![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/06/04/22.jpg?itok=6-ldfFpI)
තවමත් රටවල් බොහොමයකට එන්නත් නැහැ
ඉක්මනින්ම ලෝකයටම එන්නත් බෙදනවා - ඇමරිකාව කියයි
බ්‍රිතාන්‍ය මරණ සංඛ්‍යාව පහළට
සිංගප්පූරුව, මැලේසියාව, මෙල්බර්න් ලොක්ඩවුන්
ලොව පුරා කොවිඩ් වයිරසයට එරෙහිව එන්නත්කරණය ආරම්භ වූ පසු වයිරසය පාලනය කළ බවටත් යළිත් සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගත හැකි වනු ඇති බවටත් විශ්වාසයක් පළ වුවද එය එසේ නොවන බව මේ වන විට තහවුරු වෙමින් තිබේ. මේ දක්වා ලෝකයේ රටවල් අතරින් බහුතරයක් තම රටවල ජනතාව අතරින් අර්ධයකට හෝ එන්නත් ලබා දීමට අපොහොසත් වී ඇති වටාපිටාවක තවමත් කොවිඩ් වයිරසය ඉතා දරුණු ලෙස මිනිසුන් අතර පැතිර යමින් තිබේ.
තම රටේ ජනතාව අතරින් සියයට 75 ඉක්මවා එන්නත් ලබාදුන් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය වුවද තවමත් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට සමත් වී නොමැත. ඇමරිකාව සම්බන්ධව අදහස් දක්වමින් එරට වයිරස විද්‍යාඥ වෛද්‍ය ඇන්තනි ෆියුසි පවසා ඇත්තේ එන්නත් ලබා දුන්නද තවමත් වයිරසයට එරෙහිව ජයග්‍රහණය ප්‍රකාශ කිරිමට තවමත් කල් වැඩි බවයි. ඔහුගේ අදහස වී ඇත්තේ එන්නත් ලබා දුන්නද වයිරසය බෝ වීමට තවමත් බොහෝ ක්‍රම පවතින බවයි. එහෙත් එන්නත්කරණය හැකි සෑම අන්දමකින්ම දිගටම පවත්වාගෙන යා යුතු බව ඔහුගේ අදහස වී තිබේ.
ජෝන් හෝකින්ස් විශ්වවිද්‍යාලය යනු කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භයේ සිටම මේ මහා ව්‍යසනය සම්බන්ධව අනුමාන සහ නිගමන ලොවට දන්වා සිටි ආයතනයකි. එම ආයතනයට අනුව මේ වන විට කොවිඩ් ව්‍යප්තිය සියයට 53කින් පහළ වැටී තිබේ. එහෙත් එසේ වුවද මේ වසරේ මාස පහක් පමණක් ගෙවී ඇති අවස්ථාවක සම්පූර්ණ 2020 වසරේදී වාර්තා වූවාට වඩා වැඩි කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වන විටත් වාර්තා වී ඇති බව ජෝන් හෝකින්ස් විශ්ව විද්‍යාලය පෙන්වා දී තිබේ. එබැවින් පැවසිය හැකි වන්නේ එන්නත මඟින් පාලනය වී ඇත්තේ වයිරසය ව්‍යප්තිය වේගය පමණක් බවයි.
මේ අතර ඇමරිකාවේ විදේශ ලේකම් ඇන්තනි බ්ලින්කින් පසුගියදා මධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව හැකි ඉක්මනින් කොවිඩ් එන්නත් ලොව පුරා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවයි. මේ වන විට ඇමරිකානු ජනතාවගෙන් වැඩි ප්‍රමාණයකට එන්නත් ලබා දී අවසන් බැවින් ගෝලීය වශයෙන් වයිරසය පාලනය කිරීමේ මෙන්ම ලොව සෙසු රටවලට උපකාර කිරීමේ පියවරක් ලෙස මෙලෙස එන්නත් ලොව පුරා බෙදා හැරීම ආරම්භ කරන බව විදේශ ලේකම්වරයා පවසා සිටියේය.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් වයිරසය සම්බන්ධව තමන් ආරම්භ කර ඇති පර්යේෂණ දිගින් දිගටම පවත්වා ගනිමින් සිටී. ඔවුන් හඳුනාගැනීමේ පහසුව පිණිස මේ වන විට ලොව පුරා විවිධ රටවලින් හඳුනාගෙන ඇති කොවිඩ් වයිරස ප්‍රබේධ නාමකරණය කර තිබේ. ඒ අනුව කොවිඩ් වයිරසයේ ප්‍රබේදයක් ලෙස ප්‍රථමයෙන්ම හඳුනාගනු ලැබූ බ්‍රිතාන්‍ය වයිරස ප්‍රබේදය ‘ඇල්ෆා’ ලෙස නම් කර තිබේ. මේ වයිරස ප්‍රබේදය හඳුනා ගනු ලැබුවේ 2020 සැප්තැම්බර් මාසයේදීය. එමෙන්ම 2020 ඔක්තෝබර් මාසයේදී හඳුනා ගනු ලැබූ දකුණු අප්‍රිකානු ප්‍රබේදය ‘බෙටා’ ලෙසත්, 2020 දෙසැම්බර් මාසයේදී හඳුනාගනු ලැබූ බ්‍රසීල සහ ජපාන ප්‍රබේදය ‘ගැමා’ ලෙසත් එම මාසයේදීම හඳුනාගනු ලැබූ ඉන්දියානු ප්‍රබේදය ‘ඩෙල්ටා’ ලෙසත් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ. මේ ප්‍රබේද අතරින් ඇතැම් ප්‍රබේද පිළිබඳව පර්යේෂණ පවත්වා ඒවා හොඳින් හඳුනාගෙන පැවතියද පසුව හඳුනාගනු ලැබූ ඉන්දියානු ප්‍ර භේදය වැනි ප්‍රබේද සම්බන්ධව තවමත් නිශ්චිත පර්යේෂණ හෝ පවත්වා නැත. මේ එක් එක් ප්‍රබේද සම්බන්ධව එන්නත්වල බලපෑම සහ දක්වන ප්‍රතික්‍රියා සම්බන්ධවද තවමත් කිසිවකු හෝ නිශ්චිතව තොරතුරු ප්‍රකාශ කර නැත.
