යුක්රේනයේ යුද ගිනිදැල් ඇවිලී මේ වන විට මසකට අධික කාලයක් ගෙවී ගොස් තිබේ. මිලියන ගණන් ජනතාව අවට රටවලට පලා ගිය අතර එසේ නොකළ ජනතාව හැකි අන්දමින් තම ජීවිත ඉදිරියට ගෙන යමින් සිටිති.
ඇතැම් දෙනා හමුදාව සමඟ එක්ව රුසියානු භට පිරිස්වලින් නගර ආරක්ෂා කර ගැනීමට වෙර දරද්දී තවත් පිරිස් තම ජීවිත ආරක්ෂා කර ගත හැකි යැයි සිතෙන ස්ථානවලට ගාල් වෙමින් ඉතා අසීරුවෙන් සාමාන්‍ය දිවි පෙවෙත ගෙන යෑමට උත්සාහ දරමින් සිටිති.
ඒ අතරින් ඇතැම් දෙනා ජීවත් වන්නේ උමං දුම්රිය මාර්ගවලය. උමං දුම්රිය නැවතුම්පොළවල් බොහෝ දෙනාගේ ආරක්ෂීත නිවාස බවට පත්ව තිබේ. මේ දුම්රිය නැවතුම්පොළ ඝන කොන්ක්‍රිට්වලින් සාදා ඇති බැවින් බෝම්බවලින් මෙන්ම රොකට් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට හොඳම ස්ථානය ලෙස ඔවුන් හඳුනාගෙන ඇත්තේ මේ උමං දුම්රිය නැවතුම් පොළයි.
කාර්කිව් හි උමං දුම්රිය නැවතුම්පොළ ඉඳි කර ඇත්තේ යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව පැවති යුගයේය. එහිදී යම් හෙයකින් සෝවියට් දේශයට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල වන්නේ නම් එයින් මිදීමට මෙන්ම ජීවිත ආරක්ෂා කර ගැනීමට ආරක්ෂිතම ස්ථානය ලෙස රජය විසින් නම් කර තිබුණේ උමං දුම්රිය පොළයි. මේ දුම්රිය පොළ නිපදවා තිබුණේ න්‍යෂ්ඨික ප්‍රහාරයකට වුවද ඔරොත්තු දෙන අන්දමිනි. අද යුක්රේන ජනතාව රුසියානු ප්‍රහාරවලින් ආරක්ෂා වීම පිණිස මේ උමං දුම්රිය පොළ භාවිත කරති.
මේ දුම්රිය පොළවල අද දුම්රිය ගමන් කරන්නේ නැත. එහි දුම්රිය නවතා ඇති අතර ඒවායේද ජනතාව තාවකාලිකව නවාතැන් ගෙන සිටිති. වඩාත් සුන්දර වන්නේ මේ තාවකාලික නැවතුම්පොළ හැකිතාක් සුන්දර ලෙස පවත්වා ගැනීමට ජනතාව දරන උත්සාහයයි.
ඇතැම් දෙනා හිරු එළිය වැටෙන ස්ථානවල තම මල්පෝච්චි ස්ථානගත කර ඇත්තේ තම ජීවිත හැකිතාක් සතුටුදායක ලෙස පවත්වා ගැනීම අරමුණු කර ගනිමිනි. දැන් මාසයක් ගත වී ඇති යුක්රේන යුද්ධය අතරතුර මේ මල්පෝච්චිවල සුන්දර ලෙස ටියුලිප් මල් වැවී ඇති අන්දම දැක ගත හැකිය.
යුක්රේන ජනතාව සාමාන්‍ය දිවි පෙවෙත ගත කළ කාලයේ නොනවත්වා ජනතාව එහා මෙහා ගෙන ගිය මගී පඩිපෙළ අද නැවතී ඇති අතර ජනතාව ඒවායේ රෙදි වැනීමට කටයුතු කර තිබේ. කුඩා දරුවන් තම ක්‍රීඩා පිටිය බවට පත් කරගෙන ඇත්තේද මේ පඩිපෙළය. ඔවුහු තම නිවෙස්වලින් හැකි තරම් බඩු භාණ්ඩ උමං දුම්රිය පොළ වෙත ගෙනවුත් ඇත්තේ තම සාමාන්‍ය ජීවිතය හැකි උපරිම අන්දමින් පවත්වා ගැනීම අපේක්ෂා කරමිනි.
ඇතැම් දෙනා මෙහි දිවි ගෙවන්නේ පසුගිය පෙබරවාරි 24වැනිදා සිටය. උදෑසන බෝම්බ හඬින් අවදි වූ ඔවුහු උමං දුමරිය පොළ වෙත පැමිණියේ ජිවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. විශේෂයෙන් යුක්රේනයේ දෙවැනි ප්‍රධාන නගරය වන කාර්කිව්හි ජනතාව උමං දුම්රිය පොළ තුළ තම ජීවිතය හැකිතාක් සාමාන්‍ය ලෙස පවත්වා ගෙන යෑමට උත්සාහ දරමින් සිටිති.
මේ වන විට කාර්කිව් නගරයෙන් පමණක් මිලියනයකට අධික ජනතාව පලා ගොස් ඇතැයි වාර්තා වුවද නිශ්චිත සංඛ්‍යා ලේඛන කිසිවකු සතුව නැත. ඒ වෙනුවට ජීවිත බේරා ගැනීම අරමුණු කර ගත් බොහෝ දෙනා දුම්රිය පොළෙහි මෙට්ට එළා ගනිමින් හැකිතාක් සුවපහසු ලෙස ජීවිතය ගෙන යෑමට පටන් ගෙන තිබේ. දැන් ඔවුන් පවසන්නේ මාසයකට අධික කාලයක් මේ ජිවිතය ගෙවන බැවින් එය තමන්ට පුරුදු වී ඇති බවයි.
නිවෙස් තුළ සිට දුම්රිය පොළ වෙත ගෙන ආ ඔවුන්ගේ සුරතල් සතුන්ද ඔවුන්ට විනෝදය සපයති. ඒ හැර රාත්‍රිය උදාවන විට දුම්රිය පොළේ සියලු දොරවල් වසා දමන කාර්කිව් වැසියෝ එකිනෙකා සමඟ විහිළු තහළු කරමින්, ගී ගයමින් හැකිතාක් සතුටෙන් සිටීමට උත්සාහ දරති. ඔවුන් පවසන්නේ යුක්රේනය හැර දමා යෑමට ඔවුන්ට කිසිඳු අදහසක් නොමැති බවයි. තම රට මෙන්ම උමං දුම්රිය පොළද තමාට එකම නිවස බව පවසන බොහෝ යුක්රේන වැසියෝ රුසියානුවන් තම රට හැර දමා යන තුරු තමන් සතුටෙන් දුම්රිය පොළෙහි ජීවත් වීමට අදිටන් කරගෙන සිටින බව පවසති.
ඔවුන්ගේ අධිශ්ඨානයේ ශක්තිය තහවුරු කිරීමට මෙන් යාන්තමින් හිරු එළිය වැටෙන ස්ථානවල තබා ඇති කුඩා මල්පෝච්චිවල සුන්දර ටියුලිප් මල් පිපෙනු දැක ගත හැකිය.