
දවසේ විසි එක්වැනි හෝරාව ගෙවී යමින් පවතී. මේසයට ඉහළින් සවිකොට ඇති විදුලි පංකාව කෙඳිරිගාමින් කැරකේ. යසරත්න හිඳගෙන සිටිනා පුටුවට බරවී මොහොතක් ඒ හඬට කන්දීගෙන සිටින්නට විය. බැරිවෙලාවත් පංකාවට කතාකිරීමට හැකියාවක් තිබුණේ නම් ඒකාන්තයෙන්ම තමාගෙන් උදේ සිට අඛණ්ඩව වැඩ ගැනීම ගැන පංකාව තමන්ට බැණවදිනු ඇතැයි යසරත්නට සිතුණි. මේ වෙලාවේ නර්මදා නිවසේ තනිවම කුමක් කරනවා ඇතිදැයි ඔහු අනුමාන කරන්නට විය. ඒක්කෝ ඈ පොතක් බලනවා වන්නට පුළුවන. නැතිනම් දුරකථනයෙන් කා සමඟ හෝ කතා කරනවා විය යුතුය. ඈ සමඟ විවාහ වී යන්තම් දෙමසක් ගතවූවා පමණි. ජීවන අඟ හිඟකම් දෙදෙනාගේ ජීවිත වලට පසුපසින් නොව ඉදිරියෙන් පැමිණියහ. ඒවාට මුහුණ දීමට ගොස් ඔවුන් අතර සියුම් සිත්රිදීම් හා අදහස් නොගැළපීම්ද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතින.
වහා කාර්යාලයෙහි වැඩකටයුතු අවසන් කළ යසරත්න මහ මඟට අවතීර්ණ විය. වේලාව රාත්‍රී දහයට ආසන්නව ඇත. කොරෝනා සමය තුළ පැවති වාතාවරණය හේතුවෙන් දැන් යන්තම් රෑ බෝ වී ගෙන එන විට මංමාවත් හුදකලා ස්වරූපයක් උසුලයි. ඉඳහිට යන එන මෝටර් බයිසිකලයක් දෙකක් හැරුණු කොට වෙතත් කිසිදු වාහනයක් මේ වෙලාවේ පාරේ ධාවනය නොවේ. උදේ සිට කාර්යාලයේ වැඩ සඳහා වෙහෙස වූ යසරත්න නිවසට යෑම පිණිස මඟට බසින ලද්දේ මෙවැනි වාතාවරණයක් පරිසරය තුළ හැඩගැසෙමින් පැවති මොහොතකය. මාර්ගයේ ඒ මේ අත බැලූවද ඔහුට නිවස කරා යෑමට කිසිදු ක්‍රමයක් නොතිබිණ. පුරුද්දට මෙන් ඔහු මඳක් නතර වී මාර්ගයේ ඈත මෑත බැලුවේ කුමන හෝ වාහනයක් තමන් පසු කර යා වී දැයි සිතමිනි.
මේ වේලෙහි බස් රථ ධාවනය නොවන බව ඔහු අත්දැකීමෙන් දනී. ඉඳහිට මෙවන් රාත්‍රිය තෙක් වැඩ කරන දිනයක ඔහු නිවස කරා යන්නේ ත්‍රීරෝද රථයකින් හෝ මිතුරෙකුගේ යතුරු පැදියක පිහිටෙනි. නමුත් අද එවැනි කිසිම උදව්වක්ද නොමැත. කිලෝමීටර් දහයකට දොළහකට ආසන්න දුරක් පයින්ම යනවා ඇරෙන්න වෙන කිරීමට අන් දෙයක් නොමැත. යසරත්න සිතින් තමන්ටම බැණ වැදුණේය. යසරත්න පයින් ම නිවෙස කරා යෑමට ගමන ඇරඹීය. කුසගින්නත් අධික වෙහෙසත් නිසා ඔහුගේ සිතේ පැවතියේ දැඩි කලකිරීමකි. ඔහුට තමන්ගේ අතීතය සිහිපත් විය. තමා මේ ලෙස දුක් විඳීමට ලක් විය යුතු පුද්ගලයෙකු දැයි ඔහු තමාගෙන්ම ප්‍රශ්න කරන්නට විය. යමක් කමක් ඇති පවුලක එක ම පිරිමි දරුවා ලෙස උපත ලැබූ යසරත්න හොඳ අධ්‍යාපනයක් ලැබූවෙකු වුවද ක්‍රමයෙන් ඔහුගේ ජීවිතය වෙනස් වීමට පටන් ගත්තේ තරුණවිය ඉක්මවමින් පැවැති සමයක දී ය.
