කල්පනා ඩාශ් අමුතුම කාන්තාවකි. 1966 උපත ලැබූ ඇයගේ විනෝදාංශ එකිනෙකට පරස්පර විය. එක් අතකින් ඉගෙනීම ඇයගේ එක් විනෝදාංශයක් වන විට අනෙක් විනෝදාංශය වූයේ කඳු නැගීමයි. එබැවින්ම අඩු වයසේදීම නීතිඥවරියක් වීමට කල්පනාට හැකියාව ලැබුණේ කඳු නැගීමට ඇයට ජීවිත කාලයෙන් වඩා වැඩි ඉඩක් ලබා දෙමිනි. ඉන්දියාවේ උස් මුදුන් සියල්ලට පාහේ පා තැබූ කල්පනා ඩිනාලි, කිලිමන්ජාරෝ වැනි ලොව පුරා තවත් උස් මුදුන් කිහිපයක්ම තරණය කළේ ඇය වැනිම කඳු නැගීම විනෝදාංශය කර ගත් මිතුරු මිතුරියන් සමගිනි. ලොව පුරා කඳු නගින්නන් සැමගේ එක්තරා සිහිනයක් වේ නම් ඒ එවරස්ට් කඳු මුදුන තරණය කිරීමයි. එපරිද්දෙන්ම කල්පනා ඩාශ්ගේද සිහිනය වූයේ කෙදිනක හෝ එවරස්ට් කන්ද තරණය කිරීමයි. ඇයට ඒ සිහිනය සැබෑ කර ගැනීමේ අවස්ථාව උදා වූයේ තරුණ විය ඉක්මවූ පසුවය. එවරස්ට් කන්ද කල්පනාට අමුතු තැනක් නොවීය.
මීට පෙර 2004දී සහ 2006දී ඇය එවරස්ට් තරණය කිරීමේ උත්සාහයන් දෙකක නිරත වූවාය. එහෙත් ඒ දෙවරම ඇය සහ කණ්ඩායම අසාර්ථක වූයේ කඳු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙනි. එහෙත් ඇය 2008දී සාර්ථක ලෙස එවරස්ට් කඳු මුදුන මත පා තැබීමට සමත් වූවාය. එහෙත් යළිත් වරක් එවරස්ට් තරණය කිරීමට ඇය තීරණය කරන්නට ඇත්තේ ඇය තුළ පැවති විප්ලවීය ආශාවන් හේතුවෙන්ම වන්නට ඇත. එබැවින්ම මෙවර කඳු තරණය ඇයට අතිශයින් වැදගත් විය. ඇය සිතින් බොහෝ තරුණ වූවාය. එබැවින්ම ඇය තවත් කණ්ඩායමක් සමග 2019 මැයි මාසයේදී එවරස්ට් කඳ මුදුනට පා තැබීමේ අරමුණින් ගමන ආරම්භ කළාය.
ඒ ඇයට යළිත් වතාවක අවස්ථාවක් උදාවේද යන සැකය ඇය තුළම මතුවූ නිසාවෙනි.
කල්පනා සමග එවරස්ට් තරණයට එක්වූ පිරිස දකුණු ආසියානු මිත්‍රත්වය තහවුරු කිරීමේ කණ්ඩායමක කොටස්කරුවන් ලෙසින්ද කටයුතු කළ අතර එවරස්ට් තරණයට ලොවටම සහය දෙන නේපාල ජාතිකයන්ගේ සේවය ප්‍රවර්ධනය කිරීමද ඔවුන්ගේ තවත් අරමුණක් විය.
මෙලෙසින් වයස අවුරුදු 52දී එවරස්ට් කන්ද තරණයට ප්‍රවිෂ්ට වුවද එවර කල්පනා වාසනාවන්ත නොවූවාය. සැබවින්ම කඳු නැගීම, විශේෂයෙන්ම එවරස්ට් තරණය යනු පහසු කාර්යයක් නොවේ. එය දන්නේ එවරස්ට් තරණයට එක්වූ පිරිස පමණක්මය.
එය කිහිප වතාවක් අත්විඳ ඇති කල්පනා මෙවර එවරස්ට් කඳු මුදුනේ ඇති අති දුෂ්කර කාලගුණයට තම ජිවිතය පරාජය කරමින් එවරස්ට් පියස්ස පෙනි පෙනී තම හුස්ම නවතා දැම්මාය.
