අප්‍රි­කාව පෝලියෝ එළ­වයි | Page 3 | සිළුමිණ

අප්‍රි­කාව පෝලියෝ එළ­වයි

1952 වස­රේදී අමෙරිකානු ජාතික වෛද්‍ය ජොනාස් සාක් පෝලියෝ සඳහා එන්නතක් සොයා ගැනීමට සමත් වීමත් සමඟ මිනිස් වර්ග­යාට තම නිරෝගී අනා­ගත පර­පු­රක් සම්බන්ධව බලා­පො­රොත්තු තබා ගැනී­මට හැකි විය. එහෙත් එම එන්නත් වඩාත් සාර්ථක වූයේ 1961 වසරේදී ඇල්බට් සැබින් විසින් එය මුඛ මාර්ග­යෙන් ලබා දෙන එන්න­තක් බවට පත් කිරී­මත් සම­ඟිනි

මුළු ලෝක­යම මේ දින­වල පසු­වන්නේ වයි­රස් භීති­කා­වෙනි. සතු­න්ගෙන් මිනි­සාට ආසා­ද­නය වන කොරෝනා වර්ගයේ වයි­ර­සය ලොව පුරා පැති­රෙ­මින් පැව­තීම ඊට හේතු­වයි. එමෙන්ම එම වයි­ර­සය මර්ද­නය කිරී­මට සමත් එන්න­තක් තව­මත් සොයා­ගෙන නොමැති වීමද තවත් ප්‍රධාන හේතු­වක් වේ.   

එහෙත් මේ අතර මිනිසා අතර පැතිර යමින් තිබූ තවත් වයි­ර­ස­යක් සාර්ථ­කව මර්ද­නය කළ බවට වන සතු­ටු­දා­යක පුව­තක්ද අස­න්නට ලැබී තිබේ. ඒ අනුව අප්‍රිකා මහා­ද්වී­ප­යෙන් සම්පූ­ර්ණ­යෙන් පෝලියෝ වයි­ර­සය තුරන් කළ බව පසු­ගි­යදා ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය ලෝක­යට දැනුම් දුන්නේය.   

පෝලියෝ වයි­ර­සය හෙවත් පෝලි­යෝ­ම­යි­ලි­ටිස් වයි­ර­සය පැති­රෙන්නේ අපි­රි­සිදු ජල­යෙනි. එමෙන්ම වඩාත් භයා­නක ලෙස එය මිනි­සා­ගෙන් මිනි­සා­ටද බෝ වීමේ හැකි­යාව පව­තියි.   

පෝලියෝ වයි­ර­සය ආසා­ද­නය වූ විට උණ, හිස­ර­දය, වම­නය වැනි රෝග ලක්ෂණ මතු වන අතර ප්‍රති­කාර නොලැ­බුණු විට එය ශරී­රයේ ස්නායු පද්ධ­ති­යට ද පහර දී අක­ර්මන්‍ය කර දමයි. මර­ණය වුවද ඇති කළ හැකි තරම් දරුණු වුවද පෝලියෝ වයි­ර­සය ලබා දෙන දරු­ණුම දඬු­වම වන්නේ ජීවිත කාල­යක් අර්ධ අක­ර්මන්‍ය ශරී­ර­යක් සහි­තව ජීවත් වීමය.   

පෝලියෝ වයි­ර­සය ආසා­ද­නය වන්නේ වයස අවු­රුදු පහට අඩු දරු­වන්ට වීම තවත් ඛේද­වා­ච­ක­යකි.   

පෝලියෝ වයි­ර­සය ලොව පුරා පැතිර යෑම ඇර­ඹුණු 1900 යුග­යේදී ශීඝ්‍ර­යෙන් දරු­වන් එයට ගොදුරු වන විට ඒ සඳහා එන්න­තක් සොයා ගැනීම ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධා­න­තම අර­මුණ විය. එය සම කළ හැකි වන්නේ මේ වන විට කොවිඩ් - 19 සඳහා එන්න­තක් සොයා ගැනී­මට දරන උත්සා­හ­ය­ටය.   

