පසුගිය වසර අවසානයේ ඇෆ්ගනිස්ථානය ගැන මුළු ලෝකයම කතා කළද අද වන විට ඒ සියල්ල වැඩි දෙනාට අමතක ව ගොසිනි. එහෙත් ඇෆ්ගනිස්තානය නොකඩවා පුවත් මවමින් සිටී. අැමරිකානු හමුදා පසුබැසීමත් සමඟ ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් සංවිධානය අතට පත්විය. ඒ ආසන්නයේදීම ඇෆ්ගනිස්තානයෙන් එක්සත් අරාබි එමිරේට්ස් වෙත පලා ගිය හිටපු ඇෆ්ගන් ජනාධිපති අශ්රෆ් ගානි රටින් පලා යන විට ඇෆ්ගන් භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 169ක් රැගෙන ගොස් ඇති බව ප්‍රකාශ වී තිබේ.
හිටපු ජනාධිපතිවරයා මේ වන විට කෙසේ පසුවුවද ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ හිටපු මුදල් ඇමතිවරයා නම් සුවපහසු ජීවිතයක් ගත නොකරන බව වාර්තා ලැබී තිබේ. ඒ අැමරිකාවේ වොෂිංටනයෙනි. ඇෆ්ගනිස්තානයෙන් අැමරිකාවට පලා ගිය ඇෆ්ගන් හිටපු මුදල් අැමතිවරයා මේ වන විට සේවය කරන්නේ ඌබර් ටැක්සි රියැදුරෙක් වශයෙනි. කාලිඩ් පයෙන්ඩා නම් වන මේ හිටපු ඇෆ්ගන් මුදල් ඇමතිවරයා තම වැටුපට අමතරව තවත් ඩොලර් 96ක් වැඩිපුර ලබා ගැනීම වෙනුවෙන් ඉතා වෙහෙස වෙමින් සිටී. පසුගිය වසරේ මේ වන විට ඔහු වසරකට ඩොලර් බිලියන 6ක ඇෆ්ගනිස්තාන අයවැය ලේඛනය සකස් කරමින් සිටියේය. එහෙත් තලේබාන් ආක්රමණයත් සමඟ වහාම සෙසු ප්‍රභූන් සමඟ රටින් පිටවූ හිටපු මුදල් ඇමති පයෙන්ඩා කෙසේ හෝ අමරිකාවට සංක්‍රමණය වීමට සමත් වූයේය.
හතළිස් හැවිරිදි පයෙන්ඩා පවසන්නේ තමන්ට සතියකට ගමන්වාර 50ක් සම්පූර්ණ කර ගත හැකි වුවහොත් අමතර මුදලක් උපයා ගැනීමට හැකි වන බවයි.
ඇෆ්ගනිස්තානයේ හිටපු මුදල් ඇමතිවරයාගේ තත්ත්වය එසේ වුවද ඔහු තරම් වාසනාවන්ත නොවූ අති බහුතරයක් ඇෆ්ගන් ජනතාව තවමත් කබලෙන් ලිපට වැටෙමින් මේ බිඳ වැටුණූ දේශය තුළ ජීවිත සටනේ නියුක්ත වෙමින් සිටිති. බලවත් ජාතින්ගේ කෙළි බිමක් වූ දේශයක අනාථ වූ ජීවිත කොතරම් කනගාටුදායක දැයි වොෂිංටනයේ ටැක්සි පදවමින් ඇෆ්ගනිස්තානයේ හිටපු මුදල් ඇමති, වර්තමාන ටැක්සි රියැදුරු කාලිඩ් පයෙන්ඩා ලොවටම පවසමින් සිටියි.