
මේ වන විට මුළු ලෝකයම ඇසීමට බලා සිටින ප්‍රවෘත්තියක් පැවසීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට හැකියාව ලැබිණි. ඒ කොවිඩ් -19 වයිරසය මර්දනය කළ හැකි එන්නතක් නිපදවූ බවය. මාස දෙකක් පුරා කළ පර්යේෂණවලින් පසු මිනිසුන් යොදා කළ පර්යේෂණද සාර්ථක වී තිබෙන බව රුසියානු ජනාධිපතිවරයා පසුගියදා ඉතා අභිමානයෙන් යුතුව ලෝකයට ප්‍රකාශ කර සිටියේය.
මේ එන්නත් නම් කරණු ඇත්තේ ‘ස්පුට්නික් - 5‘ වශයෙනි. එම නම රුසියාව විසින් තෝරාගෙන ඇත්තේ ලොව ප්‍රථම අභ්‍යවකාශ යානය සිහිපත් කිරීම වෙනුවෙන් යැයි ද වාර්තා වේ. රුසියාව සහ ඇමරිකාව ලෝක නායකත්වය වෙනුවෙන් පැවති සීතල යුද්ධයේදී අභ්‍යවාකාශ තරණය සඳහා තරගයක යෙදුණු අතර එහිදී රුසියාව අමෙරිකාවට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් ලොව ප්‍රථම අභ්‍යවකාශ යානය නිපදවමින් අභ්‍යවකාශයට පිවිසියේය. ‘ස්පුට්නික්‘ යනු එම යානයයි.
කොවිඩ් වෙනුවෙන් සොයා ගනු ලැබූ එන්නතට ස්පුට්නික් නාමය දීමට රුසියාව තීරණය කර ඇත්තේ ස්වකීය අතීත ශ්‍රී විභූතිය සිහිපත් කිරීමද අරමුණු කර ගනිමිනි.
මේ අතර රුසියනු අභ්‍යන්තර වාර්තා අනුව බටහිර මාධ්‍ය පවසා ඇත්තේ ජනාධිපති පුටින් එන්නතක් සොයා ගත් බව ලොවට පැවසූවද මේ වන විටක් එන්නතේ අවසන් පර්යේෂණ සිදු කර නොමැති බවයි. එමෙන්ම දැනට සිදු කර ඇති සායනික පර්යේෂණවලින් සාර්ථක වී ඇත්තේ සියයට 10ක් පමණක් බවත් රුසියාව මහජන ආරක්ෂාවට පෙර ජාතික අභිමානය පෙරට දමා ඇති බවත් බටහිර මාධ්‍යවල සඳහන් වී තිබෙණු දක්නට ලැබිණි.
එහෙත් රුසියානු ජනාධිපති පුටින් සහ අනෙකුත් රුසියානු බලධාරීන් පවසාඇත්තේ මේ එන්නත සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවය. මේ බව සනාථ කිරීමට රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ තම දියණියක්ද මේ එන්නත ලබා ගත් බවත්, ඇය සුවසේ පසුවන බවත්ය.
එන්නත් ගැන සඳහන් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එන්නතක් ප්‍රථමයෙන් අත්හදා බැලීමේ දී කිසියම් අවිනිශ්චිත බවත් පවතින බව තමා හොඳින් දන්නා නමුත් සියලු සැලකිය යුතු පර්යේෂණවලින් මේ එන්නත සාර්ථකව සමත් වී ඇති බව තමා යළිත් පවසන බවයි.
රුසියානු රජයේ වාර්තාවල සඳහන් වන්නේ මේ එන්නත සැප්තැම්බරය වන විට රුසියානු සෞඛ්‍ය සේවකයන්ට ප්‍රථමව ලබා දීමටත්, ඉන්පසුව ගුරුවරුන්ට ලබා දීමටත් කටයුතු කරණු ඇති බවය. ලබන ඔක්තෝබරයෙන් පසු සමස්ත රුසියානු ජනතාවට එන්නත ලබා දීමට කටයුතු කරන බවද රුසියානු මාධ්‍යවල සඳහන් විය.
එමෙන්ම මේ එන්නත කොවිඩ් හේතුවෙන් කඩා වැටුණු රුසියානු අාර්ථිකයට නැවත නැගී සිටීමට ශක්තියක් වනු ඇතැයිද රුසියාව බලාපොරොත්තු වේ.
මේ අතර කොවිඩ් වයිරසය ලොව පුරා මිනිසුන් කෝටි දෙකකට ආසාදනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා තහවුරු කර සිටියේය. මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව ලක්ෂ හතහමාරකි. එසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වයිරසයේ පැතිරීමේ කිසිසේත් අඩුවක් දක්නට නොලැබෙන බවයි. අමෙරිකාවේ තවත් ප්‍රාන්ත රැසකින් වයිරසය ආසාදනය වූවන් වාර්තාවෙමින් පවතින අතර ප්‍රංශයද යළිත් වයිරසයේ ව්‍යප්තියේ වර්ධනයක් පෙන්නුම් කරමින් සිටී. මේ තත්ත්වය පාලනය කිරීමට දැඩි සෞඛ්‍ය නීති පැනවීමට ප්‍රංශය කටයුතු කර තිබේ. එමෙන්ම යුරෝපය මේ වන විට බිය පළ කරන්නේ ඇමරිකාවෙන් යළිත් කොවිඩ් යුරෝපය පුරා පැතිරීමේ තර්ජනයක් පවතින බව සඳහන් කරමිනි. මෙය කොවිඩ් තුන්වැනි රැල්ල ලෙස ඔවුන් නම් කර තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියාව වයිරසය පාලනය කිරීමේ සටනට තදින්ම අවතීර්ණ වී තිබේ. වයිසරය සමඟ සාමාන්‍ය ජනජීවිතය පවත්වා ගැනීමේ උත්සාහය අසාර්ථක වූ පසු ඕස්ට්‍රේලියාව පසුගියදා සෞඛ්‍ය විධිවිධාන තර කිරීමට කටයුතු යෙදීය.
මේ අතර වඩාත් කනගාටුදායක පුවත් ඉන්දියාවෙන් අසන්නට ලැබෙන අතර එරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හැටදහස ඉක්මවා තිබේ.
මේ තත්ත්වය තුළ රුසියානු එන්නත සාර්ථක වන්නේ නම් සැබවින්ම එය සමස්ත මිනිස් වර්ගයාට ආශිර්වාදයක් වනු ඇත.