විවාහයෙන් පසුව ගතවූ කෙටි කාලය තුළ ඔහුට මුහුණ දීමට සිදු වූ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න බෙහෙවින්ම වැඩි විය. නිවාස කුලිය සඳහා විශාල මුදලක් ගෙවිය යුතු වීමත්, බිරිඳගේ සහ තමාගේ දෙමාපියන් පිළිබඳව සොයා බැලීමට සහ ඔවුන්ගේ වගකීම ඉටුකිරීම ආදී සියල්ලමත් යසරත්නගේ හිස මත පැටවී තිබිණ. යසරත්න මුහුණේ වූ දහඩිය පිස දමමින් ඉදිරියට ගමන් කරයි. මාර්ගයෙහි නිදා සිටි බල්ලෙකු ඔහුගේ සපත්තු හඬට බිය වී උඩු බුරන්නට පටන් ගත්තේය. නමට යසරත්න වුවද මෙතෙක් තමන් ලද කිසිදු යසසක් නැතැයි ඔහු කල්පනා කරන්නට විය. දවස පුරා කෙතරම් වැඩ කළද මාසයේ අන්තිමට අතට ලැබෙනුයේ සොච්චම් පඩියකි. දිනෙන් දින ඉහළ යන ජීවන බර සහ එම මුදල කිසිසේත්ම සමබර නොවේ. මෙවැනි වාතාවරණයක් තුළ තමාට සමීප පුද්ගලයන් පවා තමන් හැර යෑම අරුමයක් නොවේ.
එක් වරට ම තමාට පිටුපසින් තමන් ගමන් කරන්නා අතටම එන වාහනයක ලයිට් එළියක් යසරත්න හට දැක ගත හැකි විය. එහි මලානික විදුලි එළිය තම සෙවණැල්ල දීර්ඝ කර ක්‍රමයෙන් තමා අසලට ළං වන බවත් එහි වේගය අඩුවන බවත් ඉදිරියට ගමන් කරන යසරත්නට තේරුම් ගියේය. රියට යාමට ඉඩදී යසරත්න මාර්ගයේ අයිනටම වී ගමන් කරන්නට විය. කොහේ හෝ යන වාහනයක් විය යුතුය. ඇතැම්විට එම රථයේ රියදුරු පයින් ගමන් කරනා තමන් දැක තමන්ට කතා කිරීමට වුවත් ඉඩ ඇති බව යසරත්නට හැඟුණි. ඔහුගේ එම සිතුවිල්ල නිවැරදි කරමින් පිටුපසින් පැමිණි රථය කිරි කිරි හඬින් ඔහු අසල නතර වින. මුහුණ පුරා රැවුල වැවූ මැදිවියේ රියදුරු යසරත්න හා සිනාසුණි.
"මහත්තයා කොහෙද යන්නෙ මේ මහ රෑ..? කැමතිනම් මම ඇරලවන්නම්. මං මේ ළඟට යන්නේ.."
රථයේ රියදුරා ගේ වචන යසරත්නට ප්‍රීතියක් ගෙන එන ලදී.. ඔහු එක්වරම රථයේ දොර විවෘත කර ඉදිරි අසුනට බර විය.
"බොහොම ස්තූතියි. මම මේ රත්මල් ගමට යන්නේ.'"
"අපේ තව හැතැප්ම දහයකට වඩා තියනවනේ ඉතින් මේ පයින්ම මොකද..?
විනීත මුහුණකින් යුතු කරුණාවන්ත රියදුරා යසරත්න දෙස බලා බලා විමසීය. මෙවැනි අවස්ථාවක සිතින් සංවේදී වීම යසරත්නගේ පුරුද්දකි. තමන් මහන්සියෙන් පයින් ගමන් කරනා වේලාවක කිසිවෙකු හෝ වාහනයක් නවත්වා තමන්ගේ ගමනට උදව් කරන අවස්ථාවකදී යසරත්න සිතින් ඔහුට ආශිර්වාද කරයි. යමෙකු ඔහුව බයිසිකලයකින් රැගෙන ගියහොත් එසේ උපකාරී කළ පුද්ගලයාහට මෝටර් රථයක් හිමි වේවා යැයි යසරත්න ප්‍රාර්ථනා කරයි. කිසිවෙකු ඔහුව මෝටර් රථයකින් ඇරල වුවහොත් එම තැනැත්තාට ඊටත් වඩා සැපවත් වාහනයක් හිමි වේවා යැයි පැතීමද යසරත්න ගේ පුරුද්දකි. තමන් හට මේ වෙලාවේ හි පිහිට වූ රථය කුමක්දැයි යසරත්න හට පැහැදිලි නැත. කෙසේ වෙතත් මෙවැනි වෙලාවක තමන්ට උපකාරී වූ මෙය දිව්‍ය රථයක් හා සමාන වූවකි.
"මම හැමදාම රෑ වෙන්නෙ නෑ.. අද ඔෆිස් එකේ පොඩි වැඩකට හිර වුණා. ඒකයි රෑ උනේ.."
