නවල්නි නටනවා වැඩියි ක්‍රෙම්ලිනය කියයි | Page 3 | සිළුමිණ

නවල්නි නටනවා වැඩියි ක්‍රෙම්ලිනය කියයි

රුසියාවේ විරුද්ධ පක්ෂ ක්‍රියාකාරික ඇලෙක්සෙයි නවල්නිට ක්‍රෙම්ලිනය අවසන් නිවේදන නිකුත් කර තිබේ. ඒ අඟහරුවාදා දිනය අවසන් වීමට පෙර වහාම රුසියාවට පැමිණ මොස්කව් කාර්යාලයට වාර්තා කරන ලෙසයි. එසේ නැතහොත් ඔහු රුසියාවට පා තබන අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද අවසන් වශයෙන් නවල්නිට දැනුම් දීමට ක්‍රෙම්ලිනය කටයුතු කර තිබේ.

ඇලෙක්සෙයි නවල්නි රුසියාවේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ රුසියානු නායක පුටින්ගේ ප්‍රබල විවේචකයකු වශයෙනි.

පසුගිය අගෝස්තුවේදී නවල්නි ජර්මනියට හදිසියේ ගෙන යනු ලැබුවේ ඔහු වස දීමකට ලක්වී ඇති බව පවසමිනි. එහිදී නවල්නිගේ සිරුරේ කිසියම් විෂ වර්ගයක් තිබූ බව තහවුරු වූ නමුත් ඒ විෂ ඔහුගේ සිරුරට ඇතුළු වූයේ කෙසේදැයි නිශ්චිතව ප්‍රකාශ වූයේ නැත.

නවල්නි මේ සඳහා ඍජුවම රුසියානු රජයට චෝදනා එල්ල කර සිටියේ නායක පුටින්ව ඉලක්ක කර ගනිමිනි.

අතීතයේදී රුසියානු ඔත්තු සේවයේ අති දක්ෂ නිලධාරියකුව සිටි ව්ලැඩිමිර් පුටින් තමන්ගේ මඟේදී බාධාවන් වන පුද්ගලයන් ‘ඉවත් කිරීමට’ වස දීම සුලබව භාවිත කළ පුද්ගලයෙකි.

සැබවින්ම පසුගිය අගෝස්තුවේදී ඇලෙක්සි නවල්නි වසදීමකට ලක්වූවාද නැතහොත් පුටින් වෙත ලෝක අප්‍රසාදය ගෙන ඒමට ඔහු එවැනි රඟපෑමක නිතර වුවාදැයි තවමත් තහවුරු වී නැත.

එහෙත් එක් දෙයක් පැහැදිලිය. එනම් පුටින්ගේ නම ගෑවුණු වස දීමට ලක්වුණු පුද්ගලයන් ජීවිතය බේරා ගැනීමට සමත් නොවුණු බවයි. එවැනි වසදීම් ඉතා සංවිධානාත්මක ලෙස සිදුවුණු බව අතීතය සාක්ෂි සපයන අතර ගුවනින් පිටරට ගෙන ගොස් ලොව පුරා ප්‍රචලිත නාටකයක් වන තුරු ඒවා ඇදි ඇදී නොගිය බවද පැහැදිලිය.

එබැවින් නවල්නි මේ සිදු කළේ රංගනයක්ද යන්න අනාගතයේදී හෙළිදරවු වීමට ඉඩ තිබේ.

කෙසේ වුවද මේ වන විට ජර්මනියේ සිට රුසියානු ආණ්ඩුව විවේචනය කරන නවල්නිට පෙරළා සියරට එන ලෙස ක්‍රෙම්ලිනය අවවාද කර තිබේ.

පසුගිය අඟහරුවාදාට පෙර මොස්කව් කාර්යාලයට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇති අතර, එතැනින් පසු රුසියාවේ ඔහු දක්නට ලැබුණහොත් අත්අඩංගුවට ගන්නා බවද පැහැදිලිව ඔහුට දන්වා ඇති බව වාර්තා වේ. එමෙන්ම මේ වාර්තා කිරීම සිදුකරන ලෙස ඉල්ලා ඇත්තේ මීට වසරකට පෙරදී සිදුවු නඩු කටයුත්තක් පදනම් කර ගනිමින් වීමද සුවිශේෂීය.

