උතුරු කොරියානු නායකයා දිවියෙන් සමුගන්නා ලකුණු දකුණු කොරියාව කියයි | Page 3 | සිළුමිණ

උතුරු කොරියානු නායකයා දිවියෙන් සමුගන්නා ලකුණු දකුණු කොරියාව කියයි

මිනිස් සමාජය සුන්දර වන්නේ දෙදෙනකු එක හා සමාන නොවන බැවිනි. එනම් සුන්දරත්වය ඇති වන්නේ විවිධත්වය තුළිනි. එසේම ලෝකයේ සෑම රටක්ම එක හා සමාන වන්නේ නම් කිසිවකු පුවත් මවන්නේ නැති වනු ඇති අතර ලෝකය බොහෝ ඒකාකාරීද වනු ඇත. මේ ලෝකයට විවිධත්වය සපයන රටවල් අතරින් උතුරු කොරියාවට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ඒ ලොව සෙසු බොහෝ රටවලට සාපේක්ෂ්ව වෙනස් මගක ගමන් ගනිමින් වරින් වර පුවත් මවන ප්‍රධාන රටක් බවට උතුරු කොරියාව පත්ව ඇති බැවිනි.

මීට මාස කිහිපයකට පෙර කොවිඩ් රෝගීන් සම්බන්ධ පුවත් මවමින් කතාබහට ලක් වූ උතුරු කොරියාව ඊට පෙර ලෝකයේ අවධානය දිනා ගත්තේ මිසයිල නිෂ්පාදනය සම්බන්ධයෙනි. උතුරු කොරියානු නායකයා තම ප්‍රධාන එදිරිවාදියා වූ අමෙරිකා ජනාධිපතිවරයා සමඟ සමගි සාකච්ඡා වට කිහිපයක් පවත්වමින් පසුගිය වසර කිහිපය පුරාවට ලෝකයේ අවධානය දිනා ගත්තේය.

දැන් මෙවර යළිත් වරක් උතුරු කොරියාවට ලෝකයේ අවධානය හිමිවෙමින් තිබෙන්නේ ද එහි අපූරු නායකයා මූලික කර ගනිමිනි.

පසුගියදා දකුණු කොරියානු රාජය තාන්ත්‍රිකයකු ජනමාධ්‍ය වෙත පවසා සිටියේ උතුරු කොරියාවෙන් ලැබෙන තොරතුරු අනුව එරට රාජ්‍ය නායක කිම් ජොන්ග් අන් දියවැඩියා කෝමා තත්ත්වයේ පසුවන බවට තහවුරු කළ හැකි සාක්ෂි ලැබී තිබෙන බවය. ඒ අතර සඳහන් වූ අලුත්ම තොරතුර වූයේ ඔහු වෙනුවට ඔහුගේ සොහොයුරිය වන කිම් යෝ ජොන්ග් ධූරයේ වැඩ බලමින් සිටින බවට වූ පුවතයි.

ලෝකයට මේ පුවත ගෙන ආවේ චෙන්ග් සොන්ග්-මින් නම් වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකි. ඔහු දකුණු කොරියාවේ හිටපු ජනාධිපති කිම් ඩේ-ජුන්ග් යටතේ සේවය කළ පුද්ගලයෙකි.

චෙන්ග් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ උතුරු කොරියානු රාජ්‍ය නායකයා කෝමා තත්ත්වයේ පසුවන නමුත් තවමත් ජීවතුන් අතර සිටින බවයි.

දකුණු කොරියාවෙන් ලැබුණු මේ පුවත ලොව පුරා තටු ලබා පැතිරී යෑමට ගත වූයේ සුළු වේලාවකි. එහිදී බොහෝ දෙනා මත පළ කර සිටියේ කිම් ජොන්ග් අන්ට වඩා ඔහුගේ සොහොයුරිය භයානක පුද්ගලයකු බවයි. බොහෝ දෙනා ඇය සම්බන්ධව පවසා සිටියේ ඇය ‘ඉතා භයානක පුද්ගලයකු‘ බවයි. ඇයගේ සහෝදරයා බලයට පත්වූ පසු ඇයද උතුරු කොරියානු පාලනාධිකාරියේ ඉහළ මට්ටමේ කටයුතුවල නිරත වී සිටි අතර එම වකවානුවේ සිදුවූ දේශපාලන ඝාතන රැසකටම ඇය වගකිව යුතු වන බවට පුවත් බොහෝ මාධ්‍යවල දක්නට ලැබිණි.