රියදුරා ගේ පැණයට යසරත්න පිළිතුරු දුන්නේ ඉදිරියේ බලාගෙනය. රථයේ මලානික විදුලි එළියට පාර දෙපස ගස් කොළන් පිළිරූ සේ දිස්වේ. එන්ජිමේ හඬ අතරින් එන "දඩස් දඩස්" ශබ්දය කුමක්දැයි යසරත්නට නොවැටහේ. කුමක් හෝ බර දෙයක් වාහනයේ ඇතුළත එහා මෙහා වැදෙන බැවින් එම ශබ්දය හටගන්නා බව යසරත්නට ක්‍රමයෙන් වැටහෙන්නට විය. ඔහු මඳක් පිටු පසට හැරී රථයේ ඇතුළත විමසීය. දුටු දෙයින් යසරත්න හට උන්හිටි උන් හිටි තැන් අමතක විය. උගුර කට වියළීන. රිය ඇතුළත වූයේ මිනී පෙට්ටියකි. දැන් කිරීමට දෙයක් නොමැත. තමන් නොදැනුවත්ව ගොඩවී ඇත්තේ මිනී ගෙනයන අවමංගල්‍ය රථයකට බව යසරත්නට වැටහී ගියේය. යසරත්නගේ සිතැඟි අවබෝධ කොට ගත් රියදුරා යසරත්න දෙස බැලීය.
" බයවෙන්න එපා මහත්තයෝ මෙයා දැන් මැරිලා. අපි බය වෙන්න ඕන පණ තියෙන මිනිස්සුන්ට. එහෙම නැතුව මැරිච්ච මිනිස්සුන්ට නෙමෙයි.."
එක් අතකට ඒ කතාවත් සැබෑය. දැන් මේ රියෙන් බැස ගතහොත් ඉදිරි සැතපුම් ගණන යා යුත්තේ පයින්මය. මළ සිරුරක් සමඟ ගමන් කිරීමට වඩා එය අතිශයින් දුෂ්කර කාර්යයකි. වෙනදෙයක් උනා දෙන්. මම මොකටද බය වෙන්නේ.. යසරත්න තමාටම කියා ගත්තේය .
" මහත්තයෝ මගේ ගම රත්නපුරේ...
මම ජයරත්න. "
රියදුරා ඉදිරිය බලාගෙන කියවයි.
" එහෙමද...?
ඉතිං කොහෙද මේ යන්නේ..?
" මෙන්න මේ බොඩි එක අයිතිකාරයන්ට ගිහින් දෙන්න යනව මහත්තයෝ. මේ රස්සාව මෙහෙම තමයි. රෑ දවල් වෙනසක් නෑ. මල් ශාලාවෙන් වැඩේ බාරදුන්නම අපි ට්‍රාන්පෝර්ට් කරලා දෙන්න ඕන.. "
"ඉතිං කොහොමද මේ රස්සාව?.
හොඳයිද? යසරත්න විමසීය.
"හොඳ රස්සාවල් නරක රස්සාවල් කියලා දෙයක් නෑ මහත්තයා. අපි සතුටින් යමක් කරනවා නම් ඒක හොඳ රස්සාවක්.. අපි අකමැත්තෙන් දෙයක් කරනවා නම් ඒක නරක රස්සාවක්. ඒක තමයි ඒ දෙකේ වෙනස.."
" ඉතින් ඔහේ මේ රස්සාව කරන්නේ සතුටින්ද..?
යසරත්න ගේ මේ පැනයට ජයරත්න පිළිතුරු දුන්නේ ඉදිරිය බලාගෙන ය.
" මම සතුට කියන දේ හොයාගෙන යන මිනිහෙක් මහත්තයා. කලක් මම ඉගෙනීම අස්සෙ සතුට හෙව්වා.. ඊටත් පස්සේ ගෑනියෙක් ළඟ සතුට හෙව්ව. ඊටත් පස්සෙ යාළුවො අතරෙ සතුට හෙව්ව. දැන් මේ මිනී පෙට්ටි අස්සෙවත් සතුටක් කියලා දෙයක් තියෙනවද කියලා හොයනව.."
අහසෙහි තරු දැල්වී ඇත. වාහනයේ වින්ස්ක්‍රීනය මතට විටින් විට වැටෙනා වීදි පහන් ආලෝකය පරිසරයේ පැවති අඳුර මඟහරින්නට විය.
" මේ හැම තැනම සතුට තියෙනව මහත්තය. වැඩේ කියන්නේ ඒක මට හරියටම අහුවෙන්නෙ නැති එකයි.. හරියටම කිව්වොත් නිකං හොල්මනක් වගෙයි. හොඳටම දන්නව ළඟ තියනව කියල. ඒත් ඒක දිහා කෙළින් බැලුවම ඒක් අන්තරස්දහන් වෙනව! . මම මේ රස්සාව කරන්නේ සතුටින් මහත්තයා. මේ දැන් ටිකකට කලින් මං මේ මනුස්සයට කිය කිය ආවෙත් ඕකම තමයි ."
යසරත්න හට අමුත්තක් දැනිණ. රථය තුළ සිටින්නේ තමාත් රියදුරා පමණි. නමුත් දැන් ජයරත්න මේ මනුස්සයායැයි පවසන අනෙකා කවුද? යසරත්නට කිසිවක් නොවැටහේ. ඔහු වහා ජයරත්නගෙන් ඒ පිළිබඳව විමසුවේය.
