ලෝකය තිගැස්සූ ඌටා කාන්තාරයේ අබිරහස් කුලුන | Page 3 | සිළුමිණ

ලෝකය තිගැස්සූ ඌටා කාන්තාරයේ අබිරහස් කුලුන

ඇමරිකා එක්සත් ජනපදයේ ඌටා කාන්තාර ප්‍රදේශය යනු මිනිස් වාසයෙන් තොර, හුදකලා එහෙත් අබිරහසින් පිරුණු භූමි ප්‍රදේශයකි. මේ ප්‍රදේශය පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව ප්‍රසිද්ධියක් උසුලන අතර ඇමරිකාවේ කුප්‍රකට ඒරියා 51 නමින් හඳුන්වන පිටසක්වල ක්‍රියාකාරකම් සහිත රාජ්‍ය අනුගහය ලබන විද්‍යාගාර ඉඳි කර ඇත්තේද මේ ඌටා කාන්තර ප්‍රදේශයේය.

පසුගිය සතියේ බදාදා දිනයේ මේ කාන්තාර ප්‍රදේශය මතින් පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක සිටි පිරිසක් එක්වරම අද්භූත යමක් නිරීක්ෂණය කළහ. එය ත්‍රිකෝණාකාර කුලුනකි.

දිලිසෙන තහඩු වැනි යමකින් එය නිපදවා තිබූ අතර උඩු ගුවනට එය මනාව දිස්විය.

මේ ස්ථම්භය කුමක්දැයි නිශ්චිතව දැන ගනු පිණිස මේ සම්බන්ධව ඌටාහි ප්‍රාන්ත බලධාරීන්ට දැනුම් දෙනු ලැබූ පසු ඔවුන්ගෙන් ලැබුණු පිළිතුර වූයේ ඔවුන් එවැනි ස්ථම්භයක් සම්බන්ධව කිසිවක් නොදන්නා බවයි. ඒ අනුව මේ ස්ථම්භය සහිත ප්‍රදේශය කරා ප්‍රාන්ත බලධාරීන් විසින් ගවේශකයන් පිරිසක් යොමු කරනු ලැබීය.

ඔවුන් අදාළ ස්ථානය වෙත ළඟා වූ පසු ඔවුන්ට වැටහී ගියේ එම ස්ථම්භය සැබෑ ලෙසම පවතින බවයි. එය වටා චුම්භක ක්ෂේත්‍රයක් හෝ අන් කිසි බල ධාරාවක් නොවූ අතර ස්ථම්භය නිරාවරණ අත්වලින් ස්පර්ෂ කළද කිසිඳු ප්‍රතික්‍රියාවක් හෝ බලපෑමක් දක්නට නොවීය.

පසුව මේ සම්බන්ධව වැඩිදුර පර්යේෂණ පැවැත්වීමේ අවශ්‍යතාව අදාළ බලධාරීන් වෙත අවධාරණය කෙරිණි. මන්දයත් ඌටා ප්‍රාන්තයේ මීට පෙර සිටම පිටසක්වල ජීවීන් සම්බන්ධව ප්‍රසිද්ධියක් ඇති කළ සිදුවීම් වාර්තා වී තිබුණු බැවිනි. මේ ස්ථම්භය පිහිටා තිබූ ස්ථානයට ළඟා වීම තරමක් අපහසු කාර්යයක් වූ අතර ඌටාහි ආසන්නතම කුඩා නගරයක සිට දුෂ්කර පාරක් ඔස්සේ පැයක පමණ පා ගමනින් පසු කිලෝමීටර් 12ක පමණ දුරක් ගෙවා මේ ස්ථම්භය පිහිටා තිබූ ස්ථානය වෙත ළඟා විය යුතු විය.

කෙසේ වුවද මේ ස්ථම්භය සම්බන්ධව පුවත කටින් කට පැතිර යෑම ආරම්භ වූ අතර පැය කිහිපයකින් පසු ස්ථම්භය සොයා සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන්නට විය.

මේ ඇතැම් සංචාරකයන් ස්ථම්භය මතට නැගීමටද උත්සාහ දරා තිබූ අතර එකවර සංචාරකයන් දෙදෙනෙකු ස්ථම්භය මතට නැගී ඡායාරූපද ලබාගෙන තිබිණි. ඒ පසුගිය සතියේ බ්‍රහස්පතින්දා දිනයේය.

සිකුරාදා දිනය ද ආරම්භ වූ අතර ස්ථම්භය සම්බන්ධව පර්යේෂණ පැවැත්වීමට නියම වූ බලධාරීන්, විද්‍යාඥයන් මෙන්ම සංචාරකයන්ද උදෑසනින්ම ස්ථම්භය පිහිටි ස්ථානය වෙත ළඟා වූයේ හැකිතාක් තොරතුරු ලබා ගැනීම අරමුණු කර ගනිමිනි. එහෙත් පුදුමයෙන් පුදුමය උපදවූ කරුණ වූයේ ඔවුන් එහි ළඟා වන විට තවදුරටත් අදාළ ස්ථම්භය එම ස්ථානයේ දක්නට නොවීමය. ස්ථම්භය පිහිටි ස්ථානයේ කුඩා ගල් කැබලි කිහිපයක් පමණක් දක්නට විය.

ස්ථම්භයට වූයේ කුමක්දැයි කිසිවකුත් දැන සිටියේ නැත. එය පැමිණියේ කොහෙන්ද, එය නැතිවූයේ කෙසේද යන ප්‍රශ්න පිළිතුරු නොමැතිව ඉතිරි විය.

පසුව මේ සම්බන්ධව ලැබී තිබුණු තොරතුරු මත පර්යේෂණ සිදු කළ පර්යේෂකයන් මීට පෙර ගූගල් මැප් ඔස්සේ අදාළ ප්‍රදේශයේ දර්ශන පිරික්සන විට ඔවුන්ට දක්නට ලැබුණේ 2015 – 2016 වසරවල දීද මේ ස්ථම්භය ‌මේ ස්ථානයේම දක්නට ලැබී ඇති බවයි.

මේ ඔස්සේ මේ ස්ථම්භය පිටසක්වල ජීවීන් ස්ථාපිත කරන ලද ස්ථම්භයක් බවටද මතයක් සමාජ ගත වෙමින් තිබේ.

එහෙත් ඇතැම් දෙනා පවසන්නේ ඌටාහි මේ කාන්තාර ප්‍රදේශය සිනමාපට මෙන්ම රූපවාහිනී මාලා නාට්‍යද රූගත කිරීමේ තෝතැන්නක් වන බැවින් මේ ස්ථම්භය පිහිටුවීම එවැනි රූගත කිරීමක් වෙනුවෙන් සිදුකරන ලද්දක් විය හැකි බවයි.

කෙසේ වුවද තවදුරටත් අබිරහස් ස්ථම්භය දැකිය නොහැකි අතර, බොහෝ විට එම ස්ථම්භය සදාකල් අබිරහසක්ව පවතිනු ඇතැයි යන්න බෙහෝ දෙනාගේ අදහසයි.

Comments