සමාජ මාධ්‍යයෙන් දැරියන්ට හදි කළ ශ්‍රී ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේදී දඬුවම් | Page 3 | සිළුමිණ

සමාජ මාධ්‍යයෙන් දැරියන්ට හදි කළ ශ්‍රී ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේදී දඬුවම්

දැරියන් කිහිපදෙනෙක් වෙත සමාජ මාධ්‍ය භාවිත කරමින් අසභ්‍ය පින්තූර යවමින් තර්ජනය කළ බවට වරදකරු වූ ශ්‍රී ලාංකිකයකු ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් වරදකරු ලෙස නම් කර තිබේ. ඔහුට දඬුවම් පැමිණවීම ලබන පෙබරවාරි 24 වැනිදා සිදු කිරීමට නියමිතය.

රන්පටි අමරසිංහ නම් වන 24 හැවිරිදි මේ පුද්ගලයා ඔස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ ඩියාකින් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම අරමුණු කර ගනිමිනි.

මේ පුද්ගලයා ඒ අතරවාරයේදී කුඩා දැරියන් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් ඔවුන් වෙත අසභ්‍ය පින්තූර යැවීමට කටයුතු කර තිබේ. ඒ සඳහා ඔහු ඉන්ස්ට්ග්‍රෑම් සහ ස්නැප්චැට් යන සමාජ මාධ්‍ය භාවිත කර ඇතැයි පැවසේ. එපමණකින් ද නැවතී නැති මේ පුද්ගලයා ඔහුගේ ගොදුරු බවට පත්වූ කුඩා දැරියන්ට පණිවිඩ යවමින් ඔවුන් පිළිබඳව නිවෙස්වලට දන්වන බවට ද තර්ජනය කර තිබේ. වීඩියෝ ඇමතුම් මඟින් ඒ දැරියන් අමතමින් ඔවුන්ට වාචික හිංසන කළ බවත් ඔවුන්ට යම් යම් අසභ්‍ය ක්‍රියාකාරකම්හි යෙදෙන ලෙසට තර්ජනය කළ බවත් මේ පුද්ගලයාට ගොදුරු වූ දැරියන් පොලීසිය හමුවේ පවසා තිබේ.

ඔහුගේ මේ පීඩාවන්ට ගොදුරුවූ එක් දැරියක් අවුරුදු 10ක් තරම් කුඩා වයසේ පසුවන්නියකි.

මේ දැරියන් පොලීසියට දන්වා ඇති අන්දමට අමරසිංහ නැමැත්තා මේ කටයුතු ආරම්භ කර ඇත්තේ 2018 වසරේදීය. ඔහු 2020 දක්වා අඛණ්ඩව එම දැරියන් වෙත තර්ජනය කිරීම් මෙන්ම අසභ්‍ය ඡායාරූප යැවීම් සිදු කර තිබේ. ඔහුගේ මේ තර්ජනවලට සහ පීඩාවන්ට ගොදුරු වූ දැරියන් අවසානයේ ඒ බව තම පවුල්වල සාමාජිකයන්ට දැනුම් දීමෙන් පසුව අවසානයේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ඩොවෙන්ටන්හි ඔහුගේ නිවසේ සිටියදී අමරසිංහ නැමැත්තා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පුද්ගලයා පිළිබඳව අදහස් දක්වා ඇති වින්දිත දැරියන්ගේ පවුල්වල සාමාජිකයන් පවසා ඇත්තේ එම දැරියන් මේ පුද්ගලයා නිසා දැඩි සේ පීඩාවට පත්ව සිටින බවයි. ඒ අතරින් ඇතැමුන්ට නින්ද පවා නොයන තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඔවුන් සිහිනෙන් බියවන බවත් දැරියන්ගේ මවුපියන් පවසා තිබේ. මේ පුද්ගලයාගේ බියවැද්දීම් නිසා ඇතැම් දැරියන් මානසික රෝගීන් බවට ද පත්ව ඇත.

මේ පුද්ගලයා අත්අඩංගුවට පත්ව දඬුවම් ලැබූවද ඔහු නිසා තම දැරියන් විඳි මානසික පීඩාවන් සමනය නොවනු ඇති බවත් ඔවුන්ගේ ජිවිතවලින් අහිමි වූ කාලය යළි ලබා ගත නොහැකි බවත් එම දැරියන්ගේ මවුපියන් වැඩි දුරටත් පවසා තිබේ.

සැප්තැම්බර් මස ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව රන්පටි අමරසිංහට විරුද්ධව නඩු අසනු ලැබූ අතර, පසුගියදා ඔස්ට්‍රේලියානු අධිකරණය තීරණය කර සිටියේ මේ සියලු චෝදනා සඳහා මේ පුද්ගලයා වරදකරු බවයි. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් රන්පටි අමරසිංහට විරුද්ධව චෝදනා 16ක් ගොනු කර තිබිණි. වරදකරු ලෙස තීන්දුව ලබා අවසන් වුවද අමරසිංහට දඬුවම් නියම කිරීම පෙබරවාරි මස 24 වැනි දිනට නියම වී තිබේ. එදිනට බොහෝ දුරට මේ පුද්ගලයා යළි ශ්‍රී ලංකාවට වෙත පිටුවහල් කිරීමට නියෝග ලැබෙනු ඇතැයි අනුමාන කෙරේ. එහෙත් ඊට පෙර ඔහුට දීර්ඝකාලීන සිරදඬුවමක් ද ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් නියම කරනු ඇති බවට බොහෝ මත පළ වී තිබේ.

Comments