
කොවිඩ් පැතිරීම හේතුවෙන් ලන්ඩනය වසා දැමීමට සිදුවූයේ අදින් මාස තුනකට පමණ ඉහතදීය. ලොව සසල කළ ඉතාලි කොවිඩ් ඛේදවාචකයේ කටුක අත්දැකීම් හේතුවෙන්, මෙන්ම බොරිස් ජොන්සන්ගේ හර්ඩ් මිනියුනිටි උත්සාහයේ අසාර්ථක්වය හේතුවෙන් ජන ජීවිත ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය උපදෙස් දැඩි සේ පිළිපැදීමට ලන්ඩන් නගර වැසියන්ට සිදුවිය. එහෙත් මේ වන විටත් කොවිඩ් ලන්ඩන් නගර වැසියන් බිලිගනිමින් සිටින අතර සමස්ත මහා බ්‍රිතාන්‍යයද කොවිඩ් මරණ පනස් දහසකට ආසන්නව වාර්තා කරමින් තිබේ.
තත්ත්වය එසේ වුවද පසුගිය සෙනසුරාදා රාත්‍රිය ලන්ඩන් නගර වැසියන්ට සුවිශේෂ විය. ඒ මාස තුනකට පසු ඔවුන්ට රාත්‍රී සම්භාෂණ පැවැත්වීමේ අවස්ථාව යළි උදාවූ නිසාය. ඒ සමගම මධ්‍යසාර අලෙවි කිරීමේ මධ්‍යස්ථාන සහ අවන්හල්ද විවෘත කිරීමට අවසර හිමිවිය. එහෙත් එසේ කිරීමේදී සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සීමා කිහිපයක්ද පවත්වා ගන්නා ලෙස ලන්ඩන් නගර වැසියන්ට රජය තරයේම උපදෙස් ලබා දී තිබිණි.
ඒ උපදෙස් කෙසේ වුවද මාස තුනකට පසු යළි තම පෙර ජීවිතය යළි විඳින්නට ලැබීම ලන්ඩන් නගර වැසියන්ට සැමරුම් අවස්ථාවක් විය. පුද්ගලයන් හය දෙනෙකුට වඩා ඒකරාශි නොවිය යුතු බවට රජය විසින් සීමා පනවා තිබුණද ඒ සීමා මායිම් අලුයම ඉවත ලූ කෙළ බිඳ සේ ඉවත දැමූ ලන්ඩන් වැසියෝ දහස් ගණනින් නගරයේ අවන්හල්, සමාජ ශාලා වෙත ඒකාරාශී වී සතුට සමරන්නට වූහ.
ලන්ඩන් පොලීසියෙන් ලැබෙන වාර්තා අනුව මේ සතුට සැමරීම සීමා මායිම් බිඳ දමමින් පසුවදා හිරු නැගෙනතුරු ලන්ඩනය පුරා දෝරේ ගලන්නට වී ඇත්තේ පැතිර යන කොවිඩ් වයිරස තර්ජනය තුට්ටුවකට මායිම් නොකරමිනි.
ලන්ඩන් පොලිස් වාර්තා අනුව මිනිසුන් දහස් ගණනින් ලන්ඩනයේ ප්‍රසිද්ධ අවන්හල්වලට රැස්වී ඇති අතර ඉහළ විලාසිතාවන්ගෙන් සැරසී, මත්පැන් පානය කරමින්, රාත්‍රිය පුරා නර්තනයේ නිරත වී තිබේ. ඒ කිසිදු අවස්ථාවක සමාජ දුරස්ථතාවය තිබී නොමැති අතර, කොවිඩ් පිළිබඳ වරින්වර මතකයට නැගුණු පිරිස් මීටරයක් කෙසේ වෙතත් ඉතා අවම දුර ප්‍රමාණයක් එකිනෙකා අතර තබා ගැනීමට උත්සාහ කරනු පෙනී තිබේ. එහෙත් ඊළඟ මොහොතේ වයිරසය අමතක කර දැමූ පිරිස එකිනෙකා වැලඳ ගනිමින් නර්තනයේ නිරත වූ බව ඡායාරූප සහිතව මාධ්‍යවලද පළවී තිබෙණු දැකගත හැකි විය. එමෙන්ම මේ රාත්‍රී සාදයන්ට සහභාගී වූ කිසිවකු මුව ආවරණ පැලඳ නොසිටි බවද පොලිස් වාර්තාවල සඳහන් විය. එමෙන්ම මහමඟ වැටී සිටි බොහෝ දෙනා රෝහල් කරා මෙන්ම ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යෑමටද ලන්ඩන් පොලීසියට සිදු විය.
