
ඉන්දියාව සහ චීනය යනු ලෝක බලවතුන් දෙදෙනෙකි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය සහිත සාමාජිකයෙකු වන චීනය ඒ අතරින් වඩා වැඩි බලවතා බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. එහෙත් ඉන්දියාව යනු කිසිසේත් සුළු කොට නොතැකිය යුතු රටකි. චීනයද ඒ බව හොඳින් දන්නේය. එසේ වුවද මෑත කාලය දක්වාම මේ දෙරට අතර සුහද සබඳතා වෙනුවට පැවතියේ එකිනෙකා නුරුස්නා ස්වභාවයකි.
මේ සඳහා විවිධ හේතු විය. ආසියා කලාපය ගත් කළ විසි එක්වැනි සියවස ආරම්භය තෙක්ම චීනය ‘නිදා සිටින යෝධයා’ විය. ඉන්දියාව එදා කලාපයේ බලවතා විය. චීනය සතු වූයේ ජනගහනය පමණක්ම වූ අතර චීනය ඉතා දීර්ඝ කාලයක් තිසේසේ වෙනස් වෙමින් පැමිණි ගමන අනාගත නායකත්වයක ඉඟි ගෙනහැර පෑමට ප්‍රමාණවත් විය.
ලෝකයේ ප්‍රබල සීතල යුද්ධය පැවති සමයේදී ඉන්දියාව රුසියාවේ පර්ශ්වයට සහාය දැක්වූ අතර චීනයද වාමවාදී විය. එහෙත් පසුකාලීනව වම බිඳ වැටෙද්දී ඉන්දියාව වාමාංශික චීනයේ පර්ශ්වය නොගෙන දක්ෂිණාංශික අමෙරිකාව සමග මිත්‍ර විය. එතැන් සිට ආසියාවේ අමෙරිකානු හිතවතා ඉන්දියාව වූ අතර චීනයේ ක්‍රියාකාරකම්වලට එරෙහිව කටයුතු කිරීමේදී ඉන්දියාව අමෙරිකාව සතු හොඳම ඉත්ෙතකුද විය.
චීනය සහ ඉන්දියාව එකිනෙකාට ඇඟිල්ල දිගු කරගත් අවස්ථා අතරින් දෙරටේ දේශසීමා ආර්බූදය ප්‍රධාන විය. අති විශාල භූමි ප්‍රදේශයන්ට හිමිකම් කියන මේ දෙරට බැලූ බැල්මට ලෝක සිතියමේ අසල්වාසීන් ලෙස නොපෙනුනද කිලෝමීටර් 3,488ක දේශසීමාවක් මේ දෙරටටම පොදුය. මේ දේශසීමාව පුරා ඉන්දියාවේ භූ දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රදේශ කිහිපයක්ම පිහිටා තිබීමද විශේෂය. උදාහරණ ලෙස ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ කිලෝමීටර් 1597ක ප්‍රමාණයක්, අරුණාචල් ප්‍රදේශයෙන් කිලෝමීටර් 1126ක ප්‍රමාණයක්, සිකීම් ප්‍රදේශයෙන් කිලෝමීටර් 220ක දේශසීමා මායිමක් සහ හිමාචල් ප්‍රදේශයෙන් කිලෝමීටර් 200ක දේශසීමාවක් චීනය සහ ඉන්දියාව අතර මැද පවතින්නේය.
මේ දේශසීමාව සම්බන්ධයෙන් වරින් වර දෙරට අතර නොයෙක් මතගැටුම් ඇතිවූ අතර, එම මතගැටුම් දුරදිග යෑමෙන් එකිනෙකා දෙසට අවි මානා ගැනීම්ද ඉතිහාසය පුරා දක්නට විය. එහි මේ දක්වා සිදුවූ අවසාන ගැටුම මීට වසරකට පමණ පෙර සිදුවූ අතර මේ කිසිදු අවස්ථාවක පහසුවෙන් යුද්ධයක් කරා ගමන් කිරීමට දෙරටින් එකම රටක් හෝ මුලපිරුවේ නැත. තමා අබිමුව සිටින්නේ ප්‍රබල රටක් වන බැවින් පකිස්තානයට පෙන්වන බලපරාක්‍රමය චීනයට පෙන්වීමට පෙර ඉන්දියාව දෙතුන් වරක් සිතන බව පැහැදිලිව දිස් විය. එමෙන්ම චීනය යනු පහසුවෙන් කිසිදු රටක් සමග යුද්ධයක පැටලෙන රටක් නොවන්නේය. හැකි සෑම අවස්ථාවකම ඇතිවන ගැටලු සාමකාමීව සහ උපක්‍රමශීලීව විසඳා ගැනීම චීනයේ ප්‍රතිපත්තියයි. මේ හේතුවෙන් ස්වකීය දේශසීමා අසලට හමුදා කැඳවීම හැර ඉන් ඉදිරියට ගමන් කිරීමක් දෙරටින්ම දක්නට ලැබුණේ නැත.
