අශ්ව රේස් හෙවත් තුරඟ නරඹමින් ඊට ඔට්ටු අල්ලන පිරිස් ලොව පුරාම සිටිති. ඊට ශ්‍රී ලංකාවත් අයත්ය. කෙසේ වෙතත් මෙම තරග සහ ඔට්ටු ඇල්ලීම මීට දශක කිහිපයකට පෙර නම් අද මෙන් නොව අතිශය ජනප්‍රියතාවයකට පත්ව තිබිණි. එහිදී මෙම පිරිසගේ අවධානය බොහෝ විට යොමු වුයේ එංගලන්තය දෙසටයි. විවිධ රටවල දී මේ තරග පැවැත්වුවත් එහි කේන්ද්‍රස්ථානය බවට කවදත් පත් වුයේ මහා බ්‍රිතාන්‍යයයි.
එහිදී ඇතැමුන් තරග වලදී දස්කම් දක්වන තුරඟුන් හඳුනාගෙන ඔට්ටු අල්ලති. තවත් පිරිසක් අසරුවාගේ දස්කම් දෙසට අවධානය යොමු කර ඔට්ටු අල්ලති. එවකට ලොව ජනප්‍රියතම අසරුවා ලෙසට සැලකුණේ එංගලන්තයේ ලෙස්ටර් පිගොට්ය. ඊට ප්‍රධානතම හේතුව වුයේ හෙතෙම සිය තුරඟුන්ව මනාව මෙහෙයවමින් තරග වැඩි ගණනක් ජය ගැනීමයි.
ඒ නිසාම වරෙක මෙරට සාමාන්‍ය ගැමියෙකුත් තරගයකදී පිගොට් සහ ඔහුගේ තුරඟා වෙනුවෙන් ඔට්ටුවක් ඇල්ලුවේය. පුදුමයකට පත්විය යුතු නැත. ඔහු ඔට්ටුව දිනුවේය. එහිදී සැලකිය යුතු මුදලකුත් ඔහුගේ අතට ලැබිණි. මේ ගැමියා කළගුණදත් පුද්ගලයෙකි. හෙතෙම පන්සලට ගියේය. ඒ වෙන කිසිවක් නිසා නොව තමන්ට ජයග්‍රහණය අත්කර දෙනු ලැබූ පිගොට් හට බෝධි පුජාවක් පැවැත් වීමටයි.
මෙසේ තුරඟ තරග ක්‍රීඩා ලොවේ වීරයෙකු වූ විශිෂ්ටතම අසරුවා ලෙසට බොහෝ දෙනා සලකනු ලබන්නේ පිගොට්ය. ඉකුත් මැයි මස 29 වැනි දා මේ සුපිරි අසරුවා මෙලොවින් සමු ගත්තේය. ඔහු මිය ගියේ සිය දිවියේ අවසන් කාලය ගත කළ ස්විස්ටර්ලන්තයේ දීය. එවිට ඔහු 86 හැවිරිදි වියේ පසු විය.
“අද උදෑසන ස්විස්ටර්ලන්තයේ දී ලෙස්ටර් සාමකාමීව මිය ගිය බව කනගාටුවෙන් යුතුව අපිට තහවුරු කරන්න පුළුවන්.“ මෙසේ පිගොට්ගේ නික්ම යෑම ලොවට හෙළි කළේ ඔහුගේ දියණියගේ සැමියා වන විලියම් හැගස්ය. ඔහුත් ජයග්‍රහණ ලැබූ තුරඟ තරග පුහුණුකරුවෙකි. පිගොට් දියණියන් දෙදෙනෙක් සහ පුතෙකුගේ දයාබර පියෙකි.
සිය වර්ණවත් තරග දිවිය තුළ දී පිගොට් ලැබු සමස්ත ජයග්‍රහණ ගණන 4493කි. එම ජයග්‍රහණ ලොව විවිධ රටවල දී හිමිකර ගත්තේය.