" මොන මනුස්සයටද ?
"පෙට්ටියේ ඉන්න මනුස්සයට මහත්තයෝ. බයවෙන්න එපා. එයාගෙන් අපිට කරදරයක් නෑ. මෙහෙම රෑ රාත්තිරිය ගමන් බිමන් යද්දි මහා කම්මැළිකමක් එනවා මහත්තයා.. මම ඒ වෙලාවට කරන්නේ මැරිච්ච මනුස්සයොත් එක්ක කතා කරකර යන එක.."
යසරත්න තුළ සිනහවකුත්, බියකුත් එක්වර ඇතිවිය. කළුපැහැ සාවෙකු මාර්ගය හරහා පැන ගියේය. අඳුරු රාත්‍රීයෙහි අඳුරු රියක් තුළ තමන් නාඳුනන මිනිසකු හා මළ සිරුරක් සමඟ ගමනක් යෑම එක් අතකින් පිස්සුම පිස්සුවකි. මට තිබුණේ බැහැලා පයින් යන්න. යසරත්නට එලෙසින් සිතිණි.
“ඉතිං ... ඉතිං ....“ යසරත්න ජයන්තව කතාවට උනන්දු කළේය.
" මහත්තයට පුදුම ඇති මගේ කතාවට. ඒත් මේ මැරිච්ච මිනිස්සු හරිම හොඳයි මහත්තයෝ..
එයාල සද්ද නැතුව අපි කියන දේවල් අහන් ඉන්නවා.. කවදාවත් අපේ කතාවලට බාධා කරන්නෙ නෑ. මම මගේ කතාව ගොඩක් දෙනෙකුට කියන්න හැදුව. ඒත් එකෙකුටවත් ඒකට ඇහුම්කන් දෙන්න වුවමනාවක් තිබුණෙ නෑ.."
" මම කැමතියි ඔහේගෙ කතාව අහන්න."
" මගේ කතාවත් මම වගේම නීරසයි මහත්තය. ඒත් මම කියන්නම්. මම ඉපදුණේ හැදුණේ වැඩුණේ රත්නපුරේ..
මම එහේ මැණික් මුදලාලි කෙනෙක් ළඟ රස්සාව කළා. ඒ කාලේ හැටියට මට හොඳ මුදලකුත් ලැබුණා .."
"ඊට පස්සේ..."
" කාලයක් යද්දි මගේ ගෑනිට මම හම්බකරන මුදල මදි වුණා. එයා නිතර නිතර මාත් එක්ක රණ්ඩු ඇල්ලුව වියදමට සල්ලි මදි කියල. මම කොච්චර තේරුම් කරන්න හැදුවත් මගේ පඩිය මෙච්චරයි අපි ඒකට හැඩගැහෙමු කියල. ඒ ගෑනි ඒව තේරුම් ගත්තෙ නෑ.. අන්තිමට මට ජීවිතෙත් එපා වුණා. මේ ගෑනිගෙ වදෙන් බේරෙන්න බැරිම තැන මම සැරින් සැරේ සාප්පුවෙන් සල්ලි හොරකම් කරල ගෑනිට ගෙනත් දෙන්න පුරුදු වුණා..."
" ජයරත්නව අහුවුණේ නැද්ද...?
" අහුවුණා මහත්තයො අහුවුණා...
අතටම අහුවුණා.. ඒ වරදට මම අවුරුදු දාහතරක් හිරේට නියම වුණා.. මගේ කල් කිරියාව හොඳ නිසා මට අවුරුදු දහයකින් එළියට එන්න පුළුවන් වුණා.."
" ඊට පස්සෙ මොකද වුණේ..?
" ඊට පස්සෙ මම එද්දි වෙන්න ඕන හරිය ඔක්කොම සිද්ද වෙලා. මගේ ගෑනි ළමයි එක්කම මම වැඩකරපු සාප්පුවෙම වෙන එකෙක් එක්ක පැනල ගිහිල්ල.."
සුළගේ ගසාගෙන ආ ගසක කොළයක් රථයේ වීදුරුව මතට වැටී සැණෙකින් ඉවතට විසිවිය. ජයරත්න තනිවම කියවමින් ආයාසයෙන් රිය ඉදිරියට ධාවනය කරවයි. ඉදිරි අසුනට බර වූ යසරත්න තමන්ගේ ජීවිතය හා ජයරත්න ගේ ජීවිතය මනසින් සංසන්දනය කරන්නට විය.
