බ්‍රැන්සන්ගේ තවත් විස්මිත වැඩක් | Page 3 | සිළුමිණ

බ්‍රැන්සන්ගේ තවත් විස්මිත වැඩක්

සංචා­රයේ නිරත වූ කණ්ඩා­යම

බිලියනපති ව්‍යාපාරිකයන් අතර ශ්‍රිමත් රිචඩ් බ්‍රැන්සන් යනු වෙනස්ම චරිතයකි. ඔහු බෙහෙවින් සැහැල්ලු මිනිසෙකි. එමෙන්ම අභියෝග බාර ගැනීමේ අපූරු හපනෙකි. ඒ සැමට වඩා බ්‍රැන්සන් යනු ජීවිතය විඳින්නෙකි. මෙවර ඔහු තවත් ලෝක වාර්තාවක් අතරට එක් වන්නේ ඒ සැහැල්ලු හැසිරීම් අතර, විනෝදය මෙන්ම අති විශාල ලෙස මුදල් ඉපදවිය හැකි ව්‍යාපාරික අදහසක්ද සාර්ථක කර ගනිමිනි. ඒ පසුගියදා සාර්ථකව අවසන් කළ වර්ජින් ගැලැක්ටික් අභ්‍යවකාශ චාරිකාව සාර්ථකව නිම කිරීමත් සමඟිනි.

අභ්‍යවකාශය යනු මීළඟ අති සාර්ථක සංචාරක ව්‍යාපාරය පවත්වා ගත යුතු ස්ථානය බවට ප්‍රථමයෙන්ම අනුමාන ඉදිරිපත් කළ කිහිපදෙනා අතර බ්‍රැන්සන් සිටියේ ඉදිරියෙනි. ඔහු එම අදහස ඉදිරිපත් කර සිටියා පමණක් නොව එය යථාවක් කර ගැනීමට කටයුතු කිරීමද ආරම්භ කර සිටියේය. ඒ මීට වසර පහකට පමණ පෙරදීය. දැන් ඔහු ඔහුගේ එම අරමුණ සාක්ෂාත් කර ඇතිවා පමණක් නොව එය ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වා තිබේ.

ලෝකයේ සමස්ත ජනගහනයෙන් බහුතරයක් තම ඊළඟ කෑම වේල තමන්ට ලැබේවිදැයි නොදන්නා ජීවිත ගත කරන නමුත් සුළුතරයක් අති ධනවතුන්ට තමන්ගේ ධනයෙන් කිරීමට දෙයක් නොමැති තරම්ය. ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සංචාරය කර ඇති මෙවැනි ධනවතුන්ගේ මුදල් එළියට ඇද්දවිය හැකි සාර්ථකම ක්‍රමය රිචඩ් බ්‍රැන්සන් මේ වන විට ලොවට පෙන්වා දී අවසන්ය. ඔහු ඒ යටතේ පසුගියදා තමන්ගේම ‘වර්ජින් ගැලැක්ටික්‘ අභ්‍යවකාශ යානයෙන් අභ්‍යවකාශයට සංචාරය කළ අතර ඉතා විනෝදයෙන් ඔහු සාංචාරයේ නිරත වන අන්දම දැක්වෙන වීඩියෝපටද ලොව පුරා ප්‍රචාරය වූයේ තවත් බොහෝ දෙනා ඒ වෙත ආකර්ෂණය කරවන අන්දමිනි.

මේ නවමු ව්‍යාපාරික අදහස ඉදිරිපත් වීමත් සමඟ බ්‍රැන්සන් සමඟ තරගයට තවත් සමාගම් රැසක් ඉදිරිපත් වූ අතර අභ්‍යවකාශ සංචාරයන් මේ වන විට ලොව පුරා අලෙවි වීමට සූදානමින් පවතී. එහෙත් බ්‍රැන්සන් ඒ සියල්ලට පෙර ඉතා විනෝදයෙන් යුතුව අභ්‍යවකාශයේ තමන්ම සංචාරය කර පෙන්වූයේ තමන් මුදල් උපයනවා පමණක් නොව ජීවිතයද විඳිනවා යන්නට ප්‍රායෝගික උදාහරණ පෙන්වා දෙමිනි. අමතක නොකළ යුතු වන්නේ බ්‍රැන්සන් මේ සංචාරයේ නිරත වන විට ඔහුගේ වයස අවුරුදු 70ක් වීමය.