එහෙත් එම උත්සා­හය ඵල දරන්නේ ඉන් දශක පහක් පමණ ගත වූ පසු­වය. ඒ වන විට ලොව පුරා මිලි­යන ගණ­නක් දරු­වන් පෝලියෝ රෝගයේ ගොදුරු බවට පත්ව අව­සන්ය. 1952 වස­රේදී අමෙ­රි­කානු ජාතික වෛද්‍ය ජොනාස් සාක් පෝලියෝ සඳහා එන්න­තක් සොයා ගැනී­මට සමත් වීමත් සමඟ මිනිස් වර්ග­යාට තම නිරෝගී අනා­ගත පර­පු­රක් සම්බ­න්ධව බලා­පො­රොත්තු තබා ගැනී­මට හැකි විය. එහෙත් එම එන්නත් වඩාත් සාර්ථක වූයේ 1961 වස­රේදී ඇල්බට් සැබින් විසින් එය මුඛ මාර්ග­යෙන් ලබා දෙන එන්න­තක් බවට පත් කිරී­මත් සම­ඟිනි.   

එතැන් සිට මේ දක්වා ලොව පුරා දරු­වන්ට එක්තරා වයස් ඛාණ්ඩ­ය­කදී පෝලියෝ එන්නත් ලබා දෙන අතර එම­ගින් මේ දක්වා ලෝකයේ බොහෝ ප්‍රදේ­ශ­ව­ලින් පෝලියෝ තුරන් කිරී­මට හැකි­යාව ලැබී තිබේ. උතුරු අමෙ­රි­කාව, දකුණු අමෙ­රි­කාව, යුරෝ­පය වැනි ප්‍රදේ­ශ­ව­ලින් පෝලියෝ තුරන් කිරී­මට හැකි­යාව ලැබු­ණද අප්‍රි­කා­වෙන් පෝලියෝ තුරන් කිරීම පහසු කට­යු­ත්තක් වූයේ නැත. එසේ වීමට හේතු කිහි­ප­යක්ම විය. ඒ අත­රින් ප්‍රධාන වූයේ අප්‍රි­කාවේ බොහෝ රට­වල පැවති අභ්‍ය­න්තර ගැටුම්ය. එහෙත් මේ ගැටුම් අත­රින්, අප්‍ර­ති­හත ධෛර්ය­යනේ යුතුව කට­යුතු කර­මින් පැමිණ ගම­නක සාර්ථක අව­සා­නය පසු­ගි­යදා මෙසේ ලොවට දැනුම් දීමට ලෝක සෞඛ්‍ය සංවි­ධා­න­යට හැකි විය.   

අප්‍රි­කා­වෙන් පෝලියෝ තුරන් කිරී­මට දකුණු අප්‍රි­කාවේ හිටපු ජනා­ධි­පති නෙල්සන් මැන්ඩෙලා ගෙන ගිය දැවැන්ත ව්‍යාපා­ර­යද මෙහිලා සඳ­හන් කළ යුතු­මය. ඊට අම­ත­රව රටින් රට දැරූ මහා වෑයම හමුවේ මේ වන විට පෝලියෝ වයි­ර­සය අප්‍රිකා මහා­ද්වී­ප­යද හැර දමා ගොස් තිබේ.   

අප්‍රි­කාවේ අව­ස­න්ව­රට පෝලියෝ ආසා­දි­ත­යකු හමු වී ඇත්තේ නයි­ජී­රි­යා­වෙනි. නයි­ජී­රි­යා­වෙන් පෝලියෝ තුරන් කිරී­මට 2000 වසරේ සිට මහා පරි­මාණ ව්‍යාපෘති ක්‍රියා­ත්මක වූ අතර එය වඩාත් අභි­යෝ­ගා­ත්මක උත්සා­හ­යක් බවට පත් කරන ලද්දේ එරට තුළ ක්‍රියා­ත්මක වූ බොකෝ හරාම් ත්‍රස්ත­වා­දීන් ක්‍රියා­ත්ම­කව පැවති ප්‍රදේ­ශ­වල මේ ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරී­මට අව­සර නොලැ­බුණු බැවිනි. 2010ට පෙර නයි­ජී­රි­යාවේ බොහෝ ප්‍රදේ­ශ­ව­ලින් පෝලියෝ ආසා­දි­ත­යන් වාර්තා වුවද අව­සා­නයේ වයි­ර­සය එරට බෝනෝ ප්‍රදේ­ශ­යට පම­ණක් සීමා කිරී­මට සෞඛ්‍ය සේව­ක­යන්ට සහ ස්වේච්ඡා සෞඛ්‍ය සේව­ක­යන්ට හැකි­යාව ලැබිණි.   