මේ අතර කොවිඩ් වයිරසය මිනිසුන් අතරට පැමිණීම සම්බන්ධව පර්යේෂණ පවත්වන ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාලියේ වයිරසය පැතිර ගිය ස්ථාන කෙරෙහි තම අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ. වයිරසය ප්‍රථමයෙන්ම පැතිර ගියේ වූහාන් නගරයේය යන්න මතබේදයට තුඩු දුන් අතර වූහාන් නගරයෙන් වයිරසය සොයා ගැනීමට පෙර ප්‍රංශයේ මෙන්ම ඉතාලියේද අදාළ රෝග ලක්ෂණ සහිත රෝගීන් වාර්තා වූ බවට තොරතුරු ලැබී තිබේ. එමෙන්ම වූහාන් නගරයට සාපේකෂව ඉතාලියේද රෝගීන් වාර්තා වූ බව ප්‍රකාශිත බැවින් මෙලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ත අවධානය මේ දිනවල ඉතාලිය වෙත යොමු කර තිබේ.
මේ අතර කොවිඩ් වයිරසය මේ වන විටත් ලොව රටවල් රැසක දරුණු ලෙස පැතිර යමින් තිබේ. විශේෂයෙන්ම පසුගිය සතිය වන විට දකුණු ආසියාවේ පැතිර යමින් තිබූ වයිරසය මේ වන විට ගිණිකොන ආසියාව වෙතටද සම්ප්‍රාප්ත වී තිබේ. සිංගප්පූරුව සහ මැලේහියාව සම්පුර්ණයෙන් තම රටවල් වසා දමා ඇති අතර ඔස්ට්‍රේලියාවද මෙල්බර්න් නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක් වසා දමා දිබේ. පසුගිය වසරේදී ඉතා සාර්ථකව වයිරසය පාලනය කළ වියට්නාමය මේ වන විට දරුණු ලෙස වයිරසයේ ප්‍රහාරයට හසුවෙමින් තිබේ.
ජනගහනයෙන් සියයට හැත්තෑපහකටත් වඩා එන්නතකරණය කර ඇති බ්‍රිතාන්‍ය වුවද මේ වන විට දිනකට ආසාදිතයන් තුන්දහස ඉක්මවා වාර්තා කරමින් සිටී. එහෙත් බ්‍රිතන්‍යයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාවේ විශාල අඩුවක් දැකගන්නට ලැබෙමින් තිබේ. මේ වන විට දෛනික මරණ සංඛ්‍යාව දහයට අඩු අගයක් දක්වා පහළ බස්වා ගැනීමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබී තිබේ. අරාබි රටවල් රැසක්ද එන්නත්කරණය පිවිස ඇති අතර එය ඉතා සුබවාදී ප්‍රවේශයක් ලෙස හඳුනාගත හැකිය. ඉක්වදෝර ජනාධිපතිවරයා දින සියයක විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙළක් හඳුන්වා දුන් අතර මේ විට ඒ යටතේ ජනතාව විශාල වශයෙන් එන්තත්කරණයට ලක් කෙරෙමින් තිබේ.
ඉන්දියාවද තවමත් තමන් වයිරස ව්‍යප්තිය පාලනය කළ බවට ප්‍රකාශ කර නොමැති අතර නේපාලයද තවමත් ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා කරමින් වයිරසය සමඟ සටන් වදිමින් සිටී.
මේ අතර එන්නත් ලබා ගැනීම සම්බන්ධව ලෝක ප්‍රකට වයිරස විද්‍යාඥයකු වන ප්‍රංශ ජාතික ලූක් මොන්ටැග්නර් ප්‍රකාශ කළ මතයක් හේතුවෙන් ලොවම තිගැස්මට පත් විය. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එන්නත යටතේ මිනිස් සිරුරුවලට ඇතුළත් කරන වයිරස හේතුවෙන් ‘ප්‍රතිදේහ මත යැපෙන වැඩදියුණුකිරීම්වල අතුරු ප්‍රතිඵල හේතුවෙන් ‘ ජනතාව මිය යනු ඇති බවයි. ලොව පුරා වයිරස විද්‍යාඥයන් සෑම දෙනාම පාහේ මේ බව දන්නා බවත් ඔවුන් සියලු දෙනා නිහඬව සිටින බවත් නොබෙල් ත්‍යාග ලාභී විද්‍යාඥ ලූක් මොන්ගැග්නියර් පවසා තිබේ.
කෙසේ වුවද පසුව මේ සම්මුඛ සාකච්ඡාව පිළිබඳ ලොව පුරා ඇතිවූ තැතිගැන්ම නවතා දමමින් ඔහුගේ ප්‍රකාශයේ එන්නත් ලබා ගත් සියලු දෙනා මිය යන බවට මතයක් ඔහු ප්‍රකාශ කර නොමැති බවදට මතයක් සමාජ ගත වනු දැක ගත හැකි විය.