" මේක මහ අමුතු ලෝකයක් මහත්තයෝ ගෑනුන්ට ඕන ඉස්සෙල්ලාම කවුරුහරි මනුස්සයෙක්ට ළං වෙන්න. එතැනදි කිසිම සීමාවක් කොන්දේසියක් නෑ. ඒත් පස්සේ එක්තැන් වුණාම ඒක වෙනස් වෙනවා. සමාජයේ ඉන්න අනිත් සල්ලි තියෙන ගෑනු වගේ ඉන්න උන් උත්සහ කරනවා.. ඔන්න එතනින් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. පිරිමි අපි කොච්චර කිව්වත් උන් තමන්ගේ මතය වෙනස් කරන්නේ නෑනේ. මගේ ගෑනි දැන් කොහේ ඉන්නවද මොනව කරනවද කියලවත් මං දන්නෙ නෑ ... "
රථයේ පසුපස කොටසේ තැන්පත්කර ඇති මිනී පෙට්ටිය විටින් විට "දඩස් බඩස්" හඬින් ඒ මේ අත හැපෙයි.
" ඔහේගේ කතාව මාරම සංවේදී කතාවක්."
"සංවේදී කතාවක්..? ඒකෙ මොකද්ද මහත්තයෝ තියන සංවේදී කම. ඔය ඔක්කොම ඉවර වුණාට පස්සෙ තමයි මම මේ මිනී පෙට්ටි රස්සාවට එකතු වුණේ. අන්න ඒක නම් හැබැයි සංවේදීයි. යස අගේට වැදගත් විදියට සමාජේ ජීවත් වුණ මං හිරෙත් ගිහින් අන්තිමේදී මළ මිනී අස්සටම වැටුනා.."
ජයරත්නගේ කතාවේ වේගය ක්‍රමයෙන් හීන වේගෙන එයි. ඔහුගේ කටහඬ දැන් දැන් වෙව්ලන ස්වරයක් ගනී. යසරත්න මේ සියල්ල සාවදානව අසමින් ගමන් ගනී..
" මගේ ජීවිතේ ගැන කියන්න ගියොත් රෑ එළි වෙනකල්ම කියන්න දේවල් තියනව මහත්තයෝ.. මේ ලෝකේ හැමදේම තීරණේ වෙන්නෙ සල්ලි උඩ. "
" ඔහේ රෑට කාලද ඉන්නේ ?
කුසගින්නක සේයාවක් දැනී ගිය නිසා යසරත්න විමසුවේ නිකමටය.
" මම කාල බීල ඔක්කොම ඉවර කරලයි පෙට්ටිය අරගෙන එන්න පිටත් උනේ. ඒ එද්දියි මට මහත්තයව හම්බ වුණේ. මිනිස්සුන්ට මිනිස්සු හමුවෙන්නෙ හරිම කලාතුරකින් ... වැඩිහරියක්ම හමුවෙන්නෙම අමනුස්සයො. ඒත් දැන් ඒ අතින් මම වාසනාවන්තයි. මොකෝ මට දැන් වැඩිපුරම හම්බවෙන්නෙ මැරිච්ච ඈයොනේ. උන් හොඳා පණ ගැහෙන උන්ට වැඩිය."
" ජයරත්න මොකද නිතරම සමාජේ ගැන තරහින් කතා කරන්නේ .?
" මගේ ඇති තරහක් නෑ. මම තරහ මේ ක්‍රමේට.. මේ සිස්ටම් එකට. මගේ ගෑනි සල්ලිම ඉල්ලුවෙ මේ ක්‍රමේ වරදින්., මම හොරකම් කරන්න පෙලඹුනේ මේ ක්‍රමේ වරදින්., ම්ම්... එතකොට ගෑනි වෙන එකෙක් එක්ක පැනල ගියෙත් මේ ක්‍රමේම වරදින්..."
" හැමදේටම ක්‍රමේ වරද කියන එක වැරදි නැද්ද..?
යසරත්න එසේ ඇසුවේ අවංකවමය.
" වැරදි ඇති.. ඒත් මම කියන්නේ මේව මෙහෙම නොවෙන්න තිබුණ දේවල්. අපි කවද්ද මහත්තයෝ මේ කරුම වලින් නිදහස් වෙන්නේ.. දැන් බලන්න මේ මැරිච්ච මනුස්සය කොච්චර සැහැල්ලුද කියල.. කිසිම බරක් හිතේ නෑ. පේනවනේ ඔය ලස්සනට ඉන්න හැටි ."
" ඔව් ඔයාගෙ කතාව එක අතකට හරි. ඒත් මට හිතාගන්න බැරි ඔයා කොහොමද මේ මළකුණු එක්ක මේ විදියේ රස්සාවක් කරන්නෙ කියල.."
" මම කිව්වනේ මහත්තයා මම මේ රස්සාව කරන්නෙ සතුටින් කියල..මළ කුණු කියන්න එපා. ඒ මිනිස්සුන්ගෙ හිත් වල දැන් කුණු නෑ. මේකත් එක්තරා ආර්ට් එකක් මහත්තයෝ. බොඩි එක නාවල , කපල, අනවශ්‍ය දේවල් අයින් කරල, ලස්සනට අන්දලා, පවුඩර් දාල පිළිවෙළකට හදන එක හැමෝටම කරන්න බෑ... ජීවත්වෙන අපේ හිත් වල තමයි කුණු තියෙන්නේ.."