බෝනෝ ප්‍රදේ­ශයේ බොකෝ හරාම් ත්‍රස්ත­වා­දීන් දැඩි ලෙස ක්‍රියා­ත්මක පැවති අතර දරු­වන්ට එන්නත් ලබා දීමට ගිය සෞඛ්‍ය සේවි­කා­වන් පිරි­ස­කට වෙඩි තබා මරා දැමීම්ද වාර්තා වී තිබිණි. බොහෝ අප්‍රි­කානු රට­වල පෝලියෝ එන්න­තට විරුද්ධ ප්‍රසිද්ධ මත­යක් විය. එනම්, මේ එන්නත මුස්ලිම් දරු­වන් වඳ කිරීමේ අමෙ­රි­කානු උප්ප­ර­වැ­ට්ටි­යක් බවයි. එබැ­වින් මේ එන්නත් ලබා දීමට දුෂ්කර ගම්මා­න­ව­ලට, අන්ත­වාදී සට­න්කා­මීන් ක්‍රියා­ත්මක ප්‍රදේ­ශ­ව­ලට යන සෞඛ්‍ය සේව­ක­යන්ට බොහෝ තර්ජ­න­ව­ලට මුහුණ දීමට සිදු­විය. පසුව එන්නත අප්‍රිකා කලා­පයේ පිළි­ගත් විද්‍යා­ගාර තුළදී පර්යේ­ෂ­ණ­ව­ලට ලක් කිරී­මෙන් ඒ වෙත එල්ල වූ චෝදනා අභව්‍ය බව සහ­තික කිරී­මට කට­යුතු යෙදී­ම­ටද අප්‍රිකා කලා­පීය නාය­ක­යන්ට සිදු­විය. එහෙත් ජන­ම­තය වෙනස් කිරීමේ අභි­යෝ­ග­යට සෞඛ්‍ය සේව­ක­යන්ට දිගින් දිග­ටම මුහුණ දීමට සිදු­විය. ඔවුන් පෝලියෝ අප්‍රි­කා­වෙන් තුරන් කිරීමේ අභි­යෝ­ගය ජය­ගත්තේ මේ සියලු දුෂ්ක­රතා මධ්‍යයේ වීම විශේ­ෂ­යෙන් සඳ­හන් කළ යුතුය.   

මේ අනුව ලෝකයේ අඳුරු මහා­ද්වී­පය හෙවත් අප්‍රි­කා­වද පෝලියෝ සහ­මු­ලින් තුරන් කර දැමූ­වද ආසි­යා­තික අපට නම් එම සැන­සිල්ල හිමි නැත. විශේ­ෂ­යෙන් දකුණු ආසි­යානු රට­ව­ලට පෝලියෝ තර්ජ­නය තව­මත් එළෙ­සින්ම පව­ති­න්නේය. එයට හේතුව තව­මත් ලෝකයේ එක ලෙසට පෝලියෝ රෝගීන් වාර්තා වන රට­වල් දෙක ලෙස ඇෆ්ග­නි­ස්ථා­නය සහ පකි­ස්තා­නය ඉති­රිව පැව­තී­මය.   

මෙහි ඇති භයා­නක කරුණ වන්නේ පෝලියෝ සම්පූ­ර්ණ­යෙන් තුරන් කළ රටක් තුළ වුවද වයි­ර­සය යළි පැති­රීමේ හැකි­යාව පැව­තී­මය. බොහෝ විට මෙය සිදු­වන්නේ සංචා­ර­ක­යන් මාර්ග­යෙනි. ඒ අනුව වයි­ර­සය ඉතා පහ­සු­වෙන් රට­කට ඇතුළු විය හැකි අතර රට පුරා පැති­රී­ම­ටද හැකිය. එබැ­වින්ම දකුණු ආසි­යා­තික රට­වල් විශේ­ෂ­යෙන් පෝලියෝ එන්නත් දිගින් දිග­ටම පවත්වා ගනි­මින් අව­ධා­න­යෙන් සිටිය යුතුය. තමන් පෝලියෝ සහ­මු­ලින් තුරන් කළේ යැයි සැන­සුම් සුසුම් හෙළී­මට අප්‍රිකාව­ටද නොහැ­කිය. එහෙත් දුෂ්ක­රතා රැසක් හමුවේ අභි­යෝග ජය­ග­ත්විට අත්වි­ඳිය හැකි සැන­සුම් අත්වි­ඳි­මට නම් ඔවුන් සුදු­සු­කම් සපුරා අව­සන්ය. 

Comments