කලාපීය සහයෝගීතාව ඇති කරමින් කොළඹදී මුළු දුන් 5 වැනි බිම්ස්ටෙක් සමුළුව | සිළුමිණ

කලාපීය සහයෝගීතාව ඇති කරමින් කොළඹදී මුළු දුන් 5 වැනි බිම්ස්ටෙක් සමුළුව

 

වර්තමානය වන විට ලෝකයේ රටක ඉරණම විසඳීමට බලවත්ම සාධකය වී ඇත්තේ එම රටේ පිහිටීම බව පැහැදිලිය. එම රට පිහිටා ඇති මුහුදු කලාපය, එම රටට අසල්වාසී වන රටවල් හෝ එම රටේ පිහිටීම හේතුවෙන් උරුමව පවතින ස්වභාවික සම්පත් මත ලෝකයේ අවධානය එම රටවලට ලැබෙන බව තහවුරුය. ඉන්දියන් සාගරයේ අප රට පිහිටා ඇති ස්ථානය අනුව මේ වන විට ලෝකයේ බලවත් රටවලින් අප රටට ලැබෙන අවධානය ඕනෑවටත් වඩාය. ඉන්දියන් සාගර කලාපය යනු අනාගත ලෝකයේ බලවත්ම කළාපයයි. එබැවින්ම ඉන්දියන් සාගරයේ රටවල එකමුතුවද ඉතා වැදගත්ය.

ඉන්දියන් සාගර කළාපයේ රටවල් නොයෙක් අරමුණූ මත පදනම් වෙමින් නොයෙක් සංවිධානවලට එක්ව සිටින අතර ලංකාවද එවන් සංවිධාන කිහිපයකම සාමාජිකත්වය දරන්නේය. බිම්ස්ටෙක් යනු ද එවැනි සුවිශේෂී සංවිධානයකි. මේ සංවිධානයේ විශේෂත්වය වන්නේ එය ලෝකයේ භූ විෂමතාව අනුව ඉතා සුවිශේෂී භූ ලක්ෂණයක් පදනම් කර ගනිමින් සංවිධානය වී පැවතීමය. එම භූ ලක්ෂණය වන්නේ බෙංගාල බොක්කයි.

බිම්ස්ටෙක් සංවිධානය බිහිවන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල එක්වීමෙනි. මේ සාමාජික රටවල් බෙංගාල බොක්ක වටා පිහිටා ඇති අතර බෙංගාල බොක්ක එම රටවල ජන ජීවිතයට බලපෑම් කරන ප්‍රධාන සාධකයක්ද වේ. බිම්ස්ටෙක් යනුවෙන් රටවල එකමුතුවක් බිහිවීමට බලපෑ ප්‍රධාන අරමුණ වූයේද එයමය.

ලෝක සිතියම අධ්‍යයනය කරන විට පෙනී යන්නේ බෙංගාල බොක්ක වට කර ගනිමින් රටවල් හතක් පිහිටා ඇති බවයි. ඒ රටවල් වන්නේ බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තයයි. මේ රටවල් සියල්ලම එකම අරමුණක් අනුව කටයුතු කිරීම සහ පොදු අරමුණු යටතේ සංවිධානය වීම කළාපීය දියුණුවට මෙන්ම ආරක්ෂාවටද විශාල දායකත්වයක් සපයන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අනෙක් වැදගත්ම සාධකය වන්නේ සමස්ත ලෝක ජනගහනයෙන් සියයට 21ක ප්‍රමාණයක් මේ රටවල් හතේ ජිවත් වීමයි. සමස්ත ලෝක ජනගහනයෙන් පහෙන් එකක් යනු පැහැදිලිවම සමස්ත ලෝකයට බලපෑම් කළ හැකි ප්‍රමාණයකි. එබැවින්ම මේ රටවල එකමුතුව ලෝකයේම අවධානය දිනා ගන්නා ක්‍රියාවක් බවටද පත්වන්නේ නිරායාසයෙනි.

අද වන විට බෙංගාල බොක්ක පදනම් කර ගනිමින් මේ සංවිධානය ව්‍යප්ත වී තිබුණද ආරම්භයේදී එයට එක්වූයේ රටවල් කිහිපයක් පමණි. මේ රටවල් සංවිධාන ගත වුයේ ද ආර්ථික සහයෝගීතාව පදනම් කර ගනිමිනි. බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන එම රටවල් 1997දී ආර්ථික සහයෝගීතාව යනුවෙන් වන නම යටතේ සංවිධානය වූ අතර එම සංවිධානය BIST – EC යනුවෙන් නම් ලැබීය. පසුව මේ සංවිධානය බෙංගාල බොක්ක ආශ්‍රිතව පිහිටා ඇති තවත් රටක් වන මියන්මාරයද එක් වූ අතර BIST යන සාමාජික රටවල නම්වල අකුරු අතරට M අකුරද එක් විය. ඒ අනුව මේ වන සංවිධානය BIMST-EC හෙවත් BIMSTEC යනුවෙන් නම් ලැබීය. පසුකාලීනව මේ සංවිධානයට නේපාලය සහ භූතානය යන රටවල්ද එක් වූ නමුත් සංවිධානයේ නම වෙනස් කිරීමකින් තොරව ඉදිරියට පවත්වා ගෙන එනු ලැබීය.

