
“කොවිඩ් වසංගතය මේ දක්වා එහි උච්චතම ස්ථානයට පත්ව නැත. ඒ අනුව වසංගතය ඉදිරියේදී ඉතා දරුණු තත්ත්වයකට පත්වීමට නියමිතය.“
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතිය පුරා ලෝකයට නිකුත් කළ පණිවිඩවල සාරාංශය එසේ දැක්විය හැකිය. සැබවින්ම කොවිඩ් වසංගතය මේ දක්වා කිසිම අන්දමකින් දුර්වල වීමක් හෝ පැතිරීමේ අඩුවක් දක්වා නැත. ඒ වෙනුවට වයිරසය දිනෙන් දින වඩාත් වේගයෙන් පැතිරෙමින් තිබේ.
පසුගිය සතියේදී ලෝකයේ දිනකට මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවද වාර්තා විය. මේ අතරට දිනකට අමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් 50,000, බ්‍රසීලයෙන් වාර්තාවන ආසාදිතයන් 45,000 සහ ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන් 25,000ද ඇතුළත්ය.
මේ ලියන මොහොත වන විට සමස්ත ආසාදිතයන් 1,36,90219ක් වාර්තා වී තිබේ. සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ හයකට ආසන්න වෙමින් තිබේ.
යුරෝපයේ රටවල් පසුකරමින් දකුණු අමෙරිකාවෙන් ආසාදිතයන් වාර්තා වෙමින් තිබෙන අතර පිරූ සහ මෙක්සිකෝ යන රටවල් ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මවා පසු කරමින් සිටිති. කනගාටුවට කරුණ වන්නේ මේ රටවල මරණ සංඛ්‍යාවද සාපේක්ෂව ඉහළ අගයක් ගැනීමය.
මේ සියල්ල අතරින් වඩාත් කනගාටුදායක වන්නේ ඉන්දියාවේ තත්ත්වයයි. ආරම්භයේදී ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාවට සාපේක්ෂව මරණ සංඛ්‍යාව පහළ අගයක් ගෙන තිබුණද මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබේ. මේ වන විට එය 23, 721ක් ලෙස සටහන් වී ඇති අතර මේ සංඛ්‍යා වේගයෙන් ඉහළ යමින් පැවතීම කනගාටුදායක කරුණකි.
පසුගිය සතියේදී ඉන්දියාව කෙරෙහි ලෝක අවධානය යොමු වීමට තවත් හේතුවක් වූයේ එරට අති ප්‍රසිද්ධ රංගධරයකු වන අමිතාබ් බච්චන් මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව සොයා ගැනීමයි.
මේ සම්බන්ධ පුවත විදෙස් මාධ්‍ය සේවා වාර්තා කර තිබුණේ ‘අමිතාබ් බච්චන් ඇතුළු බච්චන් පවුලේ පරම්පරා තුනක් කොවිඩ් වයිරසයට ගොදුරු වෙයි‘ යනුවෙනි. මහාරාශ්ඨ ප්‍රාන්ත මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි මේ වන විට වයිරසයට ගොදුරු වූ අමිතාබ් බච්චන් මහතා, ඔහුගේ පුත් අභිෂේක් බච්චන්, ලේලිය අයේෂ්වර්යා රායි සහ ඔවුන්ගේ දියණිය ආරධ්‍යාද වහාම රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි. රෝහලේ සිට ට්වීටර් පණිවිඩයක් නිකුත් කළ අභිෂේක් බච්චන් පවසා ඇත්තේ ‘තමන් සාමාන්‍ය රෝග ලක්ෂණ සහිත බවත් රෝහල් බලධාරීන් අනුමත කරන තෙක් රෝහලේ රැඳී සිටින‘ බවත්ය.
ඉන්දීය සිනමාවේ ජ්‍යෙෂ්ඨ රංගධරයකු වන අමිතාබ් බච්චන් මහතා සිනමාපට 200ක පමණ රංගනයෙන් දායක වී තිබේ. මේ වන විට ඔහු 77 හැවිරිදි වියේ පසුවේ. එහෙත් සුප්‍රසිද්ධ අමිතාබ් බච්චන්ට සහ පවුලේ සාමාජිකයන්ට මෙවැනි සුපිරි පහසුකම් ලැබුණද ඔවුන්ගේ රසිකයන් වන ඉන්දියාවේ බහුතරයක් ජනතාවට එවැනි පහසුකම් ලැබී නැත. අවම වශයෙන් රෝහල් ගතවීමේ අවස්ථාව පවා බොහෝ දෙනාට අහිමි වී ඇත්තේ මේ වන විට වාර්තා වෙමින් පවතින අධික ආසාදිතයන් සංඛ්‍යාව හේතුවෙනි.