බ්‍රැන්සන්ගේ මේ සංචාරයත් සමඟ අභ්‍යවකාශයේ සංචාරය කිරීම සඳහා ලොව පුරා බිලියනපතියන් 600කගෙන් පමණ ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයි පැවසේ. මේ එක් සංචාරයක් සඳහා එක් පුද්ගලයකුගෙන් ඩොල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් වැය වනු ඇතැයි දැනට ප්‍රකාශිතය.

බ්‍රැන්සන්ගේ ගේ අභ්‍යවකාශ යානය තවත් අති විශාල යානා දෙකක් මඟින් අභ්‍යවකාශයට ගෙන යනු ලබන අතර අභ්‍යවකාශ යානය විශේෂයෙන්ම සංචාරකයන් උදෙසා සකස් කර ඇත්තේ අවට නැරඹීමට ආසන අසල විශාල වීදුරුද යොදමිනි. මේ විශේෂ යානය සෙසු යානා මඟින් ලබා දෙන වේගය මත පෘථිවියේ වායු ගෝලය විනිවිද ගොස් අභ්‍යවකාශයේ සැහැල්ලු බව සංචාරකයන්ට දැනෙන තෙක් අභ්‍යවකාශය කරා ඈතට ගමන් කරයි. මේ අති විශාල මුදල ලබා දීමෙන් සංචාරකයන් අපේක්ෂා කරන්නේද මූලිකව අභ්‍යවකාශයේ දැනෙන බර විරහිත බව මෙන්ම පාවෙන බවද විඳ ගැනීමය. එබැවින් සම්පූර්ණ වායුගෝලය විනිවිද ගොස් අභ්‍යවකාශයේ සැලකිය යුතු වේලාවක් ගත කිරීමට සංචාරකයන්ට අවස්ථාව ලබා දීමට මේ සංචාරය සංවිධානය කරන සංවිධායකයන් උපරිම උත්සාහයන් දරමින් සිටිති.

තමන්ගේ මෙම අත්හදා බැලීමේ සංචාරයට බ්‍රැන්සන් තවත් පිරිසක් එක් කර ගත් අතර ඒ අතරට ඉන්දියානු තරුණියක් වන ශ්‍රීෂා බණ්ඩාලා ද විය. ඇයද ඇමරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙළට එක්ව කටයුතු කරන ඉන්දීය ජාතික තරුණියකි. ඔවුන් තම අභ්‍යවකාශ සංචාරය සාර්ථකව නිම කර සිටියේ සැබවින්ම මිනිස් වර්ගයාගේ තවත් පියවරක් වශයෙනි.

එහෙත් පැවසිය යුතු වන්නේ බ්‍රැන්සන්ගේ මේ සංචාරය හුදෙක් එක් සංචාරයක් පමණක් නොව අභ්‍යවකාශ වසන්තයේ ආරම්භය බවයි. කොතෙක් උත්සාහ දැරූවද බ්‍රැන්සන්ට පෙර අභ්‍යවකාශ සංචාරයේ යෙදීමට අපොහොසත් වූ බිලියනපති ව්‍යාපාරික මෙන්ම අභ්‍යාවකාශ සංචාරක ව්‍යපාරය සඳහා බ්‍රැන්සන්ගේ තරගකරුවක් ලෙස ක්‍රියාත්මක වූ ජෙෆ් බේසස් නුදුරු දිනකදීම තමන්ගේ අභ්‍යවකාශ සංචාරය සිදු කිරීමට නියමිත බව පැවසේ.

Comments