මොකද්ද මේ අරාබි වසන්තය
පසුගිය සතියේ විරෝධතාකරුවන් විසින් ජනාධිපතිතුමාගේ මිරිහානේ නිවස වැටලූ පසුව අරාබි වසන්තයක් අප රටේද ඇති කිරීමට කුමන්ත්‍රණය කරන බවට කතා පැතිර ගියේය. ඒ සමගින් බොහෝ දෙනා උනන්දුවක් දැක්වූයේ මේ ‘අරාබි වසන්තය‘ යනු කුමක්දැයි දැන ගැනීමටයි. අරාබි වසන්තය යනුවෙන් හැඳින්වූයේ 2011 වසරෙන් ආරම්භ වී උතුරු අප්‍රිකාව සහ මැදපෙරදිග කලාපය ආශ්‍රිත රටවල් රැසක පැතිර ගිය විරෝධතා රැල්ලකි. මේ විරෝධතා රටවල් රැසකම සංවිධානාත්මක ලෙස පැතිර ගිය අතර බොහෝ විරෝධතාකරුවන්ගේ අරමුණ වී තිබුණේ තම රටවල පාලන තන්ත්‍රයේ වෙනසකි.
මේ අරාබි වසන්ත විරෝධතා රැල්ල ආරම්භ වූයේ 2011 ජනවාරි 25වැනිදා ඊජිප්තුවෙනි. එවකට ඊජිප්තුවේ දීර්ඝ කාලීන පාලකයා වූ හොස්නි මුබාරක් බලයෙන් පහකිරීම අරමුණු කර ගනිමින් ආරම්භ කෙරුණු මේ විරෝධතා පසුව ක්‍රමයෙන් සෙසු රටවල් කරාද පැතිර යන්නට විය. එලෙස පැතිර ගිය බොහෝ රටවල දීර්ඝ කාලීන ඒකාධිපති පාලනයන් පැවතීම විශේෂ පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.
ඊජිප්තුවෙන් බැහැරව විරෝධතා පැතිරගිය රටවල් ලෙස ඇල්ජීරියාව, බහරේන්, ඉරානය, ජෝර්දානය, ලිබියාව, මොරොක්කෝව, යේමනය, සිරියාව යන රටවල් දැක්විය හැකිය. මේ රටවල ඉතා ප්‍රබල ලෙස උද්ඝෝෂණ පැතිර ගිය අතර රටවල් කිහිපයකම පාලන තන්ත්‍රයන් වෙනස් කිරීමට විරෝධතාකරුවන්ට හැකියාව ලැබිණි.
මීට අමතරව ඉරාකය, මුරිටානියාව, ඕමානය සහ සවුදි අරාබිය තුළද සුළු වශයෙන් විරෝධතා පැවැත්විණ.
මේ විරෝධතා වසර කිහිපයක් දක්වා පැතිර ගිය එකම රැල්ලක් ලෙස හඳුනාගැනුණු අතර පසුකාලීනව මැදපෙරදිග කලාපයේ රටවල ස්වභාවික සම්පත් තමන් වෙත ලබා ගැනීම සඳහා ඇමරිකාව විසින් දරන ලද උත්සාහයක් ලෙසින්ද ‘අරාබි වසන්තය‘ ලෙසින් පසුව නම් කෙරුණු මේ විරෝධතා රැල්ලට අර්ථකථන හිමි විය.
ලිබියාව වලපල්ලට යැවූ අරාබි වසන්තය
අරාබි වසන්තයෙන් වැඩිම පීඩාවට පත්වු රට ලිබියාව බව පැවසිය හැකිය. ලිබියාවේ දීර්ඝ කාලීන පාලකයා වූ මුවම්මර් ගඩාෆි රටේ ජනතාවට ප්‍රීතියෙන් ජීවත් විය හැකි වාතාවරණයක් සකස් කර දී තිබිණි. ඔහු ප්‍රංශ අධිරාජ්‍යයෙන් ලිබියාව නිදහස් කර ගත් තැන පටන් ලිබියාවේ අනාගතය ගැන සිතමින් කටයුතු කළ නායකයෙක් විය. ඔහු ලිබියාවේ තෙල් සම්පත රජයට පවරා ගත් අතර වැඩි ලාභ ලබමින් සිටි බහු ජාතික සමාගම් රටින් එළවා දැමීමට කටයුතු කළේය. රටේ තෙල් සම්පත අලෙවියෙන් ලැබෙන ආදායම රට තුළම ආයෝජනය කළ ගඩාෆි ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නේ බොහෝ සේවාවන් නොමිලයේ ජනතාවට සපයමිනි. විදුලිය මෙන්ම දුරකතන සේවා සඳහා මිලක් ගෙවීමට ලිබියානු ජනතාවට සිදුවූයේ නැත.