උතුරු කොරියාවේ පාලන ක්‍රමවේදය අනුව එරට පාලකයන් බිහිවන්නේ එරට ආධ්‍යාත්මික නායකයා වූ කිම් ඉල්-සුන්ග් පවුල වන කිම් පවුලෙනි. කිම් ඉල්-සුන්ග් උතුරු කොරියාව එතෙක් පැවති මාවතෙන් ඉවතට ගෙන කම්කරු පක්ෂය බිහි කරමින් එරට තනි පක්ෂ ක්‍රමයේ වාමාංශික දේශපාලන මාවතට ගෙන ඒමේ පුරෝගාමියා ලෙස සැලකේ. ඔහු දීර්ඝ කාලයක් උතුරු කොරියාව පාලනය කළ අතර ඉන්පසු බලයට පැමිණියේ ඔහුගේ පුත්‍රයා වූ කිම් ජොන්ග්-ඉල් ය. කිම් ජොන්ග්- ඉල් ට දරුවන් තිදෙනෙකු වූ අතර දෙවැනි පුත්‍රයා වූයේ එරට වත්මන් පාලක කිම් ජොන්ග් අන් ය. ඔහු තම වැඩිමහල් පුත්‍රයාට රාජ්‍ය බලය පවරා නොදුන් අතර ඒ වෙනුවට තෝරා ගත් දෙවැනි පුත්‍රයා ඉතා හොඳින් තමාට පැවරුණු කාර්යය මේ දක්වා ඉටු කරමින් සිටියේය.

එහෙත් උතුරු කොරියාවෙන් ඉතා සූක්ෂ්ම ලෙස ලබා ගන්නා සත්‍ය තොරතුරු සමඟ මිශ්‍ර වූ ඕපාදූපද ලොවට පවසා සිටියේ කිම් ජොන්ග් අන් කිසිඳු සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුගමනය නොකළ අයෙකු බවයි. ඔහුගේ කිසිඳු ආහාර පාලනයක් නොපැවති අතර ව්‍යායාම සම්බන්ධයෙන්ද කිසිදු කැමැත්තක් ඔහු තුළ නොපැවති බවද එම තොරතුරුවල සඳහන් විය.

කිම් ජොන්ග් අන් උපත ලැබූවේ 1982 වසරේදීය. ඔහු තවමත් 38 හැවිරිදි නමුත් සෞඛ්‍ය තත්ත්වය අතින් ඉතා දුර්වල අඩියක පසුවන්නේ නිසි සෞඛ්‍ය ඇවතුම් පැවතුම් පවත්වා නොගැනීම නිසා බව පැවසේ.

මේ වන විට උතුරු කොරියාවේ පාලන කටයුතු මෙහෙයවමින් සිටින ඔහුගේ සොහොයුරිය උතුරු කොරියාවේ දෙවැනි අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන කිම් ජොන්ග් - ඉල් ගේ තෙවැනි දරුවාය.

උතුරු කොරියාව වාමාංශික ධාරාවේ පාලනයට පිවිසීමෙන් පසුව ලෝකයේ සෙසු රටවල් සමඟ ගනුදෙනු අවම කළ අතර දැඩි පුවත් වාරණයක්ද රට තුළ ක්‍රියාත්මක විය. ඒ අන්දමින් ජනතාව පාලන රටාවට අනුගත කළ එරට පාලකයෝ ලෝකයේ සෙසු රටවල පාලන ක්‍රමවේදයෙන් බැහැරව ස්වාධීන, ස්වයංපෝෂිත ආර්ථික රටාවක් සහිත රටක් බිහි කළහ. එහෙත් මේ ගමනේදී ඔවුන්ට මනුෂ්‍ය ඝාතන පවා කිරීමට සිදුවූ බවත්, මේ වන විට එරට රාජ්‍ය නායක ධූරයේ වැඩ බලන කිම් යෝ ජොන්ග්ද එවැනි ඝාතන සඳහා වගකිව යුතු චරිතයක් බවත් ඇතැම් වාර්තාවල සඳහන් වී තිබිණි.

අනෙක් වැදගත්ම කරුණ වන්නේ කිම් ජොන්ග් ඉල්ගේ දරුවන් තිදෙනාටම දරුවන් නොමැති වීමය. එබැවින් දැනට එරට බලය හොබවන මේ සහොදර සහෝදරියන්ගෙන් පසු කිම් පවුලේ නායකත්වය කාට හිමිවනු ඇතිද යන ප්‍රශ්නයද මතු වනු ඇත.

දකුණු කොරියානු තොරතුරු අනුව ලොව පුරා මාධ්‍ය උතුරු කොරියාව සම්බන්ධව කොතෙක් මත පළ කළද උතුරු කොරියාව මේ දක්වා මේ කිසිවක් සම්බන්ධව අදහස් දක්වා තිබුණේ නැත.

 

Comments