එවරස්ට් කන්ද තරණය කිරීමට උත්සාහ දරන බොහෝ දෙනා එය ජීවිතයත් මරණයත් අතර තරණයක් බව හොදින්ම දනිති. එමෙන්ම එවරස්ට් තරණයේදී මියයාම වුවද කඳු නගින්නන් සලකන්නේ වීර ක්‍රියාවක් වශයෙනි. එවරස්ට් කන්දේ උස අනුව කොටස් කිහිපයක් කඳු නගින්නන් විසින් නිශ්චිතව බෙදා වෙන් කර තිබෙන අතර එම එක් එක් කොටස් තරණයේදී මිය ගිය කඳු නගින්නන් වෙන් වෙන් වශයෙන් බුහුමන් ලබති. ඒ තරණය කළ උසද පාදක කර ගනිමිනි.
මේ අතරින් මරණය සිදුවන උස වැඩි වන විට එම මෘත ශරීරය එහිම අත්හැර දැමීමට ලැබෙන ඉඩකඩ විශාලය. ඒ එතරම් උසක සිට මෘත ශරීරයක් පහළට ගෙන ඒම අති දුෂ්කර කටයුත්තක් වන බැවිනි. එලෙස අත්හැර දැමෙන මෘත ශරීර කල් යත්ම හිමෙන් වැසී ගොස් මග සලකුණු දක්වන කුළුණු බවට පත් වන්නේ නිරායාසයෙනි. හිමෙන් වැසී යන මේ මළ සිරුරු කිසිදා දිරාපත් නොවන අතර ඒවායේ ඇඳුම්වල හෝ පාවහන්වල පැහැයෙන් ඒවාට නම් ලබා දීමටද කඳු නගින්නෝ කටයුතු කරති. ඒවා මං සලකුණු බවට පත් වන්නේ එසේය. එමෙන්ම එවරස්ට් තරණයේදී මිය යන කඳු නගින්නන් තම මෘත ශරීර එහිම තබන මෙන් තම පවුල්වල සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ එය තමන්ට කරන ගෞරවයක් වශයෙනි.
2021 වසර අවසාන වන විට එවරස්ට් තරණයට එක්වී ජීවිත අත්හළ පිරිස 309කි. මේ සංඛ්‍යාව සැලකෙන්නේ එවරස්ට් මුදුන දකිමින්, එහි පා තැබීමට වරම් නොලබමින් මිය ගිය පිරිස වශයෙනි. එහෙත් එවරස්ට් කන්දේ වඩා පහළ ප්‍රදේශයන්හිදී ජීවිත අත්හළ පිරිස සලකන්නේ නම් සංඛ්‍යාව මෙයට වඩා බෙහෙවින් ඉහළ යනු ඇත.
මේ මියගිය පිරිස අතරින් බහුතරය නේපාල ජාතිකයන්ය. එයට හේතුව නේපාල ජාතිකයන් මග පෙන්වන්නන් වශයෙන් එවරස්ට් තරණයට එක්වීමය. මීට අමතරව බ්‍රිතාන්‍ය, චීන, ඇමරිකා, ඔස්ට්‍රේලියා, ප්‍රංශ, ජර්මනි, ජපාන, ඉතාලි, කැනඩා, බල්ගේරියා, චෙකෝස්ලොවැකියා ඇතුළු තවත් රටවල් කිහිපයකම වැසියෝ එවරස්ට් තරණයේදී තම ජීවිත අත්හැර දමා තිබේ. එවරස්ට් කන්ද තරණය කිරීමේ දී මරණ අනුපාතය සියයට තුනක් සේ සැලකේ. එනම් සියදෙනෙක් කන්ද සාර්ථකව තරණය කරන විට 3 දෙනෙක් මරණයට පත්වන බවය.
කන්දේ අඩි 26,000ට වඩා උසින් වැඩි ප්‍රදේශය හැඳින්වෙන්නේ මරණ කලාපය වශයෙනි. එයට හේතුව මේ ප්‍රදේශය ඔක්සිජන් නොමැතිව තරණය කිරීමට ඉතා අපහසු වීමය. ඉතා පළපුරුදු ෂර්පාවරුන් හැර අන් සියලුම දෙනා මේ උස් මට්ටමට පැමිණි පසු ඔක්සිජන් භාවිත කරති. මේ ප්‍රදේශයේදී එවරස්ට් තරණයේ මරණ වැඩියෙන්ම වාර්තා වන අතර අධික උස හේතුවෙන් මේ මෘත ශරීර පහළට ගෙන ඒමද අසීරු කරුණක් වේ. එබැවින් බොහෝ මෘත දේහ ගල් ගෙඩි තබා වසා දැමීමට ෂර්පාවරු කටයුතු කරති. එහෙත් මෘත ශරීර කෙසේ හෝ පහළට ගෙන ඒමට ඔවුන් හැකිතාක් උත්සාහ දරන්නේ එවරස්ට් යනු ඔවුන් දේවත්වයෙන් අදහන පූජනීය කන්ද වන බැවිනි. එය සුසාන භූමියක් ලෙස පවතිනු දැකීමට ඔවුහු කැමැත්තක් දක්වන්නේ නැත. එමෙන්ම තැන තැන මළ සිරුරු දැකීමෙන් නවක කඳු නගින්නන් අධෛර්යයට පත්වීම වැළැක්වීමටද ඔවුහු මෙලෙස මළ සිරුරු වසා දැමීම හෝ පහළට ගෙන ඒම කරති.
