දවස් අටක් මුහුදේ පා වෙලා බේරගත්තේ ඇමරිකානු හමුදාව | සිළුමිණ

දවස් අටක් මුහුදේ පා වෙලා බේරගත්තේ ඇමරිකානු හමුදාව

දින අටක් පුරා මුහුදේ පාවෙමින් සිටි ඉරාන ජාතිකයන් දෙදෙනකු බේරා ගැනීමට අැමරිකානු නාවුක හමුදාව සමත් වී ඇත. පසුව තහවුරු වී ඇත්තේ මේ ඉරාන ජාතිකයන් දෙදෙනා ඉරාන ධීවරයන් බවයි. රතු මුහුදේ ධීවර කර්මාන්තයේ නියැළෙමින් සිටියදී ගල්ෆ් ඔෆ් ඕමාන් දියවැලට හසුවීමෙන් ඔවුන් ඕමාන් මුහුද දක්වා ගසාගෙන විත් තිබේ. දින අටක් පුරා ආහාර හෝ ජලය නොමැතිව පීඩාවට පත්ව සිටි මේ පුද්ගලයන් දෙදෙනා ආරක්ෂිතව තම යාත්‍රාව තුළට ගැනීමට කටයුතු කළ බව අදාළ අැමරිකානු නාවික හමුදා යාත්‍රාවේ බලධාරීන් දැනුම් දී ඇත.

මෙය හුදෙක් මහ මුහුදේ නිතර සිදුවන ජීවිත බේරා ගැනීමේ සිදුවීමක් ලෙස දැකිය හැකි වුවද මෙය විශේෂ වන්නේ අැමරිකානුවන් විසින් ඉරාන යාත්‍රාවක සිටි පුද්ගලයන් දෙදෙනකු බේරා ගැනීම හේතුවෙනි. ඉරානයට න්‍යෂ්ඨික අවි පිළිබඳ චෝදනා දිගින් දිගටම එල්ල කරමින් සිටින අැමරිකාව යළිත් වරක් ඉරානයට පනවා ඇති සම්බාධක තර කිරීම සම්බන්ධව අවධානය යොමු කරමින් සිටී. ඉරානය වටා මුහුදු සීමාවේ වරින්වර ඊශ්‍රායලය, එක්සත් අරාබි එමිරේට්ස් සමඟ මෙන්ම බහාරේන් සමඟ ද නාවික හමුදා අභ්‍යාසවල යෙදෙන අැමරිකාව වඩා ප්‍රසිද්ධියක් උසුලන්නේ ඉරාන යාත්‍රා මුහුදේදී විනාශ කර දැමීම සම්බන්ධයෙනි. විශේෂයෙන් ඉරාන ධීවර යාත්‍රා නොදැනුම්වත්ම මෙන් විනාශ කර දැමීම බොහෝ විශාල අැමරිකානු නාවික යාත්‍රාවල සාමාන්‍ය ක්‍රියාකාරකමකි.

එවැනි වාතාවරණයක් යටතේ මෙලෙස මහ මුහුදේ අසරණ වූ මිනිසුන් දෙදෙනකු, සැබවින්ම තම සතුරු රාජ්‍යයකට අයත් වුවද, ජීවිත ආරක්ෂා කිරීමට අැමරිකානු නාවික හමුදාව කටයුතු කිරීම වාර්තා කිරීමට තරම් වැදගත් විශේෂ සිදුවීමක් ලෙස බොහෝ විදෙස් මාධ්‍ය සලකා තිබිණි.

Comments