පැතුම් පතා විසි කළ කාසිවලින් ඇමරිකා සත්වෝද්‍යානයක් වියදම් පියවයි | Page 3 | සිළුමිණ

පැතුම් පතා විසි කළ කාසිවලින් ඇමරිකා සත්වෝද්‍යානයක් වියදම් පියවයි

කොවිඩ් හේතුවෙන් මාස ගණනාවකට වසා දැමූ ඇමරිකානු සත්වෝද්‍යානයක් සතුන්ට ආහාර ලබා ගැනීම සහ බිල්පත් ගෙවීම සඳහා අපූරු ක්‍රමයකට මුදල් සෙවීමට පෙළඹී තිබේ. ඒ සත්වෝද්‍යානයේ ඇති අඩි 30කට වඩා උසැති දියඇල්ලට නරඹන්නන් දමා ඇති කාසි එකතු කිරීමෙනි.

මේ දියඇල්ලට කාසි විසිකිරීමෙන් තම පැතුම් සඵල වන බවට මතයක් සත්වෝද්‍යාන නරඹන්නන් තුළ තිබේ. එබැවින් වසර ගණනාවක් පුරා සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන මිනිසුන් එම දිය ඇල්ලට කාසි විසිකරමින් නොයක් ප්‍රාර්ථනාවන් කිරීමට පෙළඹී තිබේ.

මේ වසර ආරම්භයේ සිට කොවිඩ් ව්‍යප්තිය හේතුවෙන් සත්වෝද්‍යානය වසා දැමීමට සිදුවූ අතර එහි ප්‍රධාන ආදායම් මාර්ගය වූ ප්‍රවේශපත්‍ර අලෙවිය සත්වෝද්‍යානයට අහිමි විය. එබැවින් මාස කිහිපයක් පුරා සතුන්ගේ ආහාරපාන සැපයීම සහ සත්වෝද්‍යානයට අදාළ බිල්පත් ගෙවීම වෙනුවෙන් විකල්ප ආදායම් මාර්ග කෙරෙහි යොමු වීමට සත්වෝද්‍යාන බලධාරීන්ට සිදු විය.

ප්‍රථමයෙන්ම ඔවුන් සතුන්ගේ රූපරාමු අන්තර්ජාලය හරහා විකාශය කළ අතර සත්වෝද්‍යානය නැරඹීමට ලබා දෙන කාලය තුළ දක්නට ලැබෙන සතුන්ගේ හැසිරීම් රටාවලට අමතරව නරඹන්නන් නොදකින දුර්ලභ දසුන්ද ඒ අතර විය. එහෙත් ඉන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බැවින් විකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමට සත්වෝද්‍යාන බලධාරීන්ට සිදුවිය.

දිය ඇල්ලට දමා ඇති කාසි එකතු කිරීමේ අදහස ක්‍රියාවට නැංවෙන්නේ ඒ අනුවය.

සත්වෝද්‍යාන බලධාරීන් ප්‍රථමයෙන්ම දියඇල්ල වසා දැමීමට කටයුතු කළ අතර ඉන්පසු එහි පොකුණද හිස්කොට එහි තිබූ කාසි සියල්ලම මතුපිටට ගැනීමට කටයුතු කළහ. එහි කාසි විශාල ප්‍රමාණයක් තිබුණු අතර පසුව සත්වෝද්‍යාන බලධාරීන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එහි කාසි ගැලුම් 100ක් පමණ තිබුණු බවයි. ඔවුන් ප්‍රථමයෙන් එම කාසි පිරිසුදු කර ඇති අතර ඉන්පසු ඒවා ගණන් කිරීමටද කටයුතු කරන බව පවසා තිබේ. ඔවුන් අන්තර්ජාලය හරහා තරගයක්ද සංවිධානය කරමින් පවසා ඇත්තේ එහි ඇති කාසිවල වටිනාකම අනුමාන කරන ලෙසයි. බොහෝ දෙනා ඒ තරගයට බොහෝ කැමැත්තෙන් එක්වෙමින් විවිධ අනුමානද ඉදිරිපත් කර තිබේ.

කෙසේ වුවද මේ කාසි වැය කිරීමෙන් තවදුරටත් කිසිදු ආදායමක් නොලබන සත්වෝද්‍යානයේ වියදම් පියවා ගැනීමට කටයුතු කරන බව සත්වෝද්‍යාන බලධාරීන් පවසා තිබේ. ඒ අනුව නොයෙක් ප්‍රාර්ථනා කරමින් නරඹන්නන් විසින් දිය ඇල්ලට විසි කරන ලද මේ කාසි ඔවුන්ගේ කෙසේ වෙතත් සත්වෝද්‍යාන බලධාරීන්ගේ නම් පැතුම් ඉටු කිරීමට සමත්ව ඇති බව පෙනේ.

Comments