මේ සංවිධානයේ ප්‍රධාන අරමුණු කිහිපයක් හඳුනා ගත හැකිවේ. ඒ අතර ආර්ථික සහයෝගීතාව, ප්‍රවාහන සහ සන්නිවේදන, බලශක්තිය, සංචාරක සහ තාක්ෂණ, ධීවර, කෘෂිකාර්මික සහ මහජන සෞඛ්‍යය, දුගීකම පිටුදැකීම සහ ත්‍රස්තවාදය පිටුදැකීම, දේශගුණ වෙනස්වීම සහ සංස්කෘතික සහයෝගීතාව දැක්විය හැකිය.

බිම්ස්ටෙක් සංවිධානය ආරම්භ කර දශක තුනක පමණ කාලයක් ගත වී ඇතිද මේ දක්වා පවත්වා ඇත්තේ සමුළු වාර පහක් පමණි. වසර හතරකට වතාවක් බිම්ස්ටෙක් රටවල ප්‍රධානීන්ගේ සමුළුවක් සංවිධානය වී ඇති අතර ඇතැම් අවස්ථාවල එය වසර පහක් දක්වා දීර්ඝ වී ඇති බව පෙනේ. ප්‍රථම රාජ්‍ය නායක සමුළුව 2004 වසරේදී බංග්ලාදේශයේ දී පැවැත්වුණූ අතර 2008 වසරේදී ඉන්දියාවේ සහ 2014 වසරේදී මියන්මාරයේ තවත් සමුළු වාර දෙකක් පැවැත්විණ. 2018 සිවුවැනි සමුළුව නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වුණූ අතර බිම්ස්ටෙක් සමුළුවේ පස්වැනි මහා සමුළුව පසුගියදා පැවැත්වුයේ ශ්‍රී ලංකාවේදීය.

සියලුම රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මේ සමුළුවේ විශේෂත්වය වූයේ එය දුරස්ථ හමුවක් ලෙස අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සමුළුව කැඳවා තිබූ අතර සාමාජික රටවල නියෝජිතයන් ඒ සඳහා සහභාගී වූහ. සමුළුව පැවති දිනවලදී බිම්ස්ටෙක් සමුළුවේ 22වැනි ජ්‍යෙෂ්ඨ බිම්ස්ටෙක් නිලධාරීන්ගේ සමුළුව, 18වැනි අමාත්‍ය මණ්ඩල සමුළුව මෙන්ම බිම්ස්ටෙක් සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුවද සාර්ථකව පැවැත්වීමට හැකි විය.

බිම්ස්ටෙක් පස්වැනි මහා සමුළුවේ සත්කාරක රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායක සමුළුව ආරම්භ කරමින් සමුළුව ආමන්ත්‍රණය කළ අතර එතුමා පැහැදිලි කර දුන්නේ කලාපීය සහයෝගීතාවක ඇති වැදගත්කම පිළිබඳවයි. එමෙන්ම සෑම රටකම රාජ්‍ය නායකයන් බිම්ස්ටෙක් සහයෝගීතාව දිගින් දිගටම පවත්වා ගත යුතු බවත්, තවත් ශක්තිමත් කර ගත යුතු බවත් අවධාරණය කර සිටීම වැදගත් කරුණක් විය.

රටවල් සමූහයේ ආර්ථීක සහයෝගිතාව සෑම රටකමටම අන් කවරදාකටත් වඩා මේ යුගයේදී වැදගත් වන බව සමුළුවේදී අවධාරණය කෙරිණ. ලෝකයේ කිසිම රටක තනිව පැවැතිය නොහැකි බවත්, අසල්වාසීන්ගේ මෙන්ම යහපත් මිතුරන්ගේ සබැඳියාව මත රටකට ඕනෑම ගැටලුවකට සාර්ථකව මුහුණ දිය හැකි බවත් පැහැදිලි කරුණකි. එබැවින්ම ශ්‍රී ලංකාවට පමණක් නොව බිම්ස්ටෙක් හි සෑම සාමාජික රටකටම මේ සහයෝගීතාව එකසේ වැදගත් වනු නොඅනුමානය. එබැවින්ම එම සහයෝගීතාව වඩාත් ශක්තිමත්ව පවත්වා ගැනීමට සෑම සාමාජික රටක්ම එකසේ වග බලා ගත යුතු අතර, ආර්ථික සහයෝගීතාව පවත්වා ගැනීම මෙන්ම රටරටවල සංස්කෘතික සබඳතා වැඩි වර්ධනය කර ගැනීමෙන් රටවල් අතර යහපත් මිත්‍ර සබඳතා වර්ධනය කර ගැනීමටද අතහිත දිය යුතුය.

මෙවර බිම්ස්ටෙක් සමුළුව මේ සියලු කරුණු කාරණා යළි යළිත් අවධාරණය කරමින් කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීමට දායකත්වය ලබා දෙනු ඇති බවට බලාපොරොත්තු තබා ගත යුතු වන්නේ මේ වන විට ලෝකයේ බොහෝ රටවල සංවිධාන හුදෙක් කතා සාප්පු පමණක් බවට පත්ව ඇති බැවිනි.

බිම්ස්ටෙක් සමුළුවද එවැනි වූ කතා සාප්පුවක් පමණක් බවට පත් නොවේවා යන්න සමස්ත ලෝක ජනහගනයෙන් සියයට 21ක ජනතාවකගේ පැතුම බව අමුතුවෙන් කිව යුතු නැත.

 

 

Comments