලාභීනිය වූ සුනීතා විජේසූරිය මගේ වැඩිමහල් සොයුරිය එදා රටවල් 187සහභාගිත්වයෙන් මැනිලාහි පැවැති ලෝක චෙස් තරගාවලියේ දී රන් පදක්කම ලබා ගැනීමේ භාග්‍ය උදාකර ගත්තා. ඇයගේ දස්කම් දැක මම ද කුඩා කාලයේ සිට ඇය පසුපස යමින් චෙස් ක්‍රීඩාවට වඩාත් ඇළුම් කළා. මගේ එම සොයුරිය අවුරුදු 10ක් ජාතික චෙස් ශුරිය වුණා. නංගී විනීතා විජේසූරිය වසර 11ක් ජාතික චෙස් ශුරිය වුණා. ඇය දැන් මෙල්බර්න්වල පදිංචියට ගොස් සිටිනවා. කොහොම හරි ඔලිම්පියාඩ් තරගාවලියට ක්‍රීඩක ක්‍රිඩිකාවන් 10 දෙනෙක් යැවීමට නියමව තිබුණත් 1992 මැනිලා හා 1996 ආමේනියා වල පැවැති ඔලිම්පියාඩ් තරගාවලි වෙනුවෙන් අපේ පවුලෙන් තුන්දෙනෙක්ම එම දස දෙනාට ඇතුළත් වුණා.

මම චෙස් ක්‍රීඩාව ආරම්භ කළේ 1979 වසරෙදියි. මම 1979 දි ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ජාතික ආධුනික චෙස් තරගාවලියේ තරග 10කින් 06ක් ජයග්‍රහණය කළා. ඒ මගේ ප්‍රථම චෙස් තරගාවලියයි. ඊට පසු වසර 2ක් ඇතුළත 1982 ජාතික ශුරතාවේ අවසන් තරග වලට ක්‍රීඩා කළා. 1983 ජාතික කනිෂ්ඨ ශුරයා වෙලා මැලේසියාවේ පැවැති ආසියානු කනිෂ්ඨ චෙස් තරගාවලියට තරග කර ලකුණු 11කින් ලකුණු 5/ 2/1 ක් හිමිකර ගත්තා. ඒ කාලේ ජාත්‍යන්තර තරග හරි අඩුයි. මුදල් වියදම් දැරීමට අපහසුයි. සංගම් වලට උදව් කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. මා සහභාගී වූ පළමු ඔලිම්පියාඩ් තරගාවලිය 1986 ඩුබායිවල‍ පැවැත්වූවා. අදාළ තරගාවලිය වෙනුවෙන් මා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා. එම තරගාවලිය 2008 දී පැවැත්වූවේ ශ්‍රී ලංකාවේයි. 1992 දී මැනිලාවල, 1996දී රුමේනියාවේ, 2000දී තුර්කියේ , 2002දී ස්ලෝවේනියාවේ, 2004දි ස්පේන්ස්වල, 2006දි ඉතාලියේ 2008 දි, ජර්මනියේ ඒ සියලු තරග වලට මා සහභාගි වුණා. 1996 සිට 2008 දක්වා මා ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමේ නායකත්වයේ සිටියා.

1995 ආසියානු කණ්ඩායම් තරගාවලියෙන් රන් පදක්කම දිනා ගත්තා.ඊට අමතරව ජාත්‍යන්තර තරග රැසකට සහභාගි වුණා.

ශ්‍රී ලංකා චෙස් සංගමයේ ලේකම් ,උප සභාපති ඇතුළු තනතුරු කිහිපයක් දරා තිබුණා. කොහොම හරි සභාපතිවරු කිහිප දෙනෙක් යටතේ මා වැඩ බලන සභාපති ලෙස කටයුතු කර තිබෙනවා. චෙස් ක්ෂේත්‍රයේ සිටි අය දන්නවා ඒ කාලේ සිට මා මේ ක්‍රීඩාව නඟා සිටවීමට ගත්තු කැපවීම.

වසර 2020 දී මා ශ්‍රී ලංකා චෙස් සංගමයේ සභාපති ලෙස පත්වීම් ලැබුවා. මගේ මුල්ම අරමුණ තමයි චෙස් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමකට ගෙන ඒම. මම ක්‍රීඩා කරන කාලේ මේ ක්‍රීඩාව වෙනුවෙන් ලංකාවේ තිබුණේ තරගාවලි දෙකයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනා ගැනීමට ක්‍රමවේදයක් නැහැ. ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයේ අයව මුණ ගැහෙන්න අවකාශයක් නැහැ. මේ නිසා මා මුලින්ම කළේ දක්ෂම ක්‍රීඩකයෝ හා සෙසු ක්‍රීඩකයෝ හමුවන ක්‍රමවේදයක් සැකසීම. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා විවෘත චෙස් තරගාවලිය , ජාතික ශ්‍රේණිගත කිරීම් මගේ චෙස් සමාජයෙන් (PASS PAWN) ඇති කළා. මම වැඩ කරන මොරටුව විශ්ව විද්‍යාලයෙන් මොරාකිං නමින් ජාත්‍යන්තර චෙස් තරගාවලියක් සංවිධානය කළා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ගවනස්කුටි නමින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් කළා. එහෙම විවිධ තරගාවලි පැවැත්වූවේ උසස් ක්‍රීඩකයෝ හා නැඟි ගෙන එන ක්‍රීඩකයෝ හමු වීමේ ක්‍රමවේදයක් ඇති කිරීමටයි. එවැනි ශ්‍රේණිගත කිරීම් අවුරුද්දට දස වතාවක් සිදු කිරීමට මා කටයුතු යෙදුවා. අඩුම තරමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලක්ෂ 3ක ත්‍යාග ප්‍රමාණයක් ලැබෙන පරිදි කටයුතු කරන ලෙස තරග සංවිධායකයින් දැනුවත් කළා.

