මැඩගස්කරයේ කොරෝනා පානය අසාර්ථකයි | Page 3 | සිළුමිණ

මැඩගස්කරයේ කොරෝනා පානය අසාර්ථකයි

මැඩගස්කරය යනු අප්‍රිකා මහාද්වීපය අසලම ඉන්දියන් සාගරයේ පිහිටා ඇති සුන්දරත්වයෙන් අනූන දූපතකි. මේ දූපතේ ජනතාව ලොව පුරා කොවිඩ් පැතිර යන විට වයිරසයෙන් බේරීමට අපූරු ක්‍රමයක් යොදා ගත්හ. එය ඖෂධීය පානයකි. මේ පානය මැඩගස්කරයේ ඉතා පොහොසත් වන ගහනයෙන් සොයා ගත් ‘ආර්ටිමිසියා‘ නම් පැළෑටියෙන් සාදන ලද ඖෂධීය පානයකි. මේ පානය මැලේරියාවට ප්‍රත්‍යක්ෂ බෙහෙතක් බවද කියැවේ.

කෙසේවුවද මේ ඖෂධය ගැන තරයේම විශ්වාසය තැබූ මැඩගස්කර් ජනාධිපතිවරයා එම පානය රටපුරා ජනප්‍රිය කරවීමටත්, බෙදා හැරීමටත් කටයුතු කළේය. මේ පානය පාසල්වලටද බෙදා හැරි අතර දරුවන්ට එම පානය අනිවාර්ය කෙරිණි. මේ පානය තරමක් කටුක රසකින් යුක්ත නිසා එය පානය කිරීමට දරුවන් පෙලඹවිමට ලොලිපොප් ලබා දීම කෙරෙහි එරට අධ්‍යාපන ඇමතිවරිය පසුගිය අප්‍රේල් මාසයේදී අවධානය යොමු කළාය. ඒ වෙනුවෙන් ලොලිපොප් ටොන් ගණනක් විදේශයකින් ඇණවුම් කළ ඇයට ඒ හේතුව නිසාම තම ධූරයද හැර යෑමට සිදුවිය.

කෙසේ වුවද මේ පානය ජනතාව අතර බෙදා හැරීමේ අරමුණ මැඩගස්කර් ජනාධිපතිවරයා අත හැර දැමුවේ නැත. ඒ වෙනුවට ඔහු රට පුරා සංචාරය කරමින් ජනතාවට මේ පානය ලබා දුන් අතර ඇතැම්විට ජනතාවට සහල්, සීනී ආදිය ලබා දෙමින් ඒ සමඟ මේ පානය ලබා දුන් අවස්ථාද දැකගත හැකි විය.

කෙසේ වුවද දැන් වාර්තා වන්නේ මැඩගස්කර් බලධාරීන් කොතෙක් උත්සාහ දැරූවද මේ පානය කොවිඩ්වලට ඖෂධයක් ලෙස සාර්ථක වී නොමැති බවයි. මේ වන විට මැඩගස්කරයෙන් කොවිඩ් රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් තිබේ. සම්පූර්ණයෙන් ආසාදිතයන් 13,000ක් සමඟ මරණ 168ක් මේ වන විට මැඩගස්කරයෙන් වාර්තා වී තිබේ.

මැඩගස්කර් ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලිනා තවදුරටත් මේ පානය කෙරෙහි විශ්වාසය තබමින් සිටියද එරට සෞඛ්‍ය අංශ හැකිතාක් කොවිඩ් රෝගීන්ට මේ පානය ලබා දීමෙන් වැළකී සිටින බවද වාර්තා වේ. රෝහල්වල කොවිඩ් රෝගීන් පිරී යමින් සිටින නමුත් එරට සෞඛ්‍ය අංශ සාමාන්‍ය රෝග ලක්ෂණ සහිත, බෝ නොවන රෝග නොමැති රෝගීන්ට පමණක් එම පානය ලබා දීමට නිර්දේශ කරන බවද වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි නිශ්චිත නොවන ඖෂධ භාවිත ප්‍රවේශම් සහගත නොවන බව තරයේ පවසා තිබේ. එහෙක් මැඩගස්කර් පාලකයන් ‘කොවිඩ් - ඔර්ගනික්‘ නමින් ඔවුන්ම හඳුන්වා ඇති මේ පානය ලබා ගැනීමට දිගින් දිගටම එරට ජනතාව දිරි ගන්වමින් සිටින බව වාර්තා වන්නේ විශාල වශයෙන් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් තිබියදීමය.

මේ අතර ලෝකයේ ඉතා හොඳින්ම කොවිඩ් පාලනය කළ රට ලෙසින් විරුදාවලි ලබා සිටි නවසීලන්තය වයිරසයට පරාජය වී තිබේ. පසුගියදා නවසීලන්තයේ ඕකලන්ඩ් ප්‍රදේශයෙන් එකම පවුලේ සාමාජිකයන් පිරිසක් වයිරසය ආසාදනයව සිටින බව සොයා ගැනිණි. ඒ සමඟම එරට අගැමැතිනිය පවසා සිටියේ තවදුරටත් ආසාදිතයන් හමුවීමේ ඉඩක් පවතින බවයි.

වයිරසය සම්පූර්ණයෙන් පාලනය කර දින සියයකටත් වඩා ආසාදිතයන් වාර්තා නොකරමින් සිටි නවසීලන්තය මේ වන විට කොවිඩ් යනු කිසිසේත් ගැලවිය නොහැකි වයිරසයක් බවට ඉඟි සපයමින් සිටී. ඒ අනුව ඔවුන් තවත් දින කිහිපයකින් පැවැත්වීමට නියමිතව තිබූ එරට මැතිවරණයද කල් දැමීමට සූදානමින් සිටිති.

මේ අතර නවසීලන්තයේ පසුගියදා සොයා ගත් කොවිඩ් පොකුර ‘භයානක‘ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටි අතර එයට පිළිතුරු ලෙස නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආර්ඩ්න් පවසා ඇත්තේ අමෙරිකාවෙන් වාර්තා වන මිලියන ගණන් ආසාදිතයන් තරම් එම පොකුර භයානක නොවන බවයි.

Comments