වාර්ෂිකව බ්‍රිතාන්‍ය ආශ්‍රිතව ප්‍රධානතම තුරඟ තරග 5ක් පැවැත්විණි. ඒ 2000 සහ 1000 Guineas, එප්සම් ඩාර්බි, එප්සම් ඕක්ස් සහ සෙන්ට් ලිජර් ස්ටේක්ස්ය. එම තරග 30 ක්ම ජය ගැනීමට මේ විශිෂ්ටයා සමත් වුයේය. ඒ 1954 සහ 1992 අතර කාලයේ දීය. මේ අතරින් ඩාර්බි ජයග්‍රහණ නවයකි. මෙම තරග 5 හැඳින් වෙන්නේ බ්‍රිතාන්‍ය ක්ලැසික්ස් නමිනි.
ලෙස්ටර් පිගොට් විසින් අත්කර ගත් ජයග්‍රහණවල වටිනාකම වැඩි විමට තවත් හේතු බලපෑවේය. ඔහු උපතින්ම අර්ධ බිහිරි පුද්ගලයෙකි. එමෙන්ම කතා කිරිමේ අපහසුතා තිබුණි. එපමණක් ද නොව සාර්ථක අසරුවකු වීමට බාධාවක් වන උසින් වැඩි පුද්ගලයෙකුත් විය. ඔහුගේ උස අඩි 5 අඟල් 8ක් වුයේය. මීට අමතරව සැහැල්ලු සිරුරක් පවත්වාගෙන යෑම සඳහා දැඩි අාහාර පාලනයකත් නිරත විය.
පිගොට් හට අපුරු නාමයන් දෙකකුත් පටබැඳුණි. එනම් “ලෝංග් ෆෙලෝ “ හෙවත් දිගු හාදයා” ය. ඒ ඔහුගේ උස නිසාය. මීට අමතරව “හවුස්වයිව්ස් චොයිස්“ හෙවත් ගෘහණියන්ගේ තේරීම” ය. එය එසේ වුයේ තුරඟ තරග ගැන කිසිඳු අවබෝධයක් නැති වුවත් කාන්තාවන් අතර ඔහු ලැබූ අතිශය ජනප්රියතාවයයි.
ලෙස්ටර් කීත් පිගොට් උපත ලැබුවේ 1935 වසරේ නොවැම්බර් මස 5 වැනි දාය. පරම්පරාගතවම ඔහුගේ පවුලම තුරඟ තරගවලට සම්බන්ධය. පිගොට් මෙම ක්‍රීඩාවට යොමු වන්නේ වයස අවුරුදු 10දීය. ඔහුගේ හැකියාව ගැන මුල් වරට දැන ගැනීමට ලැබෙන්නේ සිය ප්‍රථම ජයග්‍රහණයත් සමඟින්ය. එවිට ඔහුගේ වයස අවුරුදු 12කි. ඔහුගේ අවසන් ජය ලබන විට 58 හැවිරිදි වියේ පසු වුයේය. කෙසේ වෙතත් මේ විශිෂ්ට ශූරයාගේ දිවියේ කිසිදා මැකිය නොහැකි කළු පැල්ලමකුත් තිබේ. එනම් ස්ටර්ලිං පවුම් මිලියන 3ක බදු වංචාවකට 1987 වසරේදී වැරදිකරු වීමයි. එම නිසාම ඔහුට තෙවසරක සිර දඬුවමක් නියම විය. එය පසුව වසරක් සහ දිනකට පසුව ඉවත් කළේ ඔහුගේ යහපත් කල් ක්‍රියාව නිසාවෙනි.