එහෙත් ගඩාෆි තම පවුල අසීමිත ලෙස පාලනය සඳහා සම්බන්ධ කර ගත්තේය. ඔහුගේ පුතුන්ගේ නාස්තිකාර ජීවිත රටේ බොහෝ දෙනෙකුට නොරුස්නා සුළු විය. දශක හතරකට ආසන්න කාලයක් පුරා ලිබියාව පාලනය කළ ගඩාෆිගෙන් ලිබියාව බේරා ගැනීමට ලිබියානුවන්ම පෙලඹවීමට යම් අදෘශ්‍යමාන හස්තයන් කටයුතු කළ අතර එය සාර්ථක විය.
මෙහිදී ආරාබි වසන්තය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වන ඇමරිකාව කෙරෙහි සාධාරණ සැකයක් ඇති වන්නේ ගඩාෆි නම්මා ගැනීමට ඇමරිකාව ගත් උත්සාහයන් රැසක් අතීතයේදී ව්‍යර්ථව තිබූ බැවිනි. තෙල් සම්පත සහිත රටවල් තමන්ට අවශ්‍ය ලෙස පාලනය කිරිම ඇමරිකාවේ ක්‍රමෝපාය විය.
අවසානයේ මාස අටක් පුරා පැතිර ගිය විරෝධතා සහ කැරලි අවසානයේ ලිබියාව කෙම් බිමක් බවට පත් කළ මුවම්මර් ගඩාෆි මරා දැමීමට කැරළිකරුවෝ සමත් වූහ. වඩාත් කනගාටුදායක සිදුවීම් සිදුවූයේ එයින් පසුවය. අතීතයේ ඉතා ශක්තිමත් රටක් ලෙස පැවති ලිබියාව ගඩාෆිගේ අභාවයත් සමඟ අහසින් වැටුණේ බිමටමය. වෙඩි උණ්ඩ වැදී අබලන් වූ ගොඩනැගිලිවල ජනතාව ජීවිතය ගැටගසා ගන්නට වූහ. දිගින් දිගටම බටහිර හිතවාදී පුද්ගලයන් සහිත ආණ්ඩු පත්වුවද ඒ කිසිවකුට පෙර පැවති සශ්‍රීක ලිබියාව ජනතාව අබියසට ගෙන ඒමට නොහැකිවිය.
ලිබියානු ජනතාව වඩා හොඳ හෙටක් ලබා දෙන බවට පැවසූ වදන්වලට මුළා වී තමන් සතුව තිබූ සමුද්ධිමත් ජීවිතය අහිමි කර ගත්හ. අද වන විටත් ලිබියානු ජනතාවට පෙර පැවති තත්ත්වය තබා සාමාන්‍ය යහපත් ජන ජීවිතය හෝ අහිමිව තිබේ. අරාබි වසන්ත රැල්ලෙන් වළ පල්ලටම ඇද වැටුණු රට බවට ලිබියාව පත් වූයේ එසේය. අරාබි වසන්තය ආරම්භ වූ ඊජිප්තුව කෙසේ හෝ ජාමේ බේරා ගත්තද ලිබියාව නම් තමන් සතුව තිබූ සියල්ලද අහිමි කර ගත්තේය.