වාහනයේ රෝද කිරි කිරි හඬ නංවමින් ඉදිරියට ඇදේ. ඈත පල්ලියක රාත්‍රී දොළහේ කනිසම වදිනු යසරත්න හට යාන්තමින් ඇසින. යසරත්න ජයරත්න දෙස බැලීය. ඔහු තනියම මුමුණමින් රිය ධාවනය කරවයි. ජයරත්න එක්වරම වම්පස සිග්නල් ලාම්බු දල්වනු දුටු යසරත්න හඬ අවදිකළේය.
" ඇයි මොකක්ද අවුල ?
" නෑ මහත්තය මෙතනින් හරවල තමයි යන්න වෙන්නෙ.මහත්තය කැමතිනම් මෙතනින් බහින්න. නැත්නම් මළ ගෙදරට ගිහින් මේක බාරදීල එමුද ..? මම මහත්තයව ගෙදරටම ගිහින් දාන්නම්."
යසරත්න දීමට සුදුසු පිළිතුරක් කල්පනා කරන්නට විය. රෑ දෙගොඩහරියේ නාඳුනන මළ ගෙදරකට යා හැකිද ? ඇරත් එය නිකම්ම නොව මරණයක් භාරදීමටය.. එහිදී ඒ මිනිසුන් කෙසේ තමා පිළිගනීද .. එහෙත් මෙතනින් බැස ගියහොත් ඉතිරි දුර පයින්ම යා යුතුය. අනෙක් අතට ජයරත්නගේ මානුෂික යෝජනාව ඉවත දැමියද නොහැක. මෙතෙක් දුරක් ජයරත්න තමා රැඟෙන නොආවේනම් තමාට පයින්ම නිවස කරා යෑමට සිදුවේ.. අවසන් තීරණයට එළඹි යසරත්න ජයරත්න දෙසට හැරුනි.
" හා යමු එහෙනම්. හැබැයි වැඩි වෙලා බෑ.."
" හරි මහත්තය. බොහෝම ස්තුතියි "
ජයරත්න තමාට ස්තූති කරන්නේ කුමක් නිසාදැයි යසරත්නට පැහැදිලි නැත. හරිනම් මෙතෙක් දුරක් තමා ඇරලිවීම ගැන ස්තූතිවිය යුත්තේ ඔහු නොව තමා නොවේදැයි ජයරත්න සිතන්නට විය. අවමංගල්‍යය රථය ප්‍රධාන මාර්ගයෙන් අතුරු මඟකට හැරවින.. දෙපස අන්දර වැට සහිත පටු මාවත දිගේ කිලෝමීටරයක් පමණ ගෑටූ රිය අවසානයේ සාමාන්‍ය නිවසක් ඉදිරියේ නතරවිණ. නිවස පිටත කිසිවෙකුත් දක්නට නොලැබුණ අතර නිවස ඇතුළතින් මඳ ආලෝකමත් බවත් රියෙහි උන් දෙදෙනාටම දක්නට පුළුවන් විය. ජයරත්න රථයේ එන්ජිම නතර කළේය. හාත්පස පැවතියේ දැඩි නිහඩතාවයකි.
" මහත්තය ඔහොමම ඉන්න. මම ගිහින් ගෙදර අය එක්කන් එන්නම්."
එසේ කී ජයරත්න "දඩාස්" යන හඩින් වාහනයේ දොර වසාදමා ඉදිරියට ගමන් කළේය.
අවට සැබවින්ම නිශ්චලත්වයක ගිලී ඇත. මළ ගෙදරක පෙනුමක් නොමැති මේ නිවස තුළ තව සුළු මොහොතකින් මෘත දේහයක් තැන්පත් වන්නේය. ඉන්පසු මෙතෙක් සාමාන්‍ය ගෙයක්ව පැවති නිවස මළ ගෙදරක් ලෙස විශේෂණය වන්නේය. යසරත්න මඳක් පසු පස බැලීය. ඔහුගේ ඇඟ යළිත් කිළිපොලා ගියේ පසුපස ඇති මිනී පෙට්ටිය දැකීමෙනි. මේ මොහොතේ තමා මෘත දේහයක් සමඟ තනිවම වාහනයක් තුළ බව ඔහුට අවබෝධ වූයේ මෙවිටය. යසරත්න වහා රථයේ දොර විවර කොට පිටතට පැමිණුනි. සැබවින්ම සිදුවූයේ පිටතට පැමිණීමක් නොව පිටතට පැනීමකි. නිවස තුළින් මතුවූ ජයරත්න වාහනය දෙසට එමින් සිටිනු දුටු යසරත්නගෙ සිත පියවි සිහියට පැමිණියාය. ඔහු පැමිණියේ තනිවමය.
