IMF සහායෙන් සමහරු ගොඩට සමහරු මඩට | සිළුමිණ

IMF සහායෙන් සමහරු ගොඩට සමහරු මඩට

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට කිසියම් අර්බුදයකට යමින් පවතින බව තහවුරුය. විදේශ සංචිත අවම වීම ආනයන අර්බුදයක් මතු කර ඇති අතර අභයන්තර වශයෙන් විශාල උද්දමන තත්ත්වයක් ඇති වී තිබේ. මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. ආණ්ඩුවද ඒ පිළිබඳ අවධානය යොමු කර ඇති අතර මේ වන විට සාකච්ඡා ද පවත්වා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් අයිඑම්එෆ් යනු නොයෙක් හේතු මත ආධාර අවශ්‍ය වන රටවල් සඳහා ආධාර ලබා දීමට ලෝකයේ බොහෝ රටවල එකඟතාවයෙන් ඇති කර ගත් සංවිධානයක් සේ සරලව අර්ථ ගන්වා ගත හැකිය. මීට පෙර අවස්ථා රැසකදීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන ඇති අතර ඒ පිළිබඳ බොහෝ විවේචනද එල්ල වනු දැක ගත හැකි විය. කොටින්ම කිව හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු රටවල් බංකොලොත් කරන භයානක යක්ෂයකු සේ ප්‍රතිරූපයක් ජනතාව වෙත මවා පෑ කාලයක්ද විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගත් විට ඔවුන් දමන කොන්දේසිවලට එකඟ විය යුතු බවත් ඒ හේතුවෙන් රටට බොහෝ අහිතකර තීරණය ක්‍රියාත්මක කිරිමට ආණ්ඩුවලට සිදුවන බවත් මතයක් ලෙස සමාජගත විය. ඒ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට වෙනත් රටවලින් ඍජුව ණය ලබා ගැනීම යහපත් බවට ප්‍රකාශ වූවද එසේ කිරීමේ අතුරුඵලද මේ වන විට රටක් වශයෙන් අපි මනාව අත් විඳිමින් සිටිමු.

කෙසේ වුවද අපට අවසන් අවස්ථාව ලෙස යළිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීමට මේ වන විට සිදුවී තිබේ. ඒ සම්බන්ධව පැවැත්වූ සාකච්ඡාවලදී විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන දා හතරක් පමණ ප්‍රතිව්‍යුහගත කළ යුතු වන බව ප්‍රකාශ වී තිබේ. අතීතයේ මෙවැනි ප්‍රතිව්‍යුහගත කිරිම්වලට අපේ ජනතාව දැඩි විරෝධයක් දැක්වූ නමුත් රටට, ආර්ථිකයට බරක් නොවන පරිදි රාජ්‍ය ආයතන පවත්වා ගත යුතු බව තවදුරටත් ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවන තත්ත්වයකට අප මුහුණ දෙමින් සිටිමු.

කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් අයිඑම්එෆ් සමඟ කටයුතු කර රටේ ආර්ථීකය නැවත යථා තත්ත්වයට පත් කිරීමට හෝ අර්බුදයෙන් ගොඩ ගැනීමට පාලකයන් කටයුතු කරණු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ඇතිව තවත් රටවල් රැසක් මෙවැනි දුශ්කර අවස්ථා පසු කර ඇති බැවිනි.

ඒ සඳහා හොඳම උදාරහණය වන්නේ ග්‍රීසියයි. ග්‍රීසිය යනු යුරෝපා රටකි. ආසියනු අපගේ දැක්මට අනුව ග්‍රිසිය යනුද ධනපතියන් වෙසෙන ධනවත් රටකි. එසේ වුවද 2010 වසරේදී ග්‍රීසියේ ආර්ථිකය අති විශාල කඩා වැටිමකට ලක් වූයේ යුරෝපා කලාපයම බියපත් කරමිනි. මන්ද යත් එවැනි දරුණු ආර්ථික කඩාවැටීමකට කලාපයේ එටක් මුහුණ දීම යනු සෙසු රටවලටද රතු එළි දැල්වීමක් වන බැවිනි. ග්‍රීසියේ ආර්ථිකය ඔසවා තැබීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය දුන් අතර ඒ සඳහා යුරෝපා සංගමයේ මෙන්ම යුරෝපා මහ බැංකුවේද දායකත්වය හිමි විය. මේ සංවිධාන තුන එක්ව ග්‍රීසියට ලබා දුන් ණය ආධාර මුදල් ප්‍රමාණය යූරෝ බිලියන 80ක් විය.