නවල්නි තවමත් ස්නායු විශේෂඥයකු වන වෛද්‍ය නිවිචෝගෙන් ප්‍රතිකාර ගන්නා බව ප්‍රකාශ වුවද රුසියානු රජය පැහැදිලිව පවසා ඇත්තේ පසුගිය සැප්තැම්බර් මස 20 සහ ඔක්තෝබර් 12 වැනි දිනවලදී ඔහු අවසන් සායන සඳහා සහභාගී වී ඇති බවත්, ඔහු මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බවත්ය. එබැවින් ඔහුට සියරට පැමිණීමේ බාධාවක් නොමැති බවත්ය.

මොස්කව් අධිකාරිය නවල්නිට සියරට පැමිණෙන ලෙස දැනුම්දී ඇති නඩු කටයුත්ත වාර්තා වී ඇත්තේ 2014 වසරේදීය. එහිදී නවල්නිට සහ ඔහුගේ සොහොයුරු ඔලෙග්ට චෝදනා එල්ල වී ඇත්තේ රුසියානු සමාගම් දෙකකින් ඩොලර් ලක්ෂ පහක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙනි. ඒ 2008 – 2012 අතර කාලයේදීය .

මේ මුදල වංචා කර ඇති බවත්, එයින් කොටසක් නවල්නිට ලැබී ඇති බවත් උසාවියේදී ප්‍රකාශ විය. එහිදී නවල්නි සහ ඔහුගේ සොහොයුරාට වසර තුනහමාරක සිර දඬුවම් නියම වූ අතර පසුව නවල්නිගේ දඬුවම අත්හිටුවන ලදී.

මේ ඉතා පැරණි එමෙන්ම යල් පැනගිය නඩුවක් වෙනුවෙන් තමන්ට රුසියාවට පැමිණීමට බල කිරීම සම්බන්ධව නවල්නි ජර්මනියේ සිට විරෝධය පළ කර තිබේ.

ඔහු පවසා ඇත්තේ ‘ මේ සිදුවීමේ කොනක පුටින් ඉන්නවා. ඔහු බංකරයක් ඇතුළේ හැංගිලා ඇයි වස දීලත් ඔහු මැරුණේ නැත්තේ කියමින් කෑ ගසමින් ඉන්නවා. දැන් නම් ඔහු සිරගත කළ යුතුමයි” යනුවෙන් කෑ ගසමින් ඉන්නා බවයි. ඒ හැර තමන්ට වස දීම සම්බන්ධව කිසියම් පරීක්ෂණයක් සිදු නොකෙරෙන බවද ඔහු අවධාරණ කර තිබේ.

මේ අතර සීඑන්එන් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබුණේ නවල්නිට වසදීමක් සිදුවී ඇති බවට නිශ්චිත සාක්ෂි ලැබෙමින් පවතින බවයි.

ඇලෙක්සෙයි නවල්නිට විෂ ශරීර ගතවීම සම්බන්ධව නිශ්චිත පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ට්‍රම්ප් රජයද රුසියාවෙන් ඉල්ලා ඇති බවද සීඑන්එන් වාර්තා කර තිබිණි. එහිදී නවල්නිට වස දීම සම්බන්ධව ට්‍රම්ප් රජය රුසියානු ආරක්ෂක අංශවල චෝදනා කර තිබූ බවද සඳහන් විය.

කෙසේ වුවද මේ වන විට නවල්නි ආරක්ෂිතව ජර්මනියේ වෙසෙන අතර අඛණ්ඩව පුටින්ට විරෝධය පළ කරමින්ද සිටින්නේය.

සැබවින්ම ඔහු පුටින්ගේ ඝාතන තැතකින් ගැලවී ගත්තේ නම් එය වාර්තාවක්ම වනු ඇත.

එහෙත් මේ සියල්ලේ ඇත්ත නැත්ත ස්ථිරව පැවසීමට තරම් කාලය ප්‍රමාණවත් නොවන බවද පැවසිය යුතුමය.

Comments