අපි 2007 වසරේදී ප්‍රථම වතාවට මෙරට ආසියානු පාසල් චෙස් තරගාවලියක් ආරම්භ කළා. වසර ගණනාවක් එය අඛණ්ඩව පවත්වා ගෙන ගියා. ඒ අනුව 2007 ,2008 හා 2009 යන වසර වල ආසියානු චෙස් තරග මෙරට පැවැත්වූවා. ක්‍රීඩකයෝ 500ක සහභාගිත්වය අපේක්ෂා කරලයි මා මෙයට අත ගැසුවේ.

මා ශ්‍රී ලංකා චෙස් සංගමයේ සභාපති වීමට කළින් හිටපු සභාපතිවරුන් වන හිටපු උතුරු මැද පළාත් මහ ඇමැති පේසල බණ්ඩාර, රාජකීය විදුහලේ හිටපු විදුහල්පති උපාලි ගුණසේකර, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හරීන් ලාල් යන අය සභාපතිත්වයේ සිටියදී වුණත් 2006 සිට චෙස් ක්‍රීඩාවේ ප්‍රධාන පාලනය තිබුණේ මගේ අතේ.මා මේ ක්‍රීඩාව වෙනුවෙන් විශාල කැපවීමක් කළා. ඒ බව ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනා දන්නා දෙයක්.

2018 හා 2019 කාල වකවානුවේදී මෙරට යුක්රේන් ජාතිකයෙක් චෙස් පුහුණුව වෙනුවෙන් හිටියා. වර්තමානය වන විට ඔන් ලයින් ජාත්‍යන්තර පුහුණුකරුවෙකු වන උස්බෙස්කන්තාන් ජාතික ඇලෙක්සි බර්සෝවි කටයුතු කරනවා. අපි ඔන් ලයින් හරහා රට පුරා චෙස් ප්‍රචලිත කරන්න උත්සාහ ගනිමින් සිටිනවා .මීට අමතරව රාජ්‍ය සේවා,වෙළද සේවා ,පාසල් මට්ටමින් තරගාවලි සංවිධානය කර තියෙනවා. ජාතික තරගාවලි වෙනුවෙන් සහභාගිවන්නන්ට වැඩිපුර මුදල් ත්‍යාග ලබා දීමේ අරමුණින් අපි තරග සංවිධානය කර තියෙන නිසා මේ ක්‍රීඩාව සඳහා සහභාගිත්වය වැඩිවී තිබෙනවා. මෙවර ජාතික චෙස් ශුරයාට එක්ලක්ෂ පනස් දහසක්ද ජාතික ශුරියට ලක්ෂයක මුදල් ත්‍යාගයක් දීමට කටයුතු යොදා තිබෙනවා. මගේ විෂන් එකට තමයි තරග ක්‍රියාත්මක කෙරෙන්නේ. හැම අවුරුද්දෙම ආසියා තරගාවලියක් අපි පවත්වනවා. ඒ අනුව මේ දස වසර තුළ තාක්ෂණ නිලධාරීන් 200ක් චෙස් වලින් ජීවත් වෙනවා. ලෝක චෙස් සම්මේලනයේ අනුමත තරගවලට සහභාගිත්වය අනුව අපි අද තෙවන ස්ථානයේ පසුවෙනවා.පළමු ස්ථානයේ ඉන්දියාව , දෙවන ස්ථානය ඉරානය, චීනයත් අපට පහළ මට්ටමේ පසුවෙන්නේ. තාක්ෂණය අතිනුත් අපි තෙවන ස්ථානයේ පසු වෙනවා. ලංකාවේ විශාල ප්‍රමාණයක් මේ ක්‍රීඩාවේ නියැලී සිටිනවා. එක එක පැතිවලට මේ ක්‍රීඩාව අපි අරන් ගිහින් තියෙනවා. හැම සති අගකම ජාත්‍යන්තර විනිසුරුවරයෙක් වැඩ කරනවා නම් අපි දිනකට රුපියල් 5000ක් ගෙවන්න සූදානමින් ඉන්නේ. මමත් ආසියානු විනිසුරුවරුන් පස්දෙනා අතරින් කෙනෙක්. මා ඔලිම්පියන් තරග 4ක් විනිශ්චය කර තියෙනවා.එසේම ලෝකයේ ප්‍රධාන තරග දෙකක උප ප්‍රධාන විනිශ්චය කරල තියෙනවා. මෙවර අයි.පී.එල්. වගේ ඉවෙන්ට් එකක් චෙස්වලින් කරන්න මගේ අදහසක් තියෙනවා. ඒක මේ වන විට 50%ක පමණ සාර්ථකත්වයක් ලබා තිබෙනවා. චෙස් ක්‍රීඩාව පුළුවන් තරම් ජාත්‍යන්තර මට්ටමකට ගෙන ඒම තමයි මගේ ප්‍රධානම ඉලක්කය වී තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

 

 

Comments