එහෙත් පසුගියදා මේ දෙරටින් අසන්නට ලැබුණේ දෙරටේම එකඟතාව මත තවදුරටත් දේශසීමා අසල හමුදා පෙරළා කඳවුරු කරා යැවීමේ එකඟතාවක් දෙරටේම හමුදා ප්‍රධානීන් විසින් ඇති කර ගත් බවයි. මේ සාකච්ඡා හිමාචල් ප්‍රදේශයේ දෙරටටම පොදු දේශසීමාවේ පවත්වා ඇති අතර එම සාකච්ඡා ඉතා උණුසුම් මිත්‍රශීලී ලෙස පැවති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ නිවේදනයක සඳහන් විය.
එහිදී උද්ගත වෙමින් පවතින දේශසීමා අර්බූදය ඉතා සුහදශීලීව විසඳා ගැනීමට දෙරටේම එකඟතාව ඇති වූ බවද සඳහන්ය. ඒ අනුව වසර ගණනාවක සිට ඇවිලෙමින්, මතුවෙමින් පවතින ඉන්දීය - චීන දේශසීමා අර්බූදය ඉදිරියේදී සුහදශීලීව අවසන් වීමට නියමිතය.
මෙය බැලූ බැල්මට දෙරටක් අතර ඇතිවූ එකඟතාවක් ලෙස දැකිය හැකි වුවද මේ අලුත් මිතුරුදමේ යටිපෙළේ කියවෙන කතා බොහොමයකි. ඒවායේ භූ දේශපාලනික අරුත් බොහෝය.
චීනයේ වත්මන් ජනාධිපති ක්ෂි ජින්ග් පින්ග් යනු ඉතා පුළුල් ඉදිරි දැක්මකින් යුතු නායකයෙකි. ඔහු කිසිම විටෙක ඉක්මන් තීරණවලට නොයන අතර ආවේගශීලී තීරණවලටද නොයන්නෙකි. එමෙන්ම ජීවිත කාලය දක්වා ජනාධිපති ලෙස පත්වීමේ මැතිවරණවලට ඉදිරිපත් විය හැකි අන්දමට චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද වෙනස් කර ගත් බැවින් ඔහුට ජනතා කැමැත්ත මත දිගින් දිගටම බලයේ සිටීමේ අවස්ථාවද උදාවනු ඇත. එමෙන්ම ‘මාවතක් සහ තීරයක්’ (Road and Belt) යන වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී චීනය ලෝකයේ රටවල් රාශියක් සමග වෙළෙඳ ගිවිසුම් මගින් එකට බැඳීමට නියමිතය.
මේ වැඩපිළිවෙළෙහි නිශ්චිත වැදගත් භූමිකාවන් ශ්‍රී ලංකාවට මෙන්ම පකිස්තානයටද හිමිවිය. එහිදී එම වෙළෙඳ ජාලයේ ප්‍රධාන පෙළේ නැවතුම්පොළක් ලෙස ශ්‍රී ලංකාව දක්වා ඇති අතර පකිස්තානයේ ග්වාදාර් වරායද ප්‍රධාන නැවතුමක් ලෙස දක්වා තිබිණි. පසුව චීන ජනාධිපතිවරයාගේ දකුණු ආසියා සංචාරයේදී ඉන්දියාවට පැමිණීමටද ඔහු කටයුතු කළ අතර කොල්කොතා නගරයද මේ දැවැන්ත වෙළෙඳ ජාලයට එක් කර ගැනීමට ඉන්දියාව කටයුතු කළෙය. දැන් මේ අනාගත ලෝක දැවැන්තයා සමග වඩාත් හොඳ හිත පවත්වා ගැනීමේ අභිලාශයක් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ඇතිවී ඇතිවාට සැක නැත.
ඉන්දීය කොංග්‍රස් පක්ෂය අතීතයේ සිට වාමාංශික දේශපාලනයට වඩා වැඩි නැඹුරුවක් දක්වද්දී දක්ෂිණාංශය භාරතීය ජනතා පක්ෂයෙන් නියෝජනය විය. අමෙරිකාවේ ආසියානු හිතවතුන් වැඩි වශයෙන්ම බිහිවූයේද භාරතීය ජනතා පක්ෂයෙනි. දැන් එම පක්ෂයේම රජයක් චීනය සමග මිත්‍ර සබඳතාවලට අත වනමින් සිටින්නේය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු කිහිපයකි. එනම් මේ වන විට ලෝකයේ වාමාංශික සහ දක්ෂිණාංශික බෙදීමක් තවදුරටත් දක්නට නොලැබෙන බවයි. රුසියාව මෙන්ම චීනයද මේ වන විට නව වෙළෙඳ මාවතට පිවිස ඇති අතර අමෙරිකාවටත් වඩා ධනවාදී අර්ථ ක්‍රමයක් චීනය සෙසු ලෝකයේ රටවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරමින් සිටී. එමෙන්ම ලෝකයේ අති බහුතරයක් රටවල් මේ වන විට අනුගමනය කරන්නේ ධනවාදය හෝ සමාජවාදය නොව අවස්ථාවාදය බවද පැවසිය යුතුය. ඒ අනුව ඉන්දියාවද මේ අවස්ථාවේදී තමන්ගෙ අනගාතය ගැන සිතා කටයුතු කරන බවනම් පැහැදිලිය.