එසේ වුවත් මේ සිදුවීම නිසා ඔහුට 1975 වසරේදී පිරිනැමු ඕ.බී.ඊ. නම්බු නාමයත් ඉවත් කරනු ලැබිණි. පසුව නැවත වතාවක් එය ලබා දීමට ඇතැමුන් උත්සාහ කළහ. එහෙත් දෙවන එළිසබෙත් රැජින විසින් එය ප්‍රතික්ෂේප කළාය. “ලෙස්ටර් හරිම නරකයි“ රැජින එසේ පවසා තිබුණාය.බොහෝ දෙනා දන්නා පරිදි බ්‍රිතාන්‍ය රාජකීය පවුල තුරඟ තරග වලට දැඩි කැමැත්තක් දක්වයි. එළිසබෙත් රැජින ඒ අතරින් ප්‍රධානය. ඇයගේ ප්‍රියතම අසරුවා වුයේත් පිගොට්ය. ශ්‍රීමත් හෙවත් නයිට් නම්බුනාමයක් පිගොට් හට ප්රදානය කිරිමට රැජිනට විශාල අවශ්‍යතාවයක් තිබුණාය. එසේ වුවත් ඉහත බදු වංචාව නිසා එය ක්‍රියාත්මක වුයේ නැත.
එසේ වුවත් 2019 වසරේ දී එප්සම් හීදී පිගොට්ගේ ප්‍රතිමාවක් විවෘත කෙරිණි. ඒ අවස්ථාවටත් එළිසබෙත් රැජින සහභාගි වුවාය.
පිගොට් ගේ විශිෂ්ට දක්ෂතා නිසාම 11 වතාවක්ම ඔහු බ්‍රිතාන්‍යයේ වාර්ෂික අසරු ශූරයාට හිමි සම්මානයත් හිමිකර ගත්තේය. ඒ 1960 සිට 1982 අතර කාලයේදීය. මීට අමතරව සුප්‍රකට රෝයල් ඇස්කොට් තරගවලදී ඔහු ලැබු ජයග්‍රහණ ගණන 116කි.
ස්කොට්ලන්තයේ විලී කාර්සන් එප්සම් ඩාර්බි තරගය සිවු වතාවක් ජය ගත් ශූරයෙකි. තවද 70 සහ 80 දශකවලදී පිගොට් ගේ ප්‍රදානතම ප්රතිවාදියෙකි “ මම තරග වලට පැමිණි දින සිටම ලෙස්ටර් මගේ ජිවිතයේම කොටසක් බවට පත් වුනා. ඔහු පුරාවෘත්තයක් ඔහුගේ මට්ටමින් තරග කිරිමට අපේ තරග රටාව ඉහළට ගෙන ඒමට සිදුවුණා. මගේ ජිවිතයෙන් කොටසක් අහිමි විම ගැන මට හරිම දුකයි“ කාර්සන් පැවසීය.
ඉතාලියේ ෆ්රැන්කි ඩිටෝරි මැත යුගයේ විශිෂ්ටතම අසරුවෙක් ලෙසට සැළකෙයි. හෙතෙම පිගොට්ට මෙසේ ඇගයුවේය. “ඇත්තෙන්ම කියනවා නම් ඔහු අපේ ජිවිතවල කොටසක් ලෙස්ටර් මගේ වීරයා. වගේම හොඳ මිතුරෙක්. ඔහු අපේ ක්‍රීඩාවට වගේම අපිට කළ බලපෑම කිසිවකුටවත් දෙවැනි නැහැ“
“ඔහු පුරාවෘත්තයක්. ඔහු වගේ විමට අපි සැම විටම උත්සාහ කළා. නමුත් කිසිවකුටවත් එය කිරිමට නොහැකි වුණා. ඔහු කවමදාවත් අමතක වෙන්නේ නැහැ“ඩිටෝරි වැඩිදුරටත් පැවැසීය.
සැම ක්‍රීඩාවකම අමරණීයත්වයට පත් වු ශුරයෝ සිටිති. ක්‍රිකට් - ඔස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, පාපැදි - බෙල්ජියමේ එඩී මර්ක්ස්, පිහිනුම් - ඇමෙරිකාවේ මයිකල් පෙල්ප්ස්, පාපන්දු - බ්‍රසීලයේ පේලේ මෙන්ම බොක්සිං - ඇමෙරිකාවේ මොහොමඩ් අලී එවැනි ශූරයෝය. ඒ අතරට තුරඟ තරග ක්‍රීඩාවෙන් එක් වන්නේ ලෙස්ටර් පිගොට්ය.