ලන්ඩනයේ සුප්‍රසිද්ධ අවහන්හලක කළමනාකාරවරයකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ එදින අවන්හල් විවෘත කළ බැවින් තමන් තරමක පාරිභෝගිකයන් පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි බවයි. එහෙත් රාත්‍රී 8 - 9 වන විට තමන්ට කිසිසේත් පාලනය කර ගත නොහැකි තරමේ පිරිසක් ඇණවුම් ඉදිරිපත් කරන්නට වූ බවයි. පසුව ජනතාව අවන්හල් තුළින් මහපාරට පිවිස මත්පැන් පානයට සහ නර්තනයේ නිරත වන්නට වූ බවයි.
“ඇත්තටම එය මහත් උද්වේගකර දර්ශනයක්. ජනතාව ඉතාමත් අනාරක්ෂිතව හැසිරුණා. ඒත් ඔවුන් විනෝදවුණු අන්දම බලා සිටීමට ලස්සනයි“ කළමනාකාරවරයා වැඩිදුරටත් පවසා තිබුණේ එවැනි දසුන් සැමදා දක්නට නොලැබෙන බවයි.
පොලිස් වාර්තා මෙන්ම මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා අනුව බොහෝ තරුණ තරුණියන් මුහුණු ආවරණ නොමැතිව බීමතින් නගරයේ මංමාවත් දිගේ සැරිසරා තිබේ. ඇතැම් දෙනා මත්මතින් මාර්ගයේ තැන තැන වැටී සිටින අන්දමද දැකගත හැකි විය. ඇතැම් තරුණියන් තමන්ගේ අඩිඋස සපත්තු විලාසිතා හේතුවෙන් අනතුරට පත්ව තිබිණි. පොලීසිය පවසා ඇත්තේ ලන්ඩනයේ සෝහෝ සහ පෝර්ටොබෙල්ලෝ මාර්ගය යන ප්‍රදේශවල මේ සැමරීම් වැඩි වශයෙන් සිදු කෙරී ඇති බවයි.
ලන්ඩනයේ සදර්ම්ප්ටන් ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා ජනතාවගේ මේ සැමරුම් සම්බන්ධව දැඩි සේ කනගාටුවට පත්ව තිබිණි. ඔහු පවසා ඇත්තේ නගරවැසියන් ‘සමාජ විරෝධී ලෙස හැසිරුණු‘ බවයි. බීමතින් සිටි මිනිසුන් සම්පූර්ණයෙන්ම සමාජ දුරස්ථභාවය අමතක කර දැමූබව ඔහුගේ චෝදනාවයි. තවත් බොහෝ දෙනා මෙන්ම ඔහුද පවසන්නේ මෙසේ හැසිරීමේ විපාක විඳීමට ඉදිරියේදී සිදුවනු ඇති බවයි. කොවිඩ් වයිරසය මේ වන විටත් බ්‍රිතාන්‍ය පුරා පැතිර යමින් පවතින අතර එසේ වුවද අමෙරිකාවට, ලතින් අමෙරිකාවට සාපේක්ෂව බ්‍රිතාන්‍ය යේ දෛනික ආසාදිතයන්ගේ අඩුවක්ද දැක ගත හැකි වේ. එසේ කිසියම් ප්‍රගතියක් අත් කර ගත් සැණින් මෙසේ වගකීම් විරහිතව හැසිරීම වගකිව යුතු පුරවැසියන්ගේ හැසිරීමක් නොවන බව බොහෝ දෙනා ගේ මතය වී තිබේ. එමෙන්ම මෙසේ නිදහසේ හැසිරීම මගින් කොවිඩ් වයිරසයේ ව්‍යප්තිය වැඩි වනු ඇති බව අමතුවෙන් කිව යුතු නොවේ.
පසුව මේ සම්බන්ධව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ රටවැසියන් වගකීමෙන් යුතුව හැසිරෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. එමෙන්ම රටවැසියන් අවන්හල් වෙත යෑමට ඔහු අනුබල දී ඇති අතර ඔහු පවසා ඇත්තේ තම රටවැසියන් මාස තුනක් තිස්සේ දැඩි සේ වෙහෙස ගෙන ජීවිත රැසක් බේරා ගැනීමට කටයුතු කළ බවයි. එබැවින් මදක් විනෝදවීමේ වරදක් තමා නොදකින නමුත් සමාජ දුරස්තභාවය ඇතුළු ආරක්ෂිත ක්‍රම අනුව කටයුතු කළ යුතු බවද අගමැතිවරයා අදහස් කර තිබේ.
එසේ වුවද බොහෝ දෙනා අදහස් දක්වා ඇත්තේ මීටර් එකේ දුරස්ථභාවය පවත්වා නොගැනීම සහ මුහුණු ආවරණ භාවිත නොකිරීම, මේ සියල්ල අමතක කොට විනෝදවීම මගින් බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් දෙවැනි රැල්ලක් ඇතිවීම වළක්වාලිය නොහැකි වනු ඇති බවයි.