ඉන්දියා පකිස්තාන් නයි මුගටි සටනට විරාමයක්.. | Page 3 | සිළුමිණ

ඉන්දියා පකිස්තාන් නයි මුගටි සටනට විරාමයක්..

පකිස්තානයේ ජනරජ දිනය වෙනුවෙන් සුභ පතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වෙත යවන ලද ලිපියක් පිළිබඳ මේ දිනවල අසන්නට ලැබෙමින් තිබේ. මේ ලිපිය එකද රටක හෝ විදේශ අමාත්‍යංශයක් මගින් මාධ්‍ය වෙත ඉදිරිපත් කර නැත. එහෙත් මේ ලිපිය පිළිබඳව අදහස් දක්වමින් පසුගිය මාර්තු 23 වැනිදා ජනරජ දින උත්සවය අමතමින් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම රටේ ජනතාවට සුභපැතුම් එක කර ඇති බවයි.

එහිදී එම ලිපියට ප්‍රතිචාර දක්වමින් පකිස්තාන අගමැතිවරයා පවසා සිටියේ තම රජයද නව දිල්ලිය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

ඉන්දීය අගමැතිවරයා විසින් එවන ලද ලිපිය සම්පූර්ණ වශයෙන් දක්නට නොලැබුණද එහි කොටස් පකිස්තානයේ මෙන්ම ඉන්දියාවේද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව ප්‍රකාශිතය.

කෙසේ වුවද තම අසල්වැසි සතුරු රාජ්‍යයේ රාජ්‍ය නායකයාගෙන් ලැබුණු මේ අප්‍රකට සුභපැතුම පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට එක්වූ පකිස්තාන අගමැතිවරයා පවසා සිටියේ තම රජය සෑම විටම සාමයට දෑත් දිගු කිරීමට විශාල කැමැත්තක් දක්වන බවයි. විශේෂයෙන්ම ඉන්දියාවද ඇතුළුව අසල්වැසියන් සමඟ සාමයෙන් ජිවත්වීමට තමන් ඉතා කැමති බවත් ඉන්දීය අගමැතිවරයාගේ සුභපැතුම තමා ඉහළින්ම අගය කරන්නේ ඒ හේතුවෙන් බවත් ඉම්රාන් ඛාන් පවසා තිබේ. එමෙන්ම තමන් මෙලෙස තමාට සහ රටේ ජනතාවට සුභ පැතුම් එක් කිරීම සම්බන්ධන්ව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ස්තුතිවන්ත වන බවත් ඔහු පවසා තිබේ.

පකිස්තාන අග්‍රමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන්ද ඉන්දීය විදේශ අමාත්‍යංශය මුනිවත රකිමින් සිටින බව ප්‍රකාශිතය. එහෙත් පසුගියදා පකිස්තානයේ පුවත්පත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පකිස්තාන ජනරජ දිනය වෙනුවෙන් යොමු කළ සුභපැතුමේ කොටස් උපුටා දක්වා තිබුණු අතර එහි සඳහන්ව තිබුණේ ‘ඉන්දියාවේ අපේක්ෂාව පකිස්තාන ජනතාව සමඟ සුභද සබඳතා ඇති කර ගැනීම බවයි’ යනුවෙනි. ‘මේ සඳහා විශ්වාසය වර්ධනය කළ යුතු අතර, ත්‍රස්තවාදයෙන් තොරවීම සහ එදිරිවාදිකම් අත්හිටුවීමද කළ යුතු බව’ එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි.

ඉන්දියාව මෙසේ පැවසුවද අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලන කාලයේදී පකිස්තානය වරින් වර කබරගොයාත් තලගොයාත් බවට පත්වූ අවස්ථා ඇති තරමි විය. උදාහරණයක් ලෙස අගමැති මෝදිගෙ දෙවැනි ධූර කාලය සඳහා ජනතා ඡන්දය ලබා ගැනීමට පකිස්තානය සමඟ නැති අවුලක් ඇති කර ගත් බව පෙන්වා දිය හැකිය. මැතිවරණයට දින කිහිපයක් තිබියදී කාශ්මීරයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය භටයන් සහිත ජීප් රථයක් විනාශයට පත් වූ අතර පකිස්තාන රජයේ එයට කිසිඳු සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ විය. එය ත්‍රස්ත ක්‍රියාවක් ලෙසින් මහා ආන්දෝලනයක් ඉන්දියාව පැත්තෙන් ඇති වූ අතර ඉන්දියාව වහාම ගුවන් ප්‍රහාර එල්ල කිරීමට විය. එහිදී මැතිවරණයට පැය කිහිපයක් දක්වා අගමැති මෝදි රූපවාහිනී නාළිකාවල පෙනී සිටිමින් ඉන්දීය ජාතිකවාදය පිළිබඳ ඇඟ කිලිපොළන කතා පැවසූවේ පකිස්තාන පොදු සතුරකු ජනතාව හමුවේ මවා පෙන්වමිනි. මේ අතර පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් දිගින් දිගටම පවසා සිටියේ මේ ප්‍රහරය කවුරුන් විසින් සිදුකළද තමන්ද එය හෙළා දකින බවයි. තම රජය සමඟ එහි කිසිඳු සබඳතාවක් නැති බවයි. එහෙත් අහස ගුගුරුවමින් පැමිණි ඉන්දීය ගුවන් යානා පකිස්තාන සීමාවට දිගටම බෝම්බ පතිත කරන්නට වූයේ ඉන්දීය ජනතාව ජාතිවාත්සල්‍යයෙන් ඔද වඩවමිනි.

අවසානයේ පකිස්තාන සීමාවට කඩා වැටුණු ගුවන් යානයේ නියමුවා පවා අාරක්ෂිතව ඉන්දියාවට බාර දීමට තරම් පකිස්තානය ඉවසීමෙන් සහ ආදර්ශමත් ලෙස කටයුතු කරද්දී නැති ත්‍රස්තවාදයක් මවා පාමින්, නැති සතුරකු මවා පාමින් අගමැති මෝදි මැතිවරණය ඉතා ඉහළින් ජය ගත්තේ මේ සිදුවීමට පෙර ජය කණුව මානයේ සිටි කොංග්‍රසයට යන එන මං නැති කරමිනි.

එ අනුව දැන් යළිත් වරක් මෝදි පාලනයට පකිස්තානය තලගොයා බවට පත් වී තිබේ. ඉන්දියාව හොඳින්ම දන්නා කාරණය වන්නේ අතීතයේදී අවස්ථා තුනකදී තමන් සමඟ යුද්ධවල පැටලුණු, එකසේ ධනවත්ව පැවතුණු, එදා න්‍යෂ්ටික බලයට පවා හිමිකම් කී පකිස්තානය අද බිමටම හාන්සි වී සිටින බවයි. එබැවින් පකිස්තානය නම් වූ අතීත බලවතා අද තමන්ට අවශ්‍ය වන විට අවශ්‍ය අන්දමින් පාවිච්චි කිරීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින්න බව පැහැදිලිය.

ඒ අනුව අද පකිස්තානයට රහසේ සුභ පතමින් ලිපි යවන මෝදි පාලනයම නොබෝ දිනකින් පකිස්තානයට ප්‍රහාර එල්ල කළද පුදුමවීමට කරුණක් නම් නැත. කෙසේ වුවද ශ්‍රී ලංකාවට එකසේ වැදගත් වන දකුණු ආසියාවේ අසල්වැසියන් වන මේ රටවල් දෙක අතර මිත්‍රත්වයක් ඇති වන්නේ නම් එය ශ්‍රී ලංකාවට නම් යහපතක්ම වනු ඇත.

 

Comments