ඌරු හදක හිමිකරුවා | Page 3 | සිළුමිණ

ඌරු හදක හිමිකරුවා

ඩේවිඩ් බෙනට් පනස් හත් හැවිරිදිය. බැල්ටිමෝහි ජීවත් වූ ඔහු දරුණු හදවත් රෝගියකු විය. ඔහු ඖෂධ ලබා ගැනීම ද ප්‍රතික්ෂේප කළ අතර හදවතක් බද්ධ කිරීම ද එතරම් පහසු නොවූයේ ඔහුගේ හෘදය ස්පන්දන දිගින් දිගටම අක්‍රමවත් වීම හේතුවෙනි. ජීවත් වීම සම්බන්ධව ඔහු සතුව පැවතියේ ඉතා අඩු සම්භාවිතාවකි. එහෙත් ඇමරිකාවේ මෙරිලන්ඩ් සරසවියේ වෛද්‍යවරු ඩේවිඩ්ට වඩා හොඳ විසඳුමක් යෝජනා කළහ. ඒ ඔහුට ඌරකුගේ හදවතක් බද්ධ කිරීමයි. මිනිස් හදවතට ආසන්නතම හදවත සහිත සත්වයා ඌරා වූ අතර මෙසේ බද්ධ කිරීම සඳහා යොදා ගත් ඌරු හදවත ජාන තාක්ෂණය යටතේ වර්ධනය කරන ලද හදවතක් වීම තවත් සුවිශේෂී කරුණක් විය. 

මීට පෙර මෙලාව කිසිම මිනිසකුට මිනිස් නොවන හදවතක් බද්ධ කර නොතිබූ නමුත් ඩේවිඩ් බෙනට් එම අත්හදා බැලීමේ මහා සැත්කමට මුහුණ දීමට කැමැත්ත පළ කර සිටියේ. ඒ අනුව පසුගිය ජනවාරි 7වැනිදා මේලන්ඩ් සරසවියේ ශල්‍යාගාරයකදී ඩේවිඩ් බෙනට්ගේ රෝගී හදවත වෙනුවට ජාන තාක්ෂණය යටතේ වර්ධනය කළ ඌරු හදවතක් ඔහුගේ සිරුරට සම්බන්ධ කෙරිණි. සැත්කම සාර්ථක බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ. ඌරු හදවත ඩේවිඩ්ගේ සිරුර සමඟ එක්ව ක්‍රියාකරන තෙක් ඔහු හෘදය සහ පෙනහලු ක්‍රියාත්මක කරවන යන්ත්‍රයකට සම්බන්ධ කර ඇති අතර ක්‍රමයෙන් ඩේවිඩ්ගේ තත්ත්වය යහපත් අතට පත් වෙමින් පවතින බව වෛද්‍යවරු තහවුරු කරමින් සිටිති. සැබවින්ම ඩේවිඩ්ගේ මේ සැත්කම ලෝකයේ සැත්කම් ඉතිහාසයේ මෙන්ම අවයව බද්ධ කිරීම් ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. මේ සැත්කම සාර්ථක වන්නේ නම් අවයව ජාවාරම් සදහටම නවතා දැමීමට හැකියාව ලැබෙන අතර මස් පිණිස ඇති කළ සතුන්ට වඩාත් වැඩි වැදගත්කමක් හිමි වනු ඇත.

Comments