කඩා වැටුණු යානය නිසා චීනය සොවින් | සිළුමිණ

කඩා වැටුණු යානය නිසා චීනය සොවින්

රින් වර ලොව කිනම් හෝ රටකින් ගුවන් යානා අනතුරු වාර්තා වන්නේ කනගාටුදායක අන්දමිනි. කාලගුණයේ අසාමාන්‍යතාවක් හෝ යානයේ කාර්මික දෝෂයක් වැනි නිවැරදි කළ නොහැකි අවාසනාවන්ත හේතූන් මත කඩා වැටෙන යානා අමිහිරි මතක ඉතිරි කරමින් බොහෝ දෙනාගේ නෙත් කඳුළින් පුරවති.

මේ කනගාටුදායක අත්දැකීම පසුගිය සතියේ හිමිවූයේ චීනයටය. චීනයේ ඊස්ටර්න් එයාලයින්ස් සමාගමට අයත් ජෙට් යානයක් චීනයේම ග්වන්ග්ෂූ පළාතේ එනම් දකුණු චීනයේ කඳු පන්තියක හැපීමෙන් මේ ගුවන් අනතුර සිදුවිය. මේ වන විට අනතුර සිදුවී සතියකට ආසන්න කාලයක් ගත වී තිබියද යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන්ම මේ ගුවන් යානා අනතුරට හේතුව ද මේ දක්වා අනාවරණය වී නැත.

මාධ්‍ය වාර්තාවල දැක්වෙන අන්දමට යානය සෙවීමේ කණ්ඩායම් යානයේ කැඩී බිඳී ගිය කොටස් සොයා ගැනීමට සමත් වී ඇත. එහෙත් මළ සිරුරු හෝ සොයා ගැනීමට අසමත් වී ඇත්තේ යානය අනතුරට පත්වූ දුෂ්කර කඳු ප්‍රදේශය හේතුවෙනි.

මෙවර අනතුරට පත්වූ බෝයිං - 737 යානා 200ක් පමණ මීට පෙර නොයෙක් කාර්මික දෝෂ මත චීන බලධාරීන් විසින් ධාවනයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. මීට පෙර චීන භූමිය තුළ ගුවන් යානාවක් අනතුරට පත් වූයේ 2010 වසරේදීය. එම ගුවන් යානය හෙනෑන් නම් චීනයේ අභ්‍යන්තර ගුවන් සේවාවකට අයත් යානයකි.

මෙවර අනතුරට පත්වූ ගුවන් යානයේ මගීන් 137ක් සහ කාර්ය මණ්ඩලය ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්වූ බව තහවුරු වී ඇත. යානය ගුවන් ගත කිරීමට පෙර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව ද සනාථ වී තිබේ.

Comments