දකුණු ඇමරිකාව යනු ලෝක සිතියමේ තවත් එක් සුවිශේෂී ප්‍රදේශයකි. එහි පිහිටා ඇති රටවල් ගතහොත් ආසියාව, අප්‍රිකාව මෙන්ම දරිද්‍රතාව පොදු ලක්ෂණයකි. එහෙත් මේ රටවලින් ලොවට තිළිණ වී ඇති සුවිශේෂතා බොහෝය. මේ අතරින් ඇතැම් රටවල සියවස් ගණන් පැරණි අති දියුණූ සංස්කෘතීන් වූ අතර ඇතැම් රටවලින් ලොවට තිළිණ වූ සාහිත්‍ය මිල කළ නොහැකිය.
කලක් මේ රටවල් සිසාරා වාමාංශික දේශපාලනයේ උණුසුම පැතිර ගිය අතර රටවල් බොහොමයක වාමාංශික අදහස් සහිත නායකයෝ බලයට පත් වූහ. එහෙත් යම් යම් හේතූන් මත මේ නායකයන්ට නායකත්වයෙන් සමු ගැනීමට සිදුවිය. ඇතැම් නායකයන් මිය ගිය අතර මරණවලට හේතූන් සැකකටයුතු විය. උදාහරණ ලෙස වෙනිසියාලවේ හියුගෝ චාවේස් මියෑමට හේතුව පිළිකාවක් බව ප්‍රකාශ විය. ඒ සමඟ එවකට සිටි පැරගුවේ වායක එවෝ මොරාලස්, බ්‍රසීලයේ ඩෙල්මා රූසොෆ් වැනි නායකයන්ටද පිළිකා පවතින බවට තොරතුරු වාර්තා විය. මේ නායකයෝ සියල්ලෝම වාමාංශික රැල්ලක් දකුණු ඇමරිකා කලාපයේ ඇති කිරීමට පෙරමුණ ගත් නායකයෝ වූහ.
එහෙත් මේ නායකයන්ගේ අභාවයෙන්, එසේ නැතහොත් ධූරයෙන් සමුගැනීමෙන් පසු පැන නැගී වාමාංශික රැල්ල ක්‍රමයෙන්ම අභාවයට ගියේය. එහෙත් පසුගිය වසර දෙක තුනක කාලයක් ඇතුළත දකුණු ඇමරිකාවේ රටවල් කිහිපයකම මහජන විරෝධතා පැන නැගෙණු දැකගත හැකි විය. ඒ මහජන නැගිටීම්වලට හේතුවූයේ එම රටවල ජනතාවට තවදුරටත් පීඩාවන් දරාගත නොහැකි වීමය. දකුණු ඇමරිකා කළාපයේ විශේෂයෙන්ම චිලී සහ වෙනිසියුලාව යන රටවල පැන නැගී විරෝධතා අති ප්‍රබල විය. මේ විරෝධතා අවසානයේ ජනතාව තමන් අභිප්‍රාය වූ අන්දමේ වෙනස්කම් කරා රට ගෙන යෑමට සමත් වූ නමුත් වෙනිසියුලානු ජනතාවට නම් ඔවුන් බලාපොරොත්තු වූ ඉලක්ක තවත් බොහෝ දුර විය.