අරාබි වසන්තයෙන් පසු ඊජිප්තුව
අරාබි වසන්තය යනුවෙන් පසුකාලීනව නම් කෙරුණු විරෝධතා රැලි මාලාවේ ආරම්භය සනිටුහන් වන්නේ ඊජිප්තුවෙනි. එයට හේතුව වූයේ ඊජිප්තුවේ දීර්ඝ කාලීන පාලකයා වූ හොස්නි මුබාරක්ගේ පාලනය එරට ජනතාවට තිත්ත වීමයි. මේ විරෝධතා සඳහා පෙරමුණ ගෙන සිටියේ ඊජිප්තුවේ තරුණ පරපුරයි. හොස්නි මුබාරක් එවකට ඊජිප්තුවේ පාලකයාව සිටි අතර ඔහු 1981 සිට ඊජිප්තුව පාලනය කරමින් සිටියේය. ජනතාවට ඔහුගේ දීර්ඝ කාලීන පාලනය අප්‍රියව තිබූ අතර වංචා දූෂණ සම්බන්ධයෙන්ද මුබාරක්ට චෝදනා එල්ල වී තිබිණි. දශක තුනකට අධික කාලයක් ඊජිප්තුව පාලනය කරමින් සිටි මුබාරක් වරින්වර පනවන ලද නීති මඟින් ජනතාවගේ නිදහසට වැට බැඳ තිබිණි.
අවසානයේ ජනතාවගෙන් එල්ල වූ විරෝධතා පාලනය කර ගැනීමට මුබාරක්ගේ ආරක්ෂක හමුදාවන්ට හැකියාව නොලැබුණු අතර ජනතාව විරෝධතා මැද රටම අඩපන විය. අවසානයේ මසක පමණ දීර්ඝ විරෝධතාවන්ට පසු මුබාරක් ඉල්ලා අස්වූ බව උප ජනාධිපතිවරයා නිවේදනය කර සිටියේය. ඊජිප්තුවේ ව්‍යවස්ථාව අහෝසි කරනු ලැබූ අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකම විසිරුවා හරිනු ලැබීය. බලය ආරක්ෂක හමුදා ප්‍රධාන සුප්‍රීම් කවුන්සිලයකට පැවුරුණු අතර
පසුව පැවැත්වුණු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් පසු මුස්ලිම් සහෝදරත්වය වැඩි ඡන්ද ලබා ගනිමින් මැතිවරණය ජයග්‍රහණය කළේය.
එමඟින් 2012 ජූනි මාසයේදී මොහොමජ් මෝර්සි ජනාධිපති ලෙස පත්වීම් ලැබුවේය. වේගයෙන් ආරජිකත්වය කරා යමින් සිටි ඊජිප්තුවේ බලය දරා සිටීමට මෝර්සිට හැකියාව ලැබුණේ වසරක කාලයක් පමණි. 2013 ජූනි මාසයේදී මෝර්සිගේ පාලනයට එරෙහිව දැවැන්ත ජනතා උද්ඝෝෂණ ආරම්භ වූ අතර ඉල්ලා අස්වීම හැර විකල්පයක් මොහොමඩ් මෝර්සිට නොවීය.
එවර ඊජිප්තුවේ බලය හමුදා සාමූහිකයක් විසින් ලබා ගත් අතර ජෙනරාල් අබ්දෙල් අල් ෆටා අල් සිසී ඊජිප්තුවේ බලය ලබා ගත්තේය.
පසුව අල් - සිසී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණි අතර 2014දී ප්‍රජාතන්ත්‍රවාදී මහමැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළේය. මේ මැතිවරණය සෙසු සියලු විපක්ෂයේ දේශපාලන පක්ෂ වර්ජනය කළ නමුත් බහුතර මහජන මතයෙන් අල් - සිසී මැතිවරණය ජයග්‍රහණය කළේය.පසුව ඊජිප්තුවේ එකාධිපතියා ලෙස හඳුන්වනු ලැබූ හොස්නි මුබාරක්ට එරෙහිව නඩු පවරනු ලැබූ අතර ඔහුට එල්ල වූ චෝදනා අතර විරෝධතාකරුවන් 500 – 600ත් අතර ප්‍රමාණයක් ඝාතනය කිරීමද ඇතුළත් විය. එතැන් සිට මේ දක්වා ඊජිප්තුව සාර්ථක ලෙස පාලනය කිරීමට අබ්දෙල් ෆටා අල් - සිසීට හැකියාව ලැබී තිබෙන අතර ඊජිප්තුව සශ්‍රීක ගමන් මාර්ගයක ගමන් කරමින් සිටින බව පැවසිය හැකිය.