සේ පැකේජයන් ලබා ගනිමින් ග්‍රීසිය යම් තරමකට ස්ථාවරත්වයක් කරා පැමිණියද ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ග්‍රිසියට තවත් වසර කිහිපයක්ම ගත විය. අද වුවද ග්‍රීසිය ගමන් ගනිමින් සිටින්නේ අවධානම් මාර්ගයක බව පැවසිය යුතුය. එමඟින් පෙනී යන්නේ ණය හෝ ආධාර ලබා ගත් පමණින් ප්‍රීති වීමට හෝ ගැටලුව විසඳුණු බව සිතීමෙන් තොරව ආර්ථිකය ශක්තිමත් වනු තුරු මනා කළමනාකරණයකින් කටයුතු කිරිම සැමගේ වගකීමක් වන බවයි.

මේ වන විට දකුණු ආසියාවේ රටවල් දෙකක්ම දරුණු ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙමින් සිටී. ශ්‍රී ලංකාව ඉන් එකක් බව අපි දැනටමත් දනිමු. අනික් රට වන්නේ පකිස්තානයයි. ශ්‍රී ලංකාව වැනිම දරුණු තත්ත්වයක පවතින පකිස්තානයට ශ්‍රී ලංකාවේ මෙන්ම දේශපාලන අර්බුදයකටද මුහුණ දීමට සිදුවී තිබේ. මේ දෙරට සඳහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අමතරව ඉන්දියාවද මේ දෙරට කෙරෙහිම අවධානය යොමු කර ඇත්තේ කලාපයේ රටවල ආර්ථීකය බිඳ වැටිම සමස්ත කලාපයටම අහිතකර ප්‍රතිඵල උදාකරවන බැවිනි.

මීට අමතරව ලෝකයේ තවත් රටවල් බොහොමයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවස්ථා රැසකදී ලබාගෙන තිබේ. මේ රටවල ඉතිහාසය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඔවුන් ගනුදෙනු කළ ආකාරය විමසීමේදී පෙනී යන්නේ වසර කිහිපයක් එක දිගට ආධාර ලබා ගනිමින් මේ රටවල් තම ආර්ථිකයන් ශක්තිමත් කර ගැනීමට කටයුතු කර ඇති බවයි. උදාහරණ ලෙස ඊජිප්තුව, නිකරගුවාව, ඝානාව, චැඩ්, වියට්නාමය, සියරාලියොන්, සුඩාන්, ටැන්සානියා, සැම්බියා, පීරු, ජැමෙයිකා, සෝමාලියා, හොන්ඩියුරාස්, පැනමා, ඉරාකය, කොංගෝව, හයිටිය මෙන්ම ඇෆ්ගනිස්තානයටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වසර කිහිපයක් එක දිගට ආධාර ලබා දී තිබේ.

වැදගත් කොට පැවසිය යුතු වන්නේ මෙලෙස ආධාර ලබා ගත් රටවල් අතරින් ඇතැම් රටවල් ලබා දුන් ණය මුදල් මනාව කළමනාකරණය කර ගනිමින් රටද ආරක්ෂා කර ගැනීමටත්, ආර්ථිකය යළි ගොඩනගා ගැනීමටත් සමත් වූ නමුත් ඇතැම් රටවල් තවදුරටත් අගාධයට යමින් යළිත් ණය වාරික හෝ ගෙවීමට අපොහොසත් තත්ත්වයක් වෙත ගමන් කළ බවයි. එබැවින් ණය ලබා දුන් පමණින් සියලු ගැටලු විසඳුණු බව සිතීමෙන් තොරව ණය මුදල් විධිමත්ව කළමානකරණය කළ රටවලින් උදාහරණ ලබමින් ඉදිරියේදී කටයුතු කිරීම පකිස්තානයට මෙන්ම අප රටටද එකසේ වැදගත් වනු ඇත. එමෙන්ම අපහසු අවස්ථාවන්හිදී සහය දීමට පැමිණියද රටට හිතකර කොන්දේසිවලට පමණක් හැකිතාක් එකඟ වෙමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමටත්, ඉදිරියේදී මෙවැනි ආර්ථික අවපාත ඇතිවීම වළක්වා ගැනීමටත් කටයුතු කිරිම වැදගත්ය.

Comments