මීට පෙර මේ තත්ත්වයට යුරෝපා රටවල් මුහුණ දුන් අතර මහා බ්‍රිතාන්‍යයේ පවා බොහෝ කොවිඩ් ආසාදිතයන්ට නිවසේ රැඳී සිටීමට සිදුවූයේ කිසිදු ඖෂධයකින් තොරවය. මේ වන විටත් ඉන්දියාව පුරා ක්ෂණිකව රෝහල් ස්ථාපිත කෙරමින් පවතින අතර අධික ලෙස ඉහළ යමින් පවතින ආසාදිතයන් සංඛ්‍යාව පාලනය කර ගැනීමට වඩා මරණ සංඛ්‍යාව අවම කර ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇති බව පෙනේ. එසේ වුවද කොවිඩ් ආසාදිතයන්ට ශ්වසන පහසුකම් සැපයීමේ අපහසුතා හේතුවෙන් බොහෝ රෝගීන් පීඩාවට පත්ව ඇති බවද වාර්තා වේ.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ සතියකට ලොව පුරා ආසාදිතයන් මිලියනයක් වාර්තා වන තත්ත්වයක් යටතේ ලෝකයට දිනකට ඔක්සිජන් කියුබික් මීටර් 6,20,000ක් අවශ්‍ය වන බවයි. එමෙන්ම ලොව පුරා රෝහල්වලට ඔක්සිජන් සැපයීම සමාගම් කිහිපයක් මගින් කෙරෙන බවත්, මේ වන විටත් බොහෝ රටවල ඔක්සිජන් හිඟයක් වාර්තා වෙමින් පවතින බවත්ය.
පසුගියදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථමවරට මුඛ ආවරණයකින් සැරසී සිටීම ද ලෝකය පුරා කතාබහට ලක්විය. මීට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා මුඛ ආවරණ පැලඳීම ප්‍රතික්ෂේප කර සිටියේය. ඔහු පවසා සිටියේ කොවිඩ් වයිරසයට කිසිසේත් බිය විය යුතු නැති බවත්, සාමාන්‍ය ලෙස ජීවිතය පවත්වා ගත යුතු බවත්ය. එහෙත් පසුගියදා එරට වෝලටර් රීඩ් හමුදා රෝහලේ රෝහල්ගතව සිටින හමුදා සාමාජිකයන් දැකීමට ගිය අවස්ථාවේදී මුඛ ආවරණයක් ප්‍රථම වරට පැලඳ සිටිමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා සිටියේ තමන් මුඛ ආවරණවලට විරුද්ධ නොමැති බවත්, ඒවා පැලඳිය යුතු වෙලාවක් සහ අවස්ථාවක් පවතින බවත්ය.
කෙසේ වුවද මේ වන විට අමෙරිකාවේ ප්‍රාන්ත රැසක කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ලැබේ. ආසාදිතයන් ලක්ෂ 34කට අධික සංඛ්‍යාවක් මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වී ඇති අතර මේ සංඛ්‍යා වේගයෙන් ඉහළ යමින් තිබේ. පසුගිය සතියේ සෙනසුරාදා දිනයේ පමණක් ආසාදිතයන් 66,528ක් අමෙරිකාවෙන් වාර්තා වූ අතර එය ලෝක වාර්තාවක්ද වූයේ එක් දිනයක එක් රටකින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමිනි.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේදී කොවිඩ් වයිරසය සුළඟින් බෝ වන බවද නිශ්චිත කොට පවසා සිටියේය. මේ දක්වා වයිරසය සුළඟින් බෝ වන බවට මත පැවති නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ බව තහවුරු කර සිටියේ නැත. එහෙත් දිගු කාලීනව සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා වයිරසය සුළඟින් බෝ වන බව තහවුරු කර සිටියේය. එමෙන්ම ආසාදිතයකු කිවිසුමක් මගින් වාතයට පිට කරන වයිරසය පැය අටක් පුරා නිරුපද්‍රිතව වාතයේ පවතින බවත්, එම වාතය ආශ්වාසය මගින් වයිරසය ආසාදනය විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.
මෙහිදී මෙයට පිළියමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ හැකි සෑම අවස්ථාවකදීම මුඛ ආවරණ පලඳින ලෙසයි.