එවරස්ට් කන්දේ මීටර් 8000ක් පමණ ඉහළින් පිහිටි ප්‍රදේශය හැඳින්වෙන්නේ ‘සොහොන් බිම‘ වශයෙනි. එයට හේතුව මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන අති විශාල මළ සිරුරු ප්‍රමාණයයි. මේ මළ සිරුරු සැරසී ඇති වර්ණවත් ඇඳුම් ඈතට දර්ශනීය ලෙස දිස්වන බැවින් මේ ප්‍රදේශය දේදුණු නිම්නය ලෙසින්ද ඇතැම්හු හඳුන්වති.
එවරස්ට් තරණයට එක්වන මිනිසුන් මිය යෑමට හේතුවන කරුණු කිහිපයක්ම තිබේ. ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ අධික වෙහෙසයි. අමතරව රැගෙන යන ඔක්සිජන් අවසන් වීමෙන් ඔක්සිජන් නොමැතිව මරණයට පත්වන කඳු නගින්නෝද සුලබය. ශරීර අභ්‍යන්තරය සීතලෙන් ගල් වීම හේතුවෙන්ද බොහෝ කඳු නගින්නෝ මරණයට පත් වෙති. අධික ආතතිය මෙන්ම හිම කුණාටුවලදී හිමෙන් යටවීමද ඇතැම් මරණවලට හේතු වේ. හිමෙන් වැසී ඇති ප්‍රපාතයන්ට වැටීම, ගැටි වැනි තැන්වලින් ලිස්සා ගොස් නිමක් නොපෙනන අගාධයන්ට ඇද වැටීමද එවරස්ට් මරණවලට හේතු වේ.
එවරස්ට් තරණයේදී පෝලිම්වල රැඳී සිටීමෙන්ද මරණ සිදුවන බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වනු නිසැකය. ඇතැම් උස් තැන් නැගීමේදී ඉතා පටු අඩි පාරක් වැනි තැන්වල කඹයක එල්ලී ගමන් කිරීමට සිදුවන අතර ඉදිරියෙන් යන කඳු නගින්නා සෙමින් ගමන් ගන්නේ නම් පසුපසින් එන අයට පෝලිමේ සෙමින් ගමන් කිරීමට සිදු වේ. එබැවින් එවැනි රැඳී සිටීම්වලදී එක තැන රැඳී සිටීමෙන් ශරීර උෂ්ණත්වය අවම වී මරණය සිදු වේ.
මේ අන්දමින් බැලූ විට එවරස්ට් යනු ලොව උසින්ම පිහිටි සුසාන භූමිය ලෙසින් හැඳින්වීමේ වරදක් නැත. 2021 වසරට පමණක් මරණ තුනක් වාර්තා වන අතර ඒ මියගිය තිදෙනාම නේපාල ජාතික ෂර්පාවරුන් වේ. මේ හැර ෂර්පාවරුන් නොවන අවසන් මරණය ලෙස සඳහන් වන්නේ 2019 මැයි 23 මියගිය කල්පනා ඩාශ්ය. ඇය මියගිය දිනට පසු දින අයර්ලන්ත ජාතිකයකු වන කෙවින් හයින්ස්ද එවරස්ට් වා තලයට තම අවසන් හුස්ම නිකුත් කොට තිබේ.
මේ අතරින් කල්පනා ඩාශ්ගේ සිරුර ඉන්දියාවට ගෙන එන ලදුව ඉතා ගෞරව බහුමානයෙන් යුක්තව ඇයගේ අවසන් කටයුතු සිදු කර තිබේ. ඒ හැර තම අවසන් සුසුම් පොද එවරස්ට් වා තලයට මුසු කළ බොහෝ දෙනා ඒ සමගින් ලොව උසම සුසාන භූමියේ සතුටින් සැතපී සිටින බවට සැකයක් නැත.