ටියුනීසියාව කබලෙන් ලිපට
අරාබි වසන්තයේ ආරම්භය සැලකීමේදී ඊජිප්තුව සේම ටියුනීසියාව තුළද එහි මුල් ඇති බව වටහාගත හැකිය. ටියුනීසියානු ජනතාව විරෝධතාවලට එක් වන්නේ සැබවින්ම ඊජිප්තු ජාතිකයන්ටත් පෙරදීය. ඒ වන විට ටියුනීසියානු පාලක බෙන් අලී දශක තුනකට ආසන්න කාලයක් ටියුනීසියාව පාලනය කරමින් සිටි අතර ක්‍රමයෙන් රටේ පරිහානියක් මිස සංවර්ධනයක් දක්නට නොවීය. උග්‍ර උද්ධමන තත්ත්වයක් රට තුළ පැවති අතර පාලකයන්ගේ වංචා, දූෂණ ඉහවහා ගොස් තිබිණි.
මේ තත්ත්වය තවත් දරා ගැනීමට නොහැකි වූ ජනතාව පාරට බැස විරෝධතා දක්වන්නට වූයේ ධූරයෙන් ඉවත්වීම හැර විකල්පයක් බෙන් අලීට ඉතිරි නොකරමිනි. කෙසේ වුවද බෙන් අලීගේ ඉවත් වීම ටියුනීසියාවේ ගැටලු විසඳීමට සමත් නොවූයේ ඒ වන විට රට අගාධයේ පතුලටම ගිලී පැවති නිසාවෙනි. රට තිබූ තත්ත්වයටත් වඩා පරිහානියට පත්වූ අතර ජනතාවට දිවි ගෙවීම වඩාත් අසීරු වන්නට විය. වරින්වර මැතිවරණ පවත්වමින් රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ටියුනීසියානුවන් උත්සාහ දැරූවද එය පහසු කටයුත්තක් වූයේ නැත. පත් කළ ආණ්ඩු පහසුවෙන් බිඳ වැටුණේ ආර්ථිකය යළි ගොඩනැංවීමට පාලකයන් අපොහොසත් වූ බැවිනි.
අවසානයේ 2013න් පසු ඇමරිකාව විසින් ටියුනීසියාවට ලබා දුන් මූල්‍ය ආධාර හේතුවෙන් රට යම් තරමකට පවත්වාගෙන යෑමට පාලකයන්ට හැකියාව ලැබිණි.
මීට අමතරව තවත් අසල්වැසි රටවල රැසකම රැල්ලක් සේ ජනතා විරෝධතා පැතිර ගිය අතර ඒ අතරින් බොහෝ රටවල් තම ජනතාව හසුරුවා ගනිමින් අරාබි වසන්තය අවසන් කිරීමට සමත් විය. ඉරානය ඒ අතරින් ඉදිරියෙන්ම සිටි රටකි. අරාබි වසන්තය යටතේ තමන්ට අහිතකර පාලන තන්ත්‍රයන් පවතින රටවල එකී පාලනයන් පෙරළා දැමීමට ඇමරිකාව උත්සාහ දැරූ බවට වන චෝදනා තවදුරටත් සනාථ වීමට ඉරානය සම්බන්ධ සිදුවීම උදාහරණ සේ දැක්විය හැකිය. එහෙත් ඉරාන ජනතාව යනු නිසි කලට පැවැත්වෙන මැතිවරණ සහ දූෂිත නොවූ පාලකයන් හේතුවෙන් තෘප්තිමත්ව වෙසෙන ජනතාවකි. එබැවින් ඔවුන්ට රට තුළ පවතින වසන්තය ප්‍රමාණවත් වූ අතර අරාබි වසන්තයට ඉරානය තුළ ඉඩක් ලබා දුන්නේ නැත. මේ හැර ඇල්ජීරියාව, ඉරාකය, ජෝර්දානය, මොරොක්කෝව, කුවේට් සහ ඕමාන් වැනි රටවලද යම් තරමකින් ජනතා විරෝධතා දියත් වූ අතර ඒවා දින කිහිපයක් පැවති විරෝධතා රැලිවලට පමණක් සීමා විය.