" මාර වැඩේනේ මහත්තය . ගෙදර ඉන්නෙ මේ මනුස්සයගෙ පවුලයි , එයාගෙ අක්කයි විතරයි. මිනිහ ගිනි පොලී කාරය නිසා ගමේ මිනිස්සු කවුරුත් මෙයා එක්ක තරහයිලු. කවුරුවත් ඇවිත් නෑ..
" ඉතිං ?
" අනේ මහත්තය මට මේ වෙලාවෙ මහත්තය ගෙන් ලොකු උදව්වක් ඔන.. මට මේ වෙලාවෙ වෙන කියන්න කෙනෙක් නෑ... "
" කියන්න ජයරත්න මොකද වෙන්න ඕන ?
යසරත්න මුල් වරට ජයරත්නගේ නමින් ඔහු ඇමතූහ.
"අනේ මහත්තය මට මේ මරණේ ගේ ඇතුළට ගන්න මහත්තය උදව් කරන්න ඕන.. මොකද අර ගෑනු දෙන්නට මේ පෙට්ටිය උස්සන්න බෑ.. "
සිදුකළ යුත්තේ කුමක් දැයි යසරත්නහට කල්පනා නොවේ. කොහේදො යන වාහනයක නැගගත් මෝඩකමට දැන් වන්දි ගෙවීමට සිදුවී තිබේ. රැකියාව කර ගෙදර යෑමට මඟට බට තමන්හට දැන් නාඳුනන මරණයකට කරගැසීමට සිදුව තිබේ. තමන් එනතුරු තම බිරිඳ නිවසටවී මඟ බලමින් හිඳිනවා ඇත. එහෙත් තමන් දැන් මේ කරන්නේ කුමක්ද.. ? නිවසට ගිය පසු නර්මදාහට පවසන්නේ කුමක්ද ? ඈ මේ විස්තරය කෙලෙස පිළිගනීවිද ආදී නොයෙකුත් මානසික ප්‍රශ්න කිරීම් යසරත්නගේ මොළයෙහි කරනම් ගසන්නට විය. දැන් කිරීමට දෙයක් නොමැත. මේසා දුරක් තමා රැඟෙන ඒමෙන් ජයරත්න කර ඇත්තේ තමන් හට උදව්වකි. දැන් ඔහු තමාගෙන් උදව්වක් බලාපොරොත්තු වන මොහොතයි. ජයරත්න තමාගෙන් ඉල්ලන්නෙ අවංක උදව්වකි.
" හරි අවුලක් නෑ ... එහෙනම් අල්ලමු !
යසරත්න දිගට දමාගෙන සිටි කමිස අත් වැලමිට තෙක් නමාගනිමින් පැවසීය. ජයරත්න වහා පිටුපස දොර විවර කොට මෘත දේහය බහාලූ මිනී පෙට්ටිය ඉවතට ඇද්දේය..
" මහත්තය මේ පැත්‍තෙන් අල්ලන්න. අනේ මහත්තයෝ දස දහස් වාරයක් සමාවෙන්න ඕන. මහත්තය මේ වැඩේට එක්කර ගත්තට. මේ වෙලාවෙ මට වෙන කියන්න කෙනෙක් නෑනෙ .. ඒකයි."
ජයරත්න යසරත්න හමුවේ බැගෑපත් වන්නට විය. ඉන්පසු දෙදෙනා මෘත දේහය බහාලූ පෙට්ටිය ඔසවාගන්නට සූදානම් වූහ. සාමාන්‍යයෙන් කිලෝ හැත්තෑවක් අසූවක් තරම් වන මිනිසෙකුගේයැයි අනුමාන කළ යසරත්න ඉතාමත් පරිස්සමෙන් හා වීරියකින් යුතුව පෙට්ටිය එසවූ නමුත් එය හරිම සැහැල්ලුවකින් එසැවිණ. මේ මිනිසා මෙතරම් සැහැල්ලුවූයේ කෙසේදැයි යසරත්න කල්පනා කළේය. සමහරවිට ඔහු කෙට්ටු මනුස්සයෙක් වීමට පුළුවන. එමනිසා පෙට්ටිය බරින් අඩුවන්නට ඇතියැයි යසරත්න තමාගේ සිතට දැනුම්දුන්නේය. මෘත දේහය බහාලූ පෙට්ටිය ඔසවාගත් දෙදෙනා එය පරිස්සමින් ගේ තුළට ගෙන ජයරත්න කලින්ම අැතුළත තබා තිබූ ආධාරක මත තැබීය. ඉන්පසු ජයරත්න පෙට්ටිය විවෘත කොට මළසිරුර සකසා දෙපස ලී ඇත් දළ දෙකක් හා පහනක් දල්වා තැබීය. මේ සියල්ල සිදුකරන තෙක් යසරත්න පැත්තකට වී කල්පනා කරමින් පසුවිය.
" දැන් හරි මහත්තයෝ .. අපිට යන්න පුළුවන් . මම මහත්තයව ගෙදරටම ඇරලවන්නම් "එසේ කී ජයරත්න වාහනය දෙසට පියවර නැගීය. කෙසේ වෙතත් තමා පැමිණ ඇත්තේ නන්නාඳුන කෙනෙකුගේ නිවසකට වූවත් දැන් එය මළගෙයක් නොවේදැයි යසරත්නහට කල්පනා වුණි. එසේ නම් මළගෙදර සාමාජිකයන්ට කතාකොට නිවසින් පිටවිය යුතුය. සම්ප්‍රදාය එය බැවින් ඊට අවනතවූ යසරත්න මරණකරුගේ බිරිඳට ආචාරකොට අවසන් වරට මෘත දේහය දෙස බැලීය. පුදුමයකි! තමා ඉතා සැහැලුවෙන් ඔසවගෙන ආ මිනීපෙට්ටිය තුළ වූයේ උස මහත පුද්ගලයෙකුගේ සිරුරකි. අනුමාන වශයෙන් එම සිරුර කිලෝ සියයක පමණ බරකින් විය යුතුය. නමුත් එහි පුළුන් රොදක බරක් නොවීය.. යසරත්න රථය අසලට එනවිට ජයරත්න රිය පණ ගන්වා හරවමින් සිටියේය. වහා ඉදිරි අසුනට පැනගත් යසරත්න දොර වසා දමා සැනසුම් සුසුමක් හෙලුවාය.
" යන්තම් ඇති. ඔහොමම ගිහින් වමට හරවලා කන්ද නැග්ගම දකුණට තියන ලේන් එකෙන් මාව බස්සන්නකො.. ඒ ඇති."
යසරත්න තමාගේ නිවසට යන පාර ජයරත්නට පැවසුවේය.. ජයරත්න කතාවක් නොමැතිව ඒ විධානයට අනුව රිය ධාවනය කරවන්නට විය.
"මේ මම අහන්න උන්නෙ. අර මැරිච්ච මනුස්සය උස මහත වුණාට පොඩ්ඩක්වත් බරක් නෑනේ. ඇයි ඒ..?
යසරත්නගේ ඒ පැනයට ජයරත්න සිනාසුනි.
" මහත්තයෝ ඒක තමයි මම මෙච්චර වෙලා කිය කිය ආවේ.."
" ඒ මොකක්ද ?
" ඇයි මහත්තයෝ ජීවත්වෙන මිනිස්සු කොච්චර බරකින්ද ඉන්නෙ. ඒත් මැරුණම ඒ බරවල් හැම එකකින්ම ඒ මිනිහ නිදහස් වෙනවනෙ... සැහැල්ලු වෙනවනෙ.. .ඒකයි ඒ මිනිය බර නැත්තේ. මහත්තයටත් ඕන නම් දවසක උත්සාහ කරල බලන්නකෝ..."
යසරත්න ගැඹුරින් ජයරත්නගේ ප්‍රකාශය ගැන සිතන්නට විය. ඔහු තමාහටත් දවසක එය උත්සාහකොට බලන්නයැයි කීවේ කුමක් නිසාදැයි යසරත්නහට නොවැටහේ. දැන් රියෙහි වේගය පවනට බඳු වේ.. ආගමානුකූලව නොවූවත් ජයරත්න කියන කතාව එක් අතකින් සැබෑවක් නොවේදැයි යසරත්න කල්පනා කරන්නට විය. මේ සෑම බරක්ම ඇත්තේ ජීවිතය තුළද..? ජීවිතයෙන් සමුගත් දිනක සැබවින්ම බරින් නිදහස් වේද...? වේගවත් රිය ධාවනය නිසා ඔහුගෙන් ඒ පිළිබඳව අසන්නටද බැරිය. එක් වරම "කිරීස්" යන හඬින් තිරිංග තද කළ රිය මාර්ඟය අයිනේ නැවතින. කොස් ගසක ළැඟ හුන් බකමූණෙකු හිස කරකවා පහත බැලීය. ඌට දැක ගැනීමට ලැබුණේ නතර කරන ලද අවමංගල්‍ය රියකින් බැස ගන්නා මිනිසෙකුගේ දර්ශනයකි. යසරත්න කෙතරම් ගැඹුරු සිතුවිල්ලක සිටියාද කිවහොත් ඔහු රියෙන් බැස ජයරත්න හා කතා නොකරම අඩි කිහිපයක් ඉදිරියට ඇදුනේය. තමා කිසියම් මායාවකට කොටුවී ඇති සැටියක් යසරත්නගේ සිතට හැඟෙමින් පවතී. එසැනින් ජයරත්නට සමුනොදුන්බව සිහිවූ යසරත්න වහා පිටුපසට හැරුණි. එහෙත් ඝන අන්ධකාරය හැරෙන්නට වෙනත් කිසිදු දෙයක් එහි දක්නට නොවීය. ගසක ළැඟ උන් බකමූණෙකු අත් තටු විදහා ඈතට ඉගිල යන අයුරු අඳුර අතරින් ඔහුට යාන්තමින් දැකගැනීමට හැකි විය.
ජගත් ප්